වේයන් තුඹස් තනන්නාක් මෙන් පොළෝ පොත්ත පිරෙන්නට ගොඩනැගිලි ඉදි කළ මිනිස්සු, කුරුල්ලන් සේ උඩු ගුවන ද ආක්‍රමණය කළහ. එය කළේ ඔවුන්ට නිසඟයෙන්ම හිමි වූ බුද්ධි මනසින් සහ වීර හදවතිනි. ලෝ ධාතුවේ සැඟවුණු සත්‍යයන් විද්‍යාවෙන් පාදා ගත් මිනිසා ඉදිරියේ සොබාදහම ද බොහෝ විට ලැබුවේ පරාජයයි. මනෝඥ මානවයා නිශ්චිත නියාමයන්ට පවා කලින් කල අභියෝග කළේය. ගුරුත්වාකර්ෂණ නියමය පිළිගෙන පාඩුවේ නොසිටි ඔහු ගුවන් යානා තනාගෙන පියාසර කළේය. බිම නොවැටී අහසේ සිටීමට ඔහුට ඕනෑ තරම් ආම්පන්න තිබිණි. ඒ සඳහා ඔහුට යකඩ දණ්ඩක් වුව සෑහුන බව මේ යාබද ඡායාරූපය ඔබට කියාවි.

ඡායාරූප කලා මායාකරුවන් ඉතිහාසය රූප මාධ්‍යය තුළ නිශ්චල කර තබන අයුර මීට පෙරද අපි සොයා බැලුවෙමු. දශක ගණනාවකට පසුව වුව ඡායාරූප විඳින්නෙකුට “හිම කුමාරිය දිගු නින්දෙන් පුබුදුවන්නට හාදුව දුන් කුමාරයාගේ කාර්යය” ඉටු කළ හැකිය. කලාවේ රසිකයෝ විටෙක එවැනි විස්මිත අත්දැකීම් ලබති. ඡායාරූපයක පාත්‍ර වර්ගයා ඇඟිල්ලෙන් ස්පර්ශ කර, මනස තුළ ඔවුන්ගේ රූපාවලීන්ට පණ පිහිටුවති. මේ ඡායාරූපයේ සිටින්නේ වෙහෙසකර දිනයක මධ්‍යයේ, දිවා ආහාර විවේකය විඳින කම්කරුවන් එකොළොස් දෙනෙකි. මම ඔවුන් දෙස උද්යෝගයෙන් බලා සිටිමි. එක්තරා මොහොතක ඒ පින්තූරය චලන ඉරියව් සහිත සිනමා පට ඛණ්ඩයක් බවට පත් වෙයි. ඔවුන්ගේ කතාබහ – සිනා හඬ එකවරම සවන් පුරවයි. කාර්මික යුගයකට දුම් ඉසින ඉතිහාසයේ එක්තරා අහසක අව් රැසින් පෙළෙමින් ඔවුහු ජීවිතයේ මඳ විරාමයක් ගෙවති. පහළ ආගාධ නගරය සංකේතවත් කරන්නේ ජීවිතයේ අපැහැදිලි ගැඹුර යැයි මට සිතෙයි. එකෙකු දුම්වැටිය දල්වා ගන්නා අතර සමහරෙක් දිවා ආහාරයෙන් සංතර්පණය වෙති. මේ අතර සියල්ලන්ම දෙන්නා-තුන්දෙනා බැගින් විවිධ සල්ලාපයන්වලය.

මේ අපූරු ඡායාරූපය ඇමරිකාවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හි රොක්ෆෙලර් මධ්‍යස්ථානය ඉදි කරද්දී එහි අඩක් නිමැවුණු 69 වන මහලේ සිට ගන්නා ලද්දකියි සැලකේ. මේ කම්කරුවන් වානේ තේඩාවලින් එල්ලෙන යකඩ හරස් ස්ථම්භයක වාඩි වී සිටිනුයේ නිව්යෝර්ක් නගරයේ සිට අඩි 850ක් ඉහළිනි. 1930 දශකයේ මහා ආර්ථික අර්බුද සමයේ (Great Dippression) ඡායාරූප මාධ්‍යයෙන්ද නිරූපනය වූයේ ආර්ථිකයේ පිරිහීම, සමාජයේ බලාපොරොත්තු විරහිත බව, විරැකියාව, මිනිසාගේ පරාජය සහ කලකිරීම යනාදියයි. එහෙත් 1932 ඔක්තෝබර් දෙවෙනි දා New york Herald-Tribune පුවත්පතේ පළ වූ  “Lunch atop the skyscraper” නමැති මේ ඡායාරූපය දුන්නේ ඊට වෙනස් ආකාරයක පණිවුඩයකි. පසුබැසීම් මධ්‍යයේ වුවද ඇමරිකානු ආර්ථිකය සක්‍රීයව පෙරට යන බවත්, ඒ තුළ වැඩ කෙරෙන බව සහ මිනිසුන් වැඩ කරන බවත් එය නිහඬවම ලෝකයට කියා පෑවේ ය.

මේ පින්තූරයට ආසා කිරීමට මට නම් තවත් හේතු තිබේ. ඕනෑම කලාවක් තමන්ට ඕනෑ හැටියට විඳ ගැනීමට රසිකයාට ඇති නිදහස නිකමට හෝ භාවිතා කර බැලිය යුත්තකි. යකඩ බරුව මත සිට බලන අපට අර ගැඹුරු නගරය ඇක්රොෆෝබියානු සංවේගයක් දනවයි. එයින් එකවරම ඇඟවෙන්නේ ජීවිතයේ “මොහොතින් අහිමි විය හැකි ස්වභාවය” හෙවත් අනිත්‍යය මිස අන් කවරක්ද? යමෙකුට සැහැල්ලු විවේකය තුළ සැඟව ඇති කම්කරු දිවියේ කටුක වේදනා සංතාපයද අවැසි නම් මෙයින් කියවා ගත හැකිය. අනෙක් අතට මේ කම්කරුවන්ගෙන් පළවනුයේ ඉහළ සිට පහළට වැටීම ගැන මෙලෝ සංසාරයක බයක් නැති ස්වභාවයකි; ඔවුන් ඒ සුළු විරාමය රස විඳින්නේ “ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී”‍ වර්ගයේ ආකල්පයකින් යැයි හැඟේ.

මෙම ඡායාරූපයේ හිමිකාරීත්වය දරන කෝබීස් ආයතනයේ ඓතිහාසික සේයා රූ අංශයේ අධ්‍යක්ෂ කෙන් ජොන්සන් 2012 වසරේදී Wall Street journal පුවත්පතට කළ ප්‍රකාශයක් මෙසේ ය.

“මේ තමයි ආර්ථික අවපාත සමයේ දෙවෙනි වසර. මේ කාලයේ එක පෙළට මිනිසුන් සිටියේ පාන් පෝලිමක නැත්නම් සුප් හදන කුස්සියක් ඉස්සරහ විතරයි. මේ ෆොටෝ එක වැදගත් වෙන්නේ ඒ නිසයි. මේක නමසිය තිහේදී ඇමරිකාවේ මිනිසුන් දියුණුව පිණිස වැඩ කළ බව පෙන්වන සහතිකයක්.”

රොක්ෆෙලර් මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙහි හතළිස් දහසකට අධික කම්කරුවන් පිරිසක් සේවය කළ බව කියැවේ. එබැවින් මේ පින්තූරය අද ලොව වැජඹෙන විශාලතම ගොඩනැගිල්ලක ඉතිහාසය දක්වන අනගි සැමරුමකි. එහෙත් මෙය කවුරුන් විසින් ගන්නා ලද ඡායාරූපයක්ද යන්න තවමත් නිශ්චිත නැත. ඒ කැමරාකරුවා මේ ව්‍යාපෘතිය ආශ්‍රිතව කටයුතු කළ චාල්ස් එබට්ස්, විලියම් ලෙෆ්ට්විච්, තෝමස් කෙලී යන තිදෙනාගෙන් කෙනෙකු යැයි විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් මේ ඡායාරූපය රොක්ෆෙලර් මධ්‍යස්ථානය පිළිබඳ ප්‍රචාරක වැඩපිළිවෙලක් උදෙසා නිමැවූවක් බවට, ෂේන් ඕ කුවලේන්ගේ “Men at Work” නම් වාර්තා චිත්‍රපටයට අදාළ දර්ශන තලයේදී කැමරාගත වූවක් බවට, කැමරා තාක්ෂණය යොදාගෙන පොළොව මතදී ගන්නා ලද වංචනික ඡායාරූපයක් බවට ආදී ලෙස විවිධ අදහස් පළ වෙයි. ඒ කෙසේ වෙතත්, ඉතිහාසයේ වඩාත්ම බලපෑමක් කළ ඡායාරූපයක් ලෙස පිළිගැනෙන මේ ආකර්ශනීය සේයාරුවෙහි විශාල ප්‍රමාණයේ පිටපතක් ලබා ගැනීමට ඇති වන ලෝබ සිත ඒවායින් අඩපණ නොවේ. ඉතින් එය මට පමණක් නොව ලෝකයකට පොදු ලෝබ සිතකි. පිටපත් අලෙවිය අතින් එය ඇත්තේ කෝබීස් සමාගම සතු වූ අයින්ස්ටයින්ගේ සහ මාටින් ලුතර් කිංගේ ඡායාරූපවලටත් වඩා ඉදිරියෙනි.

ලක්ශාන්ත අතුකෝරල