‘අලි බැලිල්ල කවදාවත් එපා වෙන්නේ නැහැ.’ ඉඳහිට චාරිකාවකදී අලියෙකු බලන අපි එසේ කියන්නෙමු. එහෙත් රස්සාවක් හැටියට අලි බලාගැනීම එපා වෙන වැඩක්දැයි අපි නොදන්නෙමු. අලි බඩක් පුරවන්නට, අලි ඇඟක් නාවන්නට, අලි හිතක් සනසන්නට, අලි සිරුරක් තමන්ට ඕනෑ හැටියට පාලනය කරන්නට, මහමඟ එක්කාගෙන යන්නට ලෙහෙසි නැතැයි අපි අනුමාන කරමු.

අලි කියන්නේ විශාල කියන වචනයට පර්යාය පදයකි. අලි බොරු, අලි සයිස්, අලි වැඩ වැනි වචන නිතර අසන්නට ලැබෙන්නේ ඒ පර්යාය පදය නිසාය. ගොඩ බිම වෙසෙන විශාලම සත්වයා අලියා නිසා ඒ යෙදුම බිහිව ඇත. එහෙත් අලි මිනිස් ගැටුම යැයි කියන්නේ ගැටුම ලොකු නිසා පමණක් නොවේ. අලින් හා මිනිසුන් අතර ගැටුමක් වන නිසාය. අලි වෙඩි කියන්නේ වෙඩිය ලොකු නිසා නොවේ. අලින්ට දමන වෙඩි නිසාය.

මේ කියන්නට යන්නේ අලි ආදරයක් ගැනය. එයට අලි ආදරය යැයි කියන්නේ ආදරය විශාල නිසා පමණක් නොවේ. අලියෙකු හා මිනිසෙකු අතර ආදරයක් වන නිසාය. අපේ කතාවේ ප්‍රධාන චරිත වන්නේ අලින්ට ආදරය කරුණාව දක්වන, අලින් කරුණාව දක්වන අලි බාස්ලාය. අලි බාස් යැයි කියන්නේ එදිනෙදා භාෂාවේ වචනයකි. අපට සාහිත්‍යයෙහි වැඩිපුර හමුවෙන ඇත්ගොව්වා යන යෙදුමත්, අලි බාස්ට කියන තවත් නමකි. අලි බාස් කියනවාට වඩා ඇත් ගොව්වා කියන නමේ පොඩි ගැම්මක් තිබේ. ඒ නිසාම අලි බාස් යන යෙදුමටත් වඩා ඔවුහු ඇත්ගොව්වා කියනවාට කැමැත්තක් දක්වති. ඉතින්, අපි මෙතැන් සිට ඔවුන් වඩා කැමැත්තක් දක්වන නමින් හඳුන්වන්නෙමු.

අපේ එක් ඇත්ගොව්වෙකු වන්නේ ඉනේ උල් පිහියක් ගසාගෙන, කිතුල් බොඩයක් කර තියාගෙන පන්සල් වත්තේ පිටුපස ගමන් කරමින් සිටින සිසිර කුමාරය. සිසිරගේ වයස අවුරුදු 54 කි. ගම මතුගමය. කෝට්ටේ රජමහා විහාරයේ අලි, ඇතුන්ගෙන් එක් ඇතෙකුගේ ආවතේවකාරයා සිසිරය. අලි ඇතුන්ට ඇති ආසාව නිසාම කුඩා කාලයේ පටන් අලි පස්සේ වැටුණු සිසිර අද ඇත්ගොව්වෙකි.

‘මම එයාගේ භාෂාව දන්නවා. එයා මගේ භාෂාව දන්නවා. එයාට බඩගිනි නම් මට කතා කරලා කන්ඩ ඉල්ලනවා. තිබහ නම් වතුර ඉල්ලනවා. ඔය විශාලෙට හිටියට තමන්ගේ තරමවත් දන්නේ නැති සතෙක්. කන් දෙක නිසා උගේ ඇඟ ඌට පේන්නේ නෑ. අපි අලි පංති සුද්ද කරනවා, නාවනවා, කන්න බොන්න දෙනවා. උන්ට ඒ කෙළෙහිගුණේ තියෙනවා. හැබැයි කේන්ති ගියහම අහු වෙච්චි දේ අරන් ගහනවා. ඒ බව දැනගෙන අපි වැඩ කරන්ඩ ඕනෑ.’

අලි, ඇතුන්ට විවිධ රෝගාබාධ වැළඳෙයි. බඬේ අමාරු, කකුල්වල තුවාල ඉන් පුමුඛය. ප්‍රමාණවත් ලෙස බීමට ජලය නොලැබීමෙන් අලියාගේ වකුගඩු නරක්වීම සිදු වෙයි. වකුගඩු නරක් වීමෙන් අලි ඇතුන් මිය ගිය අවස්ථා තිබේ. දිනකට වර්ග සැතපුම් ගණනාවක් ඇවිදිනවායැයි කියන අලියෙකු ඇතෙකු අලි පන්තියේ ගැටගසා මාස ගණන් තබා ගැනීම නිසා දියැඩියාව වැනි රෝග සෑදෙයි. මේ සියල්ල කල් තියා හඳුනා ගන්නේ ඇත්ගොව්වාය. අලියාගේ සියුම් ඉංගිතයන් ගැන පවා ඇත්ගොව්වාට ඇත්තේ සියුම් කියවීමකි. ඒ අතින් ඔහු සත්ව විද්‍යාඥයෙකි.

අලි බැලීම සෙල්ලමක් නොවන නිසාම, අලියා බලන්නට පෙර ‘ශිෂ්‍ය අවධිය’ක් ගත කළ යුතුය. අලියා මතකයක් ඇති බුද්ධිමත් සතෙකු බව ප්‍රකටය. ඒ නිසා අලියා එක්ක මිතුරු වීම ලෙහෙසි නැත. අලියාගේ අවශ්‍යතා මෙන්ම ඔහු තම අවශ්‍යතා ප්‍රකාශ කරන ආකාරය තේරුම් ගැනීමත් වෙනම කලාවකි. ශිෂ්‍ය අවධිය ගත කරන පුද්ගලයා ගෝලයාය. අනෙකා ගුරුන්නාන්සේය.

අපි කලින් කීවා වගේ අලියෙක් ආංබාං කිරීම පහසු නැති නිසාම ඇත්ගොව්වෙකුට ගෝලයෙක් අනිවාර්යයෙන් වුවමනාය. ඇත්ගොව්වා ඇතා හෝ අලියා හසුරවන අතරතුර උගේ අතට, පයට දම්වැල් දමන්නේ ගෝලයාය. ඊටත් වැඩියෙන් ඇත්ගොව්වාට කුමන හෝ කරදරයක් වූ විට ඉන් බේරා ගන්නට, අලියා ආංබාං කරන්නට, රෝහලකට ගෙනියන්නට ඉන්නේ ගෝලයාය. ඒ නිසා ගුරුන්නාන්සේට ගෝලයා සේම ගෝලයාට ගුරුන්නාන්සේත් විස්වාස විය යුතුය. ඇත්ගොව්වාගෙන් පසුව එතැනට පත් වන්නේ ගුරුන්නාන්සේට කීකරු ගෝලයෝය.

ගෝලයා මෙහෙයවන්නේ ගුරුන්නාන්සේය. බොහෝවිට ගුරුන්නාන්සේගේ උපදෙස් හා අණ පරිදි අලියා සමඟ ගනුදෙනු කරන්නේ ගෝලයාය. ඒ නිසා සතා වැඩිපුර මිතුරු වන්නේ ගෝලයා සමඟ විය හැක.

බෙල්ලන්විල රජමහා විහාරයේ ඇත්ගොව්වාගේ ගෝලයා හෙට්ටිආරච්චිගේ පියසේනය. පියසේනට ගුරුන්නාන්සේ කතා කරන්නේ අලි බබා කියාය. අලි බබාගේ සීයා, තාත්තා, බාප්පා සියල්ලෝම ඇත්ගොව්වෝය. කුඩා කාලයේ පටන් අලි බබා බාප්පා සමග රත්නපුරේ ප්‍රභූ පවුලකට අයත් අලි රැළ පස්සේ වැටුණේය.  

“මම පොඩි කාලේ ඉඳන් බලා ගත්ත අලියා වලව්වේ අප්පෝ වෙන කෙනක්ට බාර දුන්නා. මට වෙන අලියෙක් බලන්න කීවා. දවසක් අලි නාවන්න ගියහම මම කලින් බලාපු අලියා දම් වැලේ දිග තියෙනකන් ගඟ මැදට ගිහින් දිය කෙලිනවා. කරණම් ගහනවා. යන්න ලෑස්තිවෙලා අලුත් අලි බාස් අලියාට කතා කළා. අලියා කන්දෙක දිගෑරලා අලි බාස් දිහාට පිඹගෙන ආවා. අලි බාස් පැනලා දිව්වා. පස්සේ අලි බාස් මගේ ළඟට ඇවිත් කීවා, ‘අනේ මල්ලියේ වරදක් වුණා නම් සමාවෙයන්. මට අලියාව ගොඩට අරන් දියන්’ කියලා. ‘උඹට අලියාව බාර දුන්න මිනිස්සුන්ට කියාපන්, මට කියන්න එන්න එපා’ කියලා මම කිව්වා.

පිංසෙන්ඩු වෙනකොට මම හා කියලා අලියට කතා කළා. අලියා ඔළුව උස්සලා මා දිහා බලපු විදිය මට ඇල්ලුවේ නෑ. මම ඇහුවා ‘උඹ මොනවද කරන්නේ මේ. උඹ වෙනදත් දියේ දැම්මහම ඔහොමද කරන්නේ?’ කියලා. ‘වරෙන් ඉස්සරහට’ කිව්වහම ආවා. ‘උඹ දම්වැල කොට කරගනින්’ කියලා අලි බාස්ට කිව්වා. පස්සේ වලිගෙන් අල්ල ගෙන ඇවිත් ගහ කිට්ටුවට ආවහම දම්වැල කොට කරලා ගැට ගැහුවා. ‘හා පුතා දැන් බුදිය ගනින්’ කීවහම බුදිය ගත්තා.” ඒ ඔහුගේ අත්දැකීමකි.

මේ සා විශාල සද්දන්තයෙක් බලාගන්න ඇත්ගොව්වෙකුට ගලක් වගේ හයිය හිතක් තියෙන්න ඕනෑ බව කල්පනා කළ හැක. එහෙත් එය එසේ නොවන බව ඇත්ගොව්වා සමඟ කතාකළ විට වැටහෙයි.  මලක් වගේ  සුමුදු හිතක් ඇති අයෙකුට වුව අලි බලාගත හැකිය.

බෙල්ලන්විල පන්සලේ ඇත්ගොව්වා ස්ටැන්ලි පෙරේරාය. ගම කෝට්ටේය. වයස අවුරුදු 64කි. අවුරුදු 8 දී පාසලෙන් පැන ගිය ස්ටැන්ලි නතර වී තිබෙන්නේ පුත්තලමේය. ඒ අලින්ට තියෙන ළෙංගතුකම නිසාය. අලි පාලනය සේම අලි වෙදකම, අලි මන්තර, වතාවත් ඔහු හොඳින් දන්නේය.

‘අපේ පරම්පරාවේ අලි බලපු කවුරුවත් නෑ. මගේ ගුරුන්නාන්සේ තමයි මැල්ලවගෙදර සේකර මාමා කියන්නේ. දැන් එයා නැති වෙලා. ඒගොල්ලෝ පරම්පරාවෙන්ම අලි බලන අය. එයාගේ සාස්තරේ අඩුවක් නැතුව මට තමයි දුන්නේ.’

අලුතෙන් අලියෙකු බලන්න බාර ගත්තහම දවස් ගණනක් අලියාට ආවතේව කරමින් දෙදෙනා අතර විශ්වාසය ගොඩනගා ගත යුතුය. නැත්නම් අලියාට ඇත්ගොව්වා ගැන සැකය. ඇත්ගොව්වාට අලියා ගැන සැකය. ඒ සැකය දුරු වීමට මාසයක කාලයක්වත් ගතවිය යුතුය. මේ කාලයේ සමහර ඇත්ගොව්වෝ දම්වැල් ගසා, කටු තිරිංග ගසා, අලියා මෙල්ල කර ගැනීම කරති.

අලියා හැසිරවීම සඳහා භාවිත කරන උපකරණ අතර හෙණ්ඩුව හා උල් පිහිය ප්‍රමුඛය. උල් පිහිය අලි නෑවීමේදී පොල් ලෙල්ල නිසි පරිදි කපා සකසා ගන්නටය. නැතිනම් අලියා හෝ ඇතා තමන්ට හසුරවාගත නොහැකිව තම ජීවිතයට තර්ජනයක් වන අවස්ථාවක අවසන් තුරුම්පුව ලෙස භාවිත කිරීම සඳහා ය. එය ද්වන්ද්ව සටනකි. සමහරවිට ඉන් ඉතිරිවන්නේ දෙදෙනාගෙන් කෙනෙකි. ‘මම නං කවදාවත් හෙණ්ඩුවක් තියන්නේ නෑ අලියෙකුට.’ ස්ටැන්ලි කියන්නේ අලියා මෙල්ල කිරීමට ඇති හොඳම ආයුධය කරුණාව කියාය.  එහෙත් මද කිපෙන කාලයට අලියා කිසිවෙකු කියන දේ අහන්නේ නැත.

ඒ අතින් අලියා බැලීම යනු මිත්‍රකමක් පවත්වා ගැනීමක්ම නොවේ. එය එකිනෙකා කෙරෙහි බලය පතුරුවාගැනීමට උත්සාහ දැරීමකි. අලියා පවා ඇත්ගොව්වා මත බලය පැතිරවීමට උත්සාහ කරයි. එය අබිබවා ඇත්ගොව්වා තමන්ගේ බලය ස්ථාපිත කරගනී. එයට කරුණාව පමණක් නොව, හිංසාවත් පාවිච්චි කරයි. ලංකාවේ ඇතැම් උදවිය ‘දරුවන් හදන්නට’ වේවැල අතට ගැනීම ගැන කම්පා නොවුණත්, අනෙකුත් ජනවර්ග ‘හදන්නට’ තුවක්කු අතට ගැනීම ගැන කම්පා නොවුණත්, අලියා හදන්නට හෙණ්ඩුව අතට ගැනීම ගැන කම්පා වෙන බව අපි දැක ඇත්තෙමු. එහෙත්, ‘හීලෑ’ අලි ඇති කිරීමේ සංස්කෘතිය පවත්වාගෙන යන්නට ඕනෑ නම් හෙණ්ඩුව සහ හිංසනයත් නතර කළ නොහැකිය.

‘අවුරුද්දකට සැරයක් ඇතින්නියොත් මද කිපෙනවා. නමුත් ඒ අය එච්චරටම කලබල නෑ. ටික දවසකින් ඇරිලා යනවා. පෙරහැර කරන අලි, ඇත්තු මද කිපෙන කාලේ ඉවර වෙනකන් බැඳලා තියෙනවා. ඒ අයට ඇතින්නියෝ ගෙනැත් දුන්නොත් පාලනය කරගන්න බැරි වෙනවා. එක එක සතාට අනුව මද කිපිලා ඉන්න කාලේ වෙනස් වෙනවා. සමහරු මාස හත අට අල්ලලා හිටින වෙලාවල් තියෙනවා. මද කිපෙන්න සතියකට හමාරකට කලින් ගහකට දාගන්න ඕනෑ. ඒ කාලෙට දෙවියන්ට බාර හාර වෙලා, වත් පිළිවෙත් කරන්න ඕනෑ.’

දේව ඇදහිලි හා අලි, ඇතුන් අතර යම් සම්බන්ධතාවක් පෙනෙන්නට තිබේ. ගණ දෙවියන්ට ඇත්තේ මිනිස් ඇඟකි. ඇත් මුහුණකි. සුමන සමන් දෙවියන් වඩින්නේ සුදු ඇතෙකු පිටයැයි විස්වාස කෙරේ. ඒ නිසා ඇත්ගොව්වෝ අලියාට දේවත්වයත් මුසු කරති.

‘අලි ඇත්තු බාර දෙවිවරු කිහිප දෙනෙක් ඉන්නවා. සමන් දෙයියෝ. විෂ්ණු දෙයියෝ, කතරගම දෙයියෝ. ගණ දෙයියෝ. අලින්ට, ඇතුන්ට ලෙඩ දුක් හැදුණහම ඉස්සෙල්ලාම ඒ අයට තමයි බාර වෙන්නේ. අලියාගේ හිසේ අසනීපයක් ආවොත් ගණ දෙයියන්ට බාර වෙන්න ඕනේ. පිටුපස ආසනේ කතරගම දෙයියන්ට. ඉස්සරහ ආසනේ සමන් දෙයියන්ට. මැද විෂ්ණු දෙයියන්ට.  ඊට අමතරව නීලගිරි දෙවියෝ හැම අලියෙක්, ඇතෙක් පිටම ඉන්නවා. අපි අලියා පිටට ඇතා පිටට නගින්නේ ඉස්සෙල්ලාම නීලගිරි දෙවියන්ට වැඳුම් පිදුම් කරලා, එයා බස්සවලා ඉවර වෙලා. නැත්නම් අලියා කුලප්පු වෙනවා.’

අන්තිමේ අලියාත්, ඇත්ගොව්වාත් අතර බැඳීමක් හැදීම නැවැත්විය නොහැක. අලියාත් ඇත්ගොව්වා හඳුනාගනී. අර දැවැන්ත සත්වයාත්, ඒ අසලින් ඇවිදින විට පුංචියට පෙනෙන ඇත්ගොව්වාත් අතර බැඳීමක් හටගනී. අවුරුදු කීයක් ගියත් කලින් බලපු අලියෙක් පෙරහැරකදී හමු වුණොත් තමන් ළඟට පැමිණෙන බව ස්ටැන්ලි කියන්නේ ඒ බැඳීම ගැන සංවේදීවය. ඔහුගේ අත්දැකීම අනුව අලි, ඇතුන්ට ඇඟේ තරමට වඩා වැඩියෙන් ආදරය, කරුණාව අවශ්‍යය. අලියා, ඇතා අවුරුදු සීයකින් වයස ගියත් ඌට තිබෙන්නේ ළමයෙකුගේ හිතකි. ඇත්ගොව්වාට අලියා කෙතරම් දැවැන්ත වුණත්, පුංචි දරුවෙකු වාගේය. තමාගේ සිරුරේ දැවැන්ත බව තමාම නොදන්නා බව මීට කලින් ඔහු ආදරයෙන් කීවේ ඒ නිසාය.

‘අලි 18 ක් විතර මම බලලා තියෙනවා. මම බලපු කිසි අලියෙක් මම බලපු කාලය ඇතුළත, මගේ ඇස් ඉදිරිපිට මැරිලා නෑ. එහෙම වෙන්නත් එපා කියලා දෙයියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒක දරාගන්න බැරි මහ දුකක්. ලැජ්ජාවක්. කරුමයක්. මම බාර දීලා ආවට පස්සේ අලි කිහිප දෙනෙක් මැරිලා තියෙනවා. ඒ පණිවිඩ දැනගත්තහම පුදුම දුකක් දැනෙනවා. සමහර විට මම දවස් ගාණනක් කන්න, බොන්න බැරුව ඉන්නවා.’

සමුගැනීම දුකක් බව අමුතුවෙන් ලියන්නේ කුමකටද? ඒ දුක ඇත්ගොව්වා හා අලියා අතර ප්‍රේමයටත් පොදුය. ඇත්ගොව්වාගෙන් ඈත්වීම අලියාටත් දුකකි. අලියා ඈත්වීම ඇත්ගොව්වාටත් දුකකි. අලියාට තමන්ගේ කතාව කිව නොහැක. එහෙත් ඇත්ගොව්වන් කියන කතාවට ඇහුම්කන් දෙන විට හැඟෙන්නේ, ඉඳහිට අලි බලන අපට පමණක් නොව ඇත්ගොව්වන්ටද ‘අලි බැලිල්ල’ කවදාවත් එපා වෙන්නේ නැති බවය.■

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර