‘අපි කවදාවත් හිතුවේ නෑ මෙහෙම කාලයක් එයි කියලා. යුද්දේ කාලෙත් අපි බයෙන් හිටියේ. කාන්තන්කුඩි පල්ලිවලට සංවිධානේ ගැහුවාට පස්සේ අපි හොඳටම බය වුණා. දැන් ආයිත් බය. මේ යක්කු තැන තැන දේශන තියනකොට අපි හිතුවේ නෑ කෙළවර මේක කියලා.’


ගංවතුරක් ආවත් සුනාමියක් ආවත් මොන ව්‍යසනය ආවත් ඇවිද යායුතුය. තොරතුරු සෙවිය යුතුය. වාර්තා කළ යුතුය. ඉතිං මම ඇවිදිමින් සිටියෙමි. මේ ඒ සංසාරික ඇවිදීම් ඇබ්බැහියේ තවත් එක ඇවිදීමක් ය. බක්මහේ පහුගිය 4 වැනිදා සෙනසුරාදාවේ ඒ4 මාර්ගයේ ධාවනය වන අක්කරෙයිපත්තුව බස් එකකට ගොඩවැදුණේ කඳුළු පාස්කුවට පසු නැගෙනහිර මුස්ලිම් ජනපදවල තත්ත්වය කුමක්දැයි සොයා බැලීමටය. මගේ පොරොන්දුකාර මගපෙන්වන්නා කාලයක් මා දන්නා හඳුනන මුස්ලිම් තරුණයෙක් ය. නිරන්තරව පානම යනෙන විට පොතුවිල නගරයේදී මහා සදය සංවාදයට ඇතුළාන්තය විවර කළ මිත්‍ර සම්පත ඔහුය. කඳුළු පාස්කුවට පසුදිනම ඔහු මා අමතා සෑහෙන්න වේදනාවකින් සිටින බව පවසා සිටියේය. ඔහුත් මොහොමඞ් කෙනෙක්ය.

මොහොමඞ් රිස්වාන් මම දන්නා ඔහුගේ නමේ මැද්දෑවය. අපි දෙදෙනා අක්කරෙයිපත්තුවටද, එතැනින් සයින්දමරුදුවටද, එතැනින් කාත්තන්කුඩියටද, වෙලාවක් තිබුණොත් සිංදු කියන මාළුවන්ගේ හඬට කන්දෙන්නට මඩකලපුවටද යන්නට කතිකා කරගතිමු. ඒ කතිකාමය සෙනසුරාදාවේ සන්ධ්‍යා කාර්තුවේ අග මම පොතුවිලෙන් බසින විට ඔහුගේ දූරකථනය වැඩකළේ නැත. ආයි ආයි ගත්තත් එකම පිළිතුරය. මේ පිළිතුර තත්ත්වය දරුණු බව හැඟවීමය. එහෙත් බිය සඟවා ගත යුතුය. කරන්නට දෙයක් නැත. අවසන ඒ වේදනාබර සෙනසුරාදාව ‘කෝ කුමාරි’ යැයි ඇසූ කෝමාරියෙන් අහවර කළෙමි. පසුදා ශීඝ්‍ර ගමනකි.


සයින්දමරුදු සුනාමි ගම්මානය


සයින්දමරුදු සුනාමි ගම්මානය බියෙන් ඇළලී ගොසිනි. තැනින් තැන සිටින හමුදා සෙබල කැළ ආයිත් ආ අලුත් යුද්ධයක තතු කියයි. තැනක තැනක ගෙවල් වසා මිනිසුන් ජීවිතය ගසාබසා ඔහේ කරබාගෙනය. අකාරුණික සුළඟට මුසුව නටන මුහුලස පර්දාවෙන් වසාගන්නට තතනන පාතිමාලා දැන් පේන ඉසව්වේ අඩුය. බෝම්බ පුපුරවා ගත් සහරාන් අනුගාමික මූලධර්මවාදීන් ගැනද ඒ බෝම්බ පිපිරී මස් කැබලි විසිරී අපවිත්‍ර වූ පොළවද දකිනු හැකි!!. එහෙත් කිසිත් ලියා කිම!!


‘අපි කවදාවත් හිතුවේ නෑ මෙහෙම කාලයක් එයි කියලා. යුද්දේ කාලෙත් අපි බයෙන් හිටියේ. කාන්තන්කුඩි පල්ලිවලට සංවිධානේ ගැහුවාට පස්සේ අපි හොඳටම බය වුණා. දැන් ආයිත් බය. මේ යක්කු තැන තැන දේශන තියනකොට අපි හිතුවේ නෑ කෙළවර මේක කියලා.’ සයින්දමරුදු වැසියෙකු අමාරුවෙන් සොයාගත් සිංහල වචන මාලයකට ඇමිණුවේ එහෙමය. උදාවී ඇති අඳුරු දසාව ගැන මීඩියාවලට කතාකරන්න ඔවුන් දැන් හොඳටම බයය. ‘සහරාන්ගේ නංගි ඇරෙස් කළෙත් මීඩියාවලට කතා කළාට පස්සේ.’ කෙනෙක් කියන්නේය.


කෝමාරියට පසු අඞ්ඩාලච්චේනෙයි, ඔලුවිල්, නින්දවූර් පසුකළ පසු සයින්දමරුදුය. වියලි වැලි සුළඟ ඇඟ වියලමින්ද දුහුවිල්ල තවරමින් ද තාවරවෙයි. සයින්දමරුදු වෙනදා මෙන් නැතත් පිබිිදෙන්නට උත්සාහ ගනිමින් සිටියි. ‘හෙට මොනාවෙයිදෝ, අපිව කුදලාගෙන යයිදෝ, ගෙවල්වලින් අපිව එළියට ඇදදමා පරීක්ෂා කිරීම් කරයිදෝ..’ බොහෝ මුස්ලිම් සිත්සතන් අවිනිශ්චිතතාවකය. තවත් දෙනෙකු මුසල්මානුවන් ‘අනේ අපොයි අපි කරගත් දෙයක් යැ’යි සිතමින් සිටින සෙයකි. එහෙත් තාරුණ්‍යය ඊට වෙනස්ව සිතන බව ඔවුන් සිංහල අපිට මුහුණ දෙන සෙයියාවෙන් සිතෙයි.


‘යුද්දෙන් පස්සේ සේරම වෙනස් වුණා. සෞදිය, කටාර් අපිට ගෙවල් හදලා දුන්නා. මුදල් ආධාර දුන්නා. ඒවා අරගෙන සහරාන් අපිට, අපේ ජනතාවට ගොඩාක් උදව් කළා. ඊට පස්සේ මේ විසිකරන සල්ලිවලට ගොඩාක් අය සහරාන්ගේ මතවාදය එක්ක එකඟවුණා, නැතුවා වැඩ කළා. දේශනවලට ගියා. පල්ලි හැදුවා. සහරාන්ලා කියන විදිහට ආගමානුකූලව ජීවත් වුණා. අන්තිමට අනෙකුත් ආගම්, ජාතීන් අපිට පෙන්නන්න බැරුව ගියා. දැන් ඉතිං ගෙදරින් එළියට බහින්න බෑ. වෙළඳාමක් කරගන්න බෑ. ඉස්සර හිටපු විදිහට ආයෙත් යන්න තියෙයි නම් කියලා හිතෙනවා. ඒත් ඒක අපි හිතන තරම් ලේසි නෑ.’ මා සයින්දමරුදු පසුකර කල්මුණේට පැමිණි විට, එහිදී මුණගැසුණු සාම්ප්‍රදායික මුසල්මානුවෙකු වුණ අබු අබ්දුල් කාමිල් මොහොතකට මා අසළ නතරවී ගිරවෙකු සේ වචන තේරුවේ එලෙසින්ය. මෙය ආරූඪ නාමයක් බව මතක තබාගන්න. අපි දකුණේ කොළඹදී මුසල්මානුවෙකු දෙස බලන නුහුරු බැල්මෙන්, මේ නැගෙනහිරදී මුසල්මානුවන් මදෙස බලන’යුරු පෙනෙයි. අප සියල්ලන්ම මනුෂ්‍යයන් බව මම හඟිමි. බොහෝ දේ කතාකරන්නට සිතාගෙන ආවත් හැමතැනම තිබෙන්නේ නිහඬ මගහැරීම්ය. මේ කාලය මගහැර වෙනත් කාලයකදී සාකච්ඡා කරන්නට මේ ප්‍රශ්න මගහැරීම අදට වඩා ව්‍යසනයකට අත වැනීමක් බව මතක් කළ යුතුය.


‘නබිතුමාණනි, ඊමාන්ධාරී වූ කාන්තාවන්හට පවසන්න, ඔවුන් තමන්ගේ බැල්ම පහත හෙළිය යුතුයි, තමන්ගේ රහසඟද රැකගත යුතුයි, තමන්ගේ දේහ අලංකාරය (සාමාන්‍යයෙන් පිටත පෙනෙන දේ හැර) නොපෙන්විය යුතුයි. තවද, තමන්ගේ පයෝදර උතුරු සළුවකින් ආවරණය කරගත යුතුයි” (අල් කුර්ආන් 24:31)


”කවරෙකු ලෞකික ආශාව ඇති කරන ඇඳුම් අඳින්නේද, ඔහුට අල්ලාහ් මරණින් මතු ජීවිතයෙහි නින්දා සහගත ඇඳුම් අන්දවන්නේය, පසුව, ඔහු ගින්නෙහි දමනු ලැබේ”:නබිතුමා
මෙම කුරාන වැකි දෙක එකට ගෙන කියවන බොහෝ ගැහැනු ගෙවල්වලට වී දොරවල් වසාගන්නෝය. පිරිමින්ද, අප ජාතීන් දෙකක් ලෙස කොතරම් දුරස්ථදැයි පෙන්වමින් සිනහවක්වත් නැතුව කරබා ගන්නෝය. හමුදාව තැන තැන මුර සංචාරයේද, අතුරු මගෙහි තවමත් ගෙවල් පරීක්ෂාවේද සිටින බව පෙනේ. සැලවේ.


කාත්තන්කුඩි


රටඉඳි ගස් නගරයට මා ඇතුල් වුණේ හමුදා රථයක නැගී මග තරණය කරමින් ය. ‘ඔපරේෂන් නම් 80%ක් ඉවරයි. දැන් තියෙන්නේ සාමන්‍ය දේවල්. මෙහේ මිනිස්සු දැන් උදව් කරනවා. සමහර තැන්වල ප්‍රශ්න එනවා. ඒත් අපි ඒවා ගණන් ගන්නේ නෑ’ සොල්දාදුවෝ කියන්නෝය. කාත්තන්කුඩි නගරය එක පැත්තකින් මුහුදෙන්ද අනෙක් පැත්තෙන් සින්දු කියන මාළුවන් ඉන්න මඩකළපුව කළපු දියවරින්ද වට වුණ පටු ගොඩබිම් පටියක්ය. ලංකාවේ විශාලම ජනඝනත්වය මෙහි බව සමීක්ෂකයෝ පවසති. එක හුස්මට යාවූ නිවෙස්ද කඩද පල්ලිද ඒ බව ඇසට හසුකරන්නේය. එල්ටීටීඊ කාලයේද නේක පීඩා විඳි මේ නගරය සුනාමියෙන් ද බොහෝ බැටකෑවේය. එහෙත් මිනිස්සු නැගිට්ටෝය. වෙළෙඳාමට කවදත් දක්ෂ මුසල්මානුවෝ නැගෙනහිර දියුණුම නගරය ලෙස මේ නගරය දියුණු කළෝය. මෙම ජනඝනත්වයට පිංසිදුවන්නට සෞදියෙන් සහ කටාරයෙන් යහමින් මුදල් පොම්පකර ව්‍යාප්ත කරන මුස්ලිම් වහාබිකරණයට මේ නගරය ශීඝ්‍රයෙන් යටවුණා කීවොත් නිවැරදිය. මෙහේ මිනිස්සු දැන් එම තත්ත්වය පිළිගනිමින් එහි අනිටු විපාක ගැන කම්පනයෙන් පසුවෙන්නෝය. කල්මුණේදී දමිළ බසින් අප ඇමතූ එක් යුවතියක් එය වචනවලට හැරෙව්වාය. මා අසළ සිටි මුස්ලිම් මිතුරා ඒ දමිළ වැකි සිංහල පෙරණයකින් පෙරුවේ මෙලෙසය. ‘අපිට ඔයාලට මුහුණ දෙන්න ලැජ්ජයි. ඔයා මේක හරියට කොළඹට කියන්න. හැබැයි මේක කියලා මටත් ලේසි වෙන්නේ නෑ. මේ තත්ත්වය එච්චර සීරියස්. හැබැයි සිංහල සමාජයට මේකට කරන්න කිසිම දෙයක් නෑ. මුස්ලිම් සමාජය අපි ඉක්මනින් ඇතුළින් ප්‍රතිසංස්කරණය වෙන්න ඕනෑ. ඒක කරන්න පුළුවන් මවුලවිතුමන්ලාට, අපේ දේශපාලක නායකයන්ට.

ඒත් මේ එන සල්ලි කන්ද නැතිකරගන්න කවුද කැමති. ඒ හින්දා ගොඩාක් මුස්ලිම් උගතුන්, නායකයෝ මොනවා හරි ටිකක් කරලා මේ දුෂ්කර කාලය ගෙවාගන්න තමයි හදන්නේ. නීති හදන්න ඕනෑ. ඒත් නීතිවලට කරන්න පුළුවන් දේවල් ටිකයි’ මේ කාන්තන්කුඩි සමහර තරුණියන් සිතන ආකාරයයි. මේ ප්‍රහාරය සමහරෙකු තමන් මෙතුවක් කාලයක් රිංගාගෙන සිටි ගුහාවලින් එළියට එන්නට තරම් නිර්භීත කර තිබීම සැනසිලිදායක හැඟීමක් සාදයි. එහෙත් ඔවුන්ද සිටින්නේ බිය ගැන්වීගත් ගමන්ය. අන්තවාදය එතරම්ම ශක්තිමත්ය. ලංකාවේ මුස්ලිම් ජනගහනය මිලියන දෙකකට ඔන්න මෙන්නය. එයින් 98%ක් වූ බහුතරය සුන්නි නිකායිකය. එම 98%ක ප්‍රමාණයෙන් 2%ක් තරම් වන මේ තව්හිඞ් ජමාත් අන්තවාදී කල්ලිය කුඩාය. එහෙත් දැඩි ආගමික ප්‍රජාවක් වන මුසල්මානු සමාජය තුළ මේ වහාබිවාදී සුළුතරයට ලොකු බලයක් තිබෙන්නේය.
මෙම ආගමික අන්තවාදය නිසා කාත්තන්කුඩියේ සුළුතරයක් බොහෝ පොහොසතුන් වූ බව බොහෝ මුස්ලිම් මිනිස්සු කියති. ඔවුන් සතුව ව්‍යාපාරද බොහෝ ඇති බව දැනගන්නට ලැබේ. මේවා ඉක්මනින් හඳුනාගෙන කටයුතු කළහොත් මේ අන්තවාදය ඉක්මනින් පැතිරීම අවසන් කළ හැකිය. එහෙත් සහමුලින් අතුගා දමන්නට තව බොහෝ දේ කළ යුතුය. මේ මිනිසුන් සමහරෙකු කියන්නේ, මෙහෙ තිබෙන බොහෝමයක් මද්‍රසා මුස්ලිම් අධ්‍යාපන ආයතන දරුවන්ගේ අධ්‍යාපනය ආගම ඉගෙනගැනීමට පමණක් සීමා කර ඇති බවය. නැතිනම් අනෙකුත් විෂය ක්ෂේත්‍ර ඉගෙනගැනීම දරුවාගෙන් දුරස්ථ කර ඇති බවය. මෙය එසේ වී නම් බරපතළ තත්ත්වයක්ය. රජය මෙවැනි ආයතන නියාමනය කළ යුතුය. ආගම ඉගැන්වීම තහනම් කරන්න යැයි මේ ලියුම්කරු නොකියයි. එහෙත් හැම ආගමක්ම නියෝජනය වෙන මිශ්‍ර පාසල් තුළට දරුවන් යොමුකර ලීමට පාලකයන් ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය. එය සිංහල දෙමළ මුස්ලිම් ඒකීයව බැඳුණු රටක් හදාගන්න කළ යුතුම දෙයකි.


මඩකළපුව විශ්වවිද්‍යාලය


ඒ4 මාර්ගයේ කල්අඩි පාලම පැන වාලච්චේනය පසුකළ විට පූනානිහිඳී හමුවෙන මඩකළපු කැම්පස් නම් අධ්‍යාපන ආයතනය ගැනද පොඩි විස්තරයක් ලියා මේ ලියවිල්ල හමාර කළ යුතුය. මේ ලියුම්කරු මඩකළපු යන බොහෝ වාර ගණනකදී මෙය දැක ඇත. එහෙත් මිනිසුන්ට ඇස් පාදන අධ්‍යාපන ආයතනයකට විරුද්ධවන්නට කාටද පුළුවන් කියා ඒ බොහෝ අවස්ථාවල මේ පිළිබඳව කතා නොකර සිටියෙමි. එහෙත් දැන් දැන් එළියට එන තොරතුරු සිංහල සාමන්‍ය මිනිසාගේ මුසල්මානුවා කෙරෙහි කැකෑරෙන අවිශ්වාසය දියුණු කරන නිසා මේ ගැන ලිවිය යුතුය. 2013 අවුරුද්දේ එවකදී වෘත්තීය පුහුණු ඇමති ඩලස් අලහප්පෙරුම සහ වර්තමාන නැගෙනහිර ආණ්ඩුකාර එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා අතර ගිවිසුමකින් මෙම අධ්‍යාපන ආයතනය අරඹා ඇත. දැනට මෙම අධ්‍යාපන ආයතනයේ නම තුන් සැරයක් වෙනස් කර ඇත. මේ ආයතනය සඳහා මුදල් ආධාර දුන්නායැයි කියන්නේ සෞදි අරාබියේ ජෙඩාහි සිටින ධනවතෙකුයැයි කියන අලී අබ්දුල්ලා අලීය. ඔහු ප්‍රදානය කළ මුදල රුපියල් මිලියන 3600ක් බව දැනගන්නට ඇත. එම මුදල ‘හිරා’ නම් පදනමකට දුන් බවද දැනගන්නට ඇත. එම පදනමේ අධ්‍යක්ෂකවරුන් සේ කටයුතු කරනවා යැයි කියන්නේ ඉහත නම සඳහන් කළ හිස්බුල්ලා සහ ඔහුගේ පුතාය. මෙම මුදල් ගනුදෙනුවද බැලූබැල්මට සැක බව කිව යුතුය. මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හෝ වෙනයම් තැනක හෝ ලියාපදිංචි කර නැති බවද දැනගන්නට ඇත. එනිසා මේ පිළිබඳව සොයා බැලීම ආණ්ඩුවේ පැවැත්මට මෙන්ම රටේ යහපැවැත්මටද හොඳය.


දැන් ඉතිං නැගෙනහිරට සමුදිය යුතුය. යහපත් සහ සමගි සම්පන්න දියුණු රටක් වෙනුවෙන් අපි සියලු අන්තවාදයන්වලටද සමුදිය යුතුය. ■