මීට වසර දෙකකට පමණ පෙර මා ඇස් වාට්ටුවේ හෙවත් ජාතික නයන රෝහලේ තරමක කලක් නේවාසික ව සිටියෙමි. ‘රෙටිනල් එක‘ නමින් හැඳින්වෙන වාට්ටුවේ මා සිටි ඒ කාලය ශල්‍යකර්ම නිසා ක්ෂතිමය අත්දැකීමක් ගෙන දුන්නත් වාට්ටු සගයින් සමග කුළුපග වීම ප‍්‍රියජනක එකක් විය. දිවයිනේ විවිධ පළාත්වලින් එන මේ ඇස් ලෙඞ්ඩු රෝහල් පරිශ‍්‍රය තුළ නාමකරණය වන්නේ යම් ව්‍යුහාත්මක රටාවකට ය. එනම් රෝගියාගේ පදිංචිය හා වාසගම එකතුකොට ය. මාගේ රෝහල් නාමය ‘ගල්කිස්සේ ප‍්‍රනාන්දු‘ විය. මෙම රටාව නිසා, ඇසුරක් අරඹන විට ‘ගම කොහේද‘ ප‍්‍රශ්නය ඇසීම අවශ්‍ය නොවේ. ගාල්ල, නිකවැරටිය, බණ්ඩාරවෙල, හලාවත, පොල්ගස් ඕවිට අක්කරෙයිපත්තුව පළාත්වලින් ආ ඒ ලෙඩ-සගයින් සමග ගත කළ සති කිහිපය මිහිරි මතකයක් ලෙස තැන්පත් වී ඇත.  ටිකට් කැපීමෙන් අනතුරුව කොට්ටයක් හා මල්ලක් කිහිල්ලේ ගසා අප හාන්සි වී ඇති ඇඳක් ගානේ පැමිණ ‘ගිහිං එන්නං’ කියන විට ක්ෂණයෙන් සිතට දුකක් පැමිණේ. සමහරු වසරකට කිහිප වතාවක් මේ වාට්ටුවේ නේවාසික වෙති. පසුව අපි කලාතුරකින් ක්ලිනික් එකේ හමුවී රෝගය හා ජීවිතය ගැන යාවත්කාලීන වෙමු. මේ ආකාරයෙන් අපට එක්තරා ආදි ශිෂ්‍ය නොව ආදි රෝගී සංගම් මානසිකත්වයක් ගොඩනැගී ඇත.       

අල්මා මේට(ර්) යන ලතින් පදය මුලින් ම යෙදුණේ දෙවඟනකට ය. ග‍්‍රීක මිථ්‍යාවේදයේ හමුවන සේරෙස්, සේබිල් හා වීනස් වැනි දෙවඟනන්ට ගරු නාමයක් ලෙස යෙදිණ. එකොලොස්වන ශත වර්ෂය පමණ වන විට අල්මා යෙදුම කන්‍යා මරියා සමග ද පටබැඳුණි. පසු කලෙකය එය ‘පෝෂණය කළ මව’ යන අරුතින් යමෙකු උගත් පාසල හෝ සරසවිය ගෞරව හා ස්තුති පූර්වකව අමතන්න යොදාගත්තේ. මෙය සිංහල වහරේ එන හැදූ අම්මා සංකල්පයට සමපාත වේ. වැදු අම්මාගෙන් පසු වඩාත්ම වැදගත් හැදූ අම්මා බව ඉන් හැඟවේ. අල්මා මේට(ර්) යන්න අල්මා මාතා ලෙස මා වහරනු දැක මා මිත‍්‍ර භාෂාවේදීහු මා හා උරණ වෙත්ද? සිරිලකේ තරම් අල්මා මාතා වන්දනාවක යෙදෙන රටක් මා දැක නැත. එංගලන්තයේ ඊටන්, දිල්ලියේ සැන් ස්ටීවන්, බැංගලෝරයේ බිෂොප් කොට්න් හා දෙහ්රාදුන්හි ඩූන් යන ප‍්‍රභූ පාසල් ද තම ආදි ශිෂ්‍ය සංගම් සමාජයේ තීරණාත්මක සාධකයක් ලෙස වඩවා තිබේ. රැකියා හා ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ සරන්නන්ගේ ශීඝ‍්‍රගාමී පාස්පෝ(ර්)ටය ආදි ශිෂ්‍ය සංගමය වේ. රෝයල්-සැන්තෝමස්, ලේඞීස්-බිෂොප්ස්, ආනන්ද-නාලන්ද, විශාඛා-මියුසියස් ආදි ශිෂ්‍ය සංගම් වැලක් බල ධුරාවලියක් ලෙස ලාංකීය සමාජ දේශපාලන දේහය දිගේ මුල් ඇද ඇත. යට කී වැලේ අග්ගිස්සක් ලෙස හෝ වැඩෙන්නට වැලේ වැල් නැති පාසල් ආදි ශිෂ්‍ය සංගම් වෙර දරනු මා දැක ඇත. විටෙක මෙම ආදි ශිෂ්‍ය සංගම් අපූරු නිර්මාණාත්මක නම් තමනට පටබඳියි. ආනන්දියන් නාලන්දියන් රටාවට ‘මුදලියන්ස්’ හා ‘ගාර්බියන්ස්‘ ලෙස නාමකරණය වූ පාසැල් ද්වය කුමක්දයි ඔබට සැකකළ හැකිද? ලලිත් ඇතුලත්මුදලි විදුහලේ හා ඉබ්බාගමුව මාධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්, පිළිවෙළින්, තමනට පටබැඳගත් නම්ය. ලාංකීය අයෙකු ‘යමෙකු‘ වීමේ අනන්‍යතා ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන්නේ තම අල්මා මාතාවය.              

පාසල් හා සරසවි ආශ‍්‍රිත අල්මා මාතාවන්ට අමතරව තවත් අල්මා මාතාවක් දිටිය හැකිය. ඒ තමන් ප‍්‍රතිකාරගත් (හෝ නොගෙන, නමුත් නේවාසිකව සිටි) රෝහල පදනම්ව බිහිව ඇති ආදි රෝහල් සංගම්ය. මා සාමාජිකත්වය දරන නයන රෝහලේ රෙටිනල් වාට්ටුවේ ආදි රෝගීන් වන අපි ‘රෙටිනලියන්ස්‘ වෙමු. අපගේ ‘රියුනියන්ස්‘ පැවැත්වෙන්නේ මාසික සායන දිනයන්හි රෝහලේ පහත මාලයේය. රෙටිනලියන්ස් වැනි ‘පොස්‘ නමකින් අප විසින්ම අපව නම්කරගත්තාට, ආදි රෝගී සංගම් ධුරාවලියේ අපි සිටින්නෙම් ඒ තරම් වැදගත් තැනක නොවන බව දනිමු. යට කී ධුරාවලියේ බමුණු කුලය ලෙස කලක් වැජඹුණේ ඩර්ඩන්සියන්ස් හා ජෝසප්-ෆ්රේසරියන් ය. මෙම බමුණු කුලය පරයා පසු කලෙක නවලෝකියන්වරු නැගීසිටියහ. අනතුරුව ආසිරියන්ස්, ඇපොලෝනියන් හා නයින්-වෙලියන්ස් නව බලවේග ලෙස මතුවිණ. ගෝලීයකරණ ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස දෝ යට කී දේශීය බලවේග අබිබවා ජාත්‍යන්තර ආදි රෝගී සංගම් ශීඝ‍්‍රයෙන් ධුරාවලියේ ඉහලට ම නැඟ ගති. මෙය ධනවතුන් තම දරුවන් රෝයල්-සැන්තොමස් නොයවා ඉන්ටර්නැසනල් ඉස්කූල් යැවීම හා සමපාත ප‍්‍රවණතාවකි. ඒ අනුව ලාංකීය ප‍්‍රභූම ආදි රෝගී සංගම් සාමාජිකයෝ මවුන්ට් එලිසබෙතියානුවෝ වෙති. එම ජාත්‍යන්තර සංගමයේ දේශීය සාමූහිකය එලිසබෙති ගිරි (ලක්පුර නිකාය) ලෙස ලියාපදිංචි කර ඇත.   

රෝගීන්ට නේවාසිකව ප‍්‍රතිකාර කරන ස්ථානය රෝහල වේ. සුදුසුකම් ලත් වෙද-හෙද කාර්ය මණ්ඩලයක්, බෙහෙත් හේත්, වෛද්‍ය උපකරණ රෝහලක මූලික සංඝටකය. එහෙත් ධනවාදී අර්ථ ක‍්‍රමයක, රෝහලක යට කී සංඝටකවලට අමතරව වාණිජ ලෝකයේ ‘වැලිව්-ඇඩිෂන්’ ලෙස හැඳින්වෙන නෙක විසිතුරු දෑ රැසක්ද එක්වේ. එමනිසා ඒවා හැඳින්වෙන්නේ සුඛෝපභෝගී රෝහල් හැටියටය. අප රටේ සීමිත සාමාජිකත්වයක් දරන මවුන්ට් එලිසබෙතියන්වරුන්ගේ අල්මා මාතාව වන්නේ සිංගප්පූරු නගරයේ සුප‍්‍රසිද්ධ ඔර්චාර්ඞ් පාර අසල පිහිටි මවුන්ට් එලිසබෙත් රෝහලය. ආසියාවේ සුඛෝපභෝගීම රෝහල් අතරින් ඉදිරියෙන් සිටින්නේ සිංගප්පූරුවේ එලිසබෙත් හා ග්ලෙන්ඊගල් රෝහල් ද්වයය. ආසියාවේ පමණක් නොව අන් රටවලින් පවා මේ අධි-සුඛෝපභෝගී රෝහල්වලට ‘ඇඞ්මිට්‘ වන සුපිරි රෝගීහු සිංගප්පූරුවේ ආර්ථිකයට අපමණ දායකත්වයක් කරත්. ආර්ථිකයේ එය හැඳින්වෙන්නේ ‘හෙල්ත්-ටුවරිසම්’හෙවත් සෞඛ්‍ය-සංචාරක අංශය ලෙසය.             

යට කී ස්ථාන රෝහලකට වඩා හෝටලයක වෙස් ගනී. මේවායේ නවතින්නේ සුපිරි වීවීඅයිපීවරුන් නිසා වාට්ටු හා කාමර හරි මදිය. එම නිසා සාගරයක් මෙන් විශාල කාමර හා ආලින්ද සහිත ‘සුයිට‘ (suite) නම් අවකාශ තුළය මෙම සුපිරි රෝගීහු නේවාසිකව සිටින්නෝ. බෘනායිහි රාජකීය පවුල තමනටම වෙන් කළ සුයිටයක්  එලිසබෙත ගිරිහි සාදාගත්තෝය. එහි දොර ඇරෙන්නේ තම පවුලේ අයට පමණි. රාජකීය ලෙඩා සමග තනියට ඉන්න පවුලේ සාමාජිකයින්ට නැවතීමට ඇති තරම් ඉඩකඩ සුයිටයේම ඇත. රාජ්‍ය නායක, ව්‍යාපාරික, හමුදා නායක, ඇමති හා සෙලිබ්රිටි රෝගීහු මෙම සුයිටයන්හි හිඳ නිවාඩුවේ පාඩුවේ තම රෝගයට ප‍්‍රතිකාර ගෙන සාප්පු සවාරියක්ද ගසා සතුටින් නික්ම යති. වසර 37ක් සිම්බාබ්වේහි ඒකාධිපති පාලනයක් කළ රොබර්ට් මුගාබේ නිතරම සිංගප්පූරුවට එන්නේ බෙහෙත් ටිකක් අරන් යන්නටය. යට කී සුයිටයක නවාතැන් ගන්නේ තම ප‍්‍රිය බිරිඳ ගේ‍්‍රස් සමගය. මුගාබේ ආර්යාවට ‘ගූචි ගේ‍්‍රස්‘ කියා නමක් පටබැඳුණේ ඉස්පිරිතාල ගමන්බිමන්වලදී සාප්පු සවාරියක් ගොස් අධි-සුඛෝපභෝගී සන්නාමයක් වන ‘ගූචි‘ වර්ගයේ හෑන්ඞ් බෑගයක් ඇමරිකානු ඩොලර් 10,700 (රුපියල් ලක්ෂ විස්සක්) කට මිලදී ගැනීම නිසාය. මුගාබේ 2019දී අභාවප‍්‍රාප්ත වූයේද සිංගප්පූරුවේ සුපිරි ග්ලෙන්ඊගල් රෝහලේ දීර්ඝ කාලයක් සිටීමෙන් අනතුරුවය. මියන්මාරයේ මිලිටරි නායකකාරකාදිහුද මවුන්ට් එලිසබෙතයේ නිත්‍ය සාමාජිකයෝ වෙති. සුපිරි නළු රජිනි කාන්ත්ද එසේය. මවුන්ට් එලිසබෙත් රෝහලේ වීයිපී රූමයක දෛනික කුලිය සිංගප්පූරු ඩොලර් 4,238ක් (රුපියල් ලක්ෂ පහමාරක්) වන අතර සුයිටයන් ඩොලර් 5,988 (රුපියල් ලක්ෂ අටක්), 6,888 (රුපියල් ලක්ෂ නවයක්), 7,588 (රුපියල් ලක්ෂ දහයක්) හා 10,488 (රුපියල් ලක්ෂ දහතුනක්) වැනි සාධාරණ දෛනික කුලියකට ලබා ගත හැක. වෛද්‍ය, ඖෂධ හා ශල්‍යකර්ම ගාස්තු අමතරව ගණනය කෙරේ. 

 මුගාබේලාට රාජිනි කාන්ත්ලාට දෙවැනි නොවෙමින් රටට කීර්තියක් දෙමින් එලිසබෙත ගිරියේ අප මවුබිම නියෝජනය කළ සුපිරි ලක් ප‍්‍රභූ රෝගීහු කිහිපයක් වෙති. දීර්ඝතම කාලයක් ගිරියේ සිටි ලාංකිකයා ලෙස වාර්තාව හිමි හිටපු පා.ම. හා අධීක්ෂණ අමාත්‍යතුමෙක් ය. කුඩුපති ලෙස ජනාදරයට පත් එතුමන් මිතුරු කැලක් සමග උණබට තුවක්කු කෙළියක යෙදී සිටියදී, ඒවාට මූනිස්සම් ලෙස යොදන ගඳපාන ඇට කිහිපයක් කණ හරහා කුඩා මොළයට යාම නිසා අවුරුද්දකුත් මාස හයක් පමණ එලිසබෙතගිරියේ නේවාසික ව සිටියේ විශේෂඥ වෛද්‍යවරුන්ට කුඩා මොළය සොයාගන්නට අසීරු අභියෝගයක් වූ නිසාවෙනි. දැන් එතුමන් සිටින්නේ දේශීය සුයිටයකය. සිරිලක ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය හිණිපෙත්තටම ගෙන ආ සුවපති ඇමතිද බයිපාසයකට ගිරියට ගොඩවැදුණේ මවුබිමට බරක් නොවනු පිණිසය. ගිරියේ ෆ‍්‍රීකුවන්ට් පේෂන්ට් 2019 සම්මානය නිතරගයෙන් දිනා ගත්තේ අප විරුපතිය. ගිරියේ කළමනාකරණය සිරිලකේ නඩුහබ නිරන්තරයෙන් සමීපව නිරීක්ෂණය කරන අතර ඒ අනුව තම සුයිට ලකලැහැස්ති කර තබන්නේ කස්ටමර් සර්විස් එකක් ලෙසය. ‘…ස‘, ඉට්ස්  ඕල්රෙඩි ඇරෙන්ජ්ඞ්, ලා…‘ කියා ලංකාවෙන් ඇමතුමක් එන පෝනය උස්සන කොටම සිංගප්පූරුවෙන් උත්තරය ලැබෙන්නේ ප‍්‍රශ්නය අහන්නත් කලින්ය. 

ස්විස් බැංකු සුප‍්‍රසිද්ධ වන්නේ කුප‍්‍රකට ධනවතුන්ගේ මුදල් නම්ගම් කිසිවෙකුට හෙළි නොකර තැන්පත් කිරීමේ විශ්වාසදායක පහසුකම නිසාය. සිරිලකේ දේශපාලන හා ව්‍යාපාරික භවතුන් රෝගී (හෝ බොරු රෝගී) පංචස්කන්ධ තැන්පත් කිරීමට ස්විට්සර්ලන්තය වැනි දුරබැහැරකට නොයා සිංගප්පූරුව වැනි සමීප තැනකට යාමේ පහසුකම ගැන අප ජාතියක් ලෙස සතුටු විය යුතුය. දීර්ඝ කාලයක් යට කී සුපිරි රෝහල්වල සිටින අපගේ නායක-කාරකාදීන්ට මියන්මාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් මුදවා ජුන්ටා සන්තකයේ තබාගත් සෝ වින් හා තාන් ශ්වේ වැනි හමුදාපතීන්ද මුගාබේ වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හයේ පිට හයේ පහර ගැසූ ප‍්‍රවීණ පිතිකරුවන් හමුවීම හා අත්දැකීම් බෙදාගැනීමේ අවස්ථාව උදාවේ. ඊට අමතරව සත්කාරක සිංගප්පූරුවේ රාජ්‍ය කළමනාකරණය හා ආණ්ඩුකරණය සම්බන්ධයෙන් දැනුම හා අත්දැකීම් උකහාගත හැක්කේ අප නායකයන් ගිරියේ තරමක කාලයක් ගතකිරීමේ නැමියාව නිසාවෙනි. කෝවිදි සමයේ හැඳුනුම්පතේ අවසන් අංක අනුව ගමන්බිමන් සඳහා සලාක ක‍්‍රමයක් මුලින්ම හඳුන්වා දුන්නේ සිංගප්පූරුවය. අප මවුබිමෙහිද එවන් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමට  අනුප‍්‍රාණය ලද්දේ එලිසබෙතයානු ආදි රෝගීන්ගේ ආනුභාවයෙන් විය හැක. මවුබිම අනතුරේ ඇති මේ කෝවිදියානු මොහොතේ අප විරුපති, සුවපති හා කුඩුපති ත‍්‍රිත්වය තමන් එලිසබතෙයානු අල්මා මාතාවන්ගෙන් ලද ඥානය, පෝෂණය හා එක්ස්පෝෂරයෙන් මුළු රටම මුදවාගත හැක.