චන්ද්‍රන් රත්නම්

ඔබ මැතිව් පීරිස් පියනම පෞද්ගලිකවම හඳුනාගෙන සිටි කෙනෙක් නේද?
ඔව්. එයා මගේ පියතුමා. මම එයාගේ පල්ලියේ හිටපු කෙනෙක්. අපේ ගෙදර නිතර ඇවිත් තියෙනවා. අපට ප්‍රශ්නයක් තිබුණාම එයාට තමයි කියන්නේ. අපේ අම්මා මැරුණාම එයා තමයි ඇවිල්ලා මිනිය වැහුවේ. එයාගේ හොඳ ලක්ෂණ ගොඩාක් තියෙනවා. කිසිම මනුස්සයෙක් ශාන්තුවරයෙක් නෙවෙයි. අපි හැමෝගේම අඳුරු පැති තියෙනවා. මේ අපරාධ සිද්ධවුණ කාලයේ මම ඇමෙරිකාවට ගිහින් හිටපු නිසා මෙහේ වෙච්ච දේවල් දන්නේ නැහැ. ඔහුගේ අඳුරු පාර්ශ්වය මම දැනගත්තේ පසු කාලයක. මම හිරගෙදරට ගියා චිත්‍රපටියක් හදන්න. එතකොට මෙයා එකපාරම ඇවිල්ලා මට හලෝ කිව්වා. මම පුදුමයෙන් ඔහුව වැළඳගත්තා. ඉන්පස්සෙ ඇහුවා වුණේ මොකක්ද කියලා. ඔහු සිදුවීම කිව්වා. මගෙන් ඉල්ලු‍වා ඔහු ගැන චිත්‍රපටියක් හදන්න කියලා. ඒ වෙද්දී එයා නඩුව ඉවරවෙලා මරණීය දඬුවම ලැබූ වැරදිකාරයෙක්. ඉතින්, මම නඩු ෆයිල් එක බලලා පිටපතක් ලිව්වා. ඒක දැකලා එයා කිව්වා, එයා නිවැරදිකාරයා විදියට පිටපත වෙනස් කරන්න කියලා. ඊට පස්සෙ එයා මාව බයකළා. මට කිව්වා එයා ගෝනුස්සෙක් වගේ කියලා. කවුරුහරි විරුද්ධ වුණොත් මම වලිගයෙන් දෂ්ට කරන බව කිව්වා. ඒ නිසා මම වැඬේ අත්හැරියා. පස්සේ කාලයක තමයි නිර්මාණය අවසාන කළේ.

මැතිව් පීරිස්ව ඔබ දැක්කේ කොහොමද?
ඔහුට අසීමිත සමාජ බලයක් තිබුණා. අසාමාන්‍ය කැරිස්මාවක් තිබුණා. කොතැනට හෝ ගියොත් එයා තමයි ලොක්කා. අනෙක් පැත්තෙන් මිනිස්සු ඔහුගේ ගුප්ත විද්‍යා බලය ගැන විශ්වාස කළා. කාගේ හෝ ඇඟේ යක්ෂයෙක් ඉන්නවායැයි කීවොත් එයා යනවා. ගුප්ත බලයක් තිබුණත් නැතත් එයා නිසා අවුල්වලින් මිදුණු අය හිටියා. ඒත් එයාගෙන් සුවය ලබපු ගැහැනු දරුවන්ව පාවිච්චි කරන්නත් එයා දෙපාරක් හිතුවේ නැහැ. මැතිව් පීරිස් කියන්නේ කපටි බුද්ධියක් තිබුණු කෙනෙක්. මිනිස්සුන් ලවා තමන් කැමති දේ කරවාගන්න හොඳට දන්නවා.

‘මැතිව්’ චිත්‍රපටියෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ ශාන්තුවරයෙක් ක්‍රමයෙන් යක්ෂයෙක් බවට පත්වූ හැටි නේද?
මගේ තේමාව වුණේ හැම තැනටම ගිහිල්ලා අනුන්ගේ යක්ෂයන්ව එළියට ගන්න ගියාම ඒ යක්ෂයා යන්නේ කොහේටද කියන එක. යක්ෂයෝ ඇත්තටම ඉන්නවාද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම කියන්නේ සංකල්පයක් විදියට. ඔහු මේ සමාජයේ හිටපු එකම යක්ෂයා නෙවෙයි. ඒත් ඔහු යක්ෂයන් ගැන හොඳට දන්නා කෙනෙක්. ඉතින්, ඒ ශාන්තුවරයා ඇතුළේ යක්ෂයා අනිවාර්යයෙන්ම ඉන්න ඇති. මිනීමැරුම් දෙකේදීම එයා දුන්න බෙහෙත්වලින් කෘත්‍රිමව සීනි ප්‍රමාණය අඩු කළ රෝගීන්ව කොළඹ මහ රෝහලට ඇතුළත් කළා. රෝහලේදී තමයි මරණ සිද්ධවෙලා තිබුණේ. ඒත් එයා රෝගීන්ව අරගෙන එකම වාට්ටුවට ගියේ නැහැ. එයා තමයි යන වාට්ටුව තේරුවේ. එයා තමයි වාට්ටුවේ ඉන්න ඕනෑ සේවකයන්ව තේරුවේ. එයා තෝරගත්තේ පුහුණු වෛද්‍යවරුන්ව. මාස හයයි ඒ වගේ කෙනෙක් රෝහලේ ඉන්නේ. ඉතින් මේ රෝගී න් දෙදෙනාගේ සම්බන්ධයක් තිබුණු බව හෝ මේවා මිනීමැරුම් බව කිසිවෙකුට අවබෝධ නොවෙන්නට ඉඩ තිබුණා. ඒත් පුදුමය කියන්නේ, එයාගෙ මිනීමැරුම් දෙක සිද්ධවුණේ මාස හතරහමාරක පරතරයක් ඇතුළේ. පළමු වතාවේ බෙහෙත් කරපු පුහුණු වෛද්‍යවරයා කොළඹ මහ රෝහලේම සේවය කරමින් හිටියා. අහම්බයෙන් වගේ මේ පුහුණු වෛද්‍යවරුන් දෙදෙනා පියනමක් විසින් ගෙනා, අසාමාන්‍ය විදියට රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වුණු රෝගියෙකු ගැන කතාබහ කළා. ඒක එහෙම වෙලා වෛද්‍යවරුන්ට සැකයක් ඇතිවුණේ නැත්නම් අදටත් මැතිව් පීරිස් පියනම ශාන්තුවරයෙක්.

මාව විනිශ්චය කාටවත් බැහැ, ඒක කළ හැක්කේ දෙවියන්ට පමණක්ය කියලා මැතිව් පීරිස් පියනම කිව්වා. උසාවියේ තීන්දුව දුන් මොහොතේ පවා කිව්වා. බයිබලයේ, මතෙව්ට අනුව කොටසේදී කියනවාලු‍ කිසි කෙනෙ ක්ව විනිශ්චය කරන්න එපා කියලා. ඒත් චිත්‍රපටිය‍ේදී ප්‍රේක්ෂකයන්ට මැතිව් පීරිස් කළ කී දේවල් පෙන්වමින්, ඔහු වරින් වර කළ යාඥා පෙන්වමින් ඔබ ප්‍රේක්ෂකයාව දෙවියන් බවට පත් කරනවා නේද?
ඔව්. මම උත්සාහ කළේ ඒක කරන්න තමයි. චිත්‍රපටියේ අවසානයේදී මරණ දඬුවම දෙන ආකාරය තියෙනවා තමයි. ඒත් මම ඔහු ගැන විනිශ්චයක් දුන්නේ නැහැ. විනිශ්චය සඳහා මම ප්‍රේක්ෂකයාට ඉඩ විවෘත කරලා තිබුණා. ඇත්තටම මට ප්‍රශ්නයක් තියෙනවා. මේ මිනීමැරුම් දෙක මැතිව් පීරිස් කළ අපරාධ අතරින් දෙකක් පමණයි. එයා කළ අපරාධ ගොඩාක් තිබුණා. එයා අතවරයට ලක්කළ ගැහැනු ළමයි ගොඩාක් හිටියා. එයා කවදාවත් බලවතුන්ගේ දරුවන්ට අත තියන්න තරම් මෝඩ වුණේ නැහැ. දිළින්දන්ගේ දරුවන්ට අත තිබ්බා. ඊට පස්සේ ඒ දරුවන්ගේ මාපියන්ව බයකළා. මේක ප්‍රසිද්ධ කළොත් දරුවාගෙන් ඉවත් කළ යක්ෂයා ආයෙත් දරුවාගේ ඇඟට එවන බවට තර්ජනය කළා. ඒවා මැතිව් පීරිස්ගේ බිරිඳ දැනගෙන හිටියා. ඔහුගේ පෙම්වතියත් දැනගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි. සම්පූර්ණ ක්‍රිස්තියානි සමාජය ඒක දැනගෙන හිටියා. ඉහළ බලවතුන් දැනගෙන හිටියා. ඇයි කිසිදෙයක් කළේ නැත්තේ? ඇයි තව තවත් දරුවන් මේ යක්ෂයාට පිදුවේ? ඇතැම් වෙලාවට ඔහුම දන්නේ නැහැ තමන් කවුද කියලා. ඇත්තටම අපි දන්නේ නැහැ අපි කවුද කියලාවත්. ඉතින් අපි ඔහුව විනිශ්චය කරන්නෙ කොහොමද?
මැතිව් පීරිස් පියනමක් නිසා ඔහුට මුක්තියක් ලැබුණා. මේවා ගැන කලින් කතාකළා නම් අපරාධ ගොඩාක් නවත්වන්න තිබුණා. අනෙක මැතිව් පීරිස් වගේ අය ක්‍රිස්තියානි ආගමේ විතරක් නෙවෙයි. බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික හැම තැනම ඉන්නවා. පොඩි ළමයින්ට, කාන්තාවන්ට තමන්ගේ ආගමික ලෝගුව පාවිච්චි කරමින් අපරාධ කරනවා. චිත්‍රපටියේ එක් තැනක මැතිව් පීරිස් පියනම කියනවා මම දෙවියන්ගේ මිනිහෙක් කියලා. එතකොට කෙනෙක් කියනවා ඔයාව එතැනට පත් කළේ දෙවියන් විසින් නෙවෙයි නේද කියලා. දෙවියන්ට, බුදුන්ට මුවා වෙලා මේ යක්කු අපේ ළමයින්ට මොනවාද කරන්නේ.? ඒවා ගැන කතාකරන්නේ නැත්තේ ඇයි? මගේ බිරිඳ බෞද්ධ. මම ක්‍රිස්තියානි. අදත් මම පන්සල්, පල්ලි යනවා. මට අදත් භක්තිය තියෙනවා. ඒත් භක්තිය නිසා මේ වගේ අපරාධයකට ඉඩ ලැබෙන්නේ නැහැ. ඔහුට මිනීමැරුම් දෙකක් කරලා ආරක්ෂා වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් හැදුණේ ඒ නිසායි.

මේ චරිතයට ජැකලීන්ව තෝරාගත්තේ ඇයි?
අපි නළුනිළියන් තෝරාගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනෑ. මම ජැකලීන්ගේ ජනප්‍රිය හින්දි චිත්‍රපටි දැකලා තියෙනවා. මම හිතුවා මේ වගේ අයට තමයි හොඳ නාට්‍යමය චරිතයක් දෙන්න ඕනෑ කියලා. චරිතයට එයාගේ රූපය ගැළපුණා. ඒ චරිතය ප්‍රසන්ට් කරන්න පුළුවන් ඒ වගේ රූපයකින්. ඒක හැම තැනටම අදාළ නැහැ. මම අලිමංකඩ චිත්‍රපටියෙදී ජනප්‍රිය, ලස්සන නළුවන්ව ප්‍රතික්ෂේප කළා. ඇත්තටම ඒ කාලේ හිටපු ලංකාවේ ජනප්‍රිය, ලස්සන නළුවෙක්ව මගේ චරිතයකට ගන්න ඕනෑ වුණා. එයා හරිම කඩවසම්. මම එයාව ඉන්ටවීව් කළා. ඒත් මම පස්සේ කිව්වා ඔයා මගේ චරිතයට ලස්සන වැඩියි කියලා. අලිමංකඩට එයාව ගන්නවා නම් කැත කරලා තමයි ගන්න වෙන්නේ.
නැත්නම් ප්‍රේක්ෂකයාට දැනෙන්නේ මේ අහවල් නළුවා කියන එකයි. චිත්‍රපටියේ චරිතය වෙච්ච හමුදා නිලධාරියාව අමතක වෙනවා. මම ප්‍රධාන කාන්තා චරිතයට ගත්තේත් සුරංගා රණවක. ඇය ඒ කාලයේ මගේ කාර්යාලයේ වැඩ කරමින් හිටියේ. මම සංගීතා වගේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්ව ගත්තා නම් මිනිස්සු හිතයි අන්න සංගීතා එනවා කියලා. ඒත් සුරංගාව තිරයේ දකිද්දී ඇය දෙමළ කෙල්ලෙක් මිසක් වෙන කවුරුවත් නෙවෙයි. නළුනිළියන් තෝරාගැනීම ප්‍රේක්ෂකයන් එක්ක ගනුදෙනු කිරීමේදී වැදගත් දෙයක්.

ඔබ අපෙන් ඉල්ලු‍වා අපි මේ කතාකරන කාමරයේ තියෙන සම්මාන හැර වෙන ඕනෑ දෙයක ඡායාරූප ගන්න කියලා. ඔබ සම්මාන ගැන ඇල්මැරුණු උනන්දුවක් දක්වන්නේ ඇයි?
සිනමාකරුවාගේ වැඬේ ප්‍රේක්ෂකයාව අල්ලන එකයි. සම්මාන ගන්න එක නෙවෙයි. සම්මානයක් ගැනීම ද්විතීයික වැඩක්. මගේ දර්ශනය තමයි ප්‍රේක්ෂකයා දෙවරක් බලන විදියට චිත්‍රපටියක් හදන්න ඕනෑ කියන එක.

ඔබ වෙළෙඳපොළ සහ චිත්‍රපටිය අලෙවි කිරීම ගැන හිතන කෙනෙක්. ඉංග්‍රීසි භාෂාවෙන් කරන චිත්‍රපටියකින් ලාභ ලබන්න පුළුවන්ද?
මම මේ චිත්‍රපටිය ඇමෙරිකාවේ චිත්‍රපටි ශාලා 12 ක තිරගත කරනවා. එතැනින් තමයි ඇත්තටම මගේ ආදායම එන්‍නේ. මම ඉංග්‍රීසියෙන් චිත්‍රපටියක් කළාම ලොකු ආදායමක් හොයනවා. ලංකාවෙ වෙළෙඳපොළෙන් ලොකු ආදායමක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ චිත්‍රපටියක් කරලා මුදල් හම්බකරන්න පසුබිමක් නැහැ. චිත්‍රපටි 50ක් පෙන්වුවොත් ඒවායින් කිහිපයක් විතරයි සල්ලි හොයන්නේ. කොහොම වුණත් මේ චිත්‍රපටියට නම් සිංහල ප්‍රේක්ෂකාග ාරයෙනුත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒත් මට ලංකාවෙදී හම්බකළත් නැතත් ලොකු ප්‍රශ්නයක් නැහැ. දැන් නම් මම සිංහල චිත්‍රපටි කරන්නේ මගේ ආසාව නිසායි. මම කැමතියි ඉංග්‍රීසි චිත්‍රපටියක් කරලා, අතරමැද සිංහල චිත්‍රපටියකුත් කරන්න. ‘මේ වගේ ආදරයක්’ කියලා චිත්‍රපටියක් මම කළා මීට කලින්. මැතිව් චිත්‍රපටියේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලබන සතියේ ඇමෙරිකාවට ගිහින්, ආයෙමත් ලංකාවට ආ ගමන් මම සිංහල චිත්‍රපටියක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පිටපත ලියලා ඉවරයි.

ඔබේ චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂවරුන් තෝරා ගැනීම අපූරුයි. අජිත් කුමාරසිරි, චිත්‍රාල් සෝමපාල වගේම මෙවර තෝරාගත්ත මොරිස් හේස් සංගීත අධ්‍යක්ෂවරයාත් ඔබේ චිත්‍රපටිවලට වෙනස් වර්ණ එකතු කරන්න සමත්වෙලා තියෙනවා නේද?
මේ වගේ ආදරයක් චිත්‍රපටියට චිත්‍රාල් කළ සිංදුව හරිම ලස්සනයි. මම දැකලා තියෙනවා මේ වෙද්දී ගොඩක් අය ඒ සිංදුව අහන බව. ඒ චිත්‍රපටියෙන් 50%ක වටිනාකම දෙන්න ඕනෑ සංගීතයට. අජිත් කුමාරසිරිත් ඒ වගේ දක්ෂයෙක්. සුරංගා රණවක තමයි මට අජිත් මුණගැස්සුවේ. මම ඔහුගේ කටහඬට හරිම ආස වුණා. ඒකයි ඔහු තෝරාගත්තේ. මම සංගීතය ගැන දන්නේ නැහැ. ඒ නිසා මට සංගීතය කරන්න කෙනෙකු තෝරාගැනීම ලොකු අභියෝගයක්. චිත්‍රපටි ක්ෂේත්‍රයේ ඕනෑම ඩිපාර්ට්මන්ට් එකක මම වැඩකරලා තියෙනවා. ඒ නිසා ඕනෑ පැත්තක් ගැන මට අදහසක් තියෙනවා. ඒත් සංගීතය ගැන මට දැනුමක් නැහැ. මට ඕනෑ වුණා මේ චිත්‍රපටියට පල්ලියේ සංගීතය එක්ක ගැටගැහුණ සංගීතයක් පාවිච්චි කරන්න. ප්‍රින්ස් කියලා ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායකයෙක් හිටියා. මෑතකදී ඔහු මියගියා. ඔහුට සංගීතය කළ මොරිස් හේස් කියන සංගීතඥයා මම මේ වැඬේට තෝරාගත්තා. මේ චිත්‍රපටියෙ වැඩ කළ හැමෝම ලාංකික හෝ ලංකාවේ සම්භවයක් තිබුණු අය. ඒත් මොරිස් හේස් විතරක් මට හොලිවුඞ්වලින් ගේන්න වුණා. ඒ සංගීතය කියන අභියෝගය ජයගන්නට.■