කොවිඩ් උත්සන්න කළ ආහාර අර්බුදය

සුමටව ක්‍රියාත්මකව තිබුණු යමක් අපගේ අවධානයට ලක් වන්නේ එය බිඳ වැටුණු විට ය. 1980 ගණන් දක්වා අපගේ පැවැත්මේ කේන්ද්‍රීය මෙවලමක් වූ සලාක පොත අහෝසි වීමෙන් පසුව ශ්‍රී ලාංකික පාරිභෝගිකයනට ආහාර සපයා දුන් සැපයුම් දාමයනට බරපතළ හානි සිද්ධවුයේ කොවිඩ් 19 වෛරස ආසාදනය පාලනය කිරීම සඳහා කෙටි දැනුම් දීමකින් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම නිසාය.

රජය විසින් මෑතක දී වසා දමන ලද ශ්‍රී ලංකාවේ විශාලතම තොග වෙළෙඳපොළ වන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ලර්න් ඒසියා ආයතනය 2006 සිට ශ්‍රී ලංකාවේ පලතුරු සහ එළවළු සැපයුම් ජාල පිළිබඳ අධ්‍යයනයක යෙදී සිටියාය. වසාදැමීම් සිදුවීමට පෙර අතිරික්ත සැපයුම් ගැන, නොවිකුණුනු  බවබෝග කැලෑවට විසි කිරීම් ගැන, සාම්ප්‍රදායික වෙළෙන්දන් සූරාකන අතරමැදියන් බවට චෝදනා සහ තමන්ගේ ම අතරමැදියන් ඔවුන් වෙනුවට ආදේශ කිරීමට දේශපාලනඥයන්ට අවශ්‍ය වී ඇති බවට ප්‍රතිචෝදනා ආදිය අසන්නට දකින්නට ලැබිණි.

අනෙක් අතට නිවෙස්වලට කොටු වී සිටි පාරිභෝගිකයන් පැමිණිලි කළේ සැපයුම් ලබාගැනීමට ඇති දුෂ්කරතා ගැන මෙන් ම සමහර අවස්ථාවල අඩු ගුණාත්මක බව සහ ඉහල මිල පිළිබඳව ය. මේ ප්‍රශ්නවලට ආණ්ඩුවේ ප්‍රතිචාර වූයේ විකුණාගත නොහැකි එළවළු ගොවීන්ගෙන් මිල දී ගෙන ආණ්ඩුවේ ආයතන මගින් බෙදා හැරීම  වැනි කෙටි කාලීන උත්සාහයන් ආදියයි. මෙම වාතාවරණය තුළ අලුත් සැපයුම් දාම ගොඩනැගීම දුෂ්කර විය.

ඉතා සංකීර්ණ සහ දියුණු ආහාර සැපයුම් දාම ඇති ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන හිඟවීම් හා බෙදීමේ ප්‍රමාදයන් සැලකිල්ලට ගත්විට පෙනී යන්නේ මෙම මට්ටමේ කම්පනයක් ඉදිරියේ කිසිම ආහාර සැපයුම් දාමයක් සියයට සීයක් ඔරොත්තු දෙතැයි සිතීම යථාර්ථවාදී නොවන බව යි. කාර්යක්ෂම සැපයුම් නිසා ආහාර සැපයුම් දාම ඉතා දිගට පැතිරී තිබීමත් දේශසීමා හරහා ගමන් කිරීමත් තිබිය දී වුව ද පද්ධතිය සහමුලින්ම බිඳ වැටී නැත.  කොවිඩ් අගුළු දැමීමට ලක් වූ ඉන්දියාවේ වෙරළබඩ ප්‍රාන්තවලට පිසුම් තෙල් ජාත්‍යන්තර සැපයුම් ජාල මගින් දේශීය ජාලවලට වඩා පහසුවෙන් ලබාගත හැකි වූ බව වාර්තා වී තිබේ.

කොවිඩ් කම්පනය ආහාර සැපයුම් ජාලවලට විවිධාකාරයෙන් බලපා තිබිය හැකි ය. කාර්යක්ෂම ගබඩා සහ සැපයුම් දුර්වලතා නිසා නිවාසවලට බඩු බෙදාහැරීම අඩුපාඩු සහගතවීම, විශේෂිත අංශවල ඉල්ලුම අඩුවීම (උදාහරණයක් ලෙස සංචාරක හෝටල්වලින් හා ආපන ශාලාවලින්  ඉහල ප්‍රමිතියක් සහිත එළවළු පලතුරු සඳහා තිබුණු ඉල්ලුම එක්වරම අහෝසි වීම), මුදල් පිළිබඳ අවිනිශ්චිතතා නිසා අරපිරිමැස්මට යොමුවීමෙන් සාමාන්‍යයෙන් ඇතිවන ඉල්ලුම අඩුවීම, විද්‍යුත් වාණිජ්‍යයේ අසාර්ථකවීම්, අපේක්ෂිත ගුණාත්මක බව  හා මිල ලබාදෙන වෙළෙඳුන් සොයා ගැනීමට හා ඔවුන්ට  ඇණවුම් ලබාදීමට  පාරිභෝගිකයන් දක්වන නැඹුරුව නිසා විශේෂයෙන් ඇතිවන දුෂ්කරතා මෙන් ම සේවක හිඟය, ප්‍රවාහන ප්‍රශ්න, අමු ද්‍රව්‍ය හිඟයන් සහ ප්‍රමාදයන් නිසා සැපයුම් ජාලයේ නිෂ්පාදකයාගේ පැත්තෙන් ඇතිවන බිඳවැටීම් ආදිය එයට හේතු විය හැකි ය.

කොවිඩ්වලට පෙර ද කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තත්ත්වය ඉතා හොඳට තිබුණේ නැත. වගාකරන්නෝ දුප්පතුන්ව සිටියහ. සැපයුම මෙන් ම මිල ද අනපේක්ෂිත ලෙස උච්චාවචනය විය. සැපයුම් දාම පුරාම අපතේ යාම බරපතළ ලෙස තිබිණි. අතරමැදියන්ට සේවය කළ අයගේ රැකියා අනාරක්ෂිත වූ අතර ඔවුන්ට ගෙවීම් කරන ලද්දේද ඉතා අඩුවෙනි. පාරිභෝගිකයන් දිගට ම සිටියේ නොසතුටිනි. සියලු දේශපාලන පක්ෂ ප්‍රශ්නය හඳුනාගෙන සිටි අතර වෙළෙඳපොළ සංවිධානයේ විවිධ අවස්ථා සඳහා විසඳුම් යෝජනා කරනු ලැබ ඇත. 2020 මැතිවරණ ප්‍රකාශන පිට වූ විට ආහාර සුරක්ෂිතතාව පිළිබඳව තවත් පොරොන්දු රැසක් අපට දැක ගත හැකි වනු ඇත. අඩුව තිබෙන්නේ විසඳුම් යෝජනාවල නොවේ. සපලව ක්‍රියාත්මක වන යෝජනාවලය.

නියෝග මත පදනම්වූ විසඳුම්

වසර දහයකට පමණ පෙර රාජ්‍ය කේන්ද්‍රීය විසඳුමක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යාලය එකඟ විය. එනම් වගා කොට ඇති වගාවන් හා අස්වනු පිළිබඳව ගම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් විසින් තොරතුරු රැස් කර වාර්තා කිරීමත් එම තොරතුරු මධ්‍යම වශයෙන් පරිපාලනය කරන දත්ත පද්ධතියකට එකතු කිරීමත් ය. නිලධාරීන් තීරණය කරන මට්ටමට  වැඩියෙන් වගා සිදුවන විට වෙනත් දෙයක් වවන ලෙස ගොවීන්ට නියෝග කිරීම හෝ වගාකිරීමට අවශ්‍ය බීජ ආදිය ලබා නොදීම මගින් රාජ්‍ය බලය පාවිච්චි කර ඉල්ලුම සහ සැපයුම තුලනය කිරීම මෙම විසඳුමේ හරය විය.

කලින් කලට අතිරික්ත ගොඩ ගැසීම සහ අලින්ට කන්න දීම  ගැන ලැබුණු වාර්තා මගින් පෙනෙන ආකාරයට මෙම උත්සාහය අසාර්ථක බව පෙනේ. ඒ කෙසේ වෙතත්, කෘෂිකර්ම පීඨ අටක පීඨාධිපතිවරුන් 2020 අප්‍රේල් 14 දින ජනාධිපතිතුමා වෙත යොමු කළ ඒකාබද්ධ ලිපියෙන් පෙන්නුම් කළ පරිදි “ඇතැම් එළවළු අධි නිෂ්පාදනය අධෛර්යමත් කිරීමට” රජයට හැකියාවක් ඇති බවට වන විශ්වාසය තුරන් කිරීමට මෙම අසාර්ථකත්වයට හැකි වී නැත.

හුදෙක් නියෝග මත පදනම්වූ විසඳුම් අසාර්ථක වන බව කල් තබා ම ඔප්පු වී තිබිණ. පැරණි සෝවියට් දේශයේ සහ චීනයේ දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කළ මෙම ක්‍රමය සහමුලින්ම අසාර්ථක විය. නිරන්තර භාණ්ඩ හිඟයට හා ඉඳහිට අධික සැපයුමකට මඟ පෑදු එමගින් ගොවියන්ගේ මෙන් ම පාරිභෝගිකයන්ගේද අවශ්‍යතා ඉටු වුණේ නැත. නියෝග දීමේ ක්‍රමය ලිහිල් කළ සැමවිට ම නිෂ්පාදනය ඉහළ ගියේ ය; ආදායම් වැඩි වුණේය; පාරිභෝගික අගහිඟකම් අඩු වුණේය.  නොබෙල් ත්‍යාගලාභී ෆෙඩ්රික් වොන් හයෙක් නියෝග දීමේ ආර්ථිකය අසාර්ථක වන බව න්‍යායික ලෙස ඔප්පු කළේ 1935 තරම් ඈත කාලයේ දී ය.

නියෝග මත පදනම් වූ ආර්ථික ආකෘතිය නියමාකාර ලෙස ක්‍රියාත්මක වීමට නම් ගොවීන් වගාකරන ප්‍රමාණය, නෙලා ගන්නා අස්වනු ප්‍රමාණය  (සහ ඒ අතර වාරයේ වගාවට සිදුවන පාඩු) පිළිබඳ නිරවද්‍ය වාර්තා නිලධාරීන් විසින් හෝ ගොවීන් විසින් වාර්තා කරනු ලැබිය යුත්තේ ය. එහෙත් නිලධාරීන්ට හෝ ගොවීන්ට නිවැරදි දත්ත නිසි ලෙස ඉදිරිපත් කිරීමට කිසිදු දිරිගැන්වීමක් නැත. ඇත්ත වශයෙන් ම දිරිගැන්වීම ඇත්තේ අඩුම කරදර සහිත හා අඩු ම ගනුදෙනු වියදමක් ඇති වන ලෙසට දත්ත වාර්තා කිරීම සඳහා ය. අඩුකර හෝ වැඩිකර දත්ත වාර්තාකිරීම සඳහා ද දිරිගැන්වීම් තිබිය හැකි ය. සියලු ම ගනුදෙනු විද්‍යුත් වේදිකාවක් මත සිදුවන කොටස් වෙළෙඳපොළේ මෙන් නොව ලංකාවේ කෘෂිකාර්මික තොග වෙළෙඳපොළවල මිල දත්ත අතින් එකතුකිරීම සිදුවන අතර ඒවායේ චේතනික හෝ අචේතනික වැරදි තිබීමට බෙහෝ ඉඩ ඇත. හයෙක් සහ පසු කලෙක පෝලන්තයේ කොමියුනිස්ට් රජයේ මුදල් ඇමතිවූ ඔස්කා ලෑං අතර 1930 ගණන්වල සිදු වූ විවාද මගින් පෙන්නුම් කළ පරිදි, දත්ත නිවැරදි වුව ද, ඒවා සැකසීම ඉතාමත් සංකීර්ණය; නිසි නිගමන ගැනීම අප්‍රායෝගිකය.

වෙළෙඳපොළ පාදක විසඳුම

ආහාර සැපයුමෙහි දැන් සිදු වී තිබෙන දුෂ්කරතාවලට හේතුව වෙළෙඳපොළෙහි අසාර්ථක බව යයි ආණ්ඩුවේ ඉහළ ම මට්ටම්වලින් ප්‍රකාශ වී තිබේ. තොරතුරු ගලායාමේ ප්‍රශ්නයක් පැහැදිලිව දැකිය හැකි වුව ද, එය අවශ්‍යයෙන් ම වෙළෙඳපොළ අසාර්ථක වීමක් නොවේ.

අස්වනු නෙලන්නේ අගෝස්තුවල නම්, ඒ අනාගත කාලයේදී ලබාගත හැකිවෙතැයි අපේක්ෂා කරන මිල ගණන් මත පදනම් ව මැයි මාසයේ කුමක් වගා කළයුතු දැයි තීරණය කිරීමට ගොවීන්ට සිදුවෙයි. අගෝස්තු මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම පිළිබඳ න්‍යාය අනුව ය. එම වගාවෙන් කොපමණ ප්‍රමාණයක් මැයි මාසයේදී විවිධ ගොවීන් පැල කළේද මෙන් ම එම එළවළුවට අගෝස්තු මාසයේ කොපමණ ඉල්ලුමක් තිබිය හැකි ද යන්න දැනගත යුතු ය. අනාගතයේ ඇතිවන ඉල්ලුමක් වගාකරුවකු තක්සේරු කරන්නේ කෙලෙස ද? පසුගිය අගෝස්තුවේ ලැබුණු මිල වැනි දෑ මත පදනම්ව තීන්දුව ගැනීමට ඇයට සිදුවෙයි. මෙම දැනුම එක් ගොවියකුට සුවිශේෂ වූවක් නොවේ. මෙම ආකාරයේ සැමටම පොදු දැනුම මත පදනම්ව වගාකිරීමේ තීරණ ගැනීමට වැඩි දෙනකු පෙළඹුණහොත් අගෝස්තුවේ දී අධික සැපයුමක් ඇතිවීම් සහ අතිරික්තය නිසා මිල පහළ වැටීම සහතික වනු ඇත.

අනෙක් අය වගා කරන්නේ මොනවාද යන්න ගැන විශ්වසනීය තොරතුරු ලැබෙන්නේ නම් වගාකරුවන්ට වඩා හොඳ තීරණ ගත හැකි වෙයි. තොරතුරු ලබා ගැනීමේ හොඳ ම ක්‍රමයක් වන්නේ අනාගත ගිවිසුම්ය. එහි දී විශේෂඥයකු විසින් ඉල්ලුම හා සැපයුම පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කොට අගෝස්තු සඳහා පොරොන්දු මිලක් අඩංගු අනාගත ගිවිසුම් ලබාදෙනු ඇත. දත්ත අසම්පූර්ණ නම් හෝ විශ්ලේෂණයේ අඩු පාඩු සිදුවුවහොත් ඔහුට පාඩු විඳින්නට සිදුවන්නේ එවිට වෙළෙඳපොළල් පවතින මිලට වඩා වැඩියෙන් ගෙවීමට සිදුවීම නිසා ය. මෙනිසා ඔහුගේ ගිවිසුම ගැන සහ එමගින් දෙන තොරතුරු ගැන වැඩි විශ්වාසයක් තැබිය හැක. අනාගත ගිවිසුම් වැඩි වැඩියෙන් ඇතිකර ගන්නා විට අධිසැපයුමක් ඇතිවීමේ තත්ත්වය ගැනුම්කරුට අවබෝධ වෙයි. එවිට අනාගත ගිවිසුම් සඳහා මිල අඩු වන අතර එමගින් වෙනත් වගා පිළිබඳව සලකා බැලීමට වගාකරුවන් පොළඹවනු ලබයි. ඉරිදා රුපියල් දාහට තිබු මිල සඳුදා පන්සීයට අඩු වුණ විට වෙළෙඳපොළ සංඥාව නිසි ලෙස ගොවියාට ලැබෙයි.

මෙම යාන්ත්‍රණය තුළින් බලහත්කාරයකින් තොරව ඉල්ලුම සමග සැපයුමෙහි ගැළපීම සිදුවෙයි. එය හොඳින්ම කළමනාකරණය කළ හැකි තැනැත්තන් විසින් අවදානම කළමනාකරණය කරනු ලබයි. ප්‍රශස්ත ප්‍රතිඵල සඳහා රක්ෂණ හා අනාගත ගිවිසුම්  ගනුදෙනු  ආදි අංග ද අවශ්‍ය වනු ඇත. අනාගත ගිවිසුම්වල වෙනත් ප්‍රතිලාභ ද ඇත. දැනට ඇති අවිධිමත් හා අක්‍රමවත් ණය ක්‍රම වෙනුවට කෘෂිකාර්මික ණය සඳහා ඇපකර වශයෙන් ද ඒවා භාවිත කළ හැකි ය.

අවශ්‍ය වෙළෙඳපොළ විසඳුම් සඳහා පෞද්ගලික ආයෝජකයන්ගේ අවධානය ලබාගැනීමට වසර ගණනාවකට පෙර අප දැරූ උත්සාහයන් අසාර්ථක වූයේ වෙනත් කරුණු අතර, ශ්‍රී ලංකාව තුළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ පවතින ගැටලු ද හේතුවෙනි. ගිවිසුම් අත්සන් කළද ඒ ආකාරයට පොරොන්දු ඉටු කිරීමට අප ගොවීන් මෙන්ම වෙළෙන්දෝද සමහර විට පසුබට වෙති. උසාවි ගොස් වැඬේ කරවා ගැනීමත් අමාරුය. 

තොරතුරු සැපයුමේ හිඩැස්  

තවත් හේතුවක් විය හැක්කේ වෙළෙඳපොළ තොරතුරු පද්ධතිවල පැවති ඌන සංවර්ධිත තත්ත්වයයි. කෘෂිකාර්මික වෙළෙඳපොළවල පැවති අතිවිශාල තොරතුරු හිඩැස් අපගේ පර්යේෂණ තුළින් හෙළිදරවු විය. අනාගත හා ඉදිරි වෙළෙඳ කටයුතුවල යෙදෙන තොරතුරු පිපාසයෙන් පෙළෙන වෙළෙඳුන් නොමැතිව, වගා  කොට ඇත්තේ මොනවාද?  කවදාද? ගුණාත්මකභාවය හා වෙළෙඳපොළ මිල ආදිය පිළිබඳ දත්ත මගින් හිඩැස් පිරවීම දිගට පවත්වාගෙන යාම අභියෝගාත්මක වන බව පෙනී ගියේ ය.

වගා (වගාකොට ඇත්තේ මොනවා ද? කවදාද? කොපමණක් ද?) අස්වනු හා මිල දත්ත ආදිය වෙළෙඳපොළ විසඳුම සඳහා අවශ්‍ය වෙයි. අත්සන් කොට ඇති අනාගත ගිවිසුම් පිළිබඳ තොරතුරු ද ක්ෂණිකවම වගේ අවශ්‍ය වෙයි. දිරිගැන්වීම අනුව ඔවුන්ගේ හැසිරීම වෙනස් වීමේ හැකියාව දිගට ම පැවතිය ද, ගොවියන් වගා කරන්නට යන්නේ මොනවාදැයි දැනගැනීමේ අවශ්‍යතාව අනාගත ගිවිසුම් විකුණන්නන්ට ඇත.

පවතින දත්තයන්ගේ අඩුපාඩුවලට හේතුවන්නේ හොඳ සැලසුම් යාන්ත්‍රණයක් නොතිබීමත්, ක්‍රියාත්මක ඉදිරි ගිවිසුම් සහ අනාගත ගනුදෙනු ක්‍රමයක් නොතිබීමත් ය. දත්ත සඳහා අඛණ්ඩ ඉල්ලුමක් නොමැති විට තිරසාර ලෙස පවත්වාගෙන යා හැකි දත්ත එකතුකිරීමේ හා විග්‍රහකිරීමේ ක්‍රමවේදයකට පැවතිය නොහැකි ය.

ශක්තිමත් එමෙන්ම ඔරොත්තු දෙන ආහාර සැපයුම් දාම ගොඩනැගීමට කුමන මාර්ගයක් තෝරා ගත්ත ද, දත්ත හිඩැස් සහ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු ය. ආහාර සුරක්ෂිතතාව සහතික කර ගත හැකි වන්නේ නියෝග දීමේ ආකෘතිය ගොඩ නැගීමට නැවත නැවත උත්සාහ දැරීමෙන් නොව මේ ආකාරයේ ඵලදායි ආයෝජනයන් මගිනි.