සිංහල සිනමා ඉතිහාසය ගැන සොයා යන වත්මන් පරම්පරාවට අයිති අපි වඩාත් විස්මයට පත්වුණේ නිධානය චිත‍්‍රපටිය නැරඹූ මොහොතේ නොවෙයි. කේමදාසයන්ගේ විශිෂ්ට සංගීත රචනා ඇසීමෙන් නොවෙයි. ජෝ අබේවික‍්‍රමගේ රංගනයන් දැකීමෙන් නොවෙයි. එච්.ආර්. ජෝතිපාල නම් ජනප‍්‍රියම ගායකයාගේ සහ විජය කුමාරතුංග නම් ජනප‍්‍රියම රංගන ශිල්පියාගේ අවසන් කටයුතු දැකීමෙන්.

විජය හා ජෝති
1986 දී සහ 1987දී සිදුවූ මේ දෙදෙනාගේම අවසන් කටයුතු ආවරණය කරමින් රූපවාහිනියේ වූ වැඩසටහන්වල වීඩියෝ යූටියුබ් අඩවියේ අදත් තියෙනවා. මේ දෙදෙනා නරඹන්නට මිනිසුන් පෝලිමේ ආ හැටි, සහෝදර කලාකරුවන් හඬා වැටුණු හැටි දකිද්දී අපව විස්මයෙන් මුසපත් වෙනවා. මේ මහපොළොවේ සැබෑ ලෙසම මෙවැනි සිදුවීම් වුණාදැයි හිතෙනවා. හඬා වැටෙන මුහුණු දහයක් පහළොවක්, සියයක් දෙසීයක්, දහසක් වෙනුවට ලක්ෂ ගණනක් දකින්න ලැබෙනවා. මේ තරම් සෙනඟක් එන මළගෙදරක් අද දකින්නට ලැබේවිදැයි අපි කල්පනා කරනවා. ඒ අස්සේම මේ තරම් ජනප‍්‍රියත්වයක් මේ කලාකරුවන් දෙදෙනා ලැබුවේ කෙසේදැයි හිතෙනවා.

විජය කුමාරතුංගට හා ජෝතිපාලට එතරම් ජනප‍්‍රියත්වයක් ලැබුණේ ඔවුන් හදවතින් උසස් මිනිසුන් වූ නිසාද, නැතිනම් ඔවුන්ගේ නිර්මාණ මිනිසුන් රසවිඳි නිසාද යන්නට පැහැදිලි පිළිතුරු අප දන්නේ නැහැ. සැබෑ ජීවිතයේ ඔවුන් ආදරණීය මිනිසුන් ලෙස සමාජය හඳුනාගෙන තිබුණා. අනෙක් පැත්තෙන් ඔවුන් දෙදෙනාගේ නිර්මාණවලට මිනිසුන් ආදරය කළා. ඒ හේතු දෙකම ඔවුන්ගේ මරණ මුළු සමාජයම කම්පනය කරන්නට හේතුවෙන්න ඇති.

අද අපට මිනිසුන්ගේ ආදරය ලබන කලාකරුවන් මෙන්ම මිනිසුන්ගේ ආදරය ලබන කලාකෘතිද දකින්නට නැති තරම්. අද ජනප‍්‍රියත්වය කියන්නේත් සූදුවක්. කැමරා ඉදිරිපිට නිර්මාණය කළ මිථ්‍යාවක්. අද ජනප‍්‍රිය කලාකරුවෙක් වෙන්නට නම් දූෂිත යාන්ත‍්‍රණයක කොටස්කරුවෙක් විය යුතුයි. එවැනි කෙනෙක්ට කිසිදා දැවැන්ත පේ‍්‍රක්ෂක ආදරයක් ලැබෙන්නේ නැහැ. ධන බලය ඇතිනම් ඕනෑම පුද්ගලයෙකු ද්‍රෝහියෙක් කළ හැකියි. විජේ කුමාරතුංග වැනි දේශපාලනයට සවිඥානික පුද්ගලයෙක් අද හිටියා නම් ඔහු දැවැන්ත දේශද්‍රෝහියෙක් ලෙස නම් කරනු ඇතැයි අපට හිතුණා.

රෝමන් රේන්ස්
විජය හා ජෝතිපාලගේ ජනප‍්‍රියත්වය ගැන කතාව අකුරු කරන්නට කල්පනා කළේ ඇමෙරිකාවේ සිදුවීමක් නිසා. ඇමෙරිකාවේ පේ‍්‍රක්ෂකයන් අතර දැඩි විරෝධයක් ලබා සිටි දැවැන්තම රූපවාහිනී තරුවක් එක විනාඩි පහක් තුළ ඇමෙරිකාවේ ආදරණීයම රූපවාහිනී චරිතයක් බවට පත්වූ ආකාරය නිසා. ඇමෙරිකාවේ ප‍්‍රධානම සාකච්ඡුා මාතෘකාවක් වූ නිසා. ඔහුගේ නම රෝමන් රේන්ස්.

රෝමන් රේන්ස් ගැන නොදන්නා අය වෙනුවෙන් පුංචි පසුබිම් කතා දෙකක් කියන්න වෙනවා. එකක් රෙස්ලින් ගැන. අනෙක රෝමන් රේන්ස් ගැන.

ඇමෙරිකානු රෙස්ලින් යනු ක‍්‍රීඩාවක් නොවෙයි. එය පේ‍්‍රක්ෂකයන් විනෝදයට පත්කිරීම පිණිස ක‍්‍රියාත්මක වෙන ප‍්‍රසංග විශේෂයක්. ජිම්නාස්ටික්, මැජික් හෝ සර්කස් සංදර්ශනයක් වගෙයි. ඔබ ඉදිරියේ සටන් කරන්නේ සැබෑ සටන් ක‍්‍රීඩකයන් නොවෙයි. ක‍්‍රියාදාම රංගන ශිල්පීන් හෝ සර්කස් ශිල්පීන් බඳු රෙස්ලින් සටන් ශිල්පීන් තමයි ඔබ ඉදිරියේ සටන් කරන්නේ. ජයග‍්‍රාහකයා කලින්ම තීරණය කරනවා.

රෙස්ලින්වල ජනප‍්‍රියත්වය සියවස් ගණනක් පැරණියි. මුලින්ම රෙස්ලින් වැඩසටහන් ප‍්‍රදේශවලට සීමා වුණා. විවිධ ප‍්‍රදේශවලින් පැමිණි රෙස්ලින් ක‍්‍රීඩකයන් ගෘහස්ථ ක‍්‍රීඩාංගණවල සිට රෙස්ලින් තරගවලට එකතුවුණා. ඇමෙරිකාවේ ඒ ඒ නගරවල රෙස්ලින් ආයතන තිබුණා. ඒ ඒ ප‍්‍රදේශවල රෙස්ලින් තරු හිටියා. ඒ තරු ඇමෙරිකාව පුරා සංචාරය කරමින් විවිධ ප‍්‍රදේශවල රෙස්ලින් තරගවලට එක්වුණා. ඒ තරුවල ජනප‍්‍රියත්වය අනුව ඒ ආයතනයේ ගොඩනැඟිල්ලට පැමිණ ප‍්‍රදේශවාසින් රෙස්ලින් තරග නැරඹුවා.

රෙස්ලින් තරු වර්ග දෙකක් සිටිනවා. එක් වර්ගයක් දුෂ්ටයන්. තවත් වර්ගයක් වීරයන්. වීරයන් කරන්නේ යහපත් දේවල්. ඔවුන් නීතියට ගරු කරනවා. දුෂ්ටයන් නීතියට ගරු කරන්නේ නැහැ. ඔවුන් නීති කඩමින්, දුෂ්ට ක‍්‍රියා කරමින් ජයගන්න උත්සාහ කරනවා. දුෂ්ටයන් ඉන්නේ වීරයන් වෙනුවෙන්. බොහෝ විට අවසානයේදී වීරයන් ජයගන්නවා. තරඟවල පිටපත් ලියැවෙන්නේ එහෙමයි.

ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. (අතීතයේදී ඩබ්ලිව්. ඩබ්ලිව්.එෆ්.) ආයතනය යනු ප‍්‍රදේශවලට සීමා වූ රෙස්ලින් ලෝකය පුරාම පැතිරවු සමාගමක්. රූපවාහිනිය ජනප‍්‍රිය වෙද්දී රූපවාහිනිය හරහා ඇමෙරිකාව පුරාම රෙස්ලින් වැඩසටහන් විකාශය කරන්නට ඔවුන් පටන්ගත්තා.

ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. විසින් සඳුදා රාත‍්‍රියේ සතිපතා විකාශය වෙන රූපවාහිනී වැඩසටහනක් ආරම්භ කළා. ‘රෝ’ නමින් ඒ වැඩසටහන හැඳින්වුවා. සතිපතා වැඩසටහනක් නිර්මාණය වෙද්දී පේ‍්‍රක්ෂකයන් සතිපතා රූපවාහිනිය ඉදිරියට ඇද බැඳ තබාගත යුතුයි. ඒ නිසා ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ ආයතනය වීරයන් සහ දුෂ්ටයන් අතර වඩා රසවත් කතා නිර්මාණය කළා. එමෙන්ම ඇමෙරිකාවේ සිනමාව, ගායනය වැනි ජනප‍්‍රිය කලාවන්ට අයිති පුද්ගලයන්ට මුදල් ගෙවා තමන්ගේ රෙස්ලින් වැඩසටහනට ගෙන්වාගත්තා. ඒ ජනප‍්‍රිය තරු තමන්ගේ කතාවලට සම්බන්ධ කරගත්තා. මේ වෙද්දී ඔවුන් මුළු ලෝකයේම ජනප‍්‍රිය සමාගමක්. ඔවුන් ජනප‍්‍රිය වෙද්දී දීර්ඝ කාලීනව පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය ලබන වීරයන් නිර්මාණය කළ යුතුයි. හල්ක් හෝගන්, අන්ඩර්ටේකර්, ද රොක්, ස්ටෝන් කෝල්ඞ් ස්ටීව් ඔස්ටින් හා ජෝන් සීනා වැනි ජනප‍්‍රියම රෙස්ලින් චරිත නිර්මාණය වෙන්නේ ඒ වෙනුවෙන්. මේ අයව චරිත ලෙස හැඳින්වුවේ ඉහත නම් කී අය අතරින් කිසිවෙකුගේ සැබෑ ජීවිතයේ නාමය එය නොවන නිසා. ඔවුන්ගේ සැබෑ නාමයන් වෙනුවට ඔවුන් වෙනුවෙන් චරිත නිර්මාණය කළා. පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය ලබන අන්දමේ චරිත. වැඩසටහන ජනප‍්‍රිය වෙද්දී තමන් ළඟ සිටින තරු අතරින් කිහිපයක් ආයතනය විසින් තෝරාගෙන ඔවුන්ව ජනප‍්‍රියත්වයේ ඉහළට තල්ලූ‍ කළ යුතුයි. එවැනි තරුවල වීරත්වය වඩවන පිටපත් නිර්මාණය කළ යුතුයි.

අපේ කතානායකයා වෙත එන්නේ එතැනින් පසුව. ජෝන් සීනා රෙස්ලින් පිටියෙන් සමුගන්නා වයසට ළංවෙද්දී ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනය විසින් ඊළඟ පරම්පරාව වෙනුවෙන් ආදරණීයම රෙස්ලින් තරුවක් නිර්මාණය කළ යුතු වුණා. ආයතනයට තෝරාග ැනීම් රැුසක් තිබුණා. ඒ තෝරාගැනීම් අතරින් ආයතනය තෝරාගත්තේ ජෝ ඇනෝආ’යිව. ජෝ ඇනෝආ’යිට ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනය දුන් නාමය රෝමන් රේන්ස්. රෝමන් රේන්ස්ව ජනප‍්‍රියත්වයේ ඉහළටම තල්ලූ‍ කරන්නට ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ ආයතනය පටන්ගත්තා. ඒත් ලොකු වැරැද්දක් සිද්ධවුණා. මීට පෙර ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනය විසින් ඔසවා තැබූ වීරයන්ව පේ‍්‍රක්ෂකයන් විසින් පිළිගත්තත් රෝමන් රේන්ස්ව පේ‍්‍රක්ෂකයන් පිළිගත්තේ නැහැ. රෝමන් රේන්ස්ව ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. පිටපත්වලින් වීරත්වයට නඟද්දී පේ‍්‍රක්ෂකයන් විරෝධය පාන්න පටන්ගත්තා. රෝමන්ව ප‍්‍රතික්ෂේප කරමින් කෑගසන්නට පටන්ගත්තා. ‘රෝමන් සවුත්තුයි’ පේ‍්‍රක්ෂකාගාරය විසින් දැවැන්ත ක‍්‍රීඩාංගණවල වහල උඩ යන තරමට කෑගැසුවා.

එවැනි මොහොතක ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයට තෝරාගැනීම් දෙකක් තිබුණා. අංක එක තමයි රෝමන්ව වීරයෙක් විදියට ඉදිරියට ගෙන නොගොස් ඔහු දුෂ්ටයෙක් බවට පත් කිරීම. පේ‍්‍රක්ෂකයන් ඔහුව ප‍්‍රතික්ෂේප කරද්දී ඔහුට අපූරුවට දුෂ්ට චරිතයක් කළ හැකියි. අනෙක් පැත්තෙන් ඔහුට ලබාදුන් තල්ලූ‍ව නවත්වා වෙනත් වීරයෙක්ව තෝරාග ැනීම. එහෙත් ඒ දෙකම වෙනුවට රෝමන්ගේ චරිතය වීර චරිතයක් ලෙසම ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනය විසින් තබාගත්තා. ඔහුට පිටපත් ලියැවුණේත් වීරයෙක් ලෙස. ඒත් පේ‍්‍රක්ෂකයන් එය පිළිගත්තේ නැහැ. රෝමන් සහභාගී වූ රෙස්ලින් තරඟවලින් බහුතරය බැලූ බැල්මටම ව්‍යාජ ඒවා බව පෙනුණා. රෙස්ලින් රසිකයන් රෙස්ලින් තරඟයකදී බලාපොරොත්තුවෙන සරලම කාරණයක් තමයි තමන් නරඹන සටන් සැබෑ ඒවා ලෙස තමන්ට එත්තු ගැන්වීම. රෝමන් එහිදී දැඩිව අසාර්ථක වුණා. ඔහුගේ පහරවල් පුංචි දරුවෙක්ටවත් රිදෙනවායැයි විශ්වාස කළ නොහැකි බව සමහරුන් පෙන්වුවා.

ලොව ජනප‍්‍රියම රෙස්ලින් විචාරකයා වන ඬේව් මෙල්ස්ටර් විසින් වරක් ලීවේ රෝමන් විසින් ගිනිගන්නා ගොඩනැඟිල්ලක් ඉහළටම නැඟ එහි සිටින පුංචි දරුවෙකුගේ ජීවිතය බේරාගන්නා ආකාරය පෙන්වුවත් රෙස්ලින් පේ‍්‍රක්ෂකයන් කිසිදා රෝමන්ව වීරයෙක් ලෙස පිළි නොගනු ඇති බව. ගැටලූ‍ව ඇත්තේ රෝමන් වෙනුවෙන් ලියැවෙන පිටපත්වල නොවෙයි, රෝමන් සටන් කරන ආකාරයෙහි බව මෙල්ස්ටර් කීවා. ඒත් ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනය හිතුවක්කාර ලෙස රෝමන්ව ඉදිරියටම ගෙනගියා. අවසානයේදී ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. යුනිවර්සල් හෙවිවේට් ශූරයා බවටත් රෝමන්ව පත් කළා.

පේ‍්‍රක්ෂකයන් සිටියේ රෝමන් කෙරෙහි දැඩි කෝපයෙන්. එහෙත් ඔක්තෝබර් 22 වැනි සඳුදා රෝ වැඩසටහනකදී රෝමන් කළ එකම එක කතාවකින් මුළු පේ‍්‍රක්ෂකාගාරයම ඔහු කෙරෙහි තිබුණු කෝපය බිමින් තැබුවා. තමන්ට නපුරු ලෙස සැලකීම පිළිබඳ සමාව ඉල්ලන්නට පටන්ගත්තා.

ඔක්තෝබර් 22 දා රෝ වැඩසටහනේදීත් රෝමන් රේන්ස් තම ශූරතාව කර තබාගෙන සුපුරුදු ලෙස වළල්ලට පියනැඟු‍වා. පේ‍්‍රක්ෂකයන් සුපුරුදු ලෙස වහළ දෙදරවමින් රෝමන්ට විරෝධය පෑවා. රෝමන් වළල්ලට ආවා. තමන්ගේ කතාව පටන්ගත්තා.

ඒ තරම් වෙනසක් කරන්නට රෝමන් රේන්ස් කීවේ පුංචිම පුංචි කතාවක්. ‘මගේ සැබෑ නම ජෝ ඇනෝආ’යි. මට අවුරුදු 21 දී ලියුකේමියාව වැළඳුණා. එදා ලියුකේමියාව පරාජය කරන්නට මට හැකිවුණත් දැන් නැවතත් මගේ ලියුකේමියාව මතුවෙලා. ඒ නිසා මට හෙවිවේට් ශූරතාව අත්හරින්න සිද්ධවෙනවා. මම ප‍්‍රතිකාර ලබන්නට රෙස්ලින් පිටියෙන් සමුගන්නවා. ඒත් මම විශ‍්‍රාම යන්නේ නැහැ. ලියුකේමියාව පරාජය කර මම නැවත එනවා.’ ඔහු ඔක්තෝබර් 22 දා කී කතාව එයයි.

රෝමන් කතාව ආරම්භ කරද්දි පේ‍්‍රක්ෂකයන් විවිධ හඬ නඟමින් රෝමන්ගේ කතාව ප‍්‍රතික්ෂේප කළා. කෑ ගැසීම් නිසා ඇතැම් පේ‍්‍රක්ෂකයන්ට රෝමන් කී දේ ඇසී තිබුණේත් නැහැ. ඒ නිසා ඇතැම් අය කෑගැසුවා. ඒත් කතාව ඇසුණු අය පුදුමයෙන් හිස් මත දෑත් තබාගනිද්දී මොකක් හෝ අවුලක් ඇතැයි ඝෝෂා කරමින් සිටි පේ‍්‍රක්ෂකයන්ටත් වැටහෙන්නට පටන්ගත්තා. ටිකෙන් ටික ඝෝෂාව නිහඬ වුණා. අන්තිමේදි දෙතුන්දෙනෙක් පමණක් කෑගසන තත්වයට පත්ව, ඒ දෙදෙනාත් නිහඬ වුණා. මීයට පිම්බාක් මෙන් නිහඬ වූ පේ‍්‍රක්ෂකාගාරයෙන් අඩක් රෝමන්ගේ කතාව අවසන් වෙද්දී දෑස්වල කඳුළු පුරවාගෙන සිටියා.

‘ඔබ මට චියර් කළත්, ඔබ මට විරෝධය පෑවත් මම ඒ දෙකටම එක සේ ආදරෙයි. කුමක් වුණත් ඔබ මට ප‍්‍රතිචාර දැක්වුවා. ඔබට ඒ වෙනුවෙන් ස්තූතියි.’ රෝමන් ඒ පේ‍්‍රක්ෂකයන්ට ස්තූති කළා.ඒ
‘ස්තූතියි රෝමන්’ යැයි මුළු පේ‍්‍රක්ෂකාගාරයම හඬ නඟාවියැයි කිසිදා රෙස්ලින් රසිකයන් හිතන්නට නැතිව ඇති. රෝමන් රේන්ස් වළල්ලෙන් පිටවද්දී ඇහුණේ ඒ හඬ.

ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනය රෝමන් රේන්ස්ව ජනප‍්‍රිය කරවන්නට කොපමණ උත්සාහයක් ගත්තත්, ඒ වෙනුවෙන් කෙබඳු පිටපත් ලීවත් පේ‍්‍රක්ෂකයන් රෝමන්ව ප‍්‍රතික්ෂේප කළා. රෝමන්ට කෑ ගසා විරෝධය පෑවා. අන්තිමේදී සැබෑ ජීවිතය ඉදිරියට පැමිණෙද්දී සමස්ත රසික ප‍්‍රජාවම රෝමන් කෙරෙහි දැවැන්ත ආදරයකින් අදහස් දක්වන්නට පටන්ගත්තා. ලියුකේමියාව හෙවත් සාමාන්‍ය ජනවහරට අනුව රුධිර පිළිකාව යනු ඕනෑම මිනිසෙක්ව ත‍්‍රස්ත කරවන්නට සමත් රෝගී තත්ත්වයක්.

මේ සිදුවීමෙන් පසුව පේ‍්‍රක්ෂකාගාරය පමණක් නොව ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනය අභ්‍යන්තරයේද බොහෝ අය හඬාවැටුණු බව පසුව ප‍්‍රසිද්ධ වුණා. රෝමන් රේන්ස් චරිතය ඉදිරිපත් කළ ජෝ ඇනෝආ’යිගේ රෝගී තත්වය පිළිබද බොහෝ අය දැන සිටියේ නැහැ. ඔවුන් එය දැනගෙන තිබුණේත් රෝ වැඩසටහනේදී ජෝ විසින් කළ කතාව නිසා. පසුව සම්මුඛ සාකච්ඡුාවලදී කතාකළ බොහෝ අය කියන්නට පටන්ගත්තේ ජෝ ඇනෝආ’යි යනු ආදරණීය පුද්ගලයෙක් බව. ධෛර්යසම්පන්න පුද්ගලයෙක් බව. අවුරුදු 21 දී ලියුකේමියාව සමඟ සටන්කොට, එය පරාජය කිරීමෙන් පසුව රෙස්ලින් වැනි කාය ශක්තිය සමග ගැට ගැසුණු ක්ෂේත‍්‍රයකට පා තබන්නට තරම් ජෝ ධෛර්ය සම්පන්න වූ බව. බොහෝ අය අවංකවම අදහස් දක්වමින් ජෝ වර්ණනා කළා. නවකයන් පවා කීවේ අතිශය ජනප‍්‍රිය තරුවක් වුණත් ඔහු තමන් වැනි නවකයන්ට ආදරණීය ලෙස සැලකූ බව. එවැනි අදහස් දැක්වීම් නිසා නිතැතින්ම සිහිපත් වුණේ විජය කුමාරතුංග හා ‍ජෝතිපාල වැනි අය පිළිබඳව සහෘද කලාකරුවන් විසින් දැක්වූ අදහස් දැක්වීම්.

එතෙක් පේ‍්‍රක්ෂකයන් සහ විචාරකයන් පතුරු ගැසූ අසාර්ථක, අදක්ෂ රෙස්ලින් තරුව වෙනුවට ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් පිළිබඳ අදහස් හුවමාරු වෙන්නට පටන්ගත්තා. සියල්ලන් ජෝ ඇනෝආ’යිව අගය කළා.

රූපවාහිනිය, අන්තර්ජාලය විසින් අප ඉදිරියේ නිර්මාණය කරන යථාර්ථය සහ සැබෑ ලෝකයේ ජීවිතය අතර මහා වෙනසක් තිබෙන බව ඒ වැඩසටහනේ ඒ නිමේෂය නරඹද්දී ලියුම්කරුට අවබෝධ වුණා. රෝමන් රේන්ස් නම් ප‍්‍රසිද්ධ රූපවාහිනී තරුව පසුපස ඉන්නේ ජෝ ඇනෝආ’යි නම් සැබෑ මිනිසා. ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයත් ඒ මොහොතේ රෝමන් රේන්ස් වෙනුවට ජෝ ඇනෝආ’යිට රෙස්ලින් වළල්ලට පා තබා තමන්ගේ අදහස් කියන්නට ඉඩදීම බොහෝ අය අගය කර තිබුණා.

ජෝ ඇනෝආ’යි විසින් තම රුධිර පිළිකාව පරාජය කර නැවත රෙස්ලින් වළල්ලට පා තැබුවහොත් ඔහුගේ රෝමන් රේන්ස් චරිතය වීර චරිතයක් ලෙස පේ‍්‍රක්ෂකයන් බාරගනීවි. ඇතැම්විට මීට පෙර සිටි රෙස්ලින් වීරයන් සියල්ල අබිබවා ඔහුගේ චරිතය පේ‍්‍රක්ෂකයන් වැළඳගනීවි. මීට පෙර සිටි වීරයන් විසින් පරාජය කළ සියලූ දුෂ්ටයන්ට වඩා ලේ පිළිකාව දැවැන්ත දුෂ්ටයෙක් බව පේ‍්‍රක්ෂකයන් කල්පනා කරන්නට පටන්ගනීවි. රෝමන් රේන්ස් ගැන පොත්පත් ලියැවේවි. චිත‍්‍රපටි නිර්මාණය වේවි.

ඒ සියල්ල මැද රියැලිටි විසින් අප ඉදිරියේ මවා ඇති ලෝකය සහ සැබෑ ලෝකය අතර දැවැන්ත ඉරක් ඇතැයි අවබෝධ කරගන්නටත් රෝමන් රේන්ස් සිදුවීම ඉවහල් වෙනවා. මේ රුධිර පිළිකා කතාව රෝමන් රේන්ස් චරිතය ජනප‍්‍රිය කරවනු පිණිස ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනය විසින් නිර්මාණය කළ දැවැන්ත බොරුවක්යැයි හෙට දිනයේ ප‍්‍රචාරය වුණහොත් රෝමන් රේන්ස් චරිතය හිටියාටත් වඩා පේ‍්‍රක්ෂකයන්ගේ විරෝධයට ලක්වේවි. රියැලිටි විසින් නිර්මාණය කළ කෘත‍්‍රිම ලෝකයේදී ජනප‍්‍රියත්වය මෙන්ම ජන විරෝධයත් අතර තිබෙන්නේ දශමයක වෙනසක් පමණයි.