රටේ සමහර සිංහල පුවත්පත් දකින ඕනෑ ම කෙනකුට සිතෙන්නේ ලංකාව යනු මේ මොහොතේ ජාතිවාදී ගිනි පුළිඟු දීප්තිමත් ව දැල්වෙමින් තිබෙන අවස්ථාවක් හැටියට ය. ඒ පුවත්පත්වල මුල් පිටුවේ ප‍්‍රවෘත්ති හැම එකක් ම පාහේ එක එල්ලයක් ඇති ව ලියන ඒවා බව පෙනෙයි. මුස්ලිම් විරෝධයෟ රටේ සිදු වන පුවත් වාර්තා කිරීමකට වඩා ඒවායින් කෙරෙන්නේ මුස්ලිම් විරෝධයක් හැකි තරම් වෙර දරා දල්වන්නේ කෙසේද යන්නට උත්සාහ ගැනීමයි.

මහජනතාවගේ දේපළක් වන විද්‍යුත් සංඛ්‍යාත භාවිත කොට පවත්වා ගෙන යන ටෙලිවිෂන් නාලිකා ද පෙර කී පුවත්පත්වල භාවිතයේ ම දිගුවකි. ඒවායේ ප‍්‍රවෘත්ති වැඩසටහන්වල විකාශ කාලයෙන් වැඩි ම කොටසක් වෙන් කෙරෙන්නේ ද මුස්ලිම් විරෝධය ඇවිළීම සඳහා ය.

පුදුමයකට මෙන් සමාජයේ අතළොස්සක් දෙනා හැරෙන්නට අති බහුතරය අතර මේ මාධ්‍ය භාවිතාව ගැන කිසිදු විරෝධයක්, විචාරයක් ද නැත.

හොඳම උදාහරණය කුරුණෑගල වෛද්‍යවරයකුට එරෙහි ව මෙන් ම, ඒ හරහා සමස්ත මුස්ලිම් ජනතාවට ද එරෙහි ව නඩත්තු කරන භීතිකාවයි.

වෛද්‍යවරයා එවැනි වරදක් කර ඇත්නම්, සැකයෙකින් තොරව ම එය අපරාධයකි. එහෙත් ඒ අපරාධය කළා ද නැද්ද යන්න දැන ගැනීමේ පිළිගත් ක‍්‍රමවේදයක් තිබේ. ඒ ක‍්‍රමවේදයෙන් බාහිරව කිසිවකුට කරුණු පිළිබඳ විනිශ්චයක් දිය නොහැකි ය. ඇමතිවරයකුටත් බැරි ය. හාමුදුරුවන්ටත් බැරි ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින්ටත් බැරි ය. පාරේ කෑගහන මිනිසුන්ටත් බැරි ය.

ඒ නිසා කළ යුතු හොඳ ම දේ ඒ පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයකට ඉඩ හැරීම ය. ඒ පරීක්‍ෂණය සඳහා තමන්ගේ සහාය හැකි පමණින් ලබා දීම ය. එහෙත්, දැන් සිදු වන්නේ එය නොවේ.

දේශපාලන බංකොලොත්භාවයේ පතුලේ සිටින අතුරලියේ රතන හිමි වඳබවට පත්වූවා යැයි කියන (ඔවුන්ගේ කතාවලින් බහුතරයක් මේ සිදුවීමට කිසිම සම්බන්ධයක් නැත. අදාළ වෛද්‍යවරයා අතින් සැත්කමකට භාජනය වී වඳභාවයට පත්වී යැයි කියන කාන්තාවන්ට එන්නට කී විට, සැත්කමෙන් පසු ඇස් පෙනීම දුර්වල කාන්තාවෝද, කුකුලේ කැක්කුම් ඇති වූ කාන්තාවෝ ද පැමිණ පැමිණිලි කළහ. වඳ කිරීම හා කකුලේ අමාරුව සැදීම අතර සම්බන්ධය කුමක්දැ’යි පැහැදිලි කරන කිසිවෙක් ද නැත.* කාන්තාවන්ට වන්දි ලබාදිය යුතු යැ’යි තර්ජනය කරති. අස්ගිරි මහනායක හිමියන් නිතර දෙවේලේ මාධ්‍යයට කතා කරමින් රට තවත් ගිනිගොඩ ඇතුළට ම තල්ලූ කරන්නේ කෙසේ දැයි අත්හදා බලති. විපක්‍ෂ නායකවරයා, වෛද්‍යවරයාට එරෙහි ව පැමිණිලි කරන්නට එන කාන්තාවන්ට විශාල වන්දි මුදලක් ගෙවිය යුතු යැ’යි කියයි. ඒ අසන ‘වන්දි ලබා ගන්නට’ කැමැති කාන්තාවෝ ද එකා පසුපස එකා පැමිණිලි සඳහා එති. එහෙත්, දිවයිනේ මුල් පුවතට අනුව, 4000ක වඳ කාන්තාවන් පිරිසක් නම්, වැල නොකැඞී පැමිණ තවමත් පැමිණිලි කොට නැත්තේ ය.

ඒ අතර, මුස්ලිම් දොස්තර ගල් ගසා මරා දැමිය යුතු යැ’යි කියමින් සමහරු කුරුණෑගල නගරයේ උද්ඝෝෂණ කරති. වෛද්‍යවරයාගෙන් විපතට පත් වූවා යැ’යි කියන, පළමු දරුවා ලැබී දෙවැනි දරුවකු නොලද්දේ යැ’යි චෝදනා කරන මාතාවෝ ද කුරුණෑගල නගරය මැද ‘වෛද්‍යවරයා ගල් ගසා මරා දැමිය යුතු යැ’යි කියති. පුදුමයකට මෙන්, තමන්ගේ කෝපය සංසිඳවා ගැනීම සඳහා ඔවුන් යෝජනා කරන්නේ ද ශරියා නීතියේ දඬුවම් ක‍්‍රමයයි.

ඒ අතර, මේ කෝපයෙන් දැවෙන කාන්තාවන් හඹා යන මාධ්‍ය, ඔවුන්ට කැමරා හා මයික‍්‍රෆෝන අල්ලා, සීමාවක් වාරණයක් නැති ව ආවේගයෙන් හා කෝපයෙන් කරන සියලූ වචන පිට කිරීම් තමන්ගේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති සංග‍්‍රහවල දී ‘සංස්කරණය නොකරන ලද’ දර්ශන ලෙස විකාශය කරති.

පොලිසිය, අල්ලස් කොමිසම කරන්නට ඕනෑ දේ තමන් ම කරයි. කිසිවකු අත්අඩංගුවට ගැනීමට සාධාරණ සැකයක් තිබිය යුතු යැ‘යි නීතියෙන් ම කියතත්, ඒ නොසලකා, හිතවත් කිසිවකුගේ වුවමනා එපාකම්වලට අනුව පුද්ගලයන් අත්අඩංගුවට ගනියි. තිබේ නම් පැමිණිලි ඉදිරිපත් කරන්නට යැයි කියන්නේ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තායින් පසුව ය. ඒ අතර, බොරු ප‍්‍රවෘත්ති මවා මාධ්‍යකරුවන්ට දී ඒවා පුවත්පත්වල මුල් පිටේ පළ කරවා ගනිති. මාධ්‍යකරුවෝ ද පොලිසිය දෙන ප‍්‍රවෘත්ති ඇහිල්ලකින් බැලිල්ලකින් තොරව ජාතිවාදයේ සළුපිළි දවටා මුල් පිටුවට ම වඩම්මති.

මේ නම් එක ම පල්වළකි.

මහානායක හිමිවරුන් ඇතුළු බෞද්ධ භික්‍ෂූහු ද, වෛද්‍යවරු ද, දේශපාලකයෝ ද, මාධ්‍යකරුවෝ ද මේ පල්වළ රිසි රිසි ලෙස ඉහ ගෙන කති. දැනටමත් දුම් දමමින් ඇවිළී තිබෙන ගිනි නිවනු වෙනුවට එය දල්වන්නේ කෙසේ දැයි උත්සාහ කර බලති.

අවාසනාවට, මේ කිසිවක් පාලනය කරන්නට සමත් ආණ්ඩුවක් රටේ නැත්තේ ය. ඕනෑ ම කෙනකුට ඕනෑ ම දෙයක් කියන්නට, අවුස්සන්නට, අවුළුවන්නට ඉඩ දී ආණ්ඩුව වෙනතක් බලා ගෙන සිටියි. ඒ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ගරු කරන නිසා නොවේ. මේ තුළින් තමන් ද දේශපාලන වාසියක් ලබා ගන්නේ කෙසේදැ’යි කල්පනා කරමින් ය.x