පසුගිය මාසයක කාලය තුළ මා අධික ලෙස කාර්යබහුලව සිටියේ යම් නිර්මාණ කටයුත්තක පැටලී සිටි හෙයිනි. ඒ කාලයේ විවිධ මට්ටමේ දක්ෂ නිර්මාණ ශිල්පීන් සමග සමීපව ඇසුරු කළේ ඔවුන්ගේ වෘත්තීය දායකත්වය මාගේ පරිශ්‍රමයට සම්බන්ධ කරගැන්මට ය. එවන් එක් ශිල්පියෙක් තම නිර්මාණශීලී දායකත්වය කෙරුමට අවැසි මුදලද මුලින්ම කතා කරගති. එහි වරදක් නැත්තේ එය ඔහුගේ විනෝදාංශය නොව වෘත්තිය බැවිනි. යට කී ශිල්පියා වචන හා මෝස්තර එකට කැටිකොට බුහුටි දේශපාලන මීම තනන්න රුසියෙකි. පවුල්කාරයෙකු වුවද වැඩිපුරම වසන්නේ සකර්බර්ග් නිවසේ බව පෙනේ. ඒ යට කී පෝස්ටු පිසින්නට හා බෙදන්නට ය. කෙසේ හෝ මේ මෝස්තරකරු එක් සවසක හදිසියේ බිඳුණු හඬකින් මා ඇමතුයේ එකල මා නිවස්න-නිරෝධායනයේ සිටින අතර ය. තම දරුවාට අමුතු ලෙඩක් වැළඳී ඇති බවත් වහා දරුවා චැනල වෙදෙකු වෙත ගෙනයාමට තරමක මුදලක් අවැසි බවත් එය මට දිය හැකිද යන්නත් විමසුයේ දුක්බර කවියක් බිඳුණු හඬකින් කියන විලසිනි. මා අතේ එවන් මුදලක් නොතිබුණු අතර හිතවතෙකුට අමතා එය යට කී මෝස්තරකරුවාට දෙන ලෙස වහා පියවර ගත්තේ මගේ දරුවාද කුඩා කල එවන් තත්වයන්ට අප මුහුණදුන් අයුරු සහකම්පිතව සිහිකරමිනි. මෝස්තරකරු වහා පැමිණ වදනකුදු නොදොඩා මුදල් නෝට්ටු ටික රැගෙන පියඹා ගිය බව මා වෙනුවෙන් මුදල දුන් මිතුරා කීවේ ‘මූ මොකෙක්ද හැබෑටම?’ නොකියා ය. ඇබැද්දියක් මැද ස්තුති පූර්වකව මධ්‍යම පන්තික මැනර දදා ඉන්න නොහැකි බව මම මිතුරාට පැහැදිලි කර දුනිමි.
මා ෆේස්බුකයේ කල් මරන අතර, අපගේ මෝස්තරකරුවා දෙස්පලු-රැඩිකල-කලාකරු ගැන්සියක් සමග ආප්ප කමින් සිටින පෝස්ටුවක දිටිමි. ඇත්ත මිනිසුන්ගේ පක්ෂයේ නායකයා එතැනට වැඩම කර සිටියේ එම පක්ෂයේ වැඩිකල් නොගොස් රැඩිකල් වූ අපේක්ෂකයෙකුගේ වෙබ්සයිටය ලෝන්ච් කිරීමේ චාම් ආප්ප සාදයට ය. අප මෝස්තරකරුද යට කී පක්ෂයේ නායක සහෝදරයා සමග ආප්පයක් කන සෙල්පියක් ආප්පය කන එක බාගෙට නවතාදෝ එකිණෙහි ම උඩුගත කළ බව පෙනුණේ ස්ටේටසය ‘ඊටින් හොපස් විත් කොම්රස්’ කියා පළ කර තිබූ බැවිනි. අමුතු ලෙඩක් වැළඳී දරුවා නවලෝකෙට වහා ගෙනයාම බිරිඳට පවරා සැමියා ඓතිහාසික විප්ලවීය කර්තව්‍යයක නිරත වීම වාමාංශික සම්ප්‍රදායක් බැවින් මම ඒ ගැන වඩා කරදර නොවුණෙමි. මට කරදර වන්නට සිදුවුණේ මේ මෝස්තරකරුවා මොබයිලයෙන් හෝ වෙනත් මගින් සම්බන්ධ කරගන්න මා ගත් උත්සාහයන් සියයක් පමණ අසාර්ථක වූ බැවිනි. පොරොන්දු වූ වැඩෙත් ඉල්ලාගත් මුදලත් සමග ස්වයංඅතුරුදහනක සිටින මෝස්තරකරුවා සූස්තරකාරයකු බව මට පැවසූයේ තවත් ඇත්ත මිනිසෙකි. එහෙත් ඔහු තිත්ත දේශපාලනයේ නොමැත.
යට කී ආප්ප සාදයේ රැවුලක් නොමැතිව සිටියේ අපේක්ෂකයාගේ බිරිඳ හා සෙසු රැඩිකලුංගේ බිරින්දෑවරුන් පමණි. සිංහරාජ රැවුල් සිට අක්කරේට පොල් රැවුල් අතර මගේ අවධානයට යොමුවුණේ මා ප්‍රිය කරන ගරු කරන චින්තන ධර්මදාස වෙතය. රැවුල වැවුව ද මෙතෙක් රැල්ලට ගසා නොගිය චින්තන රැඩිකල් ආප්ප අතර සිටීම මා මඳක් සිතන්නට පෙළඹවී ය. ඔහු අධ්‍යක්ෂණය කළ අනගි නිර්මාණයක් වන ‘ඇවිළෙනසුලුයි’ චිත්‍රපටය මේ දිනවල තිරගත වෙන්නේ කොවිදියාවට හසුවී මාස තුනක් නිරෝධායනයේ තිබීමෙන් අනතුරුව ය. රෝඞ් ෂෝ පන්නයට නිර්මාණිත මෙම චිත්‍රපටය මා බැලුවේ මීට වසර දෙකකට තුනකට පෙර දිරණ චිත්‍රපට උළෙලේ පැය එකහමාරක් පමණ පෝලිමේ සිට අනතුරු ය. එවැනි කට්ටක් අනුභව කර බලන්න තරම් වටිනා චිත්‍රපට අත්දැකීමක් බව කිව යුතු ය.
අප මෝස්ත්රකරු හා මිතුරු කැළ දිනවන්න කැසකවන දේශපාලන බලවේගය ද ඇවිළෙනසුලු පන්නයේ එකක් ලෙස යට ගිය දවස තිබුණා වයසක අපට මතක ය. එකල එම සහෝදරවරුත් සිටියෝ රෝඞ් ෂෝ හෙවත් මහපාරේ ය. එහෙත් දැන් දැන් ඔවුහු වෝටර්ස්-එජකරණය වෙමින් සිටිති. එහි වරද කිම? සැප ඔවුනට අකැපද? ඒ අර්ථයෙන් බලන කල චින්තනගේ චිත්‍රපටය අදාළ පක්ෂයේ අතීතය ද වර්තමානය ද සංකේතවත් කරයි. පරණ මොඩල් එකේ රතු ස්පෝර්ට්ස් කාර් එක පරණ අදහස් හා මතවාදය පරෙස්සමින් හා දක්ෂ ලෙස සංරක්ෂණය හෙවත් රෙස්ටෝ(ර්) කිරීම පිළිබිඹු කරයි. ඇත්තෙන් ම අප අදාළ දේශපාලන ප්‍රවාහයට ‘පරණ‘ යි කීම වැරදි ය. කිව යුත්තේ ‘රෙට්රෝ‘ කියා ය. රෙට්රෝ යනු පරණ දේ නැවත කරන විලසිතා ශානරයකි. ඒ අනුව ශ්‍යාම් ප්‍රනාන්දුගේ චරිතයට යට කී ආප්ප සාදයේ සත්කාරක අපේක්ෂක ආදේශ කළ හැක. ඇත්තෙන් ම ඉතා කඩවසම් හැඩකරුවෙකු වන ඔහු වරක් සමාජ මාධ්‍ය තුළ යමෙකු හැඳින්වූයේ විජය කුමාරණතුංගගෙන් පසු ලංකාවේ බිහිවුණු උණුසුම්ම සෙක්ස් සිම්බලය බව ය. ඔහු ශ්‍යාම්ටත් වඩා ස්ටයිල් එකට රතු රෙට්රෝ කාරයේ ස්ටියරින් වීලය හසුරවනු ඇත. පොඩි ගැටලුවක් මතු වන්නේ සමනලීගේ චරිතයට ආදේශ කරගන්නේ කවුද කියා ය. අදාළ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ අග්ගිස්සේ, එක් කලක් වීදි නාට්‍ය හා පසුව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිළියක් සිටින්නී ය. සිකැරට් එක බිව්වත් සමනලී මෙන් යුහුසුළු ව දෙකකුල් ඩෑෂ්බෝඩයේ තබා ගැන්මේ වයසක එතුමිය සිටීද යන්න සැක සහිත ය. ඒ ලාංකීය බහුතර මහලු කාන්තාවන්ට ඔස්ටෝපොරෝසිස් තත්ත්වය ඇති බැවිනි. එහෙත් එක විසඳුමක් ඇත. එනම් රුව පැත්තක තබා සමනලීගේ නමට කිට්ටු නමක් ඇති කොළඹ අපේක්ෂිකාවක ඒ සඳහා ‘කාස්ට්’ කිරීම් ය. එම සහෝදරියගේ සැමියා පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයෙකු වන අතර වාර කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය. කොටන් සාරියෙන් හැර එතුමිය මා දැක නැත. අවංකව ම මහන්සි වී දහදිය පෙරාගෙන වැඩ කරන ඈ විටෙක කරගම්පිටිය-හෙට්ටියාවත්ත 176 බස්රියේ ද යනු මම දකිමි. එවන් කාෂ්ටක අයෙකු සමනලීගේ චරිතයට කාස්ට් කරන්නේ කෙසේ ද යන්න කෙනෙකු ප්‍රශ්න කළ හැක. එතුමිය ස්ටෝන්-වොෂ්ඞ් ඩෙනිම් ෂර්ට් එකක් පමණක් කොටට කොටේ හැඳ සමනලීගේ චරිතය කරනු පරිකල්පනයට අමු ගල් භාගයක්වත් අවැසි ය.
චින්තනගේ චිත්‍රපටය කොතරම් අනගි වුව ද ප්‍රේක්ෂක පැමිණීම අඩු ය. ඊට චින්තනට දෙස්දෙවොල් කීමෙන් වැඩක් නැත. අදාළ පක්ෂය ද එසේ ය. ප්‍රතිපත්ති ලොරි ගණනින් පැටවී ඇත. අපේක්ෂකයෝ දුෂණ නොකරති. කන්නේ බොන්නේ මේ ඊයේ පෙරේදා එක් වූ ඩුප්ලිකේට පිරිස පමණි. ඔතෙන්ටික් ඔරිජිනලයෝ සුරාසූදුවෙන් ද තොර ය. ඔවුහු කොණ්ඬේ කපන්නෝ ද දත් මදින්නෝ ද ජනතා පිණ්ඩපාතයෙනි. මේ තරම් ටැරන්ටිනෝමය පක්ෂයකට ඡන්ද වැටෙන්නේ සියයට දෙක තුනක් පමණි. ලාංකීය සිනමා ප්‍රේක්ෂාගාරයේත් ඡන්දදායකයන්ගේත් බරපතළ ව්‍යාධියක් ඇති බව අපට පෙනේ.
චින්තනගේ චිත්‍රපටයේ හා අදාළ පක්ෂයේ එක් වෙනසක් පමණක් ඇත. ඒ මෙය ය. ප්‍රේක්ෂකයා ආවද නොආවද ධර්මදාසට කම් නැත. ඔහු තම සතුට පවත්වා ගන්නේ චිත්‍රපටය විවිධාකාරයෙන් ඩිස්කෝසයක් ලෙස සමාජගත කරමින් ය. ඔහු නිතරම සිනාසෙමින් හා අනුන්ට දොස් නොකියමින් චිත්‍රපටය විඳිමින් සිටියි. එවන් දියුණු හා ‘කූල්’ මනසක් අදාළ පක්යේ කොම්රඞ්වරුන්ට ඇත්ද යන්න මම නොදනිමි. සමහර විට පැෂන් එකට නොව ෆැෂන් එකට දේශපාලනය කරන මෝස්තරකාර පන්නයේ රැඩිකල් රැවුල්ධාරීන් සමහර විට මෙම තත්ත්වයට ව්‍යතිරේඛයක් විය හැක. ඔවුන්ගේ ඇවිළෙනසුලු රැඩිකල් රැවුල් ගිනිගත් කලක ජනතාවට කරදරයක් නැතිව සුරුට්ටුවක් පත්තු කරගත හැක.
උදන් ප්‍රනාන්දු