තදැති පලා වන අර්තාපල් යාය අතරින් පතර මතුව ආ ඇපල් ගසෙක ළපැටි ගෙඩියකි. දළ බෑවුමක අගිසියේ තවමත් ඉතිරිව ඇති පල දරන පෙයාර්ස් ගසක් සොයා ගිය හර්ෂණ ඉන් නෙළා ගත් පැසුණු ගෙඩි කිහිපයක් ම‘අත තැබීය. ඒ රාගල පෙයාස් වර්ගයයි. දැන් රහංගල පෙයාර්ස් නම් තවත් වර්ගයක්ද තිබේ. හමන සුළඟ සුවඳ ය. පසෙකින් ස්වභාවික වනයයි. එදෙසින් බිම්මල් සුවඳැති සුළඟ හමද්දී කඳුයාය ඉදිරියේ මනුස්ස නිර්මිත යුකැලිප්ටස් වනයෙන් හමන්නේ බාම් සුවඳකි. අර්තාපල් බිම් අතර ලීක්ස් කොරටුවලින් සැර ලූනු සුවඳ වහනය වෙද්දි පෙයාර්ස් ගස් අතරින් මින්ට්මය පුසුඹක් හමා එන්නේ වගා බිමේ සාරය උරා බොමින් පුළුල් පතැතිව වැඩුණු මිංචි පඳුරුවලින් ය. හර්ෂණගේ ස්කූටි තුරඟා කඳු නගිමින්, පල්ලම් බසිමින් අප මෙහි ගෙන ආවේය. රාගල ටවුම පෙනෙන දුරින් හැරී හයිෆොරස්ට් පාරේ විත් මහකුඩුගල කන්ද පාමුලින් දුර්ග මඟක තේ යාය මැදින්  මේ වැඩවසම් රාජධානියට ප්‍රවේශ විය හැකිය. මිතමය රාවණ පුරාවෘත්තය හා මහකුඩුගල කන්ද සබැඳේ. ඇතැම් විත්ති කතාකරුවෙකුට අනුව රාවණ දීර්ඝ නිද්‍රාවේ වෙසෙනුයේ මේ ඉසව්වේ කොයිබ හෝ ය. මෙ ගම්වල රාවණ දෙවියෙකු සේ සළකා පුදන්නෝද වෙති.

තේ නිල්ල හා මහ වනය අතරමැද යුකැලිප්ටස් වනයට මායිම්ව අක්කර සිය ගණනක බිම පටු තලාවන්ගෙන්ද දළ බෑවුම හෙල්මැළියෙන්ද සමන්විතය. අගමැතිනි සිරිමා සමයේ එහි වූ රාජ්‍ය ව්‍යාපෘතියේ අරමුණ ඇපල් වගාවයි. ඒ ආනයන සීමා කිරීමේ ප්‍රතිපත්තිය අනුව වූ අතර රත් හා හරිත පෑ ඇපල් ද පෙයාර්ස්ද වවා තිබූ බව අතරින් පතර නෂ්ඨ වූ ගස් සාක්ෂි දරයි. බොහෝ කලකට පසුව අත්හැර දමන ලද බිමෙහි ඇපල් ගස් කපා දමනු ලැබූවද පොළව යට සැඟව ගිය මුලකින් මතුව එන ඇපල් ගසක් අද ද නිර්ලෝභීව පල බෙදයි. “ඇපල් ෆාම්” යනුවෙන් අටවා ගත් නමක් මිස හැඳුනුම් කේතයක් නැති ගමක පවුල් එකසිය පණහකට වැඩි අනවසර පදිංචිකරුවෝ පිරිසක් අල හා වෙනත් උඩරට බෝග වවති. මේ ගැමියන්ට මතක දේශපාලන පෙකණිවැල ටී.බී හේරත්ගේ ය. මැතිණි ඇපල් වැවූ බිම ආණ්ඩු මාරුවෙන් පසු රට ඇපල් ගෙන්වද්දී අයසට යත්ම අලුත් ආණ්ඩුවල ආධාරකරුවන්ගේ ආක්‍රමණයට ගොදුරු විය. ආක්‍රමණිකයෝ ඇපල් ගලවා දැමූහ. අලුත් බෝගය වුයේ අර්තාපල් වන අතර විටෙක මාරුවට ලීක්ස් හා කැරට් වගා කරන්නට බිම ඉඩ දුන්නේය. බෙහෙවින් සිසිල් දේශගුණයද, සුදුසු සාර පසද තිබියදී ඇපල් වගාව අතහැර දමා අල වවන්නටඇති පදම් හේතු ඔවුන් වෙත ඇත.

“මේකයි මහත්තයා. ඇපල් වැවෙන්නේ අවුරුද්දට සැරයයි. අල එහෙම නෙවෙයි අපි කන්න දෙක තුනක් කරනවා. ඒකෙන් අතට ගාණක් එනවා.” බෑවුමේ එල්ලන ලද නිවසේ ඇතුළු ගැබක ගල් ස්ප්‍රීතු උගුරෙන් පහළට හලා ගන්නා රාජා අයියා සංවාදයට මුල පුරන්නේ ඩ්‍රයි ජින්මය උණුහුමක් අපට ඉතිරි කරමිනි.

 

අතහැරීමේ පලය අතහැරීම ය

රාජා අයියා ඇතුළු බොහෝ දෙනෙකු අඩුම තරමේ අවුරුදු විස්සකට එහා මෙහි විත් ඇපල් ගස් උදුරා දමා අල වැවීම ආරම්භ කළෝ ය. මුලින් තාවකාලිකව අටවා ගත් පියස්සක දවසැරි ඔවුහු පසුව කඳු බෑවුම්වල එල්ලූ ගෙවල අඹුදරුවන්ද සමඟ පැමිණ පදිංචි වූහ. ඒ හැත්තෑ හතේ බල පෙරළියෙන් කලකට පසු හැමූ දේශපාලන කුණාටුවේ පොරොන්දු සමගිනි. ඉඩම් අහිමිව සිටි ගොවීන්ට සිය දේශපාලන බලධාරීන්ගේ අනුහසින් ඉඩම් කැබැල්ලක් ලබා ගන්නට පුලුවන් වුවද ප්‍රතිපත්ති විරහිත අන්ධ දේශපාලනය විදේශ විනිමය ඉතිරියකට මඟ පාදන්නට ඉඩ තිබූ ඇපල් වගාව සංවර්ධනය කිරීමේ අදහසින් මිදී ඒ වනවිට මහා පරිමාණයෙන් ආරම්භව තිබූ අර්තාපල් වගාවට ගොවියෝ යොමු කළහ. මහපොළවට පෙම් බඳින්නේ නම් කිසිසේත් හෙළි නොකළ යුතු දළ බෑවුම් පවා අල වගාවෙන් වැසෙන්නේ ඉන්පසුය. එහෙත් මේ අහිංසක ගොවියන් අත දොසක් නැත. අද ද ඔවුන් ඇපල් ෆාම් ඉඩම්වල ඇඩ්‍රස් නැති මිනිස්සු ය. අර්තාපල් වගාවට යොදන අධිකතර රසායනිකවලින් හෙම්බත්ව දිරා ගිය සැවොම කෘශ ව ගිය කැරට්අල වැනි මිනිස්සු ය.

ජින් ටොනික් මුසුවට බදින ලද ළපටි අමුමිරිස් පීරිසියක් සම්පාදනය වී තිබුණේ ය. කුස්සියේ හොදි බත් උයන රාජා අයියාගේ පියඹ නිසැකවම අර්තාපල් ඉවීමට නියමිතය. අර්තාපල් වගාවේ මායිම්වල එල්ලී සිටි රැළිති කාපිරි ගෝවා කොළ පාට නොනසා මැල්ලුමට හදන්නට යැයි කියා තිබුණේ හර්ෂණ ය. ඒවා උණු බත හා බෙහෙවින් රසය.

“මහත්තයා, අපිට ජීවිතයට පාර කියන්ඩ කවුරුවත් හිටියේ නෑ. අදත් එහෙමයි. මේ ඉඩම්වලට කරදහියක් හැදිලා නෑ තවම. අපි ඇපල් ගැලෙවුවෙ ඒකෙන් ලාභ ගන්න විධියක් දැන හිටියෙ නැති නිසා. මේ හැම තැනම වැඩිපුර වැවිලා තියෙන්නෙ අසාධාරණය. අලවලට වන්දි දුන්නත්, පොහොර දුන්නත් බෙදෙන්නෙ රුවිතෙට” රාජා අයියා සියුම් කෝපාවේගයකිනි. ඇපල් ෆාම් හී පදිංචිව සිටින පවුල්වල ඉඩම් කුඩාය. ඔවුන් ඒවායේ වපසරිය පවසන්නේ අල හොණ්ඩර ගණනිනි. රාජා අයියාට අල හොණ්ඩර දොළහක්වත් වැවෙන ඉඩමක් ඇත. අප දන්නා අන්දමට නම් එය අක්කර භාගයකි. එහි පොළවේ පස කාගෙන අල එරෙන තරමට ජීවිතයේ කිරි නොඑරුණ ඔහුට බොහෝ දේ අතහැරී ඇත.

 

අල වැඩවසම

ලංකාවේ වැඩවසම් ක්‍රමය කුල ධූරාවලිය හා ඈඳෙන නමුත් ඇපල් ෆාම් වැඩවසම් සවිය උපදින්නේ අල වැවිල්ල නිසා ය. මෙහි විශාල ඉඩම් කැබලි හිමි කවරෙකු හෝ ගම්කාරයෝ නොවෙති. ඔවුන් ජීවත් වන්නේ නුවර නැතිනම් කොළඹය. එවැනියන්ට දේශපාලන සම්බන්ධකම් ඇත. ඔවුන්ගේ ගොවිපොළවල සිංහල හා දෙමළ කම්කරුවෝ කටුක සීතලේ දවසේ පඩියට වැඩ කරන නමුත් ඒ කිසිවෙකු තමන් හුදෙක් කුලී ශ්‍රමිකයන් බව කල්පනා කිරීමේ විඥාණික ශක්තියෙන් තොර ය. රාජා අයියා බොහෝ සෙයින් වර්ණනා කරන නිදහස් ගොවියාගේ ණය හිමියා ඔවුන් යදමින් බැඳ විලංගු ලා ඇති බවද බොහෝ දෙනෙකුට නොවැටහේ. “මුදලාලි අපි කීය ඉල්ලුවත් ණයට දෙනවා” යැයි ගොවීන් උද්දාමයෙන් පවසන්නේ එහෙයිනි.

අර්තාපල් වගාවට ගොවියා සතුව ඇත්තේ සරු පස, වනන්තරෙන් නොමිලේ ලැබෙන දියවර, උචිත සිසිල් දේශගුණය හා ශ්‍රමය පමණි. බීජ අල, පොහොර හා රසායනික සඳහා වන ප්‍රාග්ධනය හිමිකරුවා මුදලාලි ය. ගොවීන්ට ප්‍රාග්ධන සම්පාදනය සඳහා මුදලාලි හා ගිවිසුම් ගත වන්නට සිදු වේ. කොන්දේසිය අස්වැන්න නෙළන්නට ඉඩම මුදලාලිට භාර දීමය. ගැලවෙන අල හොණ්ඩර ගණනට මුදල තීරණය කරන්නේ මුදලාලිය. ඔහු ඉන් ප්‍රාග්ධන යෙදවුම් අඩු කර ගනී. බැලූ බැල්මට ගොවියාට පාඩුවක් නැතත් මෙහි ව්‍යාපාරික තරඟයක් නැත. පිට වෙළෙන්දන් ගමට පැමිණීම තහනම් ය. අන්තිමේ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට පමණක් සෑහෙන මුදලක් ගොවියාට ඉතිරි වේ. කන්නයෙන් කන්නය අවුරුද්දෙන් අවුරුද්ද මේ යාන්ත්‍රණය තුළ සිරකරුවෙක් වන ගොවියා ලැබෙන දෙයින් තෘප්තිමත් වන්නට පුරුදුව සිටී.

ඇපල් ෆාම් ගොවියන්ගේ ප්‍රාග්ධන හිමිකරුවෝ සහ විසල් බිම් කැබලි හිමිකරුවෝ බෙහෙවින් පොහොසත් ය. සෙසු ගොවීන්ටද නිවෙසක් ඇතැම්විට ත්‍රීවීලරයක් ඇති නිසා තමන්ගේ ශ්‍රමයේ සැබෑ වටිනාකම කුමක්දැයි සෙවීමේ වුවමනාවක් ඔවුන් වෙත නැත. 

 

හුදෙකලාව අඳුරුය

ඇපල් ෆාම් ජීවිතවලට හුදෙකලාව පුරුදු ය. එහි එකම පෙට්ටි කඩයක් හෝ නැත. බීඩියක් ගන්නටත් හැතැක්ම දෙකක්වත් දුර මහ පාර අද්දරට යා යුතුය. “වැඩිම වුණොත් මෙහේ ඉන්න පුලුවන් එක දවසයි. ආපහු යන්න හිතෙන තරමට පාලුවක් දැනෙයි” හර්ෂණ මා හා පැවසුවේ ස්කූටිය මහ පාරෙන් හරවන වේලේ ය. පාලුව තීවර වන්නේ හීතලෙන් යැයි මට සිතුණද කරදාසියක්, පෑනක්, මීවිතක්  අතැති කවියෙකුට ඈත පෙනෙන මහකුඩුගලද, මෑත වෛවර්ණ වනයද කවියකි. නිහඬ සිටියහොත් දිය කඳුරුවල ගී හඬට සවන් දෙන්නටද පුලුවන. ගම්මු විශ්වාස කරන අන්දමට මේ රාවණ අඩවියයි. අප ඒ විශ්වාසය ප්‍රශ්න නොකළේ ඒවාද විචිත්‍ර බැවිනි. බොහෝ ගම්මුන්ට බිම සී සාද්දී රාවණ නිරිඳු සීතාවගේ බොජුනට සැපයූ බත් ගුලි හමුව ඇත. රාජා අයියාගේ නිවසේ බුදු පහන ළඟ තැබූ එවැනි පාෂාණමය ගුලියක් වන්දනාවට පාත්‍ර වේ. මම එය ඉල්ලාගෙන පරීක්ෂා කළෙමි. එහි තුනී පිටස්තරය කලු පැහැතිය. පසෙකින් බිඳ තිබූ බැවින් මධ්‍යය සුදු පාට ඉටිමය ස්වභාවයක් ගන්නා බව පෙනේ. ගලක් තරම් දෘඩ එය එතරම් බර බවක් නොදැනේ. මෙවැනි සීතා ගුලි හමු වූ හරස්බැද්දේ ඇත්තෝ ඒවා උරච්චි කොට දිය කරන ලද ජලය බීම උදරාබාධයන්ට ඔසුවක් ලෙස සළකති. සීතා ගුලිය පාෂාණිභූත වූ දිලීර පලයක්ද නැතිනම් අති පුරාණයේ පොළව සිපගත් උල්කාවක කැබලි මෙතරම් පුළුල් බිමක තැනින් තැන හමුවන්නේද යන්න සොයාබැලීම විදුහුරුවන්ගේ යුතුකමකි. නුවරඑළිය දිසාවේ රාගල අවට බොහෝ තැන්වල ඒවා හමු වෙන බැවිනි. රාවණ රජු හුදෙකලාව නිදන බව ඔවුන්ගේ ජනප්‍රවාදවල වේ. හුදෙකලා වෙමින් විසිරුණු සීතා ගුලි වන්දනා කරමින් ඔවුන් අභ්‍යාස තරන්නේද හුදෙකලා ජීවිතයකි. ඇපල් ෆාම් අල වැඩවසමේ හුදෙකලාව හර්ෂණ කී අන්දමටම හිතට බරකි.■

dav

■ ලසන්ත ද සිල්වා