ජනවාරි 12 වැනිදා ලාල් අයියා හදිසියේ මෙන් නික්ම ගියේය.
රවී විසින් වත්පොතෙහි තැබූ සටහනක් දුටු අයකුගෙන් එය දැනගන්නා විට ඔහු පිටව ගොස් පැයක් හෝ දෙකක් ගත වී තිබුණා විය හැක. නමුත් ප්‍රභූ පත්තරකාරයකු නොවූ නිසා ප්‍රේමලාල් වෙඩික්කාර ගැන දීර්ඝ ගුණ සමරු වැණුම් කිසිත් නොලියැවුණු තරම් ය. ඒ නොලියැවුණු දෑ වැදගත් ඉතිහාසයක ්පංගුවකි. ඒ ඉතිහාසය අයිතිවන්නේ මරණයෙන් දරදඬු අතීත සමයක මෙළැවුණු දකුණේ යුක්තිගරුක සාමූහික අභිලාෂයන්ගෙන් පිටුබල ලැබූ මිනිස් වෑයම්වලට ය. ප්‍රේමලාල් වෙඩික්කාර ඒ මිනිස් ප්‍රයත්නයන්ගේ වැදගත් කොටස්කරුවෙකි. 1993 සැප්තැම්බරයේ දී මහර බන්ධනා ගාරයේ දී පහර දී මරා දැමූ ‘ලක්දිව’ පත්‍රයේ පිටු සැලසුම් කළ උදය කුමාර රණතුංග සහෝදරයාගේ අකල් මරණයෙන් පසු, ඒ භීම සමයේ ජීවිතය අනලස්ව බෙදාගත් සහෝදර පත්තරකාරයන්ගෙන් අප හැරගිය පළමුවැන්නා ප්‍රේමලාල් වෙඩික්කාර ය.
1990 පෙබරවාරියේදී පටන්ගත් ‘ලක්මිණ’ පත්තරය, ඊට පෙර පැවති ධවල භීෂණ සමයේ මිනිස් මාංශ පිළිස්සුණු ගිනිජල් දකුණේ වෙඩි දුමාරයෙන් නැගී ආ පළමු ෆීනික්ස් පක්ෂියා යැයි බොහෝදෙනා කල්පනා කළහ. ඒ ‘ලක්මිණ’ පත්තරයේ කුරුඳුවත්ත වාර්තාකරු වශයෙන් ලාල් අයියා වැඩ කළ බව මම පසුව දැනගතිමි. ඒ කාලයේත්, ඔහු පුරහල අසල ත්‍රීවීල් රථ ගාලෙහි රැඳී හයර් දිව්වාට සැක නැත. සති හතළිහක් පළ වූ ‘ලක්මිණ’, 1991 මුල් කාර්තුවේදී ඇන හිටියේය. එයින් වසරක් ඇවෑමෙන් පටන් ගත් ‘ලක්දිව’ පත්තරයේ පළමු පිටපත නිකුත් වූයේ 1992 ජනවාරි 26 වැනිදා ය. නමුත් කර්තෘ මණ්ඩල කටයුතු 1991 නොවැම්බරය වනවිටත් ඇරඹී තිබුණි. උසස් පෙළ ලියා දෙමසකින් පත්තර රස්සාවට ඇතුල් වූ මා ලාල් අයියා දැන හැඳින ගත්තේ ඒ නොවැම්බරයේදී ය.
ශ්‍රී ලංකාකාරයකු වූ ඔහු කලක් ‘දිනකර’ පත්තරයට ලීවේය. එවකට නීති විද්‍යාල ශිෂ්‍යයකු වූ ඩලස් හා ලාල් අයියා අතර යාලු‍කම දලු ලා වැඩෙන්නට ඇත්තේ ඩාලි පාරේ ගෙවීගිය ඒ දවස්වල විය යුතු ය. පළමුව ‘ලක්මිණේ’ත්, දෙවනුව ‘ලක්දිවේ’ත් කුරුඳුවත්ත වාර්තාකරු වූ ලාල් අයියා, ත්‍රී වීලරය දුවන අතරේ ප්‍රාදේශීය වාර්තා ලීවේ ඒ දැන හැඳුනුම්කම හරහා ය. බොරැල්ලේ සුපර් මාකට් සංකීර්ණයේ දෙවැනි මහල කෙළවරේ කුඩා කුටි දෙකක කොටු වූ ‘ලක්දිව’ කර්තෘ මණ්ඩල පරිශ්‍රය ඔහුගේ උස් සිනා හඬින් නිතර පිරී ගිය ඒ දවස් හරහා රාජ්‍ය භීෂණයේ දිගු අඳුරු සෙවණැලි වැටී තිබිණ. නමුත් ‘ලක්දිව’ යාවජීව සාමාජිකයකු වූ ඔහු බදාදා හවසට මුල්පිටුවේ පුවත් ලියන්නට ද සහාය වූයේය.
පත්තර දිවියට කලින්, කලක් මණ්ඩතිවු හා පරන්තන්හි රාජ්‍ය ඉංජිනේරු සංස්ථා වැඩබිම්වල නේවාසිකව වැඩ කළ ඔහු, ඒ නිසාම චතුරව දෙමළ බස කතා කළේය. යාපනයේ වීරසිංහම් ශාලාවේ වේදිකාගත වූ වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගයට සවන් දෙන්නට ආ දෙමළ ජනයා, සිංහල – දෙමළ සමගිය ගැන පබැඳුණු ඕලාරික ගීතයක් අවසානයේ නැගී සිට විනාඩි කිහිපයක් අත් පොළසන් දුන් ආකාරයත්, ජයවර්ධනගේ රාජ්‍ය මර්දන පිළිවෙත් හමුවේ අවිගත් තරුණ දේශපාලනය අර්ධද්වීපය සිසාරා ක්‍රමයෙන් පැතිර ගිය ආකාරයත් ගැන කතා මගේ මතකයේ පත්ලට කිඳා බැස්සේ ලාල් අයියාගේ සජීවී විස්තරයන්ගෙනි.
ජනාධිපති ප්‍රේමදාස, ආමර් වීදියේ එක්සත් ජාතික පක්ෂ මැයි දින පෙළපාලියේදී ඝාතනය වූයේ 1993 මැයි පළමුවැනිදා ය. ‘ලක්දිව’ සමස්ත කාර්ය මණ්ඩලයම සිය රැකියාවලින් ඉල්ලා අස් වී පාරට බැස්සේ මැයි 19 වැනිදා ය. මැයි 27 වැනිදා ‘අප ලක්දිවෙන් ඉල්ලා අස් වූයේ ඇයි?’ මැයෙන් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ මුළුදුන් පළමු රැස්වීම සාර්ථක කරගනු වස් සංවිධාන කටයුතුවලට දායක වූ ලාල් අයියා අප කැටුව සරසවි හා වැඩබිම්වලටත්, කලා – සංස්කෘතික ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගේ නිවෙස්වලටත් රෑ දවල් නොබලා දිව්වේය. සැප්තැම්බරයේ දී ‘හිරු’ පත්තරය ආරම්භ කරන තෙක් ලාල් අයියාගේ ත්‍රී වීලරය අපට තිබූ එකම වත්කම විය.
‘හිරු’ පත්තරය පටන්ගන්නට වෙහෙස නොබලා වැඩකළ සිව් මාසයක කාලයේ ආධාර වැඩසටහන් සම්බන්ධීකරණ කටයුතුවල මූලික වගකීම වැටී තිබුණේ උදිත ගයාෂාන්, විමල් වීරවංශ හා මගේ කර මතය. කඩවත පදිංචිකරුවකු වූ උදිත විඩාපත් දවස කෙළවර රෑ මැද හෝ ගෙදර ගියේය. නවතින්නට තැනක් නැතිව නොදන්වා රෑ මැද නිරාහාරව කඩා වදින විමල්ටත්, මටත් මැදියමේ නැගිට බත් බෙදා දෙන්නට කිසිවිටක නොපැකිළුණු තැන් දෙකක් කොළඹ තිබිණ. එකක් නුගේගොඩ ගම්සභා හන්දියට නුදුරේ ජීවත් වූ විනී හෙට්ටිගොඩ සහෝදරයාගේ නිවසේ ය. අනෙක, මාලබේ තලාහේනේ, සමගි මාවතේ ලාල් අයියාගේ කුඩා කුලී නිවසේ ය. ‘හිරු’ පත්තරය ආරම්භයේ සිට එහි ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ධූරය දැරූ ලාල් අයියා ත්‍රී වීලරයත් රැගෙන මුද්‍රණාලවලත්, මහපාරේත් රස්තියාදු වූයේය. කොල්ලු‍පිටියේ පහළොස්වැනි පටුමගේ පිහිටි පළමු ‘හිරු’ කාර්යාලයේ, සංජීවගේ කවටකම් ගහන පරිගණක කාමරයේ රැ මැදක් වනතුරු ඔහුගේ සිනා හඬින් පිරී තිබුණේ ඒ කාලයේ ය.
1995 මැද භාගය වනතෙක් ‘හිරු’ හා එක්ව සිටි ලාල් අයියා පසුව ඉන් මඳක් දුරස් විය. අන්‍යෝන්‍ය අනවබෝධයන් විසින් ඇතිකළ සිත් රිදීම් ගහණ සමයක ඈත් වූ ලාල් අයියා වෙනත් පුවත්පතක් හෝ දෙකකට දායක වූ කෙටි කාලයකින් පසු යළිත් පුරහල අසළ ත්‍රී රෝද ගාලේ නිත්‍ය සාමාජිකයෙක් විය. පැරණි මිතුදම් කිසිවිටක අමතක නොකළ ඔහු හමු වූ හැම විටකම ‘බඩ ගිනි’දැයි විමසා ප්‍රත්‍යන්ත ඔසු පැන්හලට බලෙන් කැටුව ගොස් කොළ කැඳ රැගෙන දුන්නේය. නැතහොත් යාබද කුඩා කඩයෙන් තේ ඇණවුම් කොට ත්‍රී වීලරයටම වී පිළිසඳරේ යෙදුණේය. 2006 නොවැම්බරයේ මැද අඳුරු වැසිබර සන්ධ්‍යාවක පුංචි බොරැල්ල මංසන්ධියේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් කාර්යාලයට යන්නට කැනීස් අවන්හල ඉදිරිපිටින් පාර පනින විට ලාල් අයියා හමු වූ බව මට මතක ය. ත්‍රී රෝද රිය මග අයිනක නවතා, රූටා වැටෙන කලිසම සුපුරුදු පරිදි උඩට අදිමින් ලාල් අයියා අඳුරේම දිව ආවේය. රෑ ගමන් බිමන් ගැන දොස් කී හේ ගිහින් ඇරලවන්නට යන තැනක් කියන්නැයි බල කළේය. ඒ අවසන් වතාවට ය.
ඉකුත් ජූලි මාසයේ දී දුරකථනයෙන් ඇමතූ විට හේ හැඟු‍ම්බර හඬින් දෙපැයක් පමණ කතා කළේය. කියා නිම නොවූ තතු කතා කරන්නට යළිත් කතා කරන්නෙමැයි මම පොරොන්දු වීමි. මෑත දී ඔහු දිනමිණට ලියූ තීරු ලිපි කියවා බලන්නැයි හේ මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේය. නමුත් නොවැම්බරයේ අග දී ලාල් අයියා බරපතළ ලෙස ගිලන් වී ඇතැයි මා දැනගත්තේ පැරණි මිතුරු සුදත් ලියා එවූ පණිවිඩයකිනි. රෝගී තත්ත්වය ගැන නොදන්නා සේ කතා කරන්නැයි සුදත් ඉල්ලා තිබිණ.
‘ජීවත්වීමේ හේතුව, දිගු මරණයක ගැලීමට සූදානම් වීම’ යැයි විලියම් ෆෝක්නර්ගේ As I Lay Dying’ හි ඇඩී බන්ඩ්‍රන්ගේ කෙටි ස්මරණයන් අතරේ කියැවේ. දෙසැම්බර් මාසයේ අවසන් වරට කතා කළ ලාල් අයියා ඒ දිගු මරණයට කෙතරම් සූදානම්ව සිටියේදැයි මම නොදනිමි. දෙසැම්බර් 9 වැනිදා මා හා කතා කළ ඔහු විටෙක හැඬුවේය. විටෙක කවටකම් කොට සිනහසුණේය. දේශපාලන තත්ත්වය ගැනත්, අතීත මිතුදම් ගැනත් ශෝකයෙන් කතා කළේය. ඒ සමය දිවියේ හොඳම කාලය යැයි දුක්බර ප්‍රීතියකින් ස්මරණය කළේය. 2011 ජූනි මාසයේ දී යළි හමු නොවන බව දැන දුරකතනයෙන් තාත්තාගෙන් සමුගත් පරිද්දෙන්ම, මේ දෙසැම්බරයේදී මම ලාල් අයියාගේ කටහඬ පෑරුණු හදින් විඳ ඔහුගෙන් සමුගතිමි. ඒ ඔහුට ඒ බැව් නොකියා ය.
මතුයම් දිනක අගනුවර නිදහසේ යන්නට අහම්බෙන් හෝ ඉඩක් ලදොත්, බෞද්ධ කාන්තා විදුහල අසළින් හිස පොවා 201 – 5005 ත්‍රී වීලරය ඇතිදැයි බලා බසයෙන් බසින්නට දැන් ඉඩක් නොලැබේ. ඒ ඔහු නැති නිසාවෙනි.
පසමිතුරුතාවන්ට වඩා ජීවිතය විශාල ය. පසමිතුරුකම් ජීවිතය කොටගත්තෝ ඒ රහස නොදනිති. ලාල් අයියා අයිතිවන්නේ ඒ විසල් ජීවිතයට ය.
සමාජ යුක්තිය පිළිබඳ නොතිත් අපේක්ෂාවන්ගෙන් මෙළැවුණු ’89 සංහාරයෙන් පසු එළැඹී ගෙවී ගිය අතීත දිවිය, අඳුරේම බිඳුණු පළිඟු‍වක් බඳු ය. තැවුල්පත් සිතින් හැරී බලා විඳිය යුතු සොඳුරු දුක්බර මතක අංශු විසිරුණු පළිඟු‍ කැබලිති මෙන් ඒ අඳුරේත් දිදුලයි. ලාල් අයියා පිළිබඳ මතකය ඒ වන් පළිඟු‍ අංශුවකි; නිමක් නැති මතක අඳුරේ පවා දිදුලන, කිසිකලෙක නොනිවෙන ආලෝක තිතකි.■

රෝහිත භාෂණ අබේවර්ධන