බොහෝමයක් දෙනා අපේක්ෂා සහගතව බලා සිටි රුසියාවේ පැවැත්වුණු 2018 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ රසාලිප්ත මතක සැමරුම් බොහෝ විය. සිය කණ්ඩායම ක‍්‍රීඩා කළ තරගයක් නැරඹීමෙන් අනතුරුව ක‍්‍රීඩාංගණය පිරිසිදු කරන ජපාන ක‍්‍රීඩාලෝලීන් පිරිසකගේ දර්ශනයක් ද ඒ අතර වූ අතර එය ක්ෂණයකින් අන්තර්ජාලය හා විවිධ සමාජ ජාලා වෙබ් අඩවි හරහා වෛරසයක් මෙන් ව්‍යාප්ත විය. ප‍්‍රශංසනීය හා දක්ෂ තරගවැදීමකින් අනතුරුව තම කණ්ඩායමට වෙන් කර දී තිබූ කාමරය කුණු බිඳක්වත් නොමැති අයුරින් පිරිසිදු කොට පමණක් නොව සිය සත්කාරක රුසියාවට ස්තුති සටහනක් ද තබමින් ජපාන පාපන්දු කණ්ඩායම පිටත්ව ගිය බව වාර්තා විය. නොබෝදා ලංකාවට පැමිණි බංගලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම විසින් සිය සංචාරය අවසානයේ දී තමන්ට වෙන්කර දී තිබුණු පොදු කාමරය නැවත බාර දෙනු ලැබුවේ මෙයට සම්පූර්ණ ප‍්‍රතිවිරුද්ධ ආකාරයට බව අප සියල්ලන්ම අත්දුටු කරුණකි. මෙම කණ්ඩායම් දෙකම ඔවුන්ගේ ඉහත කී හැසිරීම හේතුවෙන් අන්තර්ජාලය හරහා දෙආකාරයකට පේ‍්‍රක්ෂකයන් ප‍්‍රකම්පිත කළෝ ය. එක් කණ්ඩායමක් ඔවුන් දැක්වූ මනා සැලකිල්ල, ක‍්‍රීඩාශීලීත්වය හා ගෞරවය හේතුවෙන් ප‍්‍රශංසාවට බඳුන් වූ අතර අනෙක් කණඩායම ඔවුන්ගේ ප‍්‍රතිවිරුද්ධ හැසිරීම හේතුවෙන් අපවාදයට හා විවේචනය ලක් විය.

මෙයින් ගම්‍ය වන යථාර්ථය වනුයේ පොදු අවකාශයන්ගේ අපගේ හැසිරීම ජාතියක් වශයෙන් අපගේ චරිත ස්වභාවය නිරූපණය වන්නා වූ කැඩපතක් වන බව නොවන්නේ ද? ලොව පුරා රටවල් හා ප‍්‍රජාවන් තමන්ට අත්විඳින්නට සිදුව ඇති විවිධාකාර තර්ජනයන්ට එරෙහිව තමන්ගේ අනන්‍යතාවන්, සංස්කෘතීන් හා සීමා මායිම් ආරක්ෂා කර ගනිමින් වඩාත් දේශානුරාගී බවට පත්වෙමින් ඇත. කෙසේ වුවද, රටක ජනතාවගේ ක‍්‍රියා කලාපයෙන් එකී භූමිය කෙරෙහි ඔවුන්ගේ (ඊනියා) ගැඹුරු ආදරය හා ළැදියාව ප‍්‍රදර්ශනය වන නමුත් එකී භූමිය ආරක්ෂා කරගැනීමට ඔවුන් කිසිවක් නොකරන්නා වූ තත්ත්වයක් දේශානුරාගය ලෙස නිර්වචනය වන අවකාශයක මෙම දේශානුරාගී ලාලසාව පිළිබඳ මතවාදී අරගලය හාස්‍යජනක වී ඇත.

සැබවින්ම ලංකාව මේ වන විට කසළවලින් යටවීමට ඉතාමත් ආසන්න ය. පදිකයන් සහ මෝටර් රථවල ගමනේ යෙදෙන්නන් මාර්ගවල අපරීක්ෂාකාරී ලෙස එහේ මෙහේ විසිකරන කවර, බෝතල්, දුම්වැටි කොට හා අනෙකුත් අපද්‍රව්‍ය හේතුවෙන් මහාමාර්ග පිරිසිදු කරන්නට මාර්ගයන් පිරිසිදු තත්ත්වයෙන් පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. ප‍්‍රසිද්ධ ස්ථානවල මුත‍්‍රා කිරීම, කුණු බක්කිවලට දරාගත නොහැකි තරම් බර පැටවීම පමණක් නොව කුණු බක්කි පෙනි පෙනී ඒ අවට හා ආසන්නයේ කුණු විසිකිරීම හේතුවෙන් උද්‍යාන, සිනමා ශාලා, මාර්ග, ක‍්‍රීඩාංගණ ඇතුළු අනෙකුත් පොදු ස්ථාන අපිරිසිදු හා වාසය කළ නොහැකි තත්ත්වයට පත්වී ඇත. කසළ රැුස්කරන ස්ථානයක් අසලකවත් නොමැති ස්ථානවල ආහාර අපද්‍රව්‍ය මෙන්ම අපවිත‍්‍ර සනීපාරක්ෂක තුවා එකට ලිහිල්ව අසුරන ලද කුණු බෑගයන් නිවසියන් මෙන්ම අවන්හල් සේවකයන් ද විසින් තබා තිබෙනු දැකීම අරුමයක් නොවේ. රට පුරා තිබෙන නෑමට සුදුසු වැව්, ගංගා හා මුහුදු තීරයන්ට ද මෙකී ඛේදජනක තත්ත්වය උදාවී ඇත්තේ ඒවා නැරඹීමට පැමිණෙන අමුත්තන්ගේ අතිනි. අඩක් ආහාරයට ගන්නා ලද පිළුණු වූ බත් පැකට් හා හිස් බෝතල් ආදිය අතුළ දුගඳ හමන මාවත් දිගේ රැකියාවට යාම අපේ ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත්තේ නිරායාසයෙනි.

අප රටම කසළ ගොඩක් බවට පත්කරන මේ අය තමන්ගේ මේ අවකල්ක‍්‍රියා මංමාවත්වලට පමණක් සීමා කොට නැත. රට පුරා ඇති පොදු වැසිකිළි වඩාත්ම අවභාවිතයට ලක්වූ ස්ථාන බව අවිවාදිතය. වැසිකිළි සැලකිල්ලෙන් හා පිරිසිදුව භාවිත කළ යුතු ආකාරය දැක්වෙන උපදෙස් අඩංගු දැන්වීම් අගනුවර ප‍්‍රධාන විශ්වවිද්‍යාලවල වැසිකිළිවල ඇතුළුවන දොරටුවේම අලවා ඇත්තේ නිකමටම නොවේ. තමා භාවිත කළ සනීපාරක්ෂක තුවා වැසිකිළි බේසමට නොදමන්නැයි දැක්වෙන දැන්වීම් අවශ්‍ය සියලූ‍ භාෂාවලින් සියලූ‍ම කාන්තා පොදු වැසිකිළිවල අලවා ඇතත් ඒවා නිරන්තරයෙන්ම නොසලකා හරින බව පෙනේ. මෙකී සනීපාරක්ෂක තුවා දැමීම සඳහා වෙනම වැසුණු බඳුන් සපයා තිබුණ ද ඒවා වැසිකිළි බේසමට දැමීම හේතුවෙන් වැසිකිළි නල ඇහිරී යාම දැකිය හැකි ය.

තමන්ගේ කාර්යයන් සිදුකර ගැනීමෙන් පසුව පිරිසිදු කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. මෙකී තත්ත්වය යටතේ කසළ පිරිසිදු කරන්නන් හා සනීපාරක්ෂක කම්කරුවන්ට වැඩ රාජකාරී වැඩි වන අතර මේ ක‍්‍රමය විධිමත් කිරීම සඳහා නීති සැකසිය යුතු වේ. කසළ බැහැර කිරීම සම්බන්ධව ඔවුන්ගේ අවිධිමත් හා අසාර්ථක ප‍්‍රවේශය පිළිබඳව රජයට චෝදනා එල්ලවීම සාධාරණ ය. එහෙත් අප අපගෙන්ම පැනයක් ඇසිය යුතුය. කසළ බඳුනකට නොමැතිව වෙනත් ස්ථානයකට කසළ දැමීම හෝ පොදු ස්ථානයක මුත‍්‍රා කිරීම වරදක් බව අපට නොසිතෙන්නේ මන්ද? සැලකිල්ලට ගත යුතු කාරණය වනුයේ මේ පිළිබඳව වටහා ගැනීමට තරම් සවිඥානයක් ජාතියක් ලෙස අපට නොමැති බවයි. අප හැදී වැඞී ඇත්තේ අප විසින් ම අපගේ පෞද්ගලික අපද්‍රව්‍ය පිරිසිදු කරගන්නා වටපිටාවක නොව අනෙකා අප වෙනුවෙන් අපගේ අපද්‍රව්‍ය පිරිසිදු කරන්නැයි බලාපොරොත්තු වන වටපිටාවකය. මෙහි අප‍්‍රසන්න ප‍්‍රතිවිපාක තනිව නොව ජාතියක් ලෙස අප සියලූ‍ දෙනාටම අත්විඳින්නට සිදුවන අතරම මෙකී තත්ත්වයෙන් අත්මිදීම සඳහා අපව නිවැරදි කරගැනීමේ හැකියාව අත්තේ ද අපටම පමණක් බව ද අමතක නොකළ යුතු ය. එකී සත්කාර්යය කිරීම සඳහා ආවේශයක් අප තුළම ඇති කරගත යුතුව ඇත.

අතීතයේ පටන්ම ලංකාව හඹා යන්නේ සිංගප්පූරුවයි. සිංගප්පූරුවේ උදාරත්වයට හේතුව එහි සාර්ථක ආර්ථිකය පමණක් ම නොව එහි පවිත‍්‍රතාව ද වේ. වෘත්තීයමය හේතු සහ විනෝදාස්වාදය සඳහා සිංගප්පූරුව කරා ඇදෙන ලාංකිකයෝ, සියයට සියයක්ම නාගරික වන හා මිලියන 5.6ක් වන ජනගහනයක් සිටින සිංගප්පූරුව කොතරම් පිරිසිදු රටක් ද යන්න පිළිබඳව විමතියට පත්වෙති. සිංගප්පූරුව පොදු සනීපාරක්ෂාව පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වයි. චුවින්ගම් පිළිබඳව ඇති දැඩි නීති හේතුවෙන් සිංගප්පූරුව ප‍්‍රසිද්ධව ඇතිවාක් මෙන්ම පොදු ස්ථානවල ජනතාවගේ අපේක්ෂිත හැසිරීම පිළිබඳව දැඩි රීති බොහෝමයක් එහි දැකිය හැකි ය. උදාහරණයක් ලෙස පොදු ස්ථානයක කවරයක් විසිකිරීම සම්බන්ධයෙන් පළමු වරට වරදකරුවෙකු වන තැනැත්තෙකු සිංගප්පූරු ඩොලර් 300 ක පමණ දඩයකට යටත් වේ. එසේම පොදු ස්ථානවල මුත‍්‍රා කිරීම හා තම කාර්ය අවසානයේ නිසි පරිදි වැසිකිළිය පිරිසිදු නොකිරීම ද දඩයකට යටත් විය හැකි වැරදි වේ. කලා වස්තූන් කෙළෙසීම හෝ අපවිත‍්‍ර කිරීම සිරදඬුවම් ලැබිය හැකි වැරදි වේ. මෙකී නීති රටවැසියන්ට මෙන්ම සංචාරකයන්ට ද එක සේ අදාළ වේ. පොදු විනය පිළිබඳ අපේක්ෂිත හැසිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම රට පවිත‍්‍රව තබා ගැනීම සඳහා සුවිශේෂ මෙහෙවරක් ඉටු කරනු ලබයි.

කෙසේ වෙතත් මෑත කාලයේ දී සිංගප්පූරුවට පවා කසළ පිළිබඳව ගැටලූවලට මුහුණ පෑමට සිදු විය. පසුගි ය ආසන්නතම වසර 7 න් අවිධිමත් කසළ බැහැර කිරීම සඳහා වන දඩ ගැසීම් 31000ක් වන වැඩිම දඩ ගැසීම් ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කරන ලද්දේ 2016 වසරේදී ය. සන්ඬේ ටයිම්ස් පුවත්පතේ සමැන්තා බෝ වාර්තා කරන ලදදේ එම දඩයන්ට යටත් වූ අය 10ක් අතුරින් 6 දෙනෙකු සිංගප්පූරු වැසියන් වූ බවයි. සිංගප්පූරු රජයේ නිලධාරීන්ගේ විශ්වාසය වූයේ මේ පිළිබඳ දැනුවත් කිරීම්වලට පමණක් ලඝු වීම ඵලදායී ප‍්‍රතිඵල ලබා නොදෙනුයේ ධනය සහ අධ්‍යාපනය සතුටට කරුණක් ලෙස සලකන සිංගප්පූරු වැසියන් අනෙකා තමාගේ පෞද්ගලික කසළ පිරිසිදු කරන තෙක් බලා සිටින තරමට ඔවුන්ගේ ‘ප‍්‍රජා වින්දනය’ මේ වන විට නැති වී ඇති බවය. මේ අනුව පැහැදිලි වනුයේ අවිධිමත් කසළ බැහැර කිරිම පිළිබඳ වන දැඩි නීති පැනවීමේ සංකල්පය සිංගප්පූරුවට තෝරා ගැනීමට සිදුවී ඇති බවත් එය අපට ද පූර්වාදර්ශයක් වන හොඳ විකල්පයක් වන බවත් ය.
ක‍්‍රමවත් හා ආරක්ෂාකාරී ලෙස කසළ බැහැර කිරීම තහවුරු කිරීම සඳහා පනවනු ලැබූ දැඩි නීති පද්ධතියක් ජපානයේ ද දැකිය හැකි ය. ජපන්නු වනාහි සැබවින්ම දැඩිව පිරිසිදුකමට මුල් තැන දෙන ජාතියකි. තිරසාර පරිසර පවිත‍්‍රතාවක් අරමුණු කරගෙන ඔවුන් කටයුතු කරනුයේ මේ සම්බන්ධව පවත්නා නීති රාමුවට යටත්වීමක් ලෙස පමණක් නොව තමන්ගේ රට අලංකාරව තබාගැනීමේ අපේක්ෂාව පෙරදැරි කරගෙන ය. මෙය ඔවුන්ගේ භෞතික දේශ සීමා, වටාපිටාව සහ ජාතික සීමා අතික‍්‍රමණය කළ උත්තරීතර අපේක්ෂාවකි. එය ඔවුන් තුළින්ම පැනනගින්නා වූ සවිඥානික අරමුණකි. තමන්ම කොටස්කරුවන් වන ප‍්‍රජාවට ගරු කිරීම සඳහා වන ආනුෂංගික තෘෂ්ණාවකි. තීව‍්‍ර නාගරික ජන ඝනත්වයකින් යුතු හා සංවර්ධිත රටක් වුවද ‘මමත්වයකින්’ තොරව තමා වටා තිබෙන පරිසරය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මනා නිදසුනක් වීම හේතුවෙන් ජපානය ලෝක ප‍්‍රජාවගේ දැඩි ප‍්‍රශංසාවට ලක්වී ඇත.

එබඳු ආචාරශීලීත්වයකින් යුතුව කටයුතු කිරීමේ යහපැවැත්ම ඔවුන් තුළ රෝපණය වනුයේ ප‍්‍රාථමික අධ්‍යාපන අවධියේදීම ය. ජපාන සිසුහු ඉතා ළාබාල අවධියේ සිටම ඉතාමත්ම කුඩා ප‍්‍රපංචයක් වුවද ඇගයීමට හා එයට ගෞරව කිරීමට දිරිමත් කරනු ලබති. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අතරට තමන්ගේ ආහාර වේල තමන් විසින් ම සකසා ගැනීම, තමන්ගේ පංති කාමරය තමන් විසින් ම පිරිසිදු කර ගැනීම වැනි කාර්යයන් ද එක් වී ඇති අතර එමගින් ඔවුන්ට නිර්ලෝභීව, මෘදුව සහ අන් අයගේ දුක අවබෝධ කරගෙන කටයුතු කරන අයුරු පිළිබඳව මනා ජීවන දර්ශනයක් නෛසර්ගිකව උගැන්වෙයි. අනෙකුත් අධ්‍යාපනික පද්ධතිවල සිසුන්ට පරිපූර්ණතාව, දැනුම, ආරක්ෂාව, යටපත්කර ගැනීම සහ තමන්ගේ අවශ්‍යතා සහ අරමුණු ළඟා කර ගැනීමට කටයුතු කරන ආකාරය ඉගැන්වෙන අතර තමා හා තම වටපිටාව පිළිබඳව තමාට ඇති වගකීම හා වගවීම පිළිබඳ අවබෝධය ජපන් සිසුන් තුළට ක‍්‍රම ක‍්‍රමයෙන් කාන්දු කරනු ලබයි.

ඔවුන් තමන්ගේ ජීවිතය පුරාවට තමන් තුළම දරාගෙන යන මෙම අපරිමිත ප‍්‍රඥාව භූගෝලීය, දේශපාලන, ආගමික සහ තරගකාරීත්වය පිළිබඳව සීමාවන්ගෙන් තොර වේ. සංස්කෘතිය යනු හණමිටි අදහස් කර තබාගෙන යාමක්, නැතහොත් සැබෑවටම නැති, එතෙක් පවතින්නේ යැයි මවාගත් යමකට වඩා දෙයක් නොවන ලෝකයක, ධනවාදී පරිභෝජනවාදය විසින් පුද්ගලවාදය ප‍්‍රතිස්ථාපනය කිරීමට වැර වෑයම් කරන අපේ අභ්‍යන්තරය පිනවීමට ජපානය සමත් වී ඇත. මෙලොව සිටින්නේ අප පමණක් නොවන බැවින් අප වෙනස්ව සිතිය යුතු හා කටයුතු කළ යුතු කාලය එළඹ තිබේ.

මේ අනුව ලාංකීය අපට ජපානය පූර්වාදර්ශය කොට මේ ගමන යා හැකි ය. මේ සඳහා අපගේ මනා චෛතසික සහ මානසික වෙනසක් අවශ්‍යය. එවන් වෙනසක් අවිධිමත් කසළ බැහැර කිරීමේ ගැටලූවට නිත්‍ය ඔසුවක් වනු නොඅනුමාන ය.
අධ්‍යාපනය, දැඩි නීති හෝ මේ දෙකෙහිම එකතුවක් යන කුමන ක‍්‍රමවේදයක් ලංකාව සඳහා ඵලදායී වනු ඇත්දැයි පැවසීම අසීරු ය. එක් කාරණයක් ප‍්‍රත්‍යක්ෂ ය. රට, සෞඛ්‍යය, නීතිය සහ ජීවය අබිබවා තමන්ගේ ක්ෂණික පහසුව කෙරහි පමණක් අවධානය යොමු කරන අප තමනගේ කසළ අනුන්ට බෙදන, එමගින් මුළු රටම කසළ දුපතක් බවට පත්කරන ජාතියකි. අපේ රට මෙසේ කසළ දුපතක් වන විට එයට ක‍්‍රියාකාරීව දායකත්වය සපයමින් හෝ ඒ පිළිබඳව උදාසීනව සිටිමින් මේ පිළිබඳව අනෙක් රටවල පැවැත්ම සහ සාර්ථකත්වය පිළිබඳව අගය කිරීම පමණක් නොසෑහේ. මෙම සත්‍යය දරාගැනීමට අපහසුය. එහෙත් මේ එකී සත්‍යය පිළිගනිමින්, එයට නිරාවරණය වෙමින් අපේ රට කසළ දුපතක් වීම වළක්වාගැනීම සඳහා මුල් පියවර තැබිය යුතු වේලාවයි.

සඳලි හඳගම