ඒකීය රාජ්‍යය පිළිබඳ සුපුරුදු ඊනියා දේශප්‍රේමී අඳෝනාව දසතින්ම ඇසෙයි. සිංහල භාෂාවෙන් සුමන්තිරන්ලාගෙන් කණ පැළෙන ප්‍රශ්න අසන ජාතිවාදී දේශපාලකයන් සේම මාධ්‍ය ද කරමින් සිටින්නේ ලේ වැගිරුණ ඉතිහාසය යළිත් එලෙසම වර්තමානය තුළට ගෙන ඒම මිස වෙන කුමක් ද? මෙරට ඉතිහාසය යනු කිසිවිටෙක අලුත් නොවන එකම ගැටලුවක් සමඟ ඒකපාර්ශ්වීය ලෙස ගලායන්නක් වීම අපගේ යුගයේ දී අත්විඳින්නට සිදුවන විශාලතම අභාග්‍යය වී තිබේ. ඉතිහාසය අර්ථ දැක්විය යුත්තේ ජනතාව විසින්ය. නමුත් මෙරට ඉතිහාසය ලිවීමේ අද්විතීය බලයක් හිමිකොට ගෙන සිටින පංතිය වන්නේ ජාතිවාදී ප්‍රභූන්ය. සාමාන්‍ය පන්තියේ දරුවන් යුද්ධයට බිලිකොට ඔවුන්ගේ රුධිරය මතින් අනෙකා බැහැර කරලීමේ වාර්ගික ආගමික ඉතිහාසය ලියන්නේ මෙකී ප්‍රභූ පන්තියයි.
ඔවුන්ගේ රාජ්‍ය ඒකීය වනවිට දිළින්දන්ගේ හා වාර්ගික සුළුතරයේ රාජ්‍ය පසුගාමී අගතීන්ගෙන් පිරුණු ආධ්‍යාත්මිකව හා භෞතිකව දරිද්‍ර කලාපයක් වී ඇති අතර, එය විදේශ කොල්ලකාරී ප්‍රග්ධනයේ යටත් විජිතයක්ව පවතී. නමුත්, ජාතිවාදයට අනුව අධිරාජ්‍යවාදී ගෝලීය ප්‍රාග්ධනය ට වඩා මෙරට ස්වෛරීත්වයට බලපෑම් කරන්නේ, ඔවුන්ට අනුව මෙරට දෙවන පුරවැසියන් වන, සුළු ජාතීන්ය.
අනෙක් අතට සංහිඳියාව වැනි වචන ජාතිවාදීන්ගේ ගැරහුමට ලක්වන්නේ බටහිර න්‍යායන් වශයෙනි. නමුත් සිංහල, දෙමළ හා මුස්ලිම් යන ප්‍රධාන ජාතීන් තුන එක්සත් කරන දේශපාලන ප්‍රකාශනයක නැතිනම් ව්‍යවස්ථාවක අවශ්‍යතාව යනු ජාතිවාදයෙන් බැටකෑ රටකට වැදගත් කරුණක්ය යන එකඟතාවට පැමිණීමට ප්‍රධාන පක්ෂවලට නොහැකිවීමම එම පක්ෂවල අභ්‍යන්තරික න්‍යායික එක්සත්කම පෙන්වන තත්වයකි. ඓතිහාසිකව අඩුවැඩි වශයෙන් එජාපය සහ ශ්‍රීලනිපය විසින් මෙරට ජාතිවාදී අර්බුදයට ඇද දමනු ලැබිණ. එම ජාතිවාදී දේශපාලනය නිසාම තට්ටු මාරු ක්‍රමයට බලයේ සිටීමට එම පක්ෂ දෙකට හැකි වී තිබේ.
ජාතික ගැටලුව වශයෙන් යමක් පැවතීම පවා පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ශුද්ධ වාර්ගි ක කුලකයන් පිලිබඳ දාර්ශනික පීතෘවරුන්ගේ දේශනා තුළින් යළියළිත් ශක්තිමත් වන්නේ වාර්ගික ජාතිකවාදයේ බල ව්‍යාපෘතියයි. මෙරට ආණ්ඩුකරණය පිළිබඳ අයිතිය එහි ආන්තික සහ මහජාතික අනන්‍යතාවෙන් පිටමං කරනු ලැබුවන්ට නොමැති බව පශ්චාත් නිදහසේ ඉතිහාසය ම විසින් අපට තහවුරු කොට දී තිබේ. එම නිසා “ඒකීය ද? එක්සත් ද?‘ යන ගැටලුවෙන් එහාට වාර්ගික අර්බුදය තල්ලු කරගැනීම ට මෙරටට තවමත් නොහැකිව තිබේ.
වාර්ගික ජාතිකවාදී ආඛ්‍යානයට එරෙහිව ප්‍රතිතීසිසයක් ගොඩනැගීමට මෙරට සම්ප්‍රදායික සේම නවීන වම ද එක සේම අසමත් වී තිබේ. විජේවීරගේ වර්තමාන පරපුරද, පරණ වමේ නෂ්ටාවශේෂයනටද, ඔවුන් හොඳ ලෙනින් හා මාර්ක්ස්වාදීන් වියහැකි මුත්, ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජාතිකවාදීන්ගෙන් ඛණ්ඩනය වීමට නොහැකි වීම යනු බරපතළ ගැටලුවකි. බලය විද්‍යාත්මකව බෙදීමේ තර්කය ඍජුව ගොනුකොට එය සිංහල ජාතිවාදයට එරෙහිවත් පීඩිත ද්‍රවිඩයාගේ විමුක්තියට පක්ෂවත් ඉදිරිපත් නොකරන වමකින් විමුක්ති දේශපාලනයට පිළිසරණක් නොවනු ඇත.
ද්‍රවිඩ පීඩිතයා උතුරේ ජාතිවාදයටත්, දකුණේ පීඩිතයා සිංහල ජාතිවාදයටත් ගොදුරු වන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම නිසාය. ද්‍රවිඩයාට පමණක් නොව කිසිදු සාමාන්‍ය මිනිසෙකුට විශ්වාස නොකළ හැකි නීතියක්, පාලන ක්‍රමයක් පවතින විටෙක දී පීඩිතයාගේ වේදනාව කොල්ලකෑමේ දේශපාලනය සැමවිටම ක්‍රියාත්මක වී තිබේ. ජාතිකවාදීන්ගේ රංග භුමිය බවට මෙම කළාප දෙකම පත්වීම යනු එක අතකින් සාධනීය වන්නේ කිසිදු ජාතික හෝ ජාතිවාදයක් අනෙක් ජාතික හෝ ජාතිවාදයකට වඩා උසස් නොවන නිසාය. දුර්වල හා දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය යනුම ධනවාදය විසින් දිගින් දිගටම ප්‍රවර්ධිත ව්‍යුහයකි. එම ව්‍යුහයේ බල ධුරාවලිය හැමවිට ම කුලය, වර්ගය, ආගම සහ භාෂාව මඟින් තීරණය වී තිබේ.
ඉතාමත් විවේචනාත්මකව දකින විට මෙරට පවතින්නේ අතිශය සුළුතර පිරිසක් විසින් ගෙනයන කොල්ලකාරී රජයකි. එම රාජ්‍යයේ පාලක පන්තියේ දෘෂ්ටිවාදී සීමාව ඊනියා ඒකීය රාජ්‍ය පිළිබඳ මිථ්‍යාවෙන් සහ ආගමික බෞද්ධ රාජ්‍යය පිළිබඳ ඓතිහාසික යැයි කියන ආඛ්‍යානයකින් නිර්මාණය වෙයි. නිදහසින් පසු දකුණෙන් බිහිවූ සියලුම වාමාංශික හෝ දක්ෂිණාංශික පක්ෂ ඒවායේ බාහිර හා ප්‍රකාශිත දෘෂ්ටිවාදය කුමක් වුවත් සැබවින්ම පාලනය වී ඇත්තේ උක්ත බහුතරවාදී දෘෂ්ටිවාදයෙන් වන අතර, සුළුතර ජනයාට එවැනි රාජ්‍යයකට එරෙහිව සටන් වැදීම හැර අනෙක් පිළිසරණක් නොපැවතිය හැකි වග ඉන් පසක් වී තිබේ.
එබැවින්, ඒකීය හෝ එක්සත් වාදයන් යනු එම සිංහල ඓතිහාසික ‘මහා අනෙකා‘ පිළිබඳ දකුණ වෙළී පවතින දෘෂ්ටිවාදී අගතියේ ප්‍රකාශනය වන අතර එයටම සාපේක්ෂව පීඩිත ජාතිකවාදයක් හා ස්වයං තීරණය පිළිබඳ මනෝභාවයකින් උතුර සන්නද්ධව පවතී. දයලෙක්තිකවාදය සත්‍ය නම් සිංහල ජාතිකවාදී තීසිසය තවදුරටත් ඓතිහාසික ඒකාන්තයක් නොවන වගත්, දකුණේ රාජ්‍යයට එහි ව්‍යාජත්වයේ වෙස්මුහුණ ගැළවීමට සිදුවන බවත් පෙනීයයි.■

අතුලසිරි සමරකෝන්