ගිය සතියේ ‘අනිද්දා’ පුවත්පතේ පළවූ ‘ගෝඨා නිසා සජිත්ට අවධානය’ යන පුවත කියැවූ බොහෝ දෙනා කතා කළේ සජිත් ගැන නොවේ. එජාපයට අනන්‍ය බංකොලොත්භාවය හෙවත් ඓතිහාසික බිඳ වැටීම ගැනය. ගෝඨා රේස් එකට දැමීම, පවුලක් ගත් තීරණයකි. බංකොලොත් තවත් දේශපාලන පවුලකට බියෙන් එජාපය ගැහෙන හැටි අනිද්දා පුවත අපට දැනෙන්නට සලස්වයි. එකී බංකොලොත් පවුල ගතවූ ගෙවුණ හැම දවසකම යටත් පිරිසෙයින් මාධ්‍ය වාර්තා හත අටක් හරහා නැවත නැවත කුජීත වන්නේය. රාජපක්‍ෂලා අදහන වඳින පුදන අය සිටිති.

අරක්කු ටිකට, ගංජා සුරුට්ටුවට කෑගහන අය පමණක් නොවේ. සමහර බෞද්ධ මහාචාර්ය භික්‍ෂූන් මෙන්ම, තිස්ස විතාරණලා, වාසුදේව නානායක්කාරලා, ඩිව් ගුණසේකරලාද රාජපක්‍ෂලා අදහති. වාසුදේව බුලත් දී නාමල් රාජපක්‍ෂට වඳියි. ඒ ජැක්සන් ඇන්තනි කී ආකාරයට මහින්ද, සිද්ධාර්ථ ගෞතමයන්ගේ නෑයෙකු නිසා විය හැකිය. රාජපක්‍ෂලා පිළිබඳ රට තුළ පවත්නා ඇම්ම අපට වැළකීමට බැරිය. ජනවාරියේ සතා කොටු කර දුන් විට, රනිල් වික‍්‍රමසිංහ ශිරන්තිගේ නෑකම උතුම් කොට, සිරිලිය ගිණුම් වංචාව යටපත් කළා අපට මතකය. එය සිහිවන විට, ගමේ පුරුදු බාසාවෙන් තිත්ත කුණුහරුප තිහ හතළිහක් එක දිගට ලියා ගෙන යා හැකි ය. චාරයක් විනයක් හැදිච්චකමක් නැති එවුන්ට එජාපය සින්න වුණේ ආර්. පේ‍්‍රමදාස නිසා ය. ගාමිණිලා ලලිත්ලා පළවා හැර රනිල් වික‍්‍රමසිංහ පොරක් කළ පේ‍්‍රමදාස එහි පින් අනුමෝදන්ව නිසි ගරු බුහුමන් මැද, ආමර් වීදියේදී ජාතියෙන් සමුගත් බව ලියා තබනු කැමැත්තෙමි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් රාජපක්‍ෂලාගෙන් වියුක්ත වීමට තැත්් කරද්දී එජාප පසුපෙළ මන්තී‍්‍රන් කොළඹ හතේ සල්ලිකාරයන්ට විකිණෙන හැටි රටට රහසක් නොවේ.


අනිද්දා පත්තරේට අනුව, ගෝඨා නිසා අවධානයට ලක්වන සජිත් යනු ත‍්‍රීවීලර් සමාජයට අනුව ‘වෙන්ඩ ජනාධිපති’ ය. හෝ ‘සිරිසේනට ශී‍්‍රමත්’ ය. සජිත්ට මිනිස්සු දක්වන කැමැත්ත පබාට මර්වින්ට රූකාන්තට ඇති කැමැත්ත වාගේ අපබ‍්‍රංස කැමැත්තකි. සජිත්ද, පබාද, මර්වින්ද, රූකාන්තද සින්දු කියති. එහෙත් ගාමිණි දිසානායකලා කොහේවත් සින්දු කියා තිබේද? සින්දුකාරයන්ට රට පාලනය කළ හැකි නම් ප්‍රෙඞී සිල්වා රටේ අගමැතිවී බොහෝ කල් ය. රන්ජන් රාමනායක සිනමාවේදියෙකි. ඔහු දේශපාලනඥයෙකු ලෙස හැසිරෙනවාට පාර්ලිමේන්තුවම කැමති නැත. ඇමතිවරුන් බහුතරය කොකේන් ගහනවා යයි කී කතාවට රන්ජන්ට තරවටු කිරීමෙන් සැබෑ රනිල් යළි වරක් හෙළිදරව් විය. නායකයෙකු නම් රනිල් කළ යුතුව තිබුණේ, එජාපයේ සියලූ මැතිඇමතීන්ට කොකේන් පරීක්‍ෂණයට මුහුණ දී සහතිකය කතානායකට භාර දෙන ලෙස නියම කිරීමය. රට මේ මොහොතේ අපේක්‍ෂා කරන්නේ එවැනි නායකයන්ය. දිවුලපිටියේ පස් හොරු සමග පැටලූණ රන්ජන්ට ආසන සංවිධායක ධුරය අහිමි කළ රනිල් වික‍්‍රමසිංහ යනු මේ රටට ආදරය කරන මිනිසුන් කැමති චරිතය නම් නොවේ.


මදනමෝදකය කෑවා මෙන් මහින්දම ඉල්ලන එවුන් සිටින රටේ බාබුල් කෑවා මෙන් පේ‍්‍රමදාස ඉල්ලන අයද සිටීම ගැන පුදුම විය යුතු නැත. මහින්ද යනු ඞී.ඒ. රාජපක්‍ෂටවත් කළ නොහැකි වූ දේශපාලන ප‍්‍රාතිහාර්යයක් පෑ හපනෙකි. කොච්චර හොරා කෑවත් අරක නිසා, මේක නිසා ඒකා හොඳය යන දර්ශනය විලිලජ්ජාවක් නැතිව කියන්නට හාමුදුරුවරුන්ටත් ඉගැන්නුවේ මහින්ද ය. එහෙත් සජිත් යනු මහින්දට සාපේක්‍ෂකව මළබාගයකි. සජිත්ගේ තාත්තා ‘ගම හදා රට හදමු’ වැනි සංකල්ප හරහා රට ආකර්ෂණය කළේය. මහින්ද මෙන් පේ‍්‍රමදාසද කෙලින් වුණේ තම හයියෙනි. මහින්ද කෙසේ හෝ ජනාධිපතිකමත් රටත් උපරිමයෙන් භුක්ති වින්දේය. මහින්දට සාපේක්‍ෂව පේ‍්‍රමදාස තමන් ළගම සිටි එකෙකුගෙන් වළඳා කලින්ම උකුත් විය. පේ‍්‍රමදාසගේ මරණය ඇසූ ලංකාවක මිනිස්සු කැවුම් කිරිබත් කෑහ. රතිඤ්ඤා මල් වෙඩි පත්තු කළහ.

මරණයක් අසා නොකළ යුතු වුවද මේ රටේ මිනිස්සු එතෙන්ට තල්ලූ කළේ පේ‍්‍රමදාසමය. එහෙත් මහින්දගේ පරාජය ඇසූ කිසිවෙකු එහෙම කළේ නැත. සජිත්ගේ උද්යෝග පාඨය කුමක්ද? ‘පිය මග යන පුතු’ යන්නය. පේ‍්‍රමදාස උකුත්ව වසර 26කි. සජිත් අපට කියන්නේ රටක සතුට මැද මියගිය පේ‍්‍රමදාස පසුපස ඔහු සමග එන්න කියාද? උස අය සිනියුරිටි, කොට අය ක්ලාක් ආදි ලෙස තරුණ පරපුර තක්සේරු කරන සජිත් පේ‍්‍රමදාස හැර පොරක් යූඇන්පියේ නැද්ද? සේනානායක දර්ශනය අදත් එජාපයට ආඩම්බරයකි. සජිත්ගේ ‘ශී‍්‍රමත් ජනාධීපති සිරිසේන’ වරක් කීවේ එජාපයට සේනානායක ප‍්‍රතිපත්ති නැති බවය. ඒ විවේචනයට සජිත් දෙන උත්තරය පිය මග යන පුතු පසුපස එන්න කියාය. ඒ අනුව ආමර් වීදියෙන් පටන් ගන්නා පෝලිම පළමුව හම්බන්තොට තෙක් පේළි ගැසිය යුතුවේ. රට වටා යන්නේ ඉන් පසුවය. අද රටට අවශ්‍ය සජිත් හෝ ඔහුගේ පියා නොවේ. රටට ඔබින විශිෂ්ට අරමුණකි. කිසිවෙකුට වෙනස් කළ නොහැකි ජාතික ප‍්‍රතිපත්තියකි. එහෙම වුණා නම් සජිත්ට හම්බන්තොටින් 2585ක් නිවාස අධිකාරියට දාන්න බැරි වෙනවාය. අකිල විරාජ්ට 3120ක් දෙනා පාසල්වලට පත් කරන්න බැරි වෙනවාය. මහින්ද එක් වරක් පරාද කළ ජනතාව එජාපය විසි තිස් වාරයක් පරද්දා ඇත. එහෙත් වරද එජාපයේ නොවේ. හරිහමන් එවුන් නැතිකමය. ප‍්‍රතිවාදී ජනාධිපති අපේක්‍ෂකයෙකු හමුවේ ආසන්න දස වසරක් තුළ එජාපය දෙවතාවක්ම පසුබැස හමාරය. සෝභිත හාමුදරුවන්ට කරු ජයසූරිය දුන්නා නම් සිරිසේන යනු අදටත් තවත් හබන් කුකුළෙකු පමණකි. ලක්‍ෂ හතළිහක් අතැති එජාපයට තෙවන අවස්ථාවත් උදා වී ඇත. එජාපය පවුලක් නම් ‘උඹලා බලාගනිල්ලා, මම යනවා’ කියා අප්පා හෝ නායකයා නික්ම ගොස් බොහෝ කල්ය. ඩඞ්ලි එහෙම යන්න ගියේය. නැවත කැඳවූ පසුව පැමිණ දෙවරක් අගමැති විය. එහෙත් අප්පෙකු හෝ නායකයෙකු නොවන රනිල් වික‍්‍රමසිංහගෙන් ඒ ටික අපේක්‍ෂා කළ නොහැකිය. රට පැත්තෙන් ගත් විට එය ඉතා බරපතළ තත්වයකි. කලක් බ්‍රේස්ලට් පෙන්වමින් සිටි ඔහු, 2015 ෆොක්ස්වාගන් පෙන්වන්න ගොස් තවම වැටුණ තැනමය. බැඳුම්කර වංචාවේ මොළකාර අර්ජුන මහේන්ද්‍රන් රනිල් වික‍්‍රමසිංහගේ කරේ ලැග සිටියි. රටම සොයන සොරෙකු බේරන අතර, පක්‍ෂයත් රටත් බේරාගන්න රනිල්ට නොහැකිය. ගෝඨා නොව එන්නේ සිරිසේන කීවත් රනිල් වෙව්ලනවාමය. රට බලා සිටින්නේ එජාපයේ ඊළග ජනාධිපති තොරොම්බෝලය මොකාද කියාය. කරු, සජිත් ආදි නම් කියැවෙමින් පවතී. රනිල් වඩාත් කැමති වන්නේ පාඨලීට හෝ රතනට විය හැකිය. ඒ එජාපයේ නොවන නිසාය. සිරිසේන දමා හෝ තම ජාම බේරා ගැනීමට රනිල් අකමැති නොවනු ඇත. 1994දී තොටළග බෝම්බෙන් හිස්වූ ජාතික ලැයිස්තුවට නවින්, සජිත් දෙදෙනා පත් කරන ලෙස බොහෝ දෙනා කීහ. රනිල් කළේ සරත් කෝන්ගහගේ සහ දිනේෂ් දොඩම්ගොඩ පත් කිරීමය. අද කෝන්ගහගේ, දොඩම්ගොඩ දෙදෙනාම රනිල්ටත් එජාපයටත් බද්ධ වෛරය. කලක් ශිරාල් ලක්තිලකලා, මෛති‍්‍ර ගුණරත්නලා සිටියේ රනිල්ගේ කරේය. අද ඒ දෙදෙනාම රනිල්ටත් එජාපයටත් බද්ධ වෛරය. රනිල් එජාපයට කැඳවූ කිසිවෙක් එජාපයෙහි නොරැුඳුණහ. 25 වසරක් තුළ වැළලෙමින් තිබුණ එක්සත් ජාතික පක්‍ෂය යන්තම් ගොඩ ආවේ ජනවාරි පිබිදීම නිසාය. අගෝස්තුවේ 25 වසරකට පසුව පනස් ලක්‍ෂයක් එජාපය වටා ඒකරාශී වූහ. 2018 පෙබරවාරියේ එයින් දාහතර ලක්‍ෂයක් යළි ඉවත් වූහ. රනිල් නිසා, 2010 සහ 2015 ජනාධිපති මැතිවරණ දෙකම එජාපයට අහිමි විය. අද එජාපය යනු දේශපාලන මළ පෙරේතයෙකි. මේ නිරීක්‍ෂණය කසායක් මෙන් තිත්ත විය හැකිය. 1993දී පේ‍්‍රමදාස සමග උකුත් වූ එජාපය තවම සුංබුං ගොඩකි. දැන් එජාපයට අවශ්‍ය බාස් කෙනෙකි.

හෝ භාරකාරයෙකි. ජේ.ආර්. අනාගත එජාපයේ පැවැත්මට ගොඩනැගූ ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි දෙදෙනා පේ‍්‍රමදාස ජනාධිපති වී එක් වසරක් තුළ විනාස කර දැමීය. පක්‍ෂයටත් විධායක වූ පේ‍්‍රමදාස ඝාතනය කළේ ඔහුගේම ගෝලයන් මිස හතුරෝ නොවෙති. පේ‍්‍රමදාස ඝාතනයට සතියකට පෙර ලලිත් ඇතුළත්මුදලි ඝාතනය විය. ඊට පෙර අමානුෂික පහර කෑමකට ලක්වූ ලලිත් ‘‘.... මා මැරුවොත් ඒ ඝාතකයාගේ අවසන් මිනීමැරුම එය වන්නේ්ය’’ කීය. ඒ ප‍්‍රකාශයත්, ලලිත් මළ පසුව පේ‍්‍රමදාස සිය චරිතය ඝාතනය නොකරන ලෙස බිඳුණ හඬින් කළ ප‍්‍රකාශයක් එක පෙළට තබා ගත් විට එජාපයට ආදරය කළ මිනිස්සු, තවත් පේ‍්‍රමදාස කෙනෙකු එජාපයට උවමනා නැත කියති. අද එජාපය පවතින්නේ පේ‍්‍රමදාස මැරුණ කාලයටත් වඩා අන්ත අසරණ තත්වයකය. පේ‍්‍රමදාස මැරුණේ 17 වසරක පාලනය අග්ගිිස්සේය. 1994දී එජාපය භාර ගත් රනිල් වික‍්‍රමසිංහට ගිය ඉරිදාට එනම් මාර්තු 24 වෙනිදාට වසර 70ක් ගෙවෙන කල රනිල් සමග එජාපය නාකි වුණා පමණකි. මේ වැඩ බැරි මහලූ මිනිසා තමන් සමග මහලූ වූ එජාපයට දෙවන පෙළක් හෝ පෙළගස්වා නැත. රනිල්ට ලැබුණේ පක්‍ෂයක් නොවේ. පේ‍්‍රමදාස නිසා කෑලි කෑලි වූ සුංබුං ගොඩකි. සජිත් උජාරුවෙන් කියන උදාගම් ව්‍යාපාරය ඉතිහාසයේ පේළියක් මිස, සටන් පාඨයක්, සංකල්පයක් නොවේ. සජිත් හෙට ගැන හිතන්නේ පියාගේ දර්ශනය අනුවය. නිවාස ඇමතිකම ලැබුණ සජිත්, පියා සමග වැඩ කළ මිනිසුන් සොයා ගියේය. ඉන් එක් කෙනෙකු පේ‍්‍රමදාසට මෙසේ කීය. ‘‘ඇමතිතුමා අපි දැන් අවුරුදු 70 පැන්න මිනිස්සු. තරුණ කණ්ඩායමක් තෝරා ගන්න. ඔබේ පියාගේ කාලයේ අප සිටියේ විසිතිස් වයස්වලය.’’ තාත්තා සමග වැඩ කළා නම් අවුරුදු 100ක් වුණත් කමක් නැතැයි හිතන තරමට සජිත් පේ‍්‍රමදාස දුර්වල දේශපාලනඥයෙකි. ඔහු ජනාධිපති වුණොත් රට වසර 30 ගණනක් ආපස්සට යනු ඇත. සජිත් තවත් උදාගම් 2000ක් සැලසුම් කරමින් සිටියි. මේ දුපතේ පර්චස් 20ක ගෙවත්තක් සහිත නිවාස 20කින් යුතු උදාගම් 2000ක් සඳහා අක්කර කීයක් උවමනාද? ලෝකයම තට්ටු ගෙවල් ඉදිකරන යුගයක පේ‍්‍රමදාසගේ පුතා තම පියා බාබුට වැනුව සුදු ලේන්සුව වනමින් සිටියි. රනිල් එළවා එජාපය අල්ලන්න සජිත් නැටූ නාඩගම කාටත් මතකය. ඊළග එජාප සම්මේලනයේදී සජිත් දිවි පුදා හෝ රනිල් රකින බව කීය. එය ඇසූ දයාසිරි ජයසේකර කීවේ ‘ඔය කතාව කලින් කීවා නම් මම තවම යූඇන්පියේ’ කියාය.

එජාප ඡන්දෙන් ජනාධිපති වී එජාපයට හිමි අගමැතිකමත් උදුරා ගත් සිරිසේනට ශී‍්‍රමත් කියමින් දනින් වැටෙන සජිත් නායකයෙක් නොවේ. ව්‍යවස්ථාදායක සභා හරහා හිරවූ සිරිසේන හිරකිරීමට සජිත්ලාට හයියක් නැත. සජිත් ප්ලෑන් කරන්නේ එජාප ඔරුවේ සිරිසේනත් තියාගෙන 2025 තෙක් පාවෙන්නටය. නායකත්ව මණ්ඩලය හරහා මහා සංඝයා වහන්සේ එජාප ආරවුලට විසඳුම් සොයද්දී සජිත් කැලේ පැන්නේ මහින්දගේ උවමනාවටය. එහි කෙළවර තිස්ස අත්තනායකටත් යූඇන්පිය අහිමි වීමය. නායකත්වයට ඉව ඇල්ලීමේදී ප්‍රේමදාස පරම්පරාවේම පැටිකිරිය බෙහෙවින් හිරිකිතය. අසෝබනය. ආර්. පේ‍්‍රමදාස පළමුව ඩඞ්ලි සමග ගැටිණ. පසුව ජේ.ආර්. සමග ගැටිණ. පුත්තරයා රනිල් සමග ගැටිණ. ඒ හැම ගැටුමක් අවසානයේ එජාපය පෝෂණය කළ නියතපාලගේ පටන් තිස්ස අත්තනායක තෙක් බොහෝ කි‍්‍රයාධරයන් එජාපයට අහිමි විය.


කළුගග ජලාශය පිළිබඳ උත්සවයේදී සජිත් සිරිසේනගේ ඇතිල්ලෙමින් රනිල්ට කළ සරදමට එජාපය කැමතිද? එදා ලග්ගල පැවති කළුගග උත්සවයට ලග්ගල නියෝජනය කරන එජාප මන්තී‍්‍ර රෝහිණී විජේරත්න පැමිණියේ නැත. බලය ළ`ග ඇඹරෙන සජිත් පේ‍්‍රමදාසට වඩා සාඩම්බර පිරිමිකමක් රෝහිණී විජේරත්න මන්ත‍්‍රීවරියට පවත්නා බව සහතිකය. සිරිසේනගේ ගෝලයන් ආසනවල එජාප සංවිධායකයන්ට කරන කෙනෙහිලි සජිත් දන්නවා නම් ඔහු එසේ හැසිරෙන්නේ නැත. සජිත් යනු පියා මෙන් ඉටියෙන් හෝ මැටියෙන් ජනාධිපති වෙන්න සිහින දකින්නෙකි. රණසිංහ පේ‍්‍රමදාස, ගාමිණීලා ලලිත්ලා එළවා ගත් මානසික රෝගයෙන් සජිත් මිදී නැත.


‘‘ගෝඨා නිසා සජිත්ට අවධානය…..’’ ප‍්‍රවෘත්තිය එජාපය දැකිය යුත්තේ එසේය. තවත් ඉදිරියට යා හැකිය. විධායක ජනාධිපතිවරු 6කි. එයින් පිරිමි 5 දෙනාගේ ආර්යාවන් වූ ඇඹෙණියන් පිළිවෙළින් මෙසේය. එලීනා ජයවර්ධන, හේමා පේ‍්‍රමදාස, විමලාවති කුමාරිහාමි විජේතුංග, ශිරන්ති රාජපක්‍ෂ සහ ජයන්ති සිරිසේන ය. මේ පස් දෙනාගෙන් දැල්පන්දු ගැසුවේ ද, ගීත ගායනා කළේ ද සජිත්ගේ අම්මා පමණකි. අප ඒ යුගය අවසන් කර ඇත. 1993 මැයි 1 වෙනිදා හවස රතිඤ්ඤා පත්තු වීමට හේතුවූ කරුණු බොහෝ විය. උදාගම් සංකල්පය මෙන් තවත් බොහෝ පේ‍්‍රමදාස සංකල්ප රට ප‍්‍රතික්‍ෂේප කර හමාරය. ගෝඨාභය නොව ඞී.ඒ. රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා වුණත්, රනිල්ට අර්ජුන් මහේන්ද්‍රන් බිම තියන්න බැරිය. තාත්තා මැරුණාට, සජිත්ගේ අම්මා තවමත් පුතා අතහැරලා නැත. එජාපය ඊට සූදානම්ද?


පොලිස් පරීක්‍ෂකයෙකු මාරු කිරීමට බැරි ජනාධිපති කෙනෙකු පත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය අමුඩ ගැසිය යුතු නැත. කළ යුත්තේ ජනතාව අපේක්‍ෂා කරන අනම්‍ය ජාතික ප‍්‍රතිපත්තියක් නිර්මාණය කිරීමය. ගිය සතියේ රාජ්‍ය සේවා කොමිසම තමන් වෙත කැඳවීමෙන් අගමැති වික‍්‍රමසිංහද, ඔප්පු කළේ සිරිසේන මෙන් මහින්ද මෙන් ව්‍යවස්ථා සභා ක‍්‍රමයට, ස්වාධීන කොමිෂන් සභාවලට හතුරු බවය. ව්‍යවස්ථා සභා ක‍්‍රමය ආරක්‍ෂා වීම යනු යහපත් රටක් පිළිබඳ අපේක්‍ෂාවකි.


තවදුරටත් එජාපය රනිල්ට හීලෑ විය යුතු නැත. එහි පාපය, 1994 සිට 2019 තෙක් එජාපය විඳිිමින් සිටියි. ගෙවුණ වසර 25ට එජාපයට ජනාධිපති කෙනෙකු හෝ ජයග‍්‍රහණයක් නොලැබුණේ රනිල්ට හීලෑවීම නිසාය. 1994 සිට 2019 තෙක් ගෙවුණ වසර 25 තුළ ශී‍්‍රලනිප නායකයෝ තිදෙනෙක් ජනාධිපතිවරුන් ලෙස පත් වූහ. බැඳුම්කර හොරකම නොවන්නට සිරිසේන තවම යහපාලන රවුමේය. ඊට වගකිව යුත්තේ රනිල්ය. ගාමිණී දිසානායක ඝාතනය නොවුණා නම් ලංකා දේශපාලනයේ චන්ද්‍රිකා, මහින්ද සිරිසේන තබා රනිල් කෙනෙකු හෝ දැකිය නොහැකිය. 1994දී ගාමිණි දිසානායක විපක්‍ෂ නායකයා ලෙස තේරුවේ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම විසිනි. අද වයස 50ට අඩු එජාප මන්තී‍්‍රන්ට දේශපාලන අනාගතයක් උවමනා නම්, කළ යුත්තේ පක්‍ෂයට භාරකරුවෙකු පත් කර ගැනීමය. ජනාධිපති විජේතුංග සිය කෙටි කාලය තුළ රටටත් පක්‍ෂයටත් සාධාරණයක් ඉටු කිරීමට සමත් විය. එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට පේ‍්‍රමදාස කැඳවූ සොත්ති උපාලි පොලිස් කූඩුවට දැමූ විජේතුංග, ගාමිණි දිසානායක එජාපයට කැඳවීය. 17 වෙනි සංශෝධනය අහෝසි කළේ මහින්දය. 19 සංශෝධනයට සිරිසේන විරිත්තයි. රනිල් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කැඳවීමෙන් ඔහුටත් යහපාලනය වහ බව ඔප්පු කර හමාරය. වර්තමානයේ කතානායක පුටුවේ ජෝෂප් මයිකල් හෝ විජමු ලොකු බණ්ඩාර හිටියා නම් සිරිසේනලා රනිල්ලා උඩ පිනුම් ගසනවාය. ජනවාරිය උදා කළ එජාපයට යහ පාලනය රැුකිය හැකිය. ඒ රනිල්ලා සජිත්ලා සමග නම් නොවේ.


නීීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

සජිත් යනු ති‍්‍ර විලර් සමාජයට අනුව ‘‘වෙන්ඩ ජනාධිපති’’ ය. හෝ ‘‘සිරිසේනට ශී‍්‍රමත්’’ය. සජිත්ට මිනිස්සු දක්වන කැමැත්ත පබාට මර්වින්ට රූකාන්තට ඇති කැමත්ත වාගේ අපභ‍්‍රන්ස කැමැත්තකි. සජිත්ද, පබාද මර්වින්ද රූකාන්තද සින්දු කියති. එහෙත් ගාමිණි දිසානායකලා කොහෝවත් සින්දු කියා තිබේද? සින්දු කාරයන්ට රට පාලනය කළ හැකි නම් ප්‍රෙඞී සිල්වා රටේ අගමැතිවී බොහෝ කල් ය. රන්ජන් රාමනායක සිනමා වේදියෙකි. ඔහු දේශපාලනඥයෙකු ලෙස හැසිරෙනවාට පාර්ලිමේන්තුවම කැමති නැත. ඇමතිවරු බහුතරය කොකේන් ගහනවා යයි කී කතාවට රන්ජන්ට තරවට්ටු කිරීමෙන් සැබෑ රනිල් යළි වරක් හෙළිදරව් විය. නායකයෙකු නම් රනිල් කළ යුතුව තිබුණේ එජාපයේ සියලූ මැති ඇමතීන්ට කොකේන් පරීක්‍ෂණයට මුහුණ දී සහතිකය කතානායකට භාර දෙන ලෙස නියම කිරීමය.