දුලාජ් මධුශංක දේවපුර

ජීවිතේ කියන්නෙ ම හීනයකි ! සමහර වෙලාවට හීන පොකුරකි. ඒ හීන පාට කරගන්න හරි අමාරු වුණත් ඒවා බොඳවෙන්න ගතවෙන්නෙ හරි ම පුංචි නිමේෂයකි. එහෙම බොඳවෙච්ච හීන, අතරමං වෙච්ච හීන, කීතු කීතු වෙලා ගිය හීන බොහොමයක් අපට විටින් විට හමුවෙයි. ළහිරු කිතලගම කවියාගේ ‘කවුළු ඇස පාමුල’ හිඳගෙන මා ඒ වගේ හීන ගොන්නක් අහුලගත්තා කීවාට පාඩු නැත. කිතලගම අපි අතර සැරිසරන ඒ හීන හරි අපූරුවට ඔහුගේ කවිවලින් අපට ප‍්‍රක්ෂේපණය කරයි.

‘ඔය තරම් චිමිනියට ඇස් ඇරන්

ලොකූ උඹ ලෙඩ වේවි රත්තරන්

තෙලූ‍ත් දැන් ඉවරයි –

හෙටත් පාඩම් පාඩම් කරන්නට එපැයි’

චිමිනියේ තෙල් අඩු වෙනා හින්ද ම නෙවී නේද අම්මේ

දුවේ උඹ නිදියපං කීවේ.

අම්මලා එහෙම ය. අනේකවිධ කම්කටොලූ‍ උපේක්ෂාවෙන් දරාගන්නා සෙනෙහසේ ගීතය අම්මා ය. අම්මලා කෙදිනකවත් තම දරුවන් හිතින්වත් දුක්වෙනවාට අකමැතිය. ඒ අම්මලාගේ හැටි ය. කුටුම්බකරණයත් සමඟ එහි අසීරු ම භූමිකාව උරුම වන ගැහැනිය අම්මා ය. අම්මා ඒ භූමිකාවට උපරිම සාධාරණයක් ඉටුකරන්නට වෙහෙස වන්නී ය. එකී අම්මාගේ භූමිකාව දියණියකගේ ඇසින් ඉසියුම් ව ගෙනහැර පාන්නට කවියා සමත් වන්නේ ය.

 

මිනී මරලා හුස්ම නොගෙන ම

බල්ලෙක්ගෙ බෙල්ලත් කැපුවා

කළුවගේ ඔළුව අරගෙන

කඳ ළඟින් බල්ලගේ ඔළුව තිව්වා

‘කළුවා බල්ලෙකි’‍

උගුර යට හිරවුණ වේදනා පිට කෙරුවා

මැරුණ කළුවගෙ අහවල් එකත කැපුවා..

 

මිනීමරු ගොළුවා

පිළිකන්නෙ ඉඳගෙන

හොඳටෝ ම ඇඬුවා

 

සාලයේ පොල් පරාලෙක

නංගි එල්ලී හිටියා.

දිනක් මුහුණුපොතේ බිත්තියේ හිසක් අතගත් තරුණයෙක් පොලීසියට භාර වෙන පින්තූරයක් සැරිසරනු පෙනුණි. මේ කවිය මට ඒ මතක සිහිකළේය. අහිංසක බොහොම සාමාන්‍ය සාධාරණ දිවිපෙවතක් ගත කළ මෙකී තරුණයා සාහසිකයෙකු වන්නේ ගිනි පොලී කළුවා‍ අතින් දුෂණයට ලක්වුණු තම සදාදරණීය සොහොයුරිය ගෙල ලා ගෙන සිටිනු ඇස ගැටුණු මොහොතේ පටන්ය. ‘ඉවසලා ඉවසලා බැරි ම තැන, එතැනයි ඉවසිය යුතුම තැන’ කීවාට ‘එතැන’ ඉවසන්න බැරි තරම් වේදනාකාරී වීමත් සමඟ එතැන් පටන් නීතියෙන් ඔහු සමාජය මිනීමරුවෙකු ලෙස ලේබල් කෙරෙයි. සහෝදර බැඳීම් ඒ තරම් බරපතළය. කිතලගම අප සසල කරවන ඉතාම සංවේදී කවියකි ‘‍ගල්කැටියෙ ගොළුවා’.

දිනක් මා පාසල ඇරී එන විට

ඉන්ටකූලර් උවනතින්

හාදුවක් තවරා

තුවාල වූ කඩල කරත්තය

වේදනාවෙන් වැටී සිටියා මතකය

මා බදාගෙන එදවස

අම්මා හොඳටෝ ම හැඬුවා මතකය…

 

දුලි තැවරී තිවුණ

එදා තාත්තා මා වාඩි කළ තැන

අතගා බලමි කාලයකට පසු ව මම

අතීතය වැසී ඇති දුලි අතරින්

මා එදා නොදුටු

රතු පාට ලේ පැල්ලමක් මතුවිය

එහි තාත්තාගේ සුවඳ විය‍

ඉහළ පහළ දුවන දිවි සයුරේ සැඩ රළ මත නොවැටී තරණය කරන්න කඩල කරත්තයක නැගි පිය සුවඳ ඉන්ටකූලර් උවනතක දැවටී හමාර ය. හුස්ම ගන්නට අරගල කරන ජීවිතවල හුස්ම යටවෙන්නෙ නොහිතූ අවස්ථාවල ය. අනපේක්ෂිත අනතුරකින් එක්තැන් වූ අපමණ ගැහැට විඳි පියෙකුගේ හදිසි සමුගැනීම කවියා අප හමුවේ තබන්නේ එසේ ය.

 

කන්ද පාමුල අඳුර ඇවිදින්

හොරෙන් හැංගී ඉන්නැතී

කිසිත් දන්නැති රාධලා

ලොකු උන් අතින් බඩ වෙන්නැතී

ගලා ගිය ලේ පාට තැවරී

තේ ගසුත් බය වෙන්නැතී

ඉතින් ඒ ලේ පාට මතු වී

තේ කහට රස වෙන්නැතී…

කවියෙක් කියන්නේ ම මිනිසෙකි. පපුවක් ඇති මිනිසෙකි. සමාජය අපට දායාද කරන ඇතැම් අත්දැකීම් එවන් මිනිසෙකුට දරාගැනීමට අපහසු ය. ඒ රිදුම් කැටි කවියා කඩදාසි කොපුල් මත තවරන්නේ ය. ඒ කොපුල් අප දෙනෙතින් හදවතට සේන්දු වී හදවත තෙමන්නේ ය. කිතලගම එවන් කවියෙකි. ‍මිනිසෙකි!

‘බැටරි ලෝ’ වෙච්ච ජීවිත කිතලගමගේ කවියෙන් යළි යළිත් පණගැන්වෙනු නියතය. රජත පුස්තක සම්මානයට නිර්දේශිත කෘති අතරින් හොඳම කාව්‍ය සංග‍්‍රහය ලෙස කවුළු ඇස පාමුල සම්මානයට ප‍්‍රාප්තවීම හදවතින් ම සතුටු විය යුතු කාරණයකි. මන්දයත්, නමට සම්මාන ගිය කාලය අවසන් බවට එය ඉඟියකි. එය එසේම වේවායි පතමි.