කමල් හසන් පසුගිය සතියක සිය 64වැනි උපන්දිනය සැමරුවා. ඒ අතර ඔහු මෙහෙයවන බිග් බොස් නම් රියැලිටි වැඩසටහන් මාලාව පසුගිය මාසයේ ආරම්භ වුණා. ඒ අතරතුරේ ඔහුගේ නවතම චිත්‍රපටිය වන වික්‍රම් චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක වීඩියෝව නිකුත් වූ නිසා නැවත ඔහු ගැන කතා කරන්නට ඉඩකඩ විවර වුණා. යම් විචාරකයෙකු වතාවක් කී පරිදි මුළු ඉන්දියන් සිනමාවම සහ කමල් හසන් නම් තනි මනුස්සයාගේ සිනමාව දෙපස තබා කිරා බැලුවත්, කමල්ගේ බර ලෙහෙසියෙන් අඩු වෙන්නේ නැහැ.

ඔහු ඉටු කර ඇති භූමිකා ප්‍රමාණය, ඒවායේ කර ඇති වැඩ ප්‍රමාණය, ඒවායේ ගුණාත්මකබව සහ සිනමා ඉතිහාසය වෙනස් කරන තරමේ බලපෑම් සහගත බව ගණනය කළොත් කමල් හසන් තරම් චරිතයක් අපේ කලාපයේම නැහැ.

සිනමා තරුවක්, චරිතාංග නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක්, නිෂ්පාදකයෙක්, නර්තන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, පද රචකයෙක්, නර්තන සහායකයෙක්, සහය නළුවෙක්, ළමා නළුවෙක්, සහාය අධ්‍යක්ෂවරයෙක්, නර්තන සැලසුම්කරුවෙක්, තනු නිර්මාපකයෙක්, වේශ නිරූපණ ශිල්පියෙක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වැනි හැඳින්වීම් ගණනාවක් ඔහුට තිබෙනවා. ඒ හැඳින්වීම් ලැයිස්තුවේදී ඔහුගේ භූමිකා කිහිපයක් අනිවාර්යයෙන් මඟහැරෙන්නට ඇති.

මේ සටහන ඔහුගේ නොයෙකුත් භූමිකා දෙස අවධානය යොමු කිරීමක්.

 

දෙවියන්

කමල් ලියූ සිනමා දෙබස්වල ඔහු නිතර දාර්ශනික ප්‍රශ්න නැගුවා. බොහෝ විට දෙවියන් ගැන. නැත්නම් මාක්ස්වාදය ගැන. නැත්නම් ඕනෑම දාර්ශනික මතවාදයක් ගැන. සමහර ඒවා හාස්‍යමය ආකාරයෙන්.

‘ඩෝග් අනෙක් පැත්ත හැරෙව්වාම ගෝඞ් වෙනවා.’ කමල්ගේ ජනප්‍රිය දෙබසක් ඒ.

‘ඇයි මම ක්‍රිස්තියන් වෙන්න බැරිද? බෞද්ධ වෙන්න බැරිද? කොමියුනිස්ට්, නිරාගමික වෙන්න බැරිද? ඒ අයට කේන්ති යන්නේ නැත්ද?’

තමන් රඟපාන චරිත ආගමික අනන්‍යතා අතර දෝලනය කරන්නට ඔහු කැමතියි. ‘විශ්වරූපම්’ චිත්‍රපටියේ කමල් මුලින්ම මස්මාංශ නොකන හින්දු භක්තිකයෙක්. එහෙත්, ක්ෂණිකව ඔහු ත්‍රස්තවාදීන් අතර යටිබිම්ගතව සිටි මුස්ලිම් සෙබළෙක් බව දැනගන්න ලැබෙනවා.

තමන් දෙවියන් විශ්වාස කරනවාද, අවිශ්වාස කරනවාද යන පැනය නිතර ඔහු සිනමාවේදී ප්‍රේක්ෂකයන් හමුවේ තබනවා. එක් චිත්‍රපටියක දෙබසක් දකින විට කමල් කොමියුනිස්ට්වාදයෙක් බව හැඟෙනවා. තවත් මොහොතක ඔහු අදේවවාදියෙකු බව හැඟෙනවා. එහෙත් එක්වරම ඔහු දේව භක්තිකයෙකුදැයි පැනයක් මතුවෙනවා.

කමල් දේවත්වය සහ මනුෂ්‍යත්වය ගැන අපූරුවට කතා කරන චිත්‍රපටි දෙක වන්නේ ‘දසාවතාරම්’ සහ ‘අන්බේ සිවම්’.

‘මට දෙවියන් තමයි වටින්නේ.’ පිළිමයක් බදාගත් ආශින් දසාවතාරම් චිත්‍රපටියේදී කමල්ට කියනවා. ‘මට වටින්නේ මිනිස්සු’ කමල් උත්තර දෙනවා. තවත් මොහොතක ‘තැන්ක් යූ කඩවුලේ’ යැයි කියමින් ආශින් දෙවියන්ට ස්තූති කරනවා. ‘වෙල්කම්’ කමල් උත්තර දෙනවා. චිත්‍රපටි ගණනක කමල් සංකේතාත්මකව දෙවියන්ට ආදේශ වෙනවා.

දසාවතාරම් චිත්‍රපටිය අවසානයේ කමල් මෙසේ කියනවා. ‘දෙවියන් නැතැයි මා කීවේ නැහැ. හිටියා නම් හොඳයි කියලයි කීවේ.’

‘දෙවියෝ නෑ කියන අය ඉන්නවා නේද? එයාලාව විශ්වාස කරන්න පුළුවන්. දෙවියන් නෑ කියන අයවත් විශ්වාස කරන්න පුළුවන්. මා තමයි දෙවියන් කියලා කියන අය ඉන්නවානෙ, එයාලා විතරක් විශ්වාස කරන්න එපා. ගේම දෙනවා.’ වසූල් රාජා එම්බීබීඑස් චිත්‍රපටියේ කමල් කියනවා.

එහෙත් අන්බේ සිවම් චිත්‍රපටියේදී මාධවන් දෙවියන් ඉන්නවාද කියලා ප්‍රශ්න කරද්දී, ‘මාත් දෙවියන් තමයි.’ කියා කමල් උත්තර දෙනවා. ‘මට තේරෙන්නේ නෑ.’ කියා මාධවන් කියද්දී කමල් උත්තර දෙන්නේ ‘තේරෙන්නේ නැති එක තමයි දෙවියන්.’ කියලා.

 

මනුෂ්‍යයා

‘නායගන්’ චිත්‍රපටියේදී කමල්ගේ මුණුපුරා කමල්ගෙන් විමසන්නේ ‘ඔබ හොඳ කෙනෙක්ද? නරක කෙනෙක්ද?’ කියායි. ඔහු පිළිතුරු දෙන්නේ ‘දන්නේ නෑ.’ කියා.

එහෙත් ‘ආලවන්දාන්’ චිත්‍රපටියේ කමල් රඟපාන ප්‍රධාන චරිතය ගයන්නේ ‘බාගයක් දෙවියන් බාගයක් යක්ෂයා මිශ්‍ර කරලා හැදුණ කෙනෙක් මං’ කියලා.

එතැනින් පසු අවස්ථා ගණනාවකදීම ඔහු දුෂ්ටයා සහ වීරයා අතර ඉර මකනවා. ඇතැම් චිත්‍රපටිවල දුෂ්ටයා සහ වීරයා යන චරිත දෙකම රඟපාන්නේ ඔහු. විශ්වරූපම් චිත්‍රපටියේදී ඔහු ‘මම වීරයා…. මම දුෂ්ටයා’ කියනවා.

‘උත්තම විලන්’ චිත්‍රපටියේ නමේම අර්ථය ‘උතුම් දුෂ්ඨයා’ වැන්නක්. එහි ඔහු රඟපාන්නේ අධම මනුෂ්‍යයෙකුගේ චරිතය. ඔහුගේම දියණියට රඟපාන පාර්වතී කියන පරිදි, තම පියා වන ඔහු ඇයට ‘දුෂ්ටයා’. එහෙත්, ප්‍රේක්ෂකයන්ගේ ආදරය සහ අනුකම්පාව දිනාගන්නා චිත්‍රපටියේ ප්‍රධාන චිත්‍රපටියත් ඒ දුෂ්ටයා.

තිරය තුළත්, තිරය පිටත් කමල් තරම් හොඳ කෙනෙක් සහ කමල් තරම් නරක කෙනෙක් නැහැ. ඒ කියන්නේ කමල් තරම් මනුෂ්‍යයෙක් නැහැ.

 

රංගන විශිෂටත්වය

කමල්ගේ රංගන විශිෂ්ටත්වය තේරුම් ගන්නට වෙනත් කලාකරුවන් ඒ ගැන කියූ කෙටි වාක්‍ය කිහිපයක් උපුටාගත හැකියි.

‘මට කරන්න තියෙන්නේ එතැනට ගිහින්, බලාගෙන ඉන්න විතරයි.’ කමල්ගේ රංගනය ගැන මනි රත්නම් එලෙස කීවා.

‘ඉන්දියාවේම ඉන්න දක්ෂ නළුවෙක් විදියට කමල් හඳුන්වන්න පුළුවන්.’ කමල් තරුණ කාලයේම එසේ කීවේ සිවාජි ගනේෂන්.

‘කමල් අනුකරණය කරන්න හෝ කමල් වෙන්න උත්සාහ කරන්න එපා. මොකද, ඒක කරන්න බැරි දෙයක්.’ එසේ කියන්නේ සම්භාවනීය යැයි සලකන මලයාලම් සිනමාවේ ජනප්‍රියම නළු මෝහන්ලාල්.

‘මම චිත්‍රපටියේ විනාඩි විස්සක් බලාගෙන ගියා. වාව්. වාව්. වාව්. අපි දවසක එකට වැඩ කරමු.’ යැයි කීවේ ජැකී චෑන්.

‘කමල්ටත් බෑ. අපි කරන්නෙ කොහොමද’ එක් මොහොතක එලෙස කීවේ මහා නළු මම්මුති.

‘ඇක්ෂන් දර්ශනයකදී වතාවක් ඔහුගේ උරහිස පැන්නා. ඔහු ක්ෂණිකව ටවල් එකක් ඉල්ලුවා. යකඩ පොල්ලක් තදින් අල්ලගත්තා. වටේ ඉන්න අයට උරහිස ආයෙත් දාන්න කිව්වා. විනාඩි දහයයි ගියේ. මිනිහා දර්ශනයට ලෑස්තියි.’ ඒ රැජිනිකාන්ත් කමල්ගේ අසීමිත කැපයීම ඇගයූ හැටි.

කමල් සිව් වතාවක් හොඳම නළුවාට ඉන්දීය ජාතික සම්මානය දිනාගත්තේ අමිතාබ්ට පමණක් දෙවැනි වෙමින් මම්මුතිට සම වෙමින්. කමල් ඉන්දියාවෙන් ඔස්කාර් සම්මානයට වැඩිම වාර ගණනක් නිර්දේශ වූ චිත්‍රපටි සංඛ්‍යාවක රඟපෑවා.

අනෙක් විශේෂත්වය ඔහු ඉන්දියාවේ සෑම සිනමා කර්මාන්තයකම සාර්ථක වී තිබීම. ‘සිනමාවට භාෂාවක් නැහැ. සිනමාවම විශ්වීය භාෂාවක්.’ ඔහු කියනවා. ඉන්දියාවේ එක් එක් සිනමා කර්මාන්තවල ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල පවත්වනවා. කමල් භාෂා පහකින් ෆිල්ම්ෆෙයා හොඳම නළුවාට හිමි සම්මානය දිනූ එකම පුද්ගලයා. 2000දී ෆිල්ම්ෆෙයාර් සංවිධානයට ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ මින් ඉදිරියට තමන්ට සම්මාන ලබා නොදෙන ලෙස.

 

 අත්හරින්නා   

කමල්ට සිනමාවේ අසමසම වීරයා ලෙස ජනප්‍රිය චිත්‍රපටිවල පමණක් රඟපාන්නට තිබුණා. අප අද අගය කරන බොහෝ චිත්‍රපටි එදා සිනමාහල්වල කෝටි ගණන් උපයන්නට සමත් වුණේ නැහැ. තේවර් මගන්, ගුණා සහ නායගන් වැනි චිත්‍රපටිවලින් කමල්ට අර ජනප්‍රිය සිනමාවේදී උපයන්නට තිබුණු තරම් මුදලක් ලැබුණේ නැහැ.

‘චිත්‍රපටියක් හොඳට දුවලා සල්ලි හම්බකළාම සාර්ථකත්වය කියලා කියනවාද? හැමවෙලාවෙම ඒක සාර්ථකත්වය වෙන්න බැහැ. මා මැරුණත් ඒ චිත්‍රපටිය කොච්චරකල් ජීවත්වෙනවාද…. අන්න තරමටයි සාර්ථකත්වය.’ කමල් ඒ ගැන එහෙම කියනවා.

 

පෙරටුගාමියා

කමල් සිනමා තාක්ෂණයේ නව ප්‍රවණතා මුලින්ම අත්හදා බලන්නෙක්.

මූවි මැජික් පාවිච්චි කළ තිර පිටපත ලියූ පළමු ඉන්දීය චිත්‍රපටිය, පළමු ඩිජිටල් සංස්කරණය, ඩොල්බි ස්ටීරියෝ තාක්ෂණය පාවිච්චි කළ මුල්ම චිත්‍රපටිය, ප්‍රොස්තෙටික් වේෂ නිරූපණ පාවිච්චි කළ පළමු ඉන්දීය චිත්‍රපටිය, මෝෂන් කොන්ට්‍රෝල් රිග් පාවිච්චි කළ මුල්ම ඉන්දීය චිත්‍රපටිය, රෙඞ් එපික් ඩිජිටල් කැමරාව පාවිච්චි කළ මුල්ම චිත්‍රපටිය, සජීවී චිත්‍රපටියක් මැදට ත්‍රිමාණ සජීවීකරණය පාවිච්චි කළ මුල්ම චිත්‍රපටිය ආදි ගෞරවයන් ඔහුගේ නමට ඉදිරියෙන් තිබෙනවා.

ඒ හැරුණාම තේමා, දෙබස් මෙන්ම රූප අතින්ද ඔහු ඉදිරිගාමීයි. දේශපාලන අදහස් අතින්ද ඔහු දියුණු අදහස් ඇත්තෙක්.

‘කමල්ගේ චිත්‍රපටි අම්මලා බලන්න දුන්නේ නෑ. ඒවා වල්.’ අසූව සහ අනූව දශකයේ හැදී වැඩුණු තරුණ තරුණියන් ඒ කතාව කියනවා. ප්‍රේමවන්තයෙක් මුහුණ සිපගැනීමත් අපරාධයක් තරමට සිතූ කාලෙක ඔහු දෙතොල් සිපගත්තා. ‘දේවර් මගන්’ වැනි චිත්‍රපටිවල කාන්තා සිරුරේ සුන්දරත්වය නිර්භයව ඔහු පෙන්වුවා. රාගය අවැසි ඕනෑ මොහොතක ඔහු නිර්භයව රාගය ගෙනාවා.

ඒ සියල්ලටම වඩා ඔහු ඉදිරිගාමියෙකු බව වැටහෙන සිදුවීම ඔහුගේ ආලවන්දාන් චිත්‍රපටියෙහි සජීවීකරණ රූප දැක, එයින් ආභාසය ලබා ක්වින්ටන් ටැරන්ටිනෝ සිය ‘කිල් බිල්’ චිත්‍රපටිවලට සජීවීකරණ රූප පාවිච්චි කළ නිසායි.

මේ සියල්ල හමුවේ වැටහෙන්නේ එක දෙයක්.  ‘සිනමාව කියන්නේ කමල් නෙවෙයි. කමල් කියන්නේ සිනමාව.’■