සමන්ත විද්‍යාරත්න – ජනතා විමුක්ති පෙරමුණ

උමාඔය ප‍්‍රශ්නය නිසා බදුල්ල දිස්ත‍්‍රික්කයේ තිබුණු ප‍්‍රශ්න අවසන්ද?

උමා ඔය ජල ව්‍යාපෘතිය රාජපක්ෂ ආණ්ඩුව පටන් ගත්ත ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතිය රනිල් වික‍්‍රමසිංහ සහ මෛත‍්‍රිපාල සිරිසේන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් යහපාලන ආණ්ඩුව ඉදිරියට අරගෙන ගියා.  යහපාලන ආණ්ඩුව මේ ව්‍යාපෘතිය විනාශකාරීයි කියලා පිළිගත්තාට, විනාශය නවත්වන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. දැනට වෙලා තියෙන  හානිය ගණන් බැලූවොත් මිනිසුන්ගේ නිවාස දහස් ගාණක් පිපිරුවා. ළිං, උල්පත් හිඳුණා. ඒ නිසාම ගොවිබිම්, ගොවිතැන් කරන්න බැරි තත්වයටම පුරන් වෙලා ගියා. මේ වන විටත් උමා ඔය අවට ප‍්‍රදේශවාසීන්ගේ එදිනෙදා පාවිච්චිය සදහා බවුසර් 23කින් වතුර බෙදනවා. මේ ප‍්‍රශ්නය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7කට බලපානවා. තවමත් ප‍්‍රශ්නය අවසන් නැහැ.

උමාඔයේ වතුර කාන්දු වීම නැවතිලාද?

මේ වෙනකොට උමගේ ප‍්‍රධාන වැඩ කටයුතු ඉවරයි. උමග කිලෝමීටර් 15.2ක් දිගයි. දැනට යම් වතුර ප‍්‍රමාණයක් උමඟ දිගේ එළියට එනවා. කලින් මීට වඩා වැඩිපුර වතුර ප‍්‍රමාණයක් එළියට ආවා. වගකිවයුත්තන් කියන්නේ උමගේ ඇතුළතින් සිදු වුණු කාන්දු වැහුවා කියලා. නමුත් අපි දන්නේ නැහැ කාන්දු වැහුවාද, භුගත ජලය ටික පිටතට ඇවිත් ඉවර වුණාද කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් තාක්ෂණික පරීක්ෂණයක් කළ යුතුයි.

කාන්දුව නැවතුණොත් ප‍්‍රශ්නය ඉවරයිද?

ව්‍යාපෘතිය අවසන් කළත් මිනිස්සුන්ට වෙන බලපෑම අවසන් වෙන්නෙ නැහැ. ගංගා ඇළදොළවලට පාරවල් හදලා දුන්නේ යූඑන්පී, ශ‍්‍රී ලංකා ආණ්ඩු නෙවෙයි. ස්වභාවධර්මය තමයි උමාඔයට පාර පෙන්නුවේ. ඒ පාරවල් ආණ්ඩුවල වුවමනා විදියට වෙනස් කරන්න ගියාම ඒවාට බරපතළ හානිවෙනවා. ගංගා නිම්නයක් කියන්නේ විශාල හා සංවේදී පද්ධතියක්. ලෝක බැංකුව පවා අන්තර් නිම්න හැරවුම්වලට මුදල් ආධාර ලබාදෙන්නේ නැහැ. නිම්නයක් මාරු කරලා තවත් නිම්නයකට වතුර ගෙනයන්න දෙන්නේ නැහැ. එහෙම කළොත් ඒ නිම්නයට වෙන බලපෑම සුළුපටු නැහැ. නිම්නයක් වටා ඒකට ආවේණික පරිසර පද්ධතියක් ගොඩනැගිලා තියෙනවා. උමා ඔයට අයිති වතුර, උමා ඔය නිම්නයෙන් අරගෙන යන්න සැලසුම් කරලා තියෙන්නේ බදුලූ ඔය නිම්නය යටින් ගිහින් කිරිඳි ඔය නිම්නයට. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්.

වැසි සමයේදී බදුල්ල දිස්ත‍්‍රික්කයේ නාය යෑම් අවදානම වැඩි වුණා නේද?

ඌව පරණගම, බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ, වැල්ලවාය කියන ගම් සියල්ලටම මේ ප‍්‍රශ්නය බලපෑවා. ව්‍යාපෘතියට වෙන්කළාට වඩා උමා ඔය ව්‍යාපෘතියෙන් වුණ පාඩුව සියදහස් ගුණයක් වැඩියි. පසුගිය වැසි කාලයේ නාය යෑම් තත්වය වැඩි වෙලා. බදුල්ල දිස්ත‍්‍රික්කයේ පමණක් අනාථ කදවුරු 38ක් හැදුණා. උමා ඔය ව්‍යාපෘතිය නිසා වුණ විනාශය නිසා කඳු පද්ධති සේරම පුපුරලා, ඉරිතලලා. ඒ පිපිරීම්වල ප‍්‍රතිඵලයක් විදියට ගෙවල් පිපිරුවා. ළිං හිඳුණා. වැහි සමයක් එනකොට ආපහු මේ පිපිරුණු තැන් සක‍්‍රිය වෙලා නාය යෑමේ අවදානම වැඩි වෙනවා. ඒ නිසා දැනට වෙලා තියෙන හානියට වඩා අනාගතයේ වෙන්න තියෙන හානිය බරපතළ විය හැකියි.

වන්දි ලබාදීම් අවසන්ද?

අපි මේ ව්‍යාපෘතිය නවත්වන්න කියලා ඉල්ලූවා. මිනිස්සුන්ට වෙලා තියෙන හානියට සාධාරණයක් ඉටු කරන්න කියලා පසුගිය රජයෙන් ඉල්ලූවා. මිනිස්සුන්ගේ වගා හානිවලට වන්දි ටිකක් ලබා දුන්නා. හානිවුණ ගෙවල් 352ක් තියනවා. ඒ ගෙවල්වල ආපහු කිසිම ආකාරයකින් මිනිස්සුන්ට පදිංචි වෙන්න බැහැ. ගෙවල් අහිමි වුණු අයට පූර්ණ නිවාස වන්දියක් දුන්නා.තව කොටසක් ඉන්නවා. ඒ අයට ගෙයක් හදාගන්න ඉඩමක් දෙනවා කියලා පොරොන්දු වෙලා තිබුණා. මේ වෙනතුරු කිසිම දෙයක් වුණේ නැහැ. උමා ඔය කියන්නේ ඛේදවාචකයක්, නොවිසඳුණු ප‍්‍රශ්නයක්. උමා ඔය ගැටලූව උත්පාදනය කරපු පියවරු දැන් බලයට ඇවිත්. ඉතිං අපි එයාලාට කියනවා තමන් ඇතිකළ ප‍්‍රශ්නයට තමන්ම විසඳුමක් ලබා දෙන්න කියලා.

කෘෂිකර්මය සම්බන්ධයෙන් ලංකාවට ජාතික සැලැස්මක් නැතිවීම බදුල්ල දිස්ත‍්‍රික්කයට බලපාන්නේ කෙලෙසද?

රටේ ගොවිතැන පත්වෙලා තියෙන්නේ දැවැන්ත අර්බුදයකට. ලංකාවේ ඉතිහාසයේ සහ ලෝකයේ දියුණු රටවල ආහාර සුරක්ෂිතතාවයට වැදගත් තැනක් දීලා තියෙනවා. අපිට අදහසක් තියෙන්න  ඕනෑ මනුස්සයෙක්ගේ මූලික අවශ්‍යතාව කියන ආහාර සම්බන්ධයෙන්. ඒ නිසා අපි ආහාර සුරක්ෂිත කරගන්න  ඕනෑ. අපේ රටේ මේ වෙනකොට ආහාර සුරක්ෂිතතාවක් නැහැ. සෑහෙන ආහාර ප‍්‍රමාණයක් පිටරටවලින් ගේන්න සිද්ධවෙනවා. මම කියන්නේ නැහැ මේ සේරම ආහාර අපි රට ඇතුළේ නිෂ්පාදනය කරන්න  ඕනෑ කියලා. එහෙත් කෘෂිකර්මය බිඳවට්ටන්නේ නැතිව එය වර්ධනය කළොත් අපට ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගන්න පුළුවන්. ඒත් කෘෂිකර්මය බිඳවට්ටලා.

හේතුව මොකක්ද?

බහුජාතික සමාගම්වලට අපේ රටේ ශ‍්‍රමිකයන්ගේ ශ‍්‍රමය සූරාගන්න පුළුවන් වෙන්නේ කෘෂිකර්මාන්තය බිඳවැටුණොත් විතරයි. කෘෂිකර්මාන්යේ නියැලිලා ඉන්න තරුණ පරම්පරාව එයින් එළියට ගන්න නම් ගොවිතැන පාඩු කරවන්න  ඕනෑ. පාලකයා කාලයක් තිස්සේ හදපු සැලසුම් අනුව ලංකාවේ කෘෂිකර්මාන්තය මේ වෙනකොට අවසන් ගමන් යමින් පවතිනවා. අද කෘෂිකර්මාන්තයේ පණ ගැහෙන්නේ ගොවීන්ගේ වුවමනාව, ශක්තිය, ධෛර්යය නිසා.

එළවළු ගොවීන්ට බීජ ලබාගැනීම පහසුද?

අතීතයේ බෝග බීජ හැදුවේ ගොවීන්. දැන් ගොවීන්  බීජ මිලදී ගන්න  ඕනෑ. සමාගම්වලින් වැඩි දියුණු කරපු බීජ විකුණන බව කියනවා. නමුත් බීජවල මිල සුළුපටු නැහැ. නුවරඑළිය පැත්තේ අර්තාපල් කිලෝ 50  බීජ පෙට්ටි විදියට මිලදී ගන්නේ. ප‍්‍රසිද්ධම බීජ වර්ගය ග‍්‍රැනෝලා. මුලින්ම ග‍්‍රැනෝලා බීජ කිලෝ 50ක් දුන්නේ රුපියල් 2,000ට. මේ වෙනකොට රුපියල් 17,500ට ඉහළ ගිහින්. රම්බෝ කියලා ප‍්‍රසිද්ධ ඉරිඟු බීජ වර්ගයක් තියෙනවා. කිලෝ 5 පැකට් තමයි තියෙන්නේ. මුලින් පටන් ගත්තේ රුපියල් 200ට. මේ වෙනකොට රම්බෝ කිලෝ 5ක් රුපියල් 7500ට ඉහළ ගිහින්. ගොවීන් ණය වෙලා මේ බීජ මිලදී ගන්නවා.

ගොවියන්ට තියෙන වෙනත් ප‍්‍රශ්න මොනවාද?

ගොවියන්ට තියෙන ප‍්‍රධානම ප‍්‍රශ්නයක් තමයි ගොවිතැන් කරන්න ඉඩම් නැතිවීම. ගොවියන්ට වඩා ඉඩම් තියෙන්නේ බහුජාතික සමාගම්වලට. ඇමරිකන් ඩෝල් සමාගමට කිරිඳි ඔය වටේටම තියෙන ඉඩම් අක්කර දහස් ගාණක් දීලා. මහියංගණයේ උල්හිටිය රක්ෂිතය ඩෝල් සමාගමට දීලා තියෙනවා. සෝමාවතිය රක්ෂිතය ඩෝල් එකට දීලා. මොනරාගල දිස්ත‍්‍රික්කයේ ඉඩම් නෙල්නා සමාගමට දීලා. මේ ඉඩම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩුවක් දැම්මා. ඒ නඩුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩම් අයිති වුණත්, ඒ ඉඩම් තවමත් තියෙන්නේ කොම්පැණි අතේ. මහින්ද රාජපක්ෂග් ආණ්ඩුව කාලේ වෙල්ලස්සේ අක්කර හැටපන්දාහක් බි‍්‍රතානයේ බ්ලූකෝ ටෙක් සමාගමට උක් වගා කරන්න දෙන්න සුදානම් වුණා. අපි ඒකට එරෙහිව සටන් කළා. මෛත‍්‍රීපාල සිරිසේන හා රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව එම ඉඩම් සිංගප්පූරු සමාගමකට දෙන්න ලෑස්ති වුණා. ගොවියාට ඉඩම් දෙනවාට වඩා ඉන්න පාලකයොයි, හිටපු පාලකයන්ගෙයි කැමැත්ත තියෙන්නේ බහුජාතික සමාගම්වලට ඉඩම් ලබා දෙන්න. ඒ බහුජාතික සමාගම් කරන්නේත් කෘෂිකර්මාන්තය. මේ බහුජාතික සමාගම්වලට  ඕනෑ ලංකාවේ ඉඩම් හිමි ගොවීන්ගේ කෘෂිකර්මාන්තය වට්ටවන්න. ඉන්පස්සේ ඔවුන්ගේ සමාගම්වල සේවකයන් ලෙස අපේ ගොවින්ගේ ශ‍්‍රමය සූරා කන්න.x