මධ්‍යම කැලිෆෝනියාවේ දිස්ත‍්‍රික් උසාවියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරන ලද සිවිල් නඩු දෙකෙන් ඔහු ගළවාගනු පිණිස, ඔහුට රාජ්‍යතාන්ත‍්‍රික මුක්තිය ලබාදෙන මෙන් එක්සත් ජනපද ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමේ සූදානමක් ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය හරහා සැලසුම් කෙරෙමින් තිබෙන බව අනිද්දා වෙත වාර්තා වෙයි.

දැන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ කිසිදු නිල තනතුරක් හොබවන්නේ නැති ගෝඨාභයට විරුද්ධව පවරා ඇති අධිකරණ ක‍්‍රියාමාර්ගයන්ට මුහුණ දීමෙන් ඔහු බේරාගැනීමට උත්සාහ කළ හැකි එකම මග වී ඇත්තේ, ඔහුට රාජ්‍යතාන්ත‍්‍රික මුක්තිය ලබාදීමට ශ‍්‍රී ලංකා රජය විසින් තීරණය කොට, එම තීරණය විදේශ අමාත්‍යාංශය හරහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැන්වීමයි. එසේ දන්වනු ලැබුවහොත්, අදාළ විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට

රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති අතර, ඒ අනුව නඩුව නිෂ්ප‍්‍රභ කළ යුතුද නැතිද යන්න සලකා බැලීමට ඔහුට සිදුවනු ඇත.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගයන්ට අනුව ගෝඨාභය බේරාගැනීමේ සඳහා විදේශ අමාත්‍යාංශය හරහා දැරෙන මේ උත්සාහය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෙන්ම අගමැති රනිල් වික‍්‍රමසිංහගේ අනුදැනුමත් ඇතිව සිදුවෙමින් තිබෙන බව ආරංචි මාර්ග කියයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලසන්තගේ දියණිය අහිම්සා වික‍්‍රමතුංග විසින් 2019 අපේ‍්‍රල් මාසයේදී පවරන ලද එක් නඩුවක් සඳහා නීති ආධාර සපයනු ලබන්නේ යුක්තිය සහ වගඋත්තරදායකත්වය සඳහා වූ මධ්‍යස්ථානය (ක්‍න්‍් – ක්‍ැබඑැර දෙර න්‍මිඑසජැ ්බා ්ජජදමබඒඉසකසඑහ* විසිනි. ලසන්ත ඝාතනය සහ විවේචනාත්මක මාධ්‍යකරුවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය යොදාගැනීම සම්බන්ධයෙන් එවකට සිටි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු බවට පැමිණිල්ල වෙතින් චෝදනා නගනු ලැබ තිබේ. 

මීට පෙර, චිලියේ ජෙනරාල් අවුගුස්තෝ පිනෝචේගේ මිලිටරි ඒකාධිපති පාලනය විසින් ඝාතනය කරන ලද ගායක වික්ටර් හාරාගේ පවුලේ සාමාජිකයන්ගේත්, එල් සැල්වදෝරයේ හමුදා ඝාතක කණ්ඩායම් විසින් මරා දැමූ අගරදගුරු ඔස්කාර් රොමේරෝ ඇතුළු සැල්වදෝර පුරවැසියන්ගේත් අයිතීන් වෙනුවෙන් ද නඩු පැවරීමට මුල් වී ක‍්‍රියාකරන ලද්දේ යුක්තිය සහ වගඋත්තරදායකත්වය සඳහා වූ මධ්‍යස්ථානය විසිනි.

කැනේඩියානු පුරවැසි දෙමළ වින්දිතයකු වූ රෝයි සමාදානම් විසින් කරන ලද පැමිණිල්ලක් මත ගෝඨාභයට එරෙහි දෙවැනි නඩුව පැවරීමට මුල් වී ඇත්තේ දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පදනම්ව ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර යුක්තිය හා සත්‍යය සඳහා වූ ව්‍යාපෘතියයි.* 2007 වසරේදී තමන් අත්අඩංගුවට ගෙන තුන් වසරක් නිකරුණේ රඳවා තබා දරුණු වධහිංසාවන්ට පාත‍්‍ර කිරීම සම්බන්ධයෙන් සමාදානම් කළ පැමිණිල්ලක් මත මෙම නඩුව පවරා ඇත්තේ වධහිංසා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ය.

කීර්තිමත් අන්තර්ජාතික නීති සමාගමක් වන හවුස්ෆෙල්ඞ් නීති ආයතනය වෙනුවෙන් නීතිඥ ස්කොට් ගිල්මෝර් නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියි. මාධ්‍යවේදිනී මාරි කොල්වින් ඝාතනය කිරීමට එරෙහිව සිරියානු ආණ්ඩුවට ඩොලර් මිලියන 302.5ක වන්දියක් නියම කරමින්  2019 ජනවාරි මාසයේදී ලබාදුන් ජයග‍්‍රාහී නඩු තීන්දුව ලබා ගැනීමට මුල් වූයේ ද නීතිඥ ගිල්මෝර්ය. x

අරුණ ජයවර්ධන