ගුවන් විදුලි නාට්‍යයක, රූපවාහිනියේ හඬ කැවූ චිත්‍රපටියක, මාලා නාටකයක, කාටූන් වැඩසටහනක චරිත අපේ මතකයේ නොනැසී පවතින අවස්ථා තිබේ. ඒ චරිතය මුවන් පැලැස්සේ කෝරලේ මහත්තයා, හාමිනේ නැතිනම් කදිරා, පිනා විය හැකිය. නැත්නම් පිස්සු පූසා විය හැකිය. ස්කුබි ඩූ හි ස්කූබි විය හැකිය. නැත්නම් සූර පප්පා කාටුන් වැඩසටහනේ සූර පප්පා හෝ ජිම් පප්පා විය හැකිය. එම චරිත එසේ අපේ මතකයේ නොනැසී පවතින්නට ඒ චරිතවලට හඬ මුසුකළ ශිල්පීන්ගේ හා ශිල්පිනියන්ගේ කටහඬෙහි ඇති සුවිශේෂීතාව විශාල වශයෙන් බලපා ඇත. සූරපප්පා ජනප්‍රිය මැජික් අරිෂ්ඨය නිසාම නොවේ. එහෙත් චරිතයකට හඬ ලබාදුන් බොහෝ අය සමාජයේ ප්‍රකට අය නොවේ.

ගුවන් විදුලි හඬ නළුවන්ට, නිළියන්ට හෝ රූපවාහිනී වැඩසටහන් හඬ කැවීම් ශිල්පීන්ට, ශිල්පිනියන්ට සැබෑ ජීවිතයේ දී හමවන අර්බුද ජය ගැනීම සඳහා පානය කිරීමට මැජික් අරිෂ්ඨ ඇත්තේ නැත. සරලවම කියන්නේ නම් ඔවුන්ගේ සැබෑ හඬ කාටුන් වැඩසටහන්වල චරිතයක හඬ තරම් ජයග්‍රාහී හඬක් වන්නේ නැත. එය එසේ වන්නේ මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීමේදී ඔවුන් මුහුණ පන අනේක වූ ගැටළු හේතුවෙනි. එබැවින් ගුවන් විදුලි නළු, නිළි හා රූපවාහිනී හඬ කැවීම් ශිල්පීන්, ශිල්පිනියන්ගේ සැබෑ හඬ මොහොතකට අසා බැලීම වටී.

“ලංකාව් මහා ඉහළින්ම ඉන්න නාලිකාවක මම හඬ කවපු කාටුන් චරිත දෙකක් වෙනුවෙන් තිබුණු ගෙවීම අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ප්‍රමාද වෙලා, බැරිම තැන සිංහල අවුරුද්දක් උදාවෙන වෙලාවක ඒ ආයතනයේ මානව සම්පත් කළමනාකරුට කතා කළාම එතුමා මගෙන් සියලු විස්තර අරගෙන සතියෙන් මට සහ ප්‍රමාද ගෙවීම් තිබුණු අනෙක් ශිල්පීන්ටත් තමන්ගේ මුදල් ලබාගන්න ඉඩ සැලැස්සුවා. එදායින් පස්සේ මාගේ සේවය ලබාගැනීම ඔවුන් නැවැත්තුවා.”

ගුවන් විදුලි නළුවෙකු, රූපවාහිනී හඬ කැවීම් ශිල්පියෙකු ලෙස අඩ සියවසකට අධික කාලයක් කේෂ්ත්‍රයේ ප්‍රවීණත්වයක් ලබා සිටින හිලේරියන් පෙරේරා එසේ කීය. සූර පප්පා කාටුන් කතා මාලාවේ සූර පප්පාට හඬ මුසු කළේ හිලේරියන් පෙරේරාය.

විද්‍යුත් මාධ්‍ය ආයතන බොහෝමයක් රූපවාහිනී නාලිකාවලට සමගාමීව ගුවන් විදුලි නාලිකා පවත්වාගෙන යයි. මේවායේ වැඩසටහන් සඳහා නිර්මාණාත්මක දායකත්වය සපයන ශිල්පීන්ට, ශිල්පිනියන්ට ගෙවීම් කිරීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳව ඔවුන් සිටින්නේ දැඩි කණස්සල්ලෙනි. ශිල්පියෙක්, ශිල්පිනියක් තමන්ගේ නිර්මාණාත්මක දායකත්වය වෙනුවෙන් අය විය යුතු මුදල සාධාරණ නොවන කාලයක් ප්‍රමාද වීමෙන් පසු ඉල්ලා සිටියහොත් නැවත ඒ ශිල්පියා, ශිල්පිනිය නිර්මාණ කටයුතු සඳහා දායක නොකගන්නා තරමේ මාෆියාවක් මේ වන විට විද්‍යුත් මාධ්‍ය ආයතන තුළ නිර්මාණය වී තිබීම කණගාටුවට කරුණකි. 

‘මම වෘත්තීය හඬ නළුවෙක්, හඬ කැවීම් ශිල්පියෙක්. මම යැපෙන්නේ මේකෙන් ලැබෙන මුදලින්. ඒ නිසා මේ ප්‍රමාදය මට දරාගන්න අපහසුයි. මුල් කාලේ මාස එකහමාර, දෙක, තුන වගේ ප්‍රමාද වීම් වුණා. ඒත් අපි කලබල වුණේ නෑ. මාස තුනකින් හරි ලැබෙනවානේ කියන අදහසේ හිටියා. නමුත් පස්සේ මාස හතර, පහ, හය, හත, අවුරුද්ද හා සමහර ඒවා ඊටත් එහා යනකොට අපට දරාගෙන ඉන්න බෑ.’

හිලේරියන් මහතා එසේ කියන්නේ හද පිරි වේදනාවෙනි. ඇත්තටම තල්මසුන් වැනි අති විශාල මාධ්‍ය සමාගම් සමග සසඳා බැලීමේදි හිලේරියන්ලා හාල්මැස්සෝ මෙනි. ඔවුන්ගේ මේ අවනඩුව අහන්නට කෙනෙක් නැත්තේ එබැවිනි.

දුප්පත් ශිල්පීන්, ශිල්පිනියන්ගේ සෙච්චම් මුදල ගෙවන්නට මේ තරම් මැලිකමක් දක්වන්නේ, ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින, ජනමාධ්‍ය සම්මාන උළෙලවල්වලදී ජනතා සම්මානවලින් පිදුම් ලබන, ඇහුවත් බැලුවත් රට පුරා පන්දාහේ නෝට්ටු මිටි බෙදන මාධ්‍ය ආයතනයන්ය.

“අද වෙනකොට ඔය වැඬේ නොකරන මාධ්‍ය ආයතනයක් හොයාගන්න බැරි තරම්. කළ සේවයට නියමිත මුදල සාධාරණ කාලයක් තුළ නොගෙවීමේ වරදක් මෙතන තියෙන්නේ. සමස්ථයක් ලෙස ගත්තහම පිළිගත හැකි ප්‍රමාදයක් තියෙනවා.’

ඒ මයික් ප්‍රනාන්දු මහතාගේ අදහසය. මයික් ප්‍රනාන්දු මහතා මේ ක්ෂේත්‍රයේ අවුරුදු විසි පහකට අධික කාලයක් ගුවන් විදුලි රූපවාහිනී ආයතන සඳහා තම නිර්මාණාත්මක දායකත්වය සපයමින් සිටින කලා ශිල්පියෙකි. සූරපප්පා කාටුන් කතා මාලාවේ ජිම් පප්පාගේ හඬ ඔහුගේය.

ගුවන් විදුලි නාට්‍යය නිෂ්පාදනය කරන ගුවන විදුලි නාලිකා හා විදේශීය චිත්‍රපටි, ටෙලි නාට්‍යය හා කාටූන් වැඩසටහන්වලට හඬ කවා විකාශය කරන රූපවාහිනී මාධ්‍ය ආයතන ඇත්තේ සුළු ප්‍රමාණයකි. හඬ නළුවන් හා හඬ කැවීම් ශිල්පී, ශිල්පිනියන් සිටින්නේත් සුළු ප්‍රමාණයකි. එම සුළුතර මාධ්‍ය ආයතනවලට අයත් ගුවන් විදුලි, රූපවාහිනී නාලිකාවල නිෂ්පාදනය වන වැඩසටහන් සඳහා නිර්මාණාත්මක දායකත්වය දක්වන්නේ මේ ශිල්පීන්, ශිල්පිනියන් සුළු පිරිස විසිනි. අද වන විට ඒ සුළු පිරිසෙන් බහුතරයක් ශිල්පීන්, ශිල්පිනියන්ගේ අත්දැකීම් එක සමානය.

‘එක්තරා මාධ්‍ය ආයතනයක කෙනෙක් පහුගිය දාක මට කතා කරලා, මයික් අයියා අපේ රේටිංස් වැටිලා තියෙනවා. වොයිස් එකක් කරමුද කියලා ඇහුවා. මම ගිහිල්ලා වොයිස් එකක් කරලා ආවා. ඔය ආයතන රේටින්ස්වලින් ඉහළට එන්නේ ශිල්පීන් හින්දා. නමුත් මාස හය, හත ගිහිල්ලා අවුරුද්දකුත් වුණාට පස්සේ දැන් බජට් ක්ලෝස් කරලා තියෙන්නේ කියලා මුදල් නොගෙවාම හිටපු  ආයතනත් තියෙනවා.’

වේගවත් ක්‍රියාකාරීත්වය විද්‍යුත් මාධ්‍යයට අනන්‍ය වූ ලක්ෂණයකි. සෙසු සියලු වැඩකටයුතුවලදී අධි වේගයෙන් ක්‍රියාත්මක විද්‍යුත් මාධ්‍ය ආයතන මේ පොඩි මිනසුන්ගේ සොච්චම් මුදල ගෙවීමේ දී ඉබ්බෝ, ගොළුබෙල්ලෝ බවට පත් වී සිටී.

‘ගුවන් විදුලි හ`ඬ නළුවෙක්, නිළියක් හැටියට හෝ හඬ කැවීම් ශිල්පියෙක්, ශිල්පිනියක් විදිහට වැඩ කරලා ඒ ලැබෙන මුදලින් දරු පවුලක් නඩත්තු කරනවා නම් ඒක විශාල අවදානම් කටුයත්තක් හැටියටයි මම දකින්නේ. මොකද මේ ක්ෂේත්‍රයේ හැමදාම එක්කෙනාටම වැඩ ලැබෙන්නේ නෑ. විවිධ හඬවල් තමයි විවිධ වැඩසටහන් සඳහා තොරා ගන්නේ. අනික වෙලාවට ගෙවීම් කෙරෙන්නෙත් නෑ.’

ප්‍රමුඛ පෙළේ විද්‍යුත් මාධ්‍ය ආයතනයක නම සඳහන් නොකළ වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් එසේ පැවසුවේය.

වැඩසටහනක් සඳහා ශිල්පීන් තෝරන්නේ වැඩසටහන් නිෂ්පාදකවරයාය. පටිගත කිරීම් සඳහා කාලසටහනකට අනුව ශිල්පීන්, ශිල්පිනියන් ගෙන්වන්නේත් ඔහුය. පටිගත කර සංස්කරණය කරන්නේත් ඔහුය. ශිල්පීන්ගේ ගෙවීම් පිළිබඳ කටයුතුවල ආරම්භය සටහන් වන්නේ ඔහුගෙනි.

‘අපෙන් කෙරෙන්න ඕනෑ ටික අපි කළා. ඉතිරි ටික ඉහළින් තමයි වෙන්න ඕනෑ.’ ශිල්පීන්ට කිට්ටුම බලධාරියා වන හඬ කැවීම් අධ්‍යක්ෂවරුන්ගෙන් ගෙවීම් ප්‍රමාද වීම ගැන විමසූ විට ලැබෙන්නේ එවැනි පිළිතුරුය. ඒ දම්වැලේ කෙරවලේ සිටින්නේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ය. හිමිකරුවන්ය.

වැඩසටහන් නිෂ්පාදකවරයා ශිල්පීන්ගේ ගෙවීම් පිළිබඳ ප්‍රශ්නය එතනින් ඉහළට ගෙන ගෙනයන්නට උත්සාහ කරන්නෙක් නම්, ඔහුට ලැබෙන්නේ ‘පේමන්ට් ඉල්ලලා කරදර කරනවානම් කරදර නොකරන අය සම්බන්ධ කර ගන්න.’ වැනි පිළිතුරකි.

‘මම වෘත්තීයක් විදිහටම රේඩියෝ නාට්‍යය චරිත හා රූපවාහිනී වැඩසටහන්වල හඬ කැවීම තමයි කරන්නේ. මම හැකි පමණ සරලව තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. නැත්නම් අමාරුයි. නමුත් අපටත් මුදල් අගහිඟකම් ඇති වෙන අවස්ථා තියෙනවා. එහෙම වෙලාවකට අපිත් අසරණ වෙන වෙලාවල් තියෙනවා. ගෙවීම පිළිබඳව නිසි වැඩ පිළිවෙලක් හැදෙනවා නම් වටිනවා.’

ඒ ජ්‍යේෂ්ඨ ගුවන් විදුලි හඬ නිළියක් හා රූපවාහිනී හඬ කැවීම් ශිල්පිනියක් වන සන්ද්‍යා රඹුක්කනගේ මහත්මියගේ හඬයි.

එක්තරා මාධ්‍ය ආයතනයක් හඬ කැවීම් සඳහා ගෙවන මුදල අඩු කිරීමට තීන්දුකර, තීන්දු කළ දින වන විට මාස හයකට, අවුරුද්දකට වැඩි කාලයක් පොරොත්තු ලේඛනයේ තිබූ ගෙවීමවලටත් තීන්දුව බලපවත්වන පරිදි කටයුතු කොට තිබිණි.

‘සාමාන්‍යයෙන් ජනවාරි මාසේ විකාශය කෙරෙන වැඩසටහන්වල හඬ කැවීම් කටයුතු සිද්ධ වෙන්නේ සැප්තැම්බර් මාසේ. ඒවායේ ගෙවීම් හැදෙන්නේ පෙබරවාරි මාසේ. අප්‍රේල් මාසේ මේක අනුමත වෙන්න දාපුවහම අනුමැතිය ලැබිලා චෙක් එක ලෑස්ති වෙලා එනකොට සමහර විට මාස හයක පමණ කාලයක් ගත වෙනවා. ඒවා අතරින් යම් අතපසු වීම් වෙලා අවුරුද්දක් විතර පරක්කු වෙන අවස්ථාවල් තියෙනවා. එෆ්.එම්.වල සතියේ දවස් පහේම යන නාට්‍යයක් නම් කලින් සතියේ අවසාන ඉරිදා ශිල්පීන් ටික ඔක්කෝම කැඳවලා සතියෙම නාට්‍යය ටික පටිගත කරගන්නවා. ඒ කියන්නේ සතියෙන් ඒ ටික විකාශනය කෙරෙනවා. ඒවායේ මුදල් මාස දෙකක් වගේ කාලයක් ඇතුළත ලැබෙනවා.

මම ආයතනය තුළත් එළියෙත් වැඩ කරනවා. ඇත්තටම ගෙවීම් කරන්න විධිමත් ක්‍රමයක් දහන්න පුළුවන්. රේඩියෝවල මාසෙන් ගෙවීම් කරනන පුළුවන්. රූපවාහිනී නාලිකාවල හඬ කැවීම් ක්‍රියාවලිය ටිකක් සංකීර්ණයි. ඒ නිසා හඬ කැවීම් සඳහා කරන ගෙවීම්වලට මාස තුනක විතර කාලයක් ගතවෙන්න පුළුවන්. මෙච්චර ක්‍රමවේද තියෙන ආයතන ඇතුළේ මේ පොඩි වැඬේට ක්‍රමවේදයක් නැතිවීම අසාධාරණයක්.’

එසේ කීවේ තම අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ ප්‍රධාන මාධ්‍ය ආයතනයක වැඩසටහන් නිෂ්පාදකවරයෙකි.

කලකට ඉහතදී මේ ප්‍රශ්නය මූලික කරගනිමින් පුද්ගලික නාලිකාවකට එරෙහිව විශාල විරෝධතාවක් ඇති වන්නනට ගිය අවස්ථාව මගහැරුණේ ජ්‍යේෂට ශිල්පීන්ගේ මැදිහත්වීම නිසාය. නමුත් දශකයක කාලයකට පසුව නැවතත් ප්‍රශ්නය උග්‍ර මට්ටමට පැමිණ තිබේ.

බොහෝ ශිල්පීන් තම වෘත්තීය අයිතිවාසිකම වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කිරීමට මැලි වන අප දුන් දුරකථන ඇමතුම්වලට ලැබුණු පිළිතුරුවලින් පෙනෙන්නට තිබිණි. ඒ අපේ ලංකාවේ හැටිය. කවුරුන් හෝ අරගල කර අයිතීන් දිනා දෙන්නේ නම් ඔවුන්ගේ අකමැත්තක් නැත. ඒ නිසා එක් පැත්තකින් විද්‍යුත් මාධ්‍ය ආයතන පාර්ශවයෙන් ගුවන් විදුලි හඬ නළු, නිළියන්ගේ හා රූපවාහිනී වැඩසටහන් හඬ කැවීම් ශිල්පීන්, ශිල්පිනියන්ගේ ගෙවීම් සාධාරණ කාලයක් තුළ ගෙවීමට ක්‍රමවේදයක් ඇති කිරීමේ අවශ්‍යතාවය දරුණුවට තිබේ. මාධ්‍ය ආයතන ප්‍රධානීන් මේ කාරණය සම්බන්ධයෙන් සංවේදීත්වයක් දක්වන්නේදැයි අපි බලා සිටිමු. අනෙක් පැත්තෙන් තම අයිතිවාසිකම් ජයගැනීම සඳහා ශිල්පීන් හා ශිල්පිනියන් සංවිධානගත වීමේ අවශ්‍යතාවය දරුණුවට තිබෙන බව කිව යුතුය.■

ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර