■ පවිත්‍රා රූපසිංහ

ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනික බව ජනප්‍රිය කියමනකි. තමන්ගේ සිරුරේ අයිතිය තමන්ට නැතිව, දරු මුණුපුරන් බිහිකරන අම්මලාට යක්ෂණියන් මිස ගැහැනුන් වන්නට බැරිය. මෙහි අප කතා කරන්නේ, බාලගිරි යක්ෂයාගේ නැගණිය වන ගිරිදේවී යක්ෂණිය ගැනය.
ගිරිදේවී වන් ගැහැනියක ගැන ශාන්ති දිසානායක ගෙතූ නවකතාව යථාර්ථයට බෙහෙවින් සමීප සමාජ හරස්කඩක විනිවිද දැකීමකි. එය රූපවාහිනී මාධ්‍යයට ගැනෙන්නේ ඉන්දික ධර්මතිලක අතිනුයි.

ගිරිදේවී නවකතාව රූපමය මාධ්‍යයට ප්‍රතිනිර්මාණය කිරීමේදී ඔබට කතාවස්තුව සුවිශේෂ වන්නට ඇති?
‘නවකතාවෙන් තිරපිටපත ලිව්වේ සමන්ත කුමාර ගමගේ. මාත්, සමන්තත් ජීවත් වන්නේ ශාන්ති දිසානායක ජීවත්වන අනුරාධපුරේ එප්පාවල ගමේමයි. මට ගමේ අපේ අම්මලාගේ නංගිලාගේ සහ ආච්චිඅම්මලාගේ කතාව හොඳින් දැනෙනවා. ශාන්ති දිසානායකගේ බොහෝ පොත් අතර ගිරිදේවි මට දැනෙන ප්‍රමාණය වැඩියි. මෙහි ගැහැනිය ගැන ලියැවිලා තියෙන්නේ වෙනස් ආරකට. ආශලා, සීතම්මලා, චාන්දනීලා සහ මන්ත්‍රීතුමාලා ගැන ශාන්ති අක්කාට වගේම මටත් දැනෙන අත්දැකීම් තියෙනවා. ටෙලිය යද්දී ගිරිදේවී නවකතාව නොකියවූ බොහෝ අයත් කියවන්න පටන්ගත් බව අපට කිව්වා. ටෙලි මාධ්‍යයට කතාව හසුරුවා ගැනීමේදී ශාන්ති අක්කාගෙන් අවසර ගෙන විටින් විට වෙනස්කම් කළා. ශාන්ති අක්කාගේ නවකතාවේ අවසානය ශෝකාන්තයක්. ඒත් මා එය සුඛාන්තයක් බවට පත්කළා. එය ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලා සිටීමයි.’ ගිරිදේවී ටෙලි නිර්මාණය පිළිබඳ ඉන්දික දරන්නේ එවන් අදහසකි.
‘බලාපල්ලා ගස්සන ගැස්සිල්ල… ගිරිදේවි වගේ නෙමේ විසාකා සිටුදේවි වගේ ඇවිදින්ඩ පුරුදුවෙයං…’
ගිරිදේවී ගැන කතුවරිය, ශාන්ති දිසානායක:
‘දවසක් ප්‍රවෘත්තියක මා දකිනවා සමාජ ශාලාවකට කොටුවී හඬමින් සිටි තරුණියක් එහි සේවකයෙකුගේ උපකාරයෙන් පැනලා යන සිද්ධියක්. මෙතැනදී මට ඇතිවුණු කම්පනයකින් තමයි මේ කතාව ලියන්න පටන් ගත්තේ. ගබ්සාව නීතිගත කළ යුතුයි කියලා මා තරයේ විශ්වාස කරනවා. පසුගිය කාලේ නීතිගත කරන්න ගියත් බෞද්ධ සහ ක්‍රිස්තියානි ආගමිකයන් බලවත් විරෝධයක් ඇතිකළා මතකයි. ගබ්සා විරෝධී සමාජයට පණිවුඩයක් දෙමිනුයි මා ගිරිදේවී ලියන්නේ.’

සමාජයේ දැවෙන ප්‍රශ්නයක් නවකතාවක් ලෙස එළිදැක්වීමෙන් පසු කතුවරිය ඒ ප්‍රස්තූතයෙන් නිදහස් වුණාද?
‘නැහැ. ගෝත්‍රික ලක්ෂණ තිබෙන පසුගාමී රටකයි අප ජීවත් වෙන්නේ. පොත් දහයක් ලිව්වත් මේ ඇත්ත ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. කතාවට පදනම් වන සමාජ අර්බුදය පිළිබඳ ශෝකයේ මං දිගටම ඉන්නවා. යථාර්ථය දන්නා නිසා මට ලිවීමෙන් සැනසීමක් ලබාගන්න බැහැ. කොච්චර ලිව්වත් ප්‍රශ්නය එළියේ එහෙමම තිබෙනවා. ගිරිදේවී ලියලා, එය ටෙලිනාට්‍යයක් ලෙසත් විකාශනය වුණා. මට සමහරුන් කතාකරනවා, ගම්පළාතේ ආශාලා වගේ දරුවන් සිටිනවා නම් එයාලාට ඉගෙනගන්න උදව් කරන්න කැමතියි කියලා. ඒ අවස්ථාවලදී මට මහත් සංතෝෂයක් ඇති වනවා. කෘතියක් හරහා එවන් සමාජ සත්කාරයක් කළ හැකියි යන්න මට බොහෝ අවස්ථාවලදී දැනිලා තියෙනවා. සමහරු අනුරාධපුරේ තියෙන වැවයි, කෙතයි දාගැබයි ඇතුළු ගමේ සොබා සුන්දරත්වය අත්වින්දත්, ගම ඇතුළේ මිනිසුන් විඳින දුක්කන්දරාව ගැන දන්නේ නැහැ.

ගිරිදේවී වේදනාකාරී කම්පනයක් කියවන්නන් තුළ ඇතිකරනවා. සාහිත්‍ය නිර්මාණයකින් ඔබ්බට ගොස් සමාජ නැගිටීමක් මේ කඳුළු කතා වටා ඇති නොවන්නේ ඇයි?
අපි දශක ගණනාවක් තිස්සේ ලේ වගු‍රුවමින් සිටින රටක්. ඒත් ලැබුණු ජයග්‍රහණයක් නැහැ. ඒ තුළ අද අපි නිර්වින්දනය වුණු සමාජයක් බවට පත්වෙලා තියෙනවා. ගම සුන්දරයි කියන්නේ මිථ්‍යාවක් පමණයි. හැම තැනම පීඩනය තිබෙනවා. එදිනෙදා ජීවන සංග්‍රාමයේ යෙදෙනවා මිසක් පොදු සමාජ සුබසිද්ධිය වෙනුවෙන් දැන් මිනිස්සු පෙළගැසෙන්නේ නැහැ. කුටුම්බය රැකගැනීම විතරයි. මේ තත්ත්වය තුළ අපි යමක් කළ යුතුයි කියලා මං හිතනවා.

නවකතාවේ අවසානය ශෝකාන්තයක් වීම පිළිබඳ ඔබ රසිකයන්ගෙන් චෝදනා ලබනවා වන්නට ඇති. ඒත් ගිරිදේවී ටෙලිනාට්‍යය සුඛාන්තයක්. ඔබ ශෝකාන්තයන්ට ඇලුම් කරනවාද?
දේශපාලනය වගේම ආගමත් අපේ රටේ මිනිසුන්ගේ ජීවිතවලට තදින්ම බලපානවා. අප බටහිරින් එන සියලු‍ම දේ ගිජු ලෙස ඩැහැගන්නවා. ඒත් බටහිරින් එන මිනිස් අයිතිවාසිකම් අපට විසයි. මේක දෙබිඩි තත්වයක්. අපේ සංස්කෘතිය සහ ආගම රටේ පසුගාමී අන්තයට ලොකු බලපෑමක් කරනවා. ග්‍රාමීය පසුබිමක මේ රැහැන් ඉතාමත් තදයි. අද බුද්ධාගමත් ආභරණයක් පමණයි. උගත් නාගරික සමාජය යම් පමණකින් නිදහස් වුවත්, ග්‍රාමීය මට්ටමේදී මේ විලංගු තදින් වැටී තිබෙනවා. අපි පුංචි කාලෙ ඉඳලාම බය කරලායි හදන්නේ. පුංචි කාලෙ ගෝනිබිල්ලෙක් ගැන කියලා ළමයි බය කරනවා. බත් කවද්දිත් බය කරනවා. සමාජයක් විදියට අපි කාලයක් දෙමළ මිනිස්සුන්ට බයවෙලා හිටියා. දැන් ඒ බය මුස්ලිම් අයට ආදේශ කරගෙන සිටිනවා.
ආගම උගන්වන්නේ අහිංසාවයි. ආගමේ තිබෙන මූලික හරය අපේ භාවිතය තුළ නැහැ. පෙරහැරේ ගමන් කරන අලියාට ආගමේ නාමයෙන් විලංගු දානවා. පෙරහැරේ ආලෝකය, ශබ්දය නිසා අලියා බොහෝ වදවේදනාවට පත්වෙනවා වෙන්න පුළුවන්. තාක්ෂණය සහ නවීන විද්‍යාව තුළ සිටියත් අපි තාමත් සිටින්නේ ගුහාගත වෙලා. දෙවියන් මිනිසාගේ හුදු නිර්මාණයක් බව අපි අද පිළිගත යුතුයි. මිනිසාගේ ආත්ම ශක්තිය තමයි බලවත්. හයේ පන්තියේ පටන් විද්‍යාව ඉගෙනගත්තත් නැවත ග්‍රහ වන්දනා කරනවා. අන්ධකාරය වෙතටම ගමන් කරනවා. අපේ ජනතාව සිටින්නේ බරපතළ අවිද්‍යාවකයි. මේ තත්ත්වය රටේ දේශපාලනඥයන්ට වාසියි.
අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතුණත් ආගමට බැරිවෙලා තියෙනවා සමාජය සුවපත් කරන්න. ආගම් එය දැන් ඔප්පු කරලා තියෙනවා. මේ තත්වය තුළදී කලාවට සහ නීතියට සමාජය සුඛිත මුදිත කරන්න යමක් කළ හැකියි කියලා මා විශ්වාස කරනවා. මා ඛේදවාචකයම ලියන්නේ ඒ නිසායි. අප අත්විඳිමින් තිබෙන පවත්නා දුක, සතුට බවට හරවන්න මට බැහැ. ඒ නිසා මං ශෝකාන්තය නිතරම ගෙනෙනවා.

ගිරිදේවී නවකතාව, රූපවාහිනී මාධ්‍යය තුළ දිගහැරෙද්දී ඔබ සිටියේ කවර සිතිවිල්ලකද?
නවකතාවක් ලියලා මං ඒ මත්තේ එල්ලිලා ඉන්නේ නැහැ. එය සමාජයට මුදාහැරලා මම වෙනත් නිර්මාණයකට ගොඩවෙනවා. බිත්ති හතරකට කොටුවෙලා ඉන්න මට නොලියා ඉන්න බැහැ. මම ගැලවීම ලබාගන්නේ ලිවීමෙන්. මගේ කෘතිය සිනමා හෝ රූපවාහිනී වශයෙන් වෙනත් මාධ්‍යයකට යන්න තිබෙන අයිතියට සහ නිදහසට මා ගරු කරනවා. මට පෑනෙන් අසීමිතව කළ හැකි දේ, කැමරාවෙන් කළ නොහැකි වෙන්නත් පුළුවන්. එනිසා ගිරිදේවී නවකතාව, ටෙලිනාට්‍යය හා මා කිසිවිටෙකත් සසඳන්නේ නෑ.

නවකතාවේ ප්‍රධාන චරිතය ‘ආශා’ට ඒ නම එන්නේ කොහොමද?
ආශා තම අනන්‍යතාව රැකගැනීමේ දුෂ්කරතාවක ඉන්නේ. ග්‍රාමීය වශයෙන් හැම ගැහැනියක්මත් එහෙමයි. මුලින්ම තාත්තාට, සැමියාට, පසුව පුතාට ඇය යටත් වෙනවා. තමන්ට කැමති විදියට හිතන්නවත් වැඩ කරන්නවත් ඇයට බැහැ. කතාව ඇතුළේ ආශා, කුමාර ඉදිරියේ කුමාරි වෙන්නේත්, සඳුන් ඉදිරියේ සඳුනි වෙන්නේත් ඒකයි. ආශා කියන නම දැම්මේ හිතලාමතලායි. ආශා ලස්සනයි. ස්වාභාවික රූමත්කමක් ඇයට තිබෙනවා. අව්වේ හිටියත් අව්වට පිළිස්සෙන්නේ නැති සමක් තිබෙන ගැහැනු ළමයි ගමේ ඉන්නවා. ආශාගේ තාත්තා දේශපාලනඥයෙක්. ඇයට ජාන ශක්තියත්, ගමේ තිබෙන අල, බතල, දඩමස් වැනි ස්වාභාවික ආහාර ගැනීමෙන් ඇතිවුණු යහපෝෂණයත් තියෙනවා. ආශා වගේ ලස්සන ගෑනු ළමයි ගමේ ඉන්නවා. එයාගේ ලස්සනට ආශා කරන අයත් බොහෝයි. ඒ ආශාව සමහර විට අහිංසක වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ජාගර ආශාවත් තියෙනවා. ආශා මේ දෙයාකාර ආශාවන්ට මුහුණ දෙන්නියක්. පොදුවේ ගැහැනියට අත්විඳින්නට වන ඉරණම නිසා තමයි මං ආශා කියන නම යොදාගත්තේ.

ගිරිදේවී කතා අවසානයේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන කිසියම් ඇඟවීමක් තිබෙනවා. ඒ තුළින් ඔබ මතුකරන්න උත්සාහ කළේ කුමක්ද?
නවකතාව අවසන් වන්නේ ශෝකාන්තයකින්. අවසානයේ කසුන් ගංජා පාවිච්චි කරලා වැරදිකරු වෙනවා. ඔහු අතේ තියෙන්නේ තමන්ගේ පාවිච්චියට ගත් ගංජා ස්වල්පයක් විතරයි. ගමේ ඒ කාලයේ රා තිබුණා. පසුව රා නැතිවෙලා කසිප්පුවලට ගියා. අද ගමේ ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් කසිප්පු නිසා රෝගිවෙලා ඉන්නවා. ඇත්තටම මත්ද්‍රව්‍ය මිනිසාගෙන් වෙන් කරන්න බැහැ. අතීතයේ මිනිස්සු පලතුරු පැසවලා මත්වතුර හදාගත්තා. ගංජා තහනමටත් මම විරුද්ධයි. මිනිසුන්ට ගව්ගාණක් ඈතින් තිබෙන මේ නීති වෙනස් වෙන්න ඕනෑ. ගිරිදේවී නවකතාවේ කසුන් ගංජා ස්වල්පයක් අත තබාගැනීමෙන් අත්අඩංගුවට පත්වීම මම යොදන්නේ හිතාමතාමයි. ඔහු අත්අඩංගුවට පත්වීමෙන් පසු ආශා හිතන්නේ කසුන් තමාව අතරමං කළ බවයි. අපේ රටේ නීතියේ ඇති දුබලතාව නිසා අවසානයේදී ආශා නැත්නම් පීඩිතයා නැවතත් පීඩාවට පත්වෙනවා. ඇය නැවත අතරමං වෙනවා. ආශාගේ ඉරණම නැවත නැවත මේ සමාජයේ සිදුවන බව කියාපාන්නට මං කතා අවසානයේ සංකේත යොදනවා. ශෝකාන්තයන් ගොඩනඟන බවට මට චෝදනා ආවත් යථාර්ථයට පිටුපාලා නිර්මාණ කරන්න බැහැ.

ආශා, ගිරිදේවී ඇතුළේ ඉතාම ශක්තිමත් තරුණියක්. සැබෑ සමාජයේ ආශා කියන්නේ අහම්බයක්ද?
ඩයිනසෝර්ලා පෘථිවියේ සිටි සාඩම්බර සත්තු. පරිසරයට අනුගත නොවීම නිසා ඔවුන් වඳවුණා. අරගල නොකළොත් තමන් විනාශ වෙනවා. ප්‍රසිද්ධියේ කතා නොකළත්, බොහෝ කුඩා දැරියන් අපයෝජනයට ලක්වෙනවා. ඒ ගැහැනු දරුවාම ලොකුවෙලා මැදපෙරදිග ගිහින් නැත්නම් ඇඟලුම් කර්මාන්තශාලාවල දහඩිය වගු‍රලා, තවත් අය තේවතුවල අඩු පඩියට වැඩ කරමින් රට රකින මෙහෙවර කරනවා. ආශාලා ගම්වල ඇත්තටම ඉන්නවා. සීතම්මලාත් ඉන්නවා.

ගිරිදේවී තුළ තද විරෝධාකල්ප ස්වරූපයක් තිබෙනවා. ශාන්ති දිසානායක කියන්නේ ස්ත්‍රීවාදිනියක්ද?
මම ස්ත්‍රීවාදිනියක් නෙමෙයි. අපේ රටේ ගැහැනිය වගේම පිරිමිනුත් අසරණයි කියලායි මට හිතෙන්නේ. මම කොළඹින් පිටත අනුරාධපුරේ ජීවත් වන මහපොළොවේ පයගහලා ඉන්න කෙනෙක්. මම ජාති, ආගම් කුලමල කාරණා ඉවත් කරලා මනුෂ්‍යයාට ආදරය කරනවා. එතනදී ගැහැනු, පිරිමි භේදයක් මට නැහැ. මගේ බොහෝ නිර්මාණවලට වගේම ගිරිදේවීටත් පසුබිම වන්නේ මනුෂ්‍යයාට මා තුළ ඇති අසීමිත ආදරයයි.■