විශිෂ්ට කලා නිර්මාණ සඟවා තබා අප‍්‍රකටව මිය ගිය එමිලිලා සහ වැන් ගෝලා ගැන පසුගිය සතියේ ලියන විට, එවැන්නකුගේ නමක් වුවමනාවෙන්ම නොලියා සිටියේ ඔහු ගැන විස්තර සහිතව ලිවීමේ අපේක්‍ෂාවෙනි. අනාථ නිවාසයක හැදී, රෝහලක පිරිසිදු කරන්නකු ලෙස රැුකියාව කර, වැරහැලි හමුදා ඇඳුමක් හැඳ ඉබාගාතේ ඇවිදිමින්, කසළ අහුලා රැුස් කරමින් ජීවත් වූ හෙන්රි ඩාගර්, 1973දී මිය ගියේ සිය අසූ එක් වැනි ජන්ම දිනයත් පසු කර සිටියදීය. ඔහු මරණාසන්නව සිටියදී ඔහුගේ විශාල පාළු කාමරය පිරිසිදු කිරීමට ගිය තැනැත්තාට හමු වූයේ මොනවාද? පාදමේ සිට සීලිම දක්වා ගොඩගසා තිබුණු පරණ පත්තර, කැඩුණු ඇස් කන්නාඩි, නූල් බෝල, හිස් බෝතල්, සෙල්ලම් බඩු කෑලි යනාදි එකතු කළ කුණුකන්දල් අතර සඟවා තිබුණු, ටයිප් පිටු 15,000ක සුවිසල් මනෝරාජික නවකතාවක්, දියසායම්, පැන්සල්, කොලාජ් සහ කාබන් මුද්‍රා යොදාගෙන කළ 350කට අධික විචිත‍්‍ර සිතුවම් එකතුවක් සහ ඩාගර් විසින් ජීවිත කාලය පුරා ලියන ලද සටහන් රාශියකි.
අද වන විට ඔහුගේ අමුතු සිත්තම් සියල්ලම ලොව ඉහළ පෙළේ කෞතුකාගාරවල විශිෂ්ට චිත‍්‍ර එකතුවලට ඇතුළත්ව ඇත. ඔහු විසින් වසර 65ක් තිස්සේ ලියනු ලැබ ඇතැයි සැලකෙන, බැඳි-නොබැඳි වෙළුම් පහළොවකින් සමන්විත නවකතාවද, ඔහු මෙන්ම අසාමාන්‍යය. ළමා වහල් සේවය අනුදත් පාලකයකුට එරෙහිව පැන නගින කැරැුල්ලකට සහාය දෙන දැරියන් සත්දෙනකු හා කුමාරිකාවන් කිහිප දෙනකු වටා ගෙතුණු එයට දී තිබුණු අමුතු නම වූයේ, ‘ළමා මෙහෙකාරියන්ගේ කැරැුල්ලෙන් බිහිවූ ග්ලැන්ඩිකෝ-ඇන්ග්ලිනියන් යුද කුණාටුව හා සම්බන්ධ මනඃකල්පිත රාජ්‍යයන් හෙවත් විවියන් දැරියන්ගේ කතාව’ යන්නයි. එය මෙන්ම ඔහුගේ ස්වයංලිඛිත චරිතාපදානයත්, වෙනත් විවිධ ලේඛනත් අපූර්ව රචනා ලෙස පිළිගැනෙන අතර, අද වන විට ඩාගර් ලොව පහළ වූ දුර්ලභ ගණයේ විශිෂ්ට ලේඛකයකු සහ චිත‍්‍ර ශිල්පියකු බව අවිවාදිතය. විශේ්ෂයෙන් පිටස්තර කලාව (ධමඑිසාැර ්රඑ* විෂයෙහි ලා ඔහුගේ නාමය ඉහළින්ම සඳහන් වේ. ‘පිටස්තර කලා’ වශයෙන් සැලකෙන්නේ ස්වශක්තියෙන් ඉගෙනීමෙන් හෝ ස්වභාවයෙන්ම නිර්මාණකරණයෙහි යෙදුණු, මූලික ධාරාවේ කලාව සමග කිසිදු සම්බන්ධයක් නොපැවැත්වූ අයගේ නිර්මාණයන්ය.
ඩාගර්ගේ අසාමාන්‍ය පැවතුම් සලකන විට ඔහුත් විසන්සන්ට් වැන් ගෝ සේම කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පසුවන්නට ඇතැ’යි සිතේ. යම් මානසික විකෘතියක් තිබීම අග‍්‍රගණ්‍ය කලා හැකියාවන්ට බාධාවක් නොවන බවද මෙහිදී පිළිගත යුතුය. අයිසැක් නිව්ටන්, බීතෝවන්, ජෝන් නෑෂ්, අර්නස්ට් හෙමින්ග්වේ, ටෙනසි විලියම්ස්, ඒබ‍්‍රහම් ලින්කන් වැනි විශිෂ්ටයන්ටද මානසික රෝග වැළඳී තිබුණු බව ප‍්‍රකට කරුණකි. රොතේ, නීට්ෂේ, ටෝල්ස්ටෝයි, ඩිකන්ස්, ඩාවින්, චර්චිල්, සිල්වියා ප්ලාත්, වික්ටෝරියා වුල්ෆ්, එස්රා පවුන්ඞ්, රොබට් ලොවෙල්, ජෝන් කැරී යනාදි තවත් නම් ඇතුළත් වන මේ ලැයිස්තුව බෙහෙවින් දිග එකකි. එහෙයින් මෙය දේශය හෝ ජාතිය නොතකා ලොව පුරා මානව ප‍්‍රජාව අතරින් ගැළපුම් යාකොට සමරේඛාවක් ඇඳිය හැකි තවත් මාතෘකාවකි. ඕනෑම පුද්ගලයකුට මානසික අසමතුලිතතාවන් තිබේය යන කරුණ බෞද්ධ දර්ශනයෙනුත්, නවීන විiාවෙනුත් තහවුරු කරන ලද්දකි. කලාව සහ නිර්මාණකරණය සිතුවිලි ලෝකය තුළ උපදින බැවින් මානසික විකෘතිතාවන් තුළින්ම කලා නිර්මාණ පැන නගින්නේද යන සාධාරණ සංශයද හෙන්රි ඩාගර්ගේ ජීවිතය ඔස්සේ අප සිතට ඇතුළු වේ.
ඩාගර්ගේ පාළු ජීවිතය ගැඹුරෙහිම විශිෂ්්ට කලා හැකියාවන් සැඟවී තිබුණේයැ’යි ඔහු ජීවත් වන සමයේ කිසිදු මනුෂ්‍ය ප‍්‍රාණියකු විසින් අනුමාන කළේවත් නැත. ඩාගර්ගේ රහසිගත උමතු සාහිත්‍ය ව‍්‍රතයට කවර හේතු පදනම් වීද යන්නත් තවමත් අබිරහසකි. ඇතැම් විට ළමා වියේ පීඩාකාරී ළමා නිවාසයක රැුඳවියෙකු ලෙස හෝ යොවුන් වියේ හමුදා සෙබලෙකු ලෙස ලද අත්දැකීම් ඔහුගේ මනැසට බලපෑවා විය හැකිය.
මරණාසන්නව සිටියදී අසල්වැසියකු පැමිණ ඩාගර්ගේ රහස්‍ය සාහිතය චිත‍්‍රාදිය සෙයාගැනුණු බව සැල කළ විට ඔහු මොහොතකට නෙත් හැර මෙසේ කියූ බව සඳහන් වේ. ‘දැන් ප‍්‍රමාද වැඩියි.’ ඩාගර් සිය දිනපොත්වල තබන ලද අවසාන සටහන මෙවැනිය. ‘මට ඉතා දුප්පත් මට්ටමේ නත්තලක්වත් ලැබී නැත. මුළු ජීවිත කාලයටම එකුදු නව වසරක්වත් සමරන්නට හැකි වී නැත.’

ලක්ශාන්ත අතුකෝරල