ඇමරිකාවේ මැසාචූසෙට්ස් පෙදෙසේ පාලූ නිවසක තම සොහොයුරිය සමග හුදෙචකලා නිසොල්මන් ජීවිතයක් ගතකළ කාන්තාවක් 1886මැයි 15වන දා මිය ගියාය. ‘හොම්ස්ටේඞ්’ නම් වූ ඒ පාලූ නිවසට බටහිරින් පිහිටි පවුලේ සුසානයෙහි ඇගේ සිරුර මිහිදන් කරන ලදි. අවසන් කටයුතුවලින් පසුව ඇගේ සොහොයුරිය උඩුමහලේ පිහිටි මියගියැත්තියගේ නිදන කාමරය අස්පස් කර දැමීමට කල්පනා කළාය. චාම් ලෙසත්, පිරිසිදුවටත් සකසා තිබූ කාමරයේ කුඩා මේසයක ලාච්චුවකින් ඇයට හමුවූයේ ලණු කැබලිවලින් ගැටගසන ලද කඩදාසි මිටි රැුසකි. ඔබට විශ්වාස කළ හැකිද? හොම්ස්ටෙඞ් නිවසේදී රහසේම මියගිය එමිලි ඩිකින්සන් මුළු මහත් සාහිත්‍ය ලෝකයේම කඳුළින් බර ආදරයට ලක්වන මහා කිවිඳියක වීයළි උපන්නේ ඒ දුහුවිලි වැකි කඩදාසි මිටි තුළිනි. ඒවායේ ලියැවි තිබුණේ ලෝක සාහිත්‍යයට මහත් බලපැමක් කළ 1800කට නොඅඩු ඇගේ විශිෂ්ට කාව්‍යාවලියයි.

‘හුදෙකලා නිදන කාමරයේ කිවිඳිය’ ලෙස හැඳින්වූ ඇගේ කවි අඳුරු හා ගුප්ත, එහෙත් දාර්ශනික වූ සිතුවිලි ලෝකයක විසු මානවිකාවකගේ අව්‍යාජ උණුසුම් ප‍්‍රකාශනය දරා සිටී. ඒ කවි ගැන වෙනම කතා කළ යුතුය. 1955දී මුද්‍රිත එමිලිගේ අසංක්‍ෂිප්ත පi එකතුවේ කවරයට යොදා ඇත්තේ ඇගේ තරුණ වියේ සේයාරුවකි. එය ‘මොනාලිසා’ චිත‍්‍රයේ මෙන් සතුට හා ශෝකය යන දෙකම තැවරී ඇති ගුප්ත සේයාරුවකි’යිි මට සිතේ. කඳුළු පටලයක් සහිත ඇගේ නෙත් අතර තියුණු ඥානප‍්‍රභාවක රශ්මියක් ඇතිවී නැතිවී යනවා වැන්න.

තම බල පරාක‍්‍රමයන් සහ විශිෂ්ටත්වයන් ප‍්‍රකට කිරීම සඳහා අනේකවිධ උපක‍්‍රම යොදන්නන් වෙසෙන ලොවක, තමා ලියූ කවි ඉමහත් ගෞරවයට පාත‍්‍රවන බව සහ දිනෙක ලොව විශිෂ්ටතම කවිකිවිඳියන් නම් කෙරෙන සෑම ලැයිස්තුවකටම තමාගේ නම ඇතුළත්වන බව එමිලි දන්නේවත් නැත.

තමන්ගේ ජීවිතයේ ශේෂය කොතරම් විශාලද යන්න නොදැන මියගියේ එමිලි පමණක් නොවේ. ඇය ඇතුළත් වනුයේද ගැලිලියෝ, වැන් ගෝ, කෆ්කා, ඔස්කාර් වයිල්ඞ්, එඞ්ගා ඇලන් පෝ, ජෝන් කීට්ස් යනාදි වාසනාවන්ත විශිෂ්ටයන්ගේ සමාජයටය. ඉහත ‘වාසනාවන්ත’ යන වචනය වැරදීමකින් ලියැවුණ එකකියි නොසිතිය යුතුය. ඇත්තෙන්ම ඔවුන් ‘අවාසනාවන්ත’ද නැතහොත් ‘වාසනාවන්ත’ද යන ගැටලූව තරමක් උභතෝකෝටික එකකි. මතුපිට ලෝකය විසින් ජනප‍්‍රියත්වය, පිළිගැනීම, ධනය, කීර්තිය, යනාදිය වඩාත් වැදගත් ලෙස සැලකුවද, ලෝකයටත්, මිනිසාටත් බලපෑම් කරන යමක් ඉතිරිකොට ගිය ඒ විශිෂ්ටයන් එවැනි දේ අගය කළ බවක් ඔවුන්ගේ නිර්මාණ තුළින් පිළිබිඹු නොවේ.

වසර හාරසීයක් එපිටට ගැළපෙන තමාගේම චිත‍්‍ර සම්ප‍්‍රදායක් නිර්මාණය කළ විශිෂ්ටයකු ලෙස අද සැලකෙන රෝමයේ එල් ග්‍රොකෝ මියයන තුරුම  හාස්‍යයට හා අවඥාවට පාත‍්‍රවූයේය. හතළිස්වැනි වියේදී අප‍්‍රකට ලේඛකයකු ලෙස මියගිය ෆ්රාන්ස් කෆ්කා මරණාසන්නව සිටියදී සිය එකම මිතුරාගෙන් ඉල්ලා සිටියේ ‘තම දිනපොත්, අත්පිටපත්, ලිපි ලේඛන සියල්ල කිසිවකුට කියවීමට නොදී පුළුස්සා දමන ලෙස’ ය. එහෙත් ඔහුගේ නිර්මාණ සහ ලේඛන ලෝකය පුදුම කරන, නව්‍ය සංකල්පයන්ගෙන් අනූන ඒවා බව අපි දැන් දනිමු. විශාදයෙන් හා අපස්මාරයෙන් පෙළෙමින් සිට, සිය දිවි නසාගත් වින්සන්ට් වැන් ගෝ අද පිළිගැනෙන්නේ ලෝකයේ චිත‍්‍රකලාවට වඩාත්ම බලපෑම් කළ සහ වඩාත්ම අගය කිරීමට ලක්වූ සිත්තරා ලෙසිනි.

‘ෆයිට් ක්ලබ්’ නමැති සම්මානිත නවකතාව රචනා කළ ඇමරිකානු ලේඛක චක් පලනියුක්ගේ කියමනක් මෙහිදී මතකයට නැගෙයි. ‘අපි සැමදෙනාම මියයන්නෙමු. අභියෝගය වනුයේ සදාකල්ම ජීවත්වීම නොවේ. සදාකල්ම ජීවත්වන යමක් නිර්මාණය කිරීමයි.’ වර්ණනා අපේක්‍ෂාව සහ අගය කිරීම ඇතුළත් ගනුදෙනුවකට වඩා අපූර්ව යමක් ලබාදීම සහ ජීවිතයට යමක් ලබාගැනීම යන ගනුදෙනුව කලාව විෂයෙහි පලදායි බව හැෙඟයි. මිනිස් සිතුවිලි ගුප්තය. සංකීර්ණය. බොහෝ සිත් තුළ ජීවිතය පිළිබඳ, සමාජීය සම්බන්ධතා පිළිබඳ පිටකරගත නොහැකිව සිරවුණු අදහස්, අපැහැදිලි කල්පනාවන් තිබෙනවා විය හැකිය. පිටකරන ලද එබඳු සිතුවිලි සැඟවුණු හෝ කිසිදා හෙළි නොවන සිතුවම්වල, ගීතවල, කවිවල පිරි තිබෙනවාද විය හැකිය. මට කියන්නට අවශ්‍ය වනුයේ එමිලිලා, ඇලන්පෝලා සහ වැන් ගෝලා වැන්නවුන් සෑම කාලයකම කොහෝ හෝ ජීවත්වන බවය.

ලක්ශාන්ත අතුකෝරල