කොරෝනාවෙන් ආතුරවූ නිල්ග්‍රහයාගේ අනාගතය වෙනුවෙනි.

දීර්ඝ කාලයකට පසු අහසට නිවාඩුවක් ලැබී තිබේ. පොළොව හා මුහුද ද නිවාඩු පාඩුවේ ගිමන් හරියි. කුරුල්ලෝ නිදහසේ පියාඹති. ඩොල්පින් මසුන් ඇතුළු සියලූ මත්ස්‍යයෝ වරල් ගසමින් පිහිනති. මරණ වරෙන්තුව මිටින්ගෙන උපන් සත්ත්ව විශේෂ ගණනාවකට ජීවත්වීමේ සහන කාලයක් ද ප්‍රකාශයට පත්වී තිබේ. ඉස්පාසුවක් නැති මිනිසාට ලැබී ඇත්තේ ද නිවාඩුවකි.

එහෙත්…?

අහඹු ලෙස උදාවූ මේ නිදහස, මේ විවේකය මිනිසාට අර්ථවත් කාර්යසාධනයක් සඳහා අවකාශයක් විවර කර ඇත්තේ ද? පොතක් කියවන්නට කාලයක්, වේලාවක් නැතැයි මැසිවිලි නැගූ මිනිසා දැන් පොත් කියවන්නේ ද? ආධ්‍යාත්මික ගමනකට ප්‍රවේශවීම සඳහා හෝ කිසි ඉසිඹුවක් නැතැයි කනිපින්දම් ගෑ මිනිසා දැන් ආධ්‍යාත්මික ගවේෂණයක (හෝ ස්වයං විවේචනයක) යෙදෙන්නේ ද? කිසියම් වූ නවෝත්පාදන කටයුත්තක් සඳහා ඔහු මේ විරාමය ප්‍රයෝජනයට ගෙන ඇත්තේ ද? තමනට කිසිවක්ම කර කියා ගත නොහැකි යැයි මෙකල බොහෝ මිනිසුන් මැසිවිලි නගන්නේ කුමක් නිසා ද? මේ නිහැඬියාව මිනිසා තුළ නව චින්තනධාරා මතු නොකරන්නේ ද? තාක්ෂ◊ක මෙවලම් ඇතුළු බහුවිධ යන්ත්‍රසූත්‍ර සමග දීර්ඝ කාලයක් මුලුල්ලේ සිදුකළ විරාමයක් නැති ගනුදෙනුවේ ප්‍රතිඵල වශයෙන් මිනිසුන්ගේ සිතීමේ යාන්ත්‍රණය අකර්මණ්‍ය වී ඇත්තේ ද?

 සොබාදහම ජයගත්තේ යැයි කියමින් භෞතික සම්පත් අත්පත් කරගැනීම් පිළිබඳ උදම් අනන මිනිසා පරිස්සමින් සිතා බැලිය යුතු ප්‍රශ්න ගණනාවක් කොවිඞ් 19 විසින් සමාජගත කරනු ලැබ තිබේ.

 මිහිමඬලේ නීත්‍යනුකූල උරුමය යම්කිසිවකු විසින් කවදා හෝ මිනිසාට පවරා දෙනු ලැබ ඇත්තේ ද? නිජබිම් උරුමය පිළිබඳ නෛතික තත්ත්වයන් සලකා බැලූව ද තිරිසන් සතුන් පෘථිවිවාසීන් බවට පත්වූයේ මිනිසාට වඩා බොහෝ කලකට පෙර වන බැවින් ඔවුන් එහි මුල් උරුමක්කාරයන් බවට පත් නොවන්නේ ද? සදාචාරාත්මකව සිතා බැලූව ද සතුන් අපගේ මුතුන්මිත්තන් ලෙස හඳුනාගත යුතු නොවේ ද? ජීවිත කාලයක් මුළුල්ලේ තමන් වෙනුවෙන් බර අදිමින් වෙහෙස වූ තිරිසන් සත්ත්වයන් මහලූ වී බෙලහීන වූ පසු ඔවුන් පෝෂණය කිරීම ආර්ථික වශයෙන් අවාසිදායක කටයුත්තක් වන බැවින් ඊට ඇති එකම විසඳුම ඝාතනය බව පෙන්වා දෙන ආර්ථික රොබෝ මිනිසාගේ ඒ ආර්ථික දැක්ම මහලූ දෙමවුපියන්, වැඩිහිටියන් සම්බන්ධයෙනුත් වලංගු වන්නේ ද? බලසම්පන්න සුපිරි රාජ්‍යයන්හි මෙන් ම තුන්වෙනි ලෝකයේ කුඩා රටවල ද වෙසෙන මිනිසුන් පවා එකාවන්ව සිය අණසක පතුරුවමින් සියවස් ගණනාවක් මුලුල්ලේ සත්ත්ව ලෝකය මෙන් ම ශාක ලෝකය ද කොතරම් නම් පතුරු ගසා ඇත්තේ ද? දිගින් දිගටම මිනිසා එසේ සත්ත්ව ඝාතනයන්හි උලාකෑමෙහි යෙදුණේ පරම ලෙසම දූෂිත වූ පරම බලයක් ප්‍රකට කරමින් නොවන්නේ ද? පේන-නොපේන සියලූ සත්ත්වයනට මෙත් වඩන්නේ යැයි කියන ආගමික මිනිසුන්ගේ කුස් පවා බොහෝවිට පිරී පැවතුණේ අනුන්ගේ මාංසයකින්ම නොවන්නේ ද? අනුන්ගේ රුධිරය දැකීමට තමන් අපොහොසත් යැයි කියන ඇතැම් මිනිසුන් මුවහත් මන්නා තලයකින් කැපී යන මත්ස්‍ය හිසක් අහසට විදෙන රතු ලෙය දෙස බලා (අලූත් මාළු රස සිහිකරමින්) කී වරක් නම් තලූමරා ඇත්තේ ද?

  මේ ඝාතන රැල්ල අතරේදී, මිනිසාගේ බඩජහරි අධිපරිභෝජනවාදය හමුවේ  ඕසෝන වියන සිදුරුවීම, පෘථිවි උෂ්ණත්වය ඉහළ යාම, ජල දූෂණය, වායු දූෂණය ආදි අටඅනූවක් රෝගකාරක අතරට කොරෝනාව අලූතින් එක්වීම අරුමයක් විය හැකි ද? දිනුම් කණුවක් නැති ධාවන පථයක් මැද තරගකාරි ලෙස ලෝක විනාශයට පාර කපාගෙන යන බැකෝවේ සුක්කානම  අත දරා සිටින්නේ මිනිසාම බව කාලයකට පෙර සිටම පෙන්වා දී තිබුණේ පරිසරවේදීන් හා ස්වභාව විද්‍යාඥයන් පමණක් ද? භෞතික විද්‍යාඥයන් පවා ඒ සම්බන්ධයෙන් දල්වා තිබූ රතු එළි අධිභෞතිකවාදී මිනිසා නොටුවේ ද? භෞතික  විද්‍යාව පිළිබඳව කෙටි පාඩම් හතක් -Seven  Breef Lessons on Physics නම්වූ කෘතියකින් න්‍යායික භෞතික විද්‍යාඥයකු විසින් පෙන්වා දෙනු ලැබූ යට දැක්වෙන කුඩා කොටස පමණක් වුව ඒ පිළිබඳ නිදසුන් නොසපයන්නේ ද?

‘අපගේ සත්ත්ව ගණයට අයත් අනෙක් සත්ව විශේෂ සියල්ලම දැනටමත් වඳ වී ගොස් තිබෙනවා. ඊටත් වඩා සැලකිය යුතු කාරණය වන්නේ අප ‘විනාශකාරීන්’ වීමයි. අප විසින්ම දියත් කළ දරුණු කාලගුණ ව්‍යසන හා පාරිසරික වෙනස්වීම් අපව ඉතිරි කරනු ඇතැයි සිතීම අසීරුයි. මේ තුමුල පෘථිවියට නම් ඒවා නොවැදගත් සිදුවීම් විය හැකියි. එහෙත් විශේෂයෙන්ම මහජන හා දේශපාලන මතය අප මුහුණ දෙන අනතුරු නොතකමින් හිස වැලි තුළ ඔබා ගැනීමට වැඩි මනාපයක් දක්වන නිසා ඒවායින් අනතුරට ලක් නොවී අපට ගැලවීගත හැකි වේ යැයි මා හිතන්නේ නැහැ. Carlo Rovelli)

කෝවිඞ් 19 පෙරකී මරණ තර්ජනයේ එක් සංඥාවක් විය නොහැකි ද?  කෝවිඞ් 19 හෙවත් කොරෝනාව ස්වභාව ධර්මයේ නිරමාණයක් ද නැතහොත් විනාශකාරයකු වන මිනිසාගේම තවත් එක් නිපැයුමක් ද යන්න සම්බන්ධයෙන් හිතලූ ඉදිරිපත් කිරීමට තවම ඉක්මන් වැඩි ය. යම් හෙයකින් එය සොබාදහමේ නිර්මාණයක් වූවේ නම්, ඒ නව එළඹුම කෙරෙහි ද මිනිසා සිත් යොමු කළ යුතුම ය. සාගත, නියඟ, කුණාටු, ළැව්ගිනි ආදි ස්වාභාවික විපත් හමුවේ මේ දක්වාම ඉතා වැඩි ප්‍රතිශතයකින් අයසට පත් වූයේ දුප්පතුන් ය. පීඩිතයන් ය. ‘සොබාදහමත් හැමදාම හතුරු වෙන්නේ  දුප්පත් අපටම නේ’ යනුවෙන් බොහෝවිට මැසිවිලි නැගුවේ ද එවැන්නන්ම ය.

එහෙත්…?

 ඒ චෝදනාවට කන්නොදුන් නිසාදෝ සොබාදහම මේ වතාවේදී නම් මුල්ම වරට ආසාදිතයන් බවට පත් කර ඇත්තේ (ඇතැම්විට) රාජකීයයන් ය. නැතහොත් ප්‍රභූන් ය. සුපිරි රංගන ශිල්පීන් ය. සුපිරි දේශයන් ය. අසිරිමත් පුරවරයන් ය. සුපිරි දේශපාලනඥයන්ගෙන්, සුපිරි ව්‍යාපාරිකයන්ගෙන් මෙන් ම මුළුමහත් ලෝකයෙන්ම නැගිය යුතු ප්‍රශ්නයක් මුදාහැරෙමින් පවතින්නේ ඒ අනුව ය. වඩා වැදගත් වන්නේ ආර්ථිකය ද? හුස්ම ද?

 බේරාගත යුතු වන්නේ රැවුළ ද? කැඳ ද? යන ප්‍රශ්නයේ පිළිතුර මෙන් ම මෙහි පිළිතුර ද පැහැදිලි ය. කඩාවැටුණ ආර්ථිකයක් පසුකලෙක නගා සිටුවීම සඳහා සිහින මැවිය හැකි වෙතත් ‘හුස්ම’ සම`ග සිහිනවලට ගනුදෙනුවක් නැත. හුස්ම ගිලිහෙන්නේ සදාකාලයටම ය. මීට පිළියමක්, අදහසක් යෝජනා කරන්නට පෙර වර්තමාන ලෝක තත්ත්වයන් හා පාරිසරික ස්වභාවයන් හා අදාළ තත්ත්වයන් කෙරෙහි ද අවධානය යොමුකිරීම වැදගත්ය.

සොබාදහමේ පුංචි කෙනිත්තීමකින් සුපිරි තාක්ෂණික විජිතයේ පදාසයක් නාය යන්නේ ද? කොරෝනාව මිනිසාගේ බොහෝ ඇගයීම්, ඇදහීම් පුපුරුවා හැරියේ ද? ‘දියුණුව’, ‘ජයග්‍රහණය’ ලෙස මෙතෙක් මිනිසා උත්කර්ෂයෙන් Lock Down සැබෑ ජයග්‍රහණයක් ද? ඒ අර්ථකථනය නිවැරදි ද? ‘මුදල් නෝට්ටුවක පවතින්නේ කඩදාසියක වටිනාකමය’ යන භයානක ඇත්ත කොරෝනාව මිනිසාට ඒත්තු ගන්වමින් ඇත්තේ ද? ‘සල්ලි දෙයියන්ගේ මල්ලි’ යැයි සිතාගෙන සිටි මිනිසා සුවඳධූප දල්වමින් දෙවියන්ට විවර කළ දොරටුව තුළින් යක්ෂයා එබිකම් පාන්නේ ද? මේ සියලූ ව්‍යසන හමුවේ සොබාදහම ආශ්චර්යමත් වෙනසකට මුලපුරමින් සිටින්නේ ද? භාග්‍යය හා අභාග්‍යය අතිනත ගෙන ඇත්තේ ද?

ලෝකයේ වැඩිම වායුදූෂක කලාපයන්හි කොරෝනා වෛරසයේ පැතිරීම සැලකිල්ලට ගනිමින් සිදුකෙරුණ පර්යේෂණවලට අනුව පෙනීගොස් ඇත්තේ දෙවියා හා යක්ෂයා අතිනත ගනිමින් ලෝකය සාධනීය ප්‍රතිසංස්කරණයකට සූදානම් කෙරෙන අයුරු ද? පෘථිවිගෝලය සැබෑ වෙනසකට පත්වෙමින් ඇත්තේ යැයි පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ ඒ අනුව ද? භූකම්පන මානවල දත්ත පරීක්ෂාවට ලක් කළ පර්යේෂකයන් ඒවායේ සටහන්ව ඇති කම්පන ශබ්ද ඇදහිය නොහැකි මට්ටමකින් පහත වැටී ඇතැයි කියන්නේ ඒ අනුව ද? ගුවන්යානා, මෝටරථ රථ හා නාවික ගමනාගමනය සීමාවීම හේතුවෙන් (පොසිල ඉන්ධන දහනය අවම වීම නිසා)  ඕසෝන ස්තරයේ සිදුර වහ-වහා වැසීයමින් පවතින්නේ ද? නිල්ග්‍රහයා, නිල්පැහැය වර්ධනය කරගනිමින් සිටින්නේ ද?

ලංකාව තුළ සිදුවූ මේ වෙනසට කැලණි ගඟේ ජලතලය ද සාක්ෂි සපයයි. ජලයෙහි බොරතාව පෙර නොවූවිරූ අන්දමකින් පැහැදිලි වෙමින් ඉහළ ගුණාත්මක අගයක් ප්‍රකට කරමින්ද ඇත්තේ යැයි පර්යේෂකයෝ කියති. කොන්ක්‍රීට් වනාන්තරයේ ගෙන්දගම් පොළොවට පියාඹා එන මොනරු පිල් විහිදා රංගනයේ යෙදෙති. දැන් කොළඹ මිනිසුන්ගේ නින්දට පාන්දරින්ම බාධා පමුණුවන්නේ කුරුල්ලන් ය. මෙවර අවුරුද්ද උත්කර්ෂයෙන් සමරන්නේ කොහා පමණි.

හුස්ම හා තෙතමනය බෙදාහැරීම අරඹා ඇති සොබාදහම, කොරෝනා බිය තුනීවූ සැණි◊න් යළිත් වරක් මිනිසාට මුඛවාඩමක් යොදනු ඇත්තේ උලාකෑම යළි සක්‍රිය වූ සැණින්ම වන බවට කතා දෙකක් නැත. ආදරණීය මාතෘ හාද්දකට, අනුරාගී හාද්දකට මෙන් ම තමාගේම මුහුණ පිරිමැදගැනීම සඳහා තමාගේම අතට ද තහංචි පැනවෙමින් ඇති මෙකල, ස්වකීයයන් කෙසේ වෙතත් තමා ද තමාට අහිමි බව මතක් කරගැනීමට මිනිසා අසමත් වීම ඛේදවාචකයකි. පොදු ව්‍යසනයක් හමුවේ භේදභින්නවීම, ජාතිවාදී ආගම්වාදී වෛරගිනි අවුළුවන්නට කැසකැවීමද මෙහි ඇති අනෙක් හාස්‍යජනක ඛේදයයි.

කෙසේ වුව ද ගෝලීය උණුසුම, වායු දූෂණය හා කාන්තාරකරණය ගැන කාලාන්තරයක් මුලුල්ලේ කියැවුණ කතා බීරි අලින්ට වීණා වාදනයක් වීමේ පසුබිමක් තුළ මිහිකත සමුළු, ජාත්යන්තර සම්මුති සුළෙඟ් ගසාගෙන යමින් තිබියදී අර ප්‍රමුඛ ප්‍රශ්නය යළි-යළිත් වරනගමින් තිබේ.

 වඩා වැදගත් වන්නේ ආර්ථිකය ද? හුස්ම ද?

 මේ හෝඩුවාව, මේ යෝජනාව ඒ සඳහා ය.

සෑම තුන්මසකට වරක් සීමිත දින කිහිපයක් තුළ මුළුමහත් ලෝකයටම මුද්‍රා තැබිය යුතු ය. (Lock Down කළ යුතු ය.* එය අහසට, පොළොවට, සයුරට, වාමඬලට මෙන් ම මිනිසාට ද අනිවාර්ය කළ යුතු පාසල් නිවාඩුවක් වැන්නකි. ‘එතකොට ආර්ථිකේට මොක ද වෙන්නේ?’ යි කිසිවකුටත් ප්‍රශ්න කළ හැකි නොවන්නේ, එසේ නොකළහොත් Lock Down වන්නේ ප්‍රශ්නකරුවාගේම හුස්ම වන නිසා ය.

නූතන මිනිසා නැවත ද වරක් රියෝ ද ජනයිරෝ නගරයේ හෝ පැරිස් නගරයේ හෝ සුපිරි නිව්යෝර්ක් පුරවරයේ හෝ සුඛෝපභෝගී ශාලාවක බිත්ති දෙදරවමින් පරිසරය සුරකින්නැයි ඉල්ලා හඬනැගීම නිශ්ඵල ව්‍යායාමයක් බව මේ වන විට ඔප්පු වී අවසන් ය. එහෙයින් ඔහු නිහඬ සම්මුතියකට එළඹිය යුතු වන්නේ පුද්ගලයක හෝ පුද්ගල කණ්ඩායමක් සමග නොව සොබාදහම සමග ය. ලෝකය වසාදැමීමේ ක්‍රියාවලිය කොතරම් කාලයක් මුලුල්ලේ ක්‍රියාත්මක කළ යුතු ද, එය සදාකාලික කර්තව්‍යයක් ද යන්න තීරණය කළ හැකිවන්නේ සොබාදහමින් සැපයෙන සංඥා අනුව මිස දේශපාලන න්‍යායපත්‍රවලට අනුකූලව නොවේ.

  (මෙය නිගමනයක් හෝ තීන්දුවක් නොවේ. සිතුවිලි දාමයකින් උපන් ප්‍රශ්නාර්ථ කිහිපයක් පමණි.) 

කැත්ලීන් ජයවර්ධන

ඡායාරූපය Getty Images