කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, දර්ශන් මුණිදාස් එකතුවෙලා තමයි ‘මිනිස්ටි‍්‍ර ඔෆ් ක‍්‍රැබ්’ රෙස්ටුරන්ට් එක පටං ගත්තේ. මට මතක විදිහට ආසියාවේ හොඳම රෙස්ටුරන්ට් 50 අතරට ගිය එකම ලංකාවේ රෙස්ටුරන්ට් එක තමයි මේ කකුළු මිනිස්ටි‍්‍රය. මුහුදු ආහාරවලට ප‍්‍රසිද්ධ මේ රෙස්ටුරන්ට් එක නමේ විදිහටම කකුළු දීසිවලට තමයි ප‍්‍රසිද්ධ. රුපියල් 6000 ඉඳලා රුපියල් 39000ක් විතර වෙනකම්, ‘අම්මේ’ කියවෙන ගණන්වලට කකුළුවෝ ඉන්නවා මේ රෙස්ටුරන්ටුවේ. ඒ එක එක ක‍්‍රමයට රෙසිපිකරණය වෙලා.

එක එක රසට එක එක පැහැයට එක එක අඩුම කුඩුම එක්ක මාත්තුවෙලා තෙම්පරාදු වෙලා බේක් වෙලා චොප් වෙලා මොක වුණත් මේ ඉන්නේ ලංකාවෙ කකුළුවෝම තමයි. සිංගප්පුරුව වගේ මුහුදු ආහාර ජනප‍්‍රිය තැනකට ගියාම සිලෝනය මිනිස්සු අඳුනගන්නේ මේ කකුළු මතකයෙන්. ඒ තරමට මඩ කොළපාට මේ කළපු කකුළුවෝ ලෝකේ පුරාම දිවවල් රසින් ඇද කරනවා. ඉතිං කකුළු මිනිස්ටි‍්‍රයට ගිහිං ග‍්‍රෑම් 500කවත් කකුළුවෙක් එහි අඩුම මිලට ඒ කියන්නේ රුපියල් 6000කට විතරවත් කන්න වත්කමක් නැති අපි වගේ අයට කොරන්න පුළුවන් නොමිලේ කන්න පුළුවන් අහක් හොයාගෙන ඇහැක් විදිහට යන එක. රස කියන්නේ දිවේම දිගුවක්. රස කියන්නේ සංස්කෘතික දෙයක්. එතකොට කකුළු මිනිස්ටි‍්‍රයේ කකුළුවෝ කනවා වගේ නෙවෙයි ආයිබොවන් වෙන අහක ගිහිං කකුළුවෝ කෑම. ඒත් ඉතිං සල්ලි නෑ කියලා වැඬේ අතාරින්න බෑ. රජ්ගම කළපුව කකුළුවන්ට ප‍්‍රසිද්ධයි කියලා මගේ මිත‍්‍රයෙක් නිතරම කියනවා. ඒත් තවම එහේ යන්න බැරිවුණා. ඒ අස්සේ රූපවාහිනී නාලිකාවක් පෙන්නුවා කළපුවෙන් කකුළු පැටව් අල්ලාගෙන ඇවිත් වැවක දාලා කන්න බොන්න දීලා බලා හදාගෙන ලොකු මහත්කරලා විකුණලා ගතමන්ට් එකක් සොයාගන්න දිරිය කොල්ලෝ සෙට් එකක්. ඉතිං ඒකත් එක්ක කකුළුවෝ කෑමේ ආසාව දෙගුණ වුණා. ඔන්න ඉතිං කකුළුවෝ හොයාගෙන ඇදේට නෙවෙයි කෙලින්ම ගියා පානමට.


පානම කියන්නේ එක විදිහක ගමක්!! අම්මෝ ඉතිං දිවට රස දෙන්න මෙහෙම ගමක්. දඩ මසේ ඉඳලා රස තමයි. තුනපහ මිරිස් උනත් හදා කොටා ගන්නේ ගෙදරමයි. ගෝඩාක් මාළුව (කරි වර්ග* කිරට කිරේ තමයි. ඉතිං රහයි. ඒක වෙන කෙළියක්. කොහොම හරි පානම පුංචිරාළ සෝමසිරි එක්ක සෙට් වෙලා හැන්දෑකරේ කළපුවට බැහැලා, බැහැලා කිව්වට ඔරුවට නැගලා රවුමක් ගිහිං සඳ මද්දහනේ කකුළුවෝ රස බලපු අතීතයක් ලියන්නයි මේ යන්නේ.
සඳ කළපුවට බහින්න ඔන්න මෙන්න හැන්දෑවක තමයි අපි ඔරුව දියත් කළේ. තුන්දෙනයි ඔරුවේ. පුංචිරාළයයි මායි තව එක්කෙනෙකුයි. කළපු දිය සරසරේට සින්දු කීනකොට අපි කිරල ගොමු අස්සෙන් අස්සෙන් කළපුවට මුහු වුණා. ඈතින් ‘පානම ලැගූන් විලා’ කියලා නාවික හමුදාව මිනිස්සු එළවලා අත්පත් කරගත්ත ඉඩම්වල හදපු හෝටලය මලානික එළියක් වීසිකරනවා. ඉතිං අපි ඔරුව ධීවරයෝ අස්සට අරං ගිහිං ඔවුන්ගේ ඔරුවලට එබෙනවා. මේක එක අතකට අහිංසක මංකොල්ලයක්!! ගොඩාක් ඔරුවල ඇතුල් වකේ දඩස් බඩස් ගගා උඩ පැන පැන නළියන මාළු ඉස්සෝ කකුළුවෝ අපේ ඔරුව ආවේ ඒ ධීවරයන්ගේ හිත හොඳ වැඩිකමටද කොහේද. හැවෝම හිනාවෙලා තමයි ඉතිං උන් අපිට විසි කළේ. පුංචිරාළේ කියන්නේ ඉතිං පානමට එසේ මෙසේ චරිතයක්යැ.


අන්තිමට අපි පානම කළපුව මැද ගල් තලාවට සෙට් වුණා. තවත් දෙතුන් දෙනෙක් ඔරු අරං ආවා. අපිත් එක්ක කයියක් ගහන ගමන් කකුළුවෝ කන්න. ගල මැද ගල් තුනක් තියලා පත්තු කරපු ළිපේ ගිනි හිනැහෙන්න වැඩි කාලයක් ගියේ නෑ. ඒ අස්සේ අනික් අය මාළු කකුළුවෝ ඉස්සෝ සුද්ද බුද්ද කළා. අඩුම කුඩුම හෙව්වා. කකුළුවෝ වෙනම. අනික මාළු කලවමට. අපි කළපුවට එනකොට පාන් අරගෙනයි ආවේ.


කකුළුවෝ සුද්ධ කරනකොට එකෙක් කියනවා ‘මෙයා හැව අරින්න ලෑස්ති වුණ කෙනෙක්.’ මම අහනවා කොහොමද එහෙම කියන්නේ කියලා. ‘මේ කහපාටට තියෙන්නේ’ කපාට මාංස කොටසක් පෙන්නනවා. ඒක මාර රහයි. උඩ කට්ට ගැලෙව්වා එහෙමම ඇතිලියට දැම්මා. ඊළඟට මිරිස් තුනපහ. සේරම දේවල් ගෙදරම හදාගත්ත රස. ඊළඟට පොල් කිරි. ඊළඟට අමු දිවුල්. නැත්තං ජූල්. දිවුල් දැම්මාම හොද්ද උකුයි. වෙනස් රහක් එනවා. සුළඟ, හොද්ද ඉදෙනකොට සුවඳ නහයට අරං එනවා. කස්ටිය පාන් කපනවා. ඒ අස්සේ අනික් ළිපේ කලවම් මාළු ඉස්සෝ ඉදෙනවා.


කකුළුවෝ හදනවා නම් කිරට කියලා තමයි අපේ අම්මලා කියන්නේ. ඒ උෂ්ණ ආහාරයක් කියලා. තවත් සමහරු මුරුංගා කොළ එකතු කරනවා. උෂ්ණය සමනය කරගන්න අපිට තියෙන ජනප‍්‍රියම ක‍්‍රමය. මම නම් ඕවා මොකවත් බලන්නේ නෑ. ඉස්සෝ දැල්ලෝ කකුළුවෝ බූවල්ලෝ මොකා මුලිච්චි වුණත් දෙනවා වැඬේ. පස්සේ ඉතිං ඇහැට එහෙම ඒක දැනෙනවා. තොල් පැලෙනවා නැත්තෙමත් නෑ. ඒත් ඉතිං මේ රහ දිවේ ගාගන්නේ නැතුව මක්කටෙයි!!


අපි හරි සීමිත ක‍්‍රම ටිකකින් තමයි කකුළුවෝ හදාගන්නේ. අනික අපි එක එක හේතු නිසා උන්ට හරියට වද දෙනවා. රහ මරනවා. ඒම හොඳ නෑ හරිද? ඒත් ඉතිං ආහාර ගැනීමත් කලාවකට කරන ජාතීන් එක එක සෝස් වර්ග එහෙම තවරලා කල් මරලා අරං බේක් කරලා එක එක රහට මේක හදනවා. කෑම ගන්න එක දුවන ගමන් කරන්න පුළුවන් මඟුලක් නෙවෙයි. ඒ හින්දා ආයි කකුළු මාංසයක් ලැබුණාම පොඞ්ඩක් අන්ත‍්‍රජංජාල ගතවෙලා රෙසිපියක් දෙකක් හොයාගෙන ලූණු ඇඹුල් ඇතුව කටට ගන්න එකයි තියෙන්නේ.


ලංකාවට වටේටම කළපුවල ඕසෙට කකුළුවෝ හිටියාට මේ කකුළුවන්ට ලෝකෙ පුරා ඉල්ලූමක් තිබුණාට අපි තාම කකුළු ෆාමින්වලට අත තියලා නෑ. රට වටේට මුහුද තිබුණාට අපිට මෙලෝ අලබෝලයක් මුහුදත් එක්ක නවීන විද්‍යාවට අනුව කරන්න තේරෙන්නේ නෑනේ. ඒකයි හේතුව. කවුරුහරි ඇම්මක් තියෙන එකෙක් කරන්න අත ගැහුවොත් නාරා වගේ ආයතනවල ඉන්න අය කරන්නේ ඒ උත්සාහය අල්ලලා මුහුදට විසිකරන එක. ඉතිං අපි අලූතින් සමුද්‍ර ආර්ථිකයක් ගැන හිතන්න ඕන කියන එකයි මේ කියන්නේ. අනික තමයි එකම විදිහට කාලා කාලා දිව මොට කරගන්නේ නැතුව නෙක නෙක ක‍්‍රමයට කාලා රහ හොයාගෙන යන්න කියලා තමයි මේ කියන්නේ. එක ගමනක් මාතර යාළුවෙකුගෙ ගෙදර ගියාම කකුළුවෝ කැබැලි කරලා කකුළු හොද්දක් උයලා තිබුණා. කිරට කිරේ. ඒක රහයි. ඒත් එහෙම කකුළුවා කොටලා මැල්ලූම් කළාම මාංසෙ රහ දිවෙන් ගිලිහෙනවා.


අපේ අම්මා ඉස්සර කකුළුවෝ උයන්නේ කළුපොල් මාළුව උයන්නැහේ. ඒකත් මාර රහයි. පොල් මිරිස් බැදලා. කිරි සුඟක් එක්කරලා. රස කලතලා. කරපිංචා ඉහලා, සුවඳ මුහුකරලා. උඩින් රට ලූණු රන්වන් පාටට බැදලා ඉහලා. ඉතිං එහෙමත් කකුළුවෝ කන්න පුළුවන්. ඉතිං කකුළුවෝ හොයාගෙන යන්න. කකුළුවෝ රහ තියෙන්නේ කකුළු මිනිස්ටි‍්‍රයේ විතරක් නෙවෙයි.x