‘මාතෘකාව කලාව තහනම් වචනය විජේදාස රාජපක්ෂ’ යයි කොන්දේසි සහිත කථික තරගයක කතා කළ නොහැකි තරමට මෑත යුගයේ මෙම වචන දෙක ගහට පොත්ත මෙන් සහසම්බන්ධවී තිබේ. අනෙක් අතට කලාව යනු කුමක්ද? කලාකරුවා යනු කවරෙක්ද? යන පැනයන් යළි ඇසීමට හා ඊට නිසි පිළිතුරක් සොයාගන්නට කාලීන අවශ්‍යතාවක් මතුවී ඇත. මෑත යුගයේ සිදුවූ සංසිද්ධීන් විසින් ඊට අනුබල සැපයීම පිළිබඳ යළි සිතා බැලීමක් මෙන්ම ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවි තුළ සාකච්ඡාවට ලක්කෙරුණු කරුණු විසින් හගවනු ලබන්නේ කුමක්දැයි සැකෙවින් විමසා බැලීම මෙහි අරමුණයි.

රාජපක්ෂ රෙජිමයේ පාලන යුගයේදී කලාකරුවන්ට, කලාවට, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්ට, මාධ්‍යවේදීන්ට ස්වකීය ප‍්‍රකාශනයේ නිදහසට එල්ලවූ බලපෑම් මෙන්ම මර්දනයන් කිසිවෙකුටත් රහසක් නොවේ. 2015 දී බලය ලබාගත් ඊනියා යහපාලන ආණ්ඩුව ඒ සඳහා පූර්ව මැතිවරණ බිමේ රගන කාලයේදී කලාවේ නිදහස වෙනුවෙන් ඇපකැප වන බවටත්, ප‍්‍රකාශනයේ නිදහසට බාධා පමුණුවන ලද මෙන්ම වැය කරන ප‍්‍රතිපාදනවලට සාපේක්ෂව සැලකිය යුතු සාධනීය කිසිවක් ඉටු නොකරන හුදෙක් ‘සුදු අලින්’ බවට පත්ව ඇති ප‍්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය, පුවත්පත් මණ්ඩලය වැනි ආයතන අහෝසි කරන බවටත් පොරොන්දු වූයේ ඒ නිසාමය. සුපුරුදු පරිදි ස්වකීය ජයග‍්‍රහණයෙන් පසුව පොරොන්දු ඉටු නොකළ ආණ්ඩුව දෙවසරක් පමණ යන තෙක් කලාවට හෝ මාධ්‍ය නිදහසට අකටයුතුකම් කරන්නට නොපෙළඹුණි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය යළි තහනම් කිරීමට පියවර ගැනීමත්, සාහිත්‍යකරුවන්ගේ සියයට දහයක් වැනි සොච්චම් කර්තෘ භාගයට පවා බද්දක් අය කරන තැනටත් ආණ්ඩුව විසින් ක‍්‍රියාමාර්ග ගැනීමේදී, ගමන් ගනිමින් සිටින දිශාව පිළිබද ඉගි පහළවන්නට විය.

මූලාරම්භයේදී තමන් සිටින්නේ ආණ්ඩුවේද, විපක්ෂයේද යන්න පවා නිසි ලෙස හඳුනා නොගත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පට්ටම ගැලවී යන්නේ රාජපක්ෂවරුන්ටම තවදුරටත් කත් ඇදීම නිසාමය. ඉතාම කෙටි කලක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නිහඩව සිටි ඔහු යළිත් කරළියට පිවිසෙන්නේ කැබිනට් මණ්ඩල සංශෝධනයකින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය ඔහුට බාරවීමත් සමගය. බදු ගැසීම, වෙබ් අඩවි වාරණය කිරීමෙන් නොනැවතී තමා යටතේ පවත්නා ප‍්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය, සෘජුවම මර්දන උපකරණයක් ලෙස යොදාගැනීමට ඔහු නොපැකිළෙන්නේ රාජපක්ෂවරුන් සමග ‘එකගෙයි කෑමේ දේශපාලනයකට’ හෙට්ටු කිරීමේ ක‍්‍රියාමාර්ග, පාලන තන්ත‍්‍රයේ ඉහළම තැනින් ආරම්භවී තමන්ගේ කදවුර ශක්තිමත් බැව් පසක් වූ අවස්ථාවේදීය. සිංහල-බෞද්ධ ජාතිකවාදය, ජාතිවාදය, ආගම්වාදය, ගෝත‍්‍රිකවාදය ස්වකීය දේශපාලන බඩගෝස්තරවාදය බවට පත්කරගත් රාජපක්ෂවරුන්ගේම දෘෂ්ටිවාදය, එසේත් නැතිනම් දේශපාලන උපාය මාර්ගය සමග සහසම්බන්ධවීමෙන් තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට විජේදාසද කල්පනා කළා විය හැකිය. එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්’වේදිකා නාට්‍යයත්, කේ.කේ ශ‍්‍රීනාත්ගේ ‘බුදුන්ගේ රස්තියාදුව’ කෘතියත්, මාලක දේවප‍්‍රියගේ ‘තරුවන් සරණයි’ ගුවන්විදුලි නාටක මාලාවත් වාරණයට ලක්වීමය.

කුමක් හෝ හේතුවකට ලංකාවේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් පවත්වනු ලබන උත්සව අවස්ථාවන්හි ප‍්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගිවන්නේ අදාළ ආයතනය විෂය කටයුත්තක් ලෙස අයත්වන අමාත්‍යංශයේ ඇමතිවරයාය. රාජ්‍ය නාට්‍ය උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ‘සංස්කෘතික කටයුතු ඇමති වීම’ පිළිබද කොළඹ පැවති පොත් දොරට වැඩුමකදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් හාස්‍යජනක ලෙස සිහිපත් කරනු ලැබුවේ දැනට වසර පහකට පමණ ඉහතදීය. ඒ එවක සංස්කෘතික ඇමතිවරයාගේ ක‍්‍රියාකලාපයන්ද උපුටා දක්වමිනි. තමාගෙ විදෙස් මිත‍්‍රයෙකු ‘උඹලගෙ ගෙදර උත්සවයක් තිබ්බාම ඒකෙ ප‍්‍රධාන අමුත්තා උඹ වෙන එක හරිද?’ යන්නෙන් තමාගෙන් ඇසූ බව ඔහු සඳහන් කළේය. එහෙත් කුමන ආණ්ඩුව බලයට පත්වුවද, ක‍්‍රමවේදයේ වෙනසක් නොවන බැවින් මෙවර 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේද, ජනාධිපතිවරයාට අමතරව ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූයේ විජේදාස ඇමතිවරයාය. වාසනාවට හෝ අවාසනාවට ඒ ඇමතිවරයාගේ සෙවණ යට මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හො`දම කවියා ලෙස සම්මානයට පාත‍්‍රවූයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනය. කෙදිනත් ආණ්ඩුව විසින් සංවිධානය කරන, විෂය භාර අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘රාජ්‍ය සාහිත්‍ය උළෙල’ කෙරෙහි මෙවර වඩාත් අවධානයට ලක්වූයේ එකී අමාත්‍යවරයාගේම උපදෙස් හා නියෝග මත කලාකෘති වාරණයට ලක්වී එකී උණුසුම හෝ මැකී යන්නට මත්තෙන් ඔහුගෙන්ම සම්මාන ලබාගැනීමට සාහිත්‍යකරුවන්ට සිදුවීමේ ඛේදජනක ඉරණම නිසා මිස මෙවර රාජ්‍ය සාහිත්‍ය උළෙල පමණක් අසෝබනවී පෙර පැවති සියලූම රාජ්‍ය සම්මාන උළෙල සෝබනවීම නිසා නොවේ.

පරිපූර්ණ සද්භාවි සම්මාන
මෙවර සාහිත්‍ය සම්මාන උළෙලවල ප‍්‍රධාන ආරාධිතයා ලෙස විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සහභාගිවීමත්, ඊට විරෝධය දක්වා සමාජජාල වෙබ් අඩවි තුළ අදහස් උදහස් හුවමාරුවීමත් ආරම්භවීමෙන් පසු ‘‘ලංකාවේ සෙසු සම්මාන උළෙලවල් සාධාරණද? දෙරණ, හිරු වැනි සම්මාන උළෙලයන්හි කොන්ද නමාගෙන සම්මාන ගන්නා අය විජේදාසගෙන් සම්මාන ගැනීමට විරෝධය දැක්වීම විහිළුවකි. විජේදාස මේ මැජර ක‍්‍රමයට උන්ට වඩා අවංකය.’’ යන්නෙන් අදහස් දැක්වූ අයද සිටියහ.
මෙය නොතකා නොහළ යුතු අදහසකි. එහෙත් මෙය හුදෙක් ලාංකේය සුවිශේෂත්වයක් පමණක් නොවන බවද, අප වටහා ගත යුතුය. ස්වර්ණ පුස්තක, රාජ්‍ය සම්මාන, ජනාධිපති සම්මාන, දෙරණ සම්මාන, හිරු සම්මාන, රයිගම් සම්මාන, සුමති සම්මාන, සිග්නීස් සම්මාන, සරසවි සම්මාන ආදි මෙකී නොකී කුමන සම්මාන උළෙලකත් සැගවුණු න්‍යාය පත‍්‍ර, ව්‍යාපාරික අරමුණු, දුබල විනිශ්චයන්, තාක්ෂණික ගැටලූ අපමණය. එක් සම්මාන උළෙලකට වඩා තවත් සම්මාන උළෙලක් වඩා සාධාරණයයිද, තර්ක කළ නොහැකිය. මන්ද එතැන ඇත්තේ ‘අසාධාරණයට තුඩුදෙන කරුණු’ නොදැන සිටීම පමණක් වන නිසාය. එක් සම්මාන උළෙලකින් ‘කලාව සුපුෂ්පිත කිරීම’ අරමුණ යයි කියනවිට එකී සංවිධාකයන්ගේම අනුදැනුමකින් තවත් තැනක කලාවට බාධා පැමිණවිය හැකිය. පල්ලියේ සංවිධානාත්මක අනුග‍්‍රහයෙන් ඕසීඅයිසී-සිග්නීස් සම්මාන පිදෙන විට ඔවුන්ගේම අනුදැනුමෙන් හා ක‍්‍රියාමාර්ග තුළින් මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම් වූ මරියා’ වාරණයට ලක්වීම සිදුවන්නේ ඒ නිසාය.

විවිධ ලබාගැනීීම් හා ප‍්‍රතික්ෂේප කිරීම්
කලෙක වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ නායකයාව සිට යුද පෙරමුණේ සක‍්‍රියව සටන් කළ ලි ඩියුක් තෝට 1973දී නොබෙල් සාම ත්‍යාගය සදහා නිර්දේශ කෙරුණේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ව සිටි හෙන්රි කිසින්ජර් හා සම හිමිකරුවන් ලෙසය. හෙන්රි කිසින්ජර් එය ලබාගනු ලැබුවද, ලි ඩියුක් විසින් එය ප‍්‍රතික්ෂේප කරනු ලැබුවේ වියට්නාම් සාම ක‍්‍රියාදාමයට අමෙරිකාව මැදිහත්වූ ස්වරූපය තමාට පිළිගන්නට නොහැකි බැව් අවධාරණය කරමිනි. නාසි ජර්මනියේ හිට්ලර්ගේ පාලන යුගයේ රිචඞ් කූන්, ඇඩොල්ෆ් බුටෙනැන්ඞ්ට්, ගෙඩාඞ් ඩොමාර්ක් යන තිදෙනා නොබෙල් සම්මාන ප‍්‍රතික්ෂේප කරන ලදි. එහෙත් හිට්ලර්ගේ පාලනය ගිළිහී යාමෙන් පසුව ඔවුන් තිදෙනාම නොබෙල් සම්මානයට හිමි ඩිප්ලෝමාව හා පදක්කම් බාරගත් අතර මුදල් ත්‍යාගය පමණක් බාර නොගන්නා ලදි. 1958දී නොබෙල් සම්මානයට පාත‍්‍ර වූ බොරිස් පැස්ටර්නැන්, එය පිළිගත් නමුත් පසුව සෝවියට් දේශය එය ප‍්‍රතික්ෂේප කරන නිසා බාර නොගන්නා බව පැවසීය. දිගු ඉතිහාසයකට හිමිකම් කියන නොබෙල් සම්මාන හා තෑගි ප‍්‍රදානයේ තවත් අවාසනාවන්ත අත්දැකීමකට මුහුණදෙන්නට සිදුවූයේ මේ වසරේදීය. 2018දී නොබෙල් සාහිත්‍ය සම්මානයට අදාළව තිරය පිටුපස ලිංගික අල්ලස් හා මුදල් ගනුදෙනුවක් පවත්නා බව අනාවරණය වීමෙන් පසුව ස්විඩිෂ් ඇකඩමි විසින් එය අවලංගු කිරීමට තීරණය කරන ලදි.

1973දී ද ගෝඞ් ෆාදර් චිත‍්‍රපටයේ චරිත නිරූපණය වෙනුවෙන් හො`දම නළුවා ලෙස සම්මානයට නිර්දේශ වූ මාලන් බ‍්‍රැන්ඩෝ ඔස්කාර් සම්මාන උළෙලට විරෝධය දක්වමින් එකී සම්මානය ප‍්‍රතික්ෂේප කළේය. අමෙරිකාව චිත‍්‍රපට කර්මාන්තය හරහා ස්වදේශික ඉන්දියානුවන්ට එරෙහිව වැරදි චිත‍්‍රයක් මවාපාමින් සිටීමත්, ඔවුන් සිය දහස් ගණනින් ‘වුන්ඩඞ්නී’හි සිරගත කිරීමත්, දකුණු දකොතා ප‍්‍රදේශයේ ඉන්දීය ජනයාට එරෙහිව ඒ වනවිටත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවීමත් නිසා බ‍්‍රැන්ඩෝ එම අවස්ථාවට සහභාගි නොවීය.

එහෙත් එම අවස්ථාවේ තම මතය ප‍්‍රකාශ කිරීමට පවත්නා ඉඩ නොතකා නොහැරියේය. ඔහුගේම වචනයෙන් කිවහොත් ඔහු අදහස් කළේ මෙවැන්නකි.
‘‘යම් විදිහකින් මට ඔස්කාර් සම්මානය හිමිවුවහොත් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, රතු ඉන්දියානුවකුට, මිලියන 60ක පේ‍්‍රක්ෂක පිරිසකට එකවර ආමන්ත‍්‍රණය කිරීමේ අවස්ථාව මට ලබාදිය හැකි බව මට වැටහිණ. එය කිසියම් ආකාරයකින් වසර ගණනාවක් හොලිවුඩය විසින් ඔවුනට කළ අපහාසය සුළු වශයෙන් හෝ ගෙවන වන්දියක් වීමටද, ඉඩ ඇති බව මට සිතිණි. ඒ අනුව මගේ මිතුරියක වන සචින් ලිට්ල් ෆෙදර්ට කථාකොට මා වෙනුවෙන් උත්සවයට සහභාගිවන ලෙස ඉල්ලා සිටියෙමි. එසේම මා වෙනුවෙන් එහිදී ඇයට කියවන්නට ප‍්‍රකාශයක්ද ලියා දුනිමි. එහි ස`දහන් වූයේ අමෙරිකානු ඉන්දියානුවන්ට පහත් ලෙස සැලකීම හා පොදුවේ ජාතිවාදය පිටුදකින ලෙසයි. එහෙත් උත්සවයේ සංවිධායක හොවාර්ඞ් කොච්, ඇගෙන් ප‍්‍රශ්න කොට එකී ප‍්‍රකාශය ඇයට කියවීමට ඉඩදීම ප‍්‍රතික්ෂේප කළේය. දැඩි පීඩනය හමුවේ වුවද, ඇය එවෙලේ කටට ආ වචන කිහිපයකින් අමෙරිකානු ඉන්දියානුවන් පිළිබ`දව ස`දහන් කිරීමට සමත්විය. මම ඇය පිළිබඳව බෙහෙවින්ම ආඩම්බරයට පත්වෙමි. (අම්මා මට කියාදුන් ගී, මාලන් බ‍්‍රැන්ඩෝ ස්වයං චරිතාපදානය, පරිවර්තනය, එම්ඞී මහින්දපාල, පිටුව 508-509)

තමන් එකී අවස්ථාව වර්ජනය කළද, ලැබෙන ඉඩප‍්‍රස්ථාව ප‍්‍රයෝජනවත්ව භාවිත කිරීමට දැරූ උත්සාහයකි. 2016 වසරේදීද සුදු ජාතික රංගන ශිල්පීන් හා ශිල්පිනියන් පමණක් ඔස්කාර්හි නිර්දේශවීම පිළිබද හොදම සහාය නළුවා ලෙස නිර්දේශවී සිටි මාර්ක් රෆාලෝ, එය වර්ජනය කිරීම සුදුසු නමුත් වින්දිතයන් වෙනුවෙන් කතාකිරීමට අවස්ථාවට සහභාගිවිය යුතු බව පවසා තිබිණි’. එහෙත් ස්පයික් ලී, ජඩා පින්කෙට් ස්මිත්, විල් ස්මිත් වැන්නන් කල් තියාම එය වර්ජනය කරන බැව් ප‍්‍රකාශ කර තිබිණි.

ජාත්‍යන්තර තතු එසේ තිබියදී ලාංකේය සංදර්භය තුළ මෙවර 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ළමා සාහිත්‍ය පරිවර්තිත කෘතිය වෙනුවෙන් සම්මාන ලැබූ දේවිකා වඩිගමංගාව වේදිකාවට නැග කළ ප‍්‍රකාශය සිහිපත් කරනු වටියි.

රාජ්‍ය මර්දනයට ලක්වූ සිය වෘත්තීය සගයන් පිළිබඳ යුක්තිය ඉටුකිරීමට ආණ්ඩුව අසමත් වීම පිළිබඳ ඇය දැඩි විවේචනයක් එල්ල කළාය. යුද්ධය සමයේ මරාදැමූවන්, අතුරුදන්කරවූවන් දහස් ගණනක් අතර ජනමාධවේදීන් සියගණනක් සිටි බව සිහිපත් කරමින් වත්මන් ආණ්ඩුව ඒ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන බවට දුන් මැතිවරණ පොරොන්දු කඩකිරීම සම්බන්ධයෙන් සිය අප‍්‍රසාදය හා කෝපය, ආණ්ඩුවේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමති විජේදාස රාජපක්ෂද සිටි සභාව ඉදිරියේ ඇය පළකර සිටියාය. තමාට එකී සම්මානය ජනාධිපතිවරයා හෝ දේශපාලනඥයෙකු විසින් ලබාදෙන්නේ නම් එය පිළිනොගන්නා බවත්, කලාකරුවෙකු විසින් ලබාදෙන නිසා එය බාරගන්නා බවත් වැඩිදුරටත් කියාසිටියාය. ඇයට ඔවුන් ඉදිරියේ එවැන්නක් කීමට තරම් හෘදය සාක්ෂියක් හා හැකියාවක් තිබීම අප අගය කළ යුතුය.

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ඇතැම් ලේඛකයන් වර්ජනය කළ අතර ඇතැම්හු අවස්ථාවට සහභාගි වූහ. සහභාගිවූවන් සහභාගිවී තමාට සම්මානය ඇමතිවරයා අතින් ලැබුණි නම් විරෝධය පළකරන්නට බලාපොරොත්තුව සිටියේදැයි දන්නේ ඔවුන්ම පමණි. සුදර්ශන සමරවීර, ළහිරු කිතලගම වැන්නෝද එම අවස්ථාවට එක්ව සිටියහ. පසුගිය දිනෙක තිඹිරියාගම බණ්ඩාරගේ ‘ගිනිගත් දේශයක’ කෘතිය ජනගත වූ අවස්ථාවේදී සභාව ඇමතූ ළහිරු කිතලගම ෆේස්බුක් විරෝධතාකරුවන් මහපාරට බැස විරෝධය දැක්විය යුතු බවත්, තමා ඈත ගම්දනව්වල මිනිසුන් සමග අරගලයේ නිරතවන බවත් උද්වේගකාරී ලෙස කියාසිටියේය. කිතලගම කවියා, රැකියාව අහිමිවූ දවසකත් ෆේස් බුකියේ නොව මහපාරේත් අරගල කරනු දැකීමට හැකිවෙනු ඇතැයි අපගේ ප‍්‍රාර්ථනයයි.

සාහිත්‍යයට කුඩා වෙළෙඳපොළක් ඇති ලංකාව වැනි රටක අද දවසේ ලැබෙන සම්මානය හෙට දවසේ පොතකට ප‍්‍රකාශකයකු සොයාගැනීමටත්, කර්තෘ භාගය ලෙස ලැබෙන සොච්චම වැඩි කරගැනීමටත් ලේඛකයෙකුට ලැබෙන අනගි අවස්ථාවක් බැව් පැහැදිලිය. එහෙත් තමාගේත්, තම ක්ෂේත‍්‍රයේ වර්ගයාගේත් නිර්මාණ වාරණය කිරීමට නියෝග ලබාදුන් අවස්ථාවාදී දේශපාලනඥයෙකු ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන තැනකට සහභාගිවී, ‘වාරණය වෙන්නේ කලාකෘතිදැයි – උඹලා කලාකරුවෝදැයි’ කින්ඩි දමද්දීත් ඊට අත්පොළොසන් දෙන්නට අවම හෘදය සාක්ෂියක් හෝ පවත්නා අයෙකුට හැකිදැයි සැකසහිතය. තමා පිටකවරය නිර්මාණය කළ ‘බුදුන්ගේ රස්තියාදුව’ට වාරණ නියෝග යෝජනා කරද්දී, තමාගේම වෙනත් කවර නිර්මාණයකට එකී පුද්ගලයාගේ ආශීර්වාදය සහිත උළෙලක සම්මාන ගැනීම සංජය ඈපාට වටින්නේදැයි අප ඇසුවේ ඒ නිසාය. එබැවින් විජේදාස සහභාගි වන ‘රාජ්‍ය සාහිත්‍ය උළෙල හා ස්වර්ණ පුස්තක සම්මාන උළෙල’ වර්ජනය කළ යුතු යයි අප කියාසිටියේ එවැනි අවම සදාචාරයක නාමයෙන් මිස ලෝක විප්ලවය සිදුවන තුරු සමාජ ක‍්‍රමය තුළ මේ මොහොතේ පවත්නා සියලූ ඇගයීම් ප‍්‍රතික්ෂේප කළ යුතු යයි විශ්වාස කරන නිසා නොවේ. කුමක් පැවසුවද, රාජ්‍ය සම්මානයෙන් විජේදාසට නැගුණු විරෝධය ස්වර්ණ පුස්තක උළෙලට විජේදාසගේ සහභාගිත්වය සිදුනොවීමට හේතුවන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් එක් අතකින් ‘කලාකරුවන්’ නිරාවරණය කිරීම පිළිබඳ අප ඔහුට ස්තූති කළ යුතුමය.

 

ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර