කෑම කියන්නේ ඔහේ කන්නන් වාලේ කන්න තියෙන දෙයක් නෙවෙයි. පෝෂණය ඇරුණාම, ඒකට රසයක් පාටක් කලාවක් විතරක් නෙවෙයි සංස්කෘතියකුත් තියෙනවා. හුදු කෑම වට්ටෝරුවකින් එහාට හිතුවොත්, කෑම යනු වින්දනීය පරාසයක්.


එහෙව් කෑම ගැන අසංවිධිත කතාබහක් පදනම් කරගෙන අපිළිවෙළකට ලියැවෙන සටහනක් මේ. කතාබහට ඉඳගත්තේ අනෝමා විජේතුංග සහ ආචාර්ය උදන් ප‍්‍රනාන්දු. අනෝමා, ‘අනෝමා’ස් කිචන්’ නමැති සුප‍්‍රකට යූටියුබ් නාලිකාව හරහා ලක්‍ෂ සංඛ්‍යාත එතෙර මෙතෙර ගැහැනු පිරිමි සමග කෑම ගැන හෘදය සංවාදයක යෙදෙන්නියක්. ආචාර්ය උදන් කෑමලෝලියෙක්. රසවතෙක්. අත්හදා බලන්නෙක්. මේ දෙදෙනාගේ සරල, අවිධිමත් කතාව තුළ ඔබ කැමැති තැනකුත් තිබිය හැකියි.

උදාන්: අපේ ගෙදර අම්මා සාමාන්‍යයෙන් ඉව්වේ නැහැ. ඒකට වෙනම කෙනෙක් හිටියා. අපි බැඳලා සුමානයකින් ගෙදර ආවාම හැලප හදන්නේ කොහොමද කියන එක ගැන මායි වයිෆුයි අතර වාදයක් ඇතිවුණා. මම එක විදියක් කිව්වා. එයා එක විදියක් කිව්වා. අවසානයේදී එයා ජයගත්තා. එදා ඉඳලා කෑම ගැන වාද කරන එකත් එයාගේ ඉවිල්ලට මැදි වෙන එකත් මං අතහැරියා. එතැන ඉඳන් මම අක‍්‍රිය සහභාගිකයෙක් හැටියට එයා උයන විදිය ගැන බලාහිටියා. ඒ විදියට මං වයිෆ් උයන එක ඔබ්සර්ව් කරලා තියෙනවා අවුරුදු විස්සක් විතර වගේ. ඒකෙන් තමයි මම උයන හැටි ඉගෙනගන්නේ. අද මම උයන විදිය කවුරුහරි දැක්කොත්, පළපුරුදු විදියට උයනවා කියලා කියනවා. ඒක පැසිව් නොලේජ් එකක් වගේ ඔළුවට ගිහිං තියෙනවා.
අනෝමා: දැං අපි පිටරට කෑමක් උයන්න ගත්තාම ගොඩක් දේවල් ගන්න නැහැ.

උදාන්: මට මේ අවුරුදු දෙකකට තුනකට ඉස්සර පාස්කුවකට ස්පැනිෂ්-ෆ්‍රෙන්ච් කෑමක් හදන්න වුවමනා වුණා, ‘පෝක් ඉන් මිල්ක්’ කියලා. ඒකට ඉන්ග‍්‍රීඩියන්ස් ගොඩක් ඕනෑ නැහැ. මෙඩිටෙරේනියන් ස්පයිසස් ටිකක් තමයි ඕනෑ. ලොකු ඌරුමස් කුට්ටියක් ඕනෑ. ඒකට ලෙමන් පීල්ස් ඕනෑ. මම ගල්කිස්සෙ, දෙහිවල හැම තැනම ඇවිද්දා. අන්තිමට වැඬේ නතර කළා. පස්සේ දවසක ඒක හැදුවා. මේකෙදි මස් කුට්ටිය පැය දෙකක් විතර කිරෙන් ස්ලෝ කුක් වෙනවා. මස් කුට්ටිය හරිම සොෆ්ට් වෙනවා.


අනෝමා: මං හිතුවාටත් වඩා ලොකු දැනුමක් ඔයාට කෑම ගැන තියෙන පාටයි.


උදාන්: නෑ එහෙම නෑ.. 1987 ඉඳලා මගේ රස්සා නිසා මට ගොඩක් පිටරට යන්න වෙනවා. ඉතින් විවිධ කෑම කනවා. ඒවාට ආසා හිතෙනවා.
අනෝමා: හැබැයි මං දැකලා තියෙන්නේ පිටරට ගියාම ගොඩක් අය එහෙම කන්න හිතන්නේ නැහැ. එහේ ගිහිල්ලාත් අපේ පොල් සම්බෝලයක් බතක් හදාගෙන කන්න තියෙනවා නම් හොඳයි කියලා තමයි හිතන්නේ.


උදාන්: ඒකෙත් වැදගත් පොයින්ට් එකක් තියෙනවා. මමම විවේචනය කරනවා සමහර වෙලාවට පිටරට ගිහිං අපේ දේවල්ම කෑම. අපි තායිලන්තයට යනවා කියලා හිතමු. ප‍්‍රටුනාම්වල තියෙන සිංහල කඬේට තමයි හැමෝම යන්නේ. ඒකේ කෑම හරි රහයි. ඒ වාගේම තායි කෑමත් හරි රහයිනේ. මට හිතෙනවා, තායි කෑම තියාගෙන අපි අපේ දේවල්ම ආයෙත් කන්නේ ඇයි කියලා.


හැබැයි එක දෙයක් තියෙනවා, ඒ වචනෙට හරි සිංහල පරිවර්තනයක් නැහැ මං හිතන්නේ. ඉංග‍්‍රීසියෙන් කියනවා ‘කම්ෆර්ට් ෆුඞ්‘ කියලා. ගොඩාක් වෙලාවට අපි අසනීීප වුණාම කන්න කැමති කෑම ජාති ටිකක් තියෙනවාලූ. මාත් මේ ළඟදී සිංගප්පූරුවට ගිය වෙලාවක, මට උණක් හැදිලා හොඳ වෙන කාලේ.. මගේ පෝසත් යාළුවෙක් එක්ක සිංගප්පූරුවේ තියෙන ෆුලර්ටන් කියන හොඳම හෝටලයට ගියා. සෙවන් ස්ටාර් හෝටලයක්. යාළුවා කිව්වා මෙනු එකේ මේ පැත්ත බලන්න එපා.. මේ පැත්ත විතරක් බලලා ඕඩර් කරන්න කියලා. නමුත් මං ඕඩර් කළේ, බුරියානි එකකුයි ලෑම්බ් කරි එකකුයි. ඒ වෙලාවේ ඒක තමයි මට අවශ්‍ය වුණු කෑම. ඒකේ තියෙන ස්පයිසස් වගේ රසට. ඒකට කියන්නේ කම්ෆර්ට් ෆුඞ් කියලා.


අනෝමා: මං දකින්නේ ලංකාවේ අය ඔය ෆ්‍රෙන්ච් කෑමවලට එහෙම කැමති නැත්තේ, හරි ස්ට්‍රෝංනේ අපි.. පොල් සම්බෝලවලටත් හොඳට මිරිස්, හොඳට ඇඹුල් ඕනෑ. අපි පුරුදු වෙලා තියෙන්නේ ඒ වාගේ ස්ට්‍රෝං ෆ්ලේවර්ස්වලට. ෆ්‍රෙන්ච් වගේ කුකිංවල තියෙන්නේ සට්ල් ෆ්ලේවර්ස්නේ. හරියට චුට්ටක් ගම්මිරිස් දාලා චුට්ටක් කිරිවලින් වගේ.. ඒවා විඳින්න අපේ දිව පුරුදු නෑ. අපේ දිව ඊට වඩා ගොඩාක් රසවලට පුරුදු වෙලා.. මං නං දකින්නේ එහෙමයි. සමහර විට මේකේ මිරිස් නෑ කියයි.. මෙකේ ලූණුු මදි කියයි.. එහෙම කියන්නේ ඒ හින්දා.


උදාන්: ඇත්තටම ලංකාවේ කෑම උයන්න ලේසියිනේ. හැම දේටම ඕනෑ ලූණු ටිකක් කපලා.. කරපිංච ටිකක් කපලා.. එකම දේනේ. සමහර විට අබ ටිකක් දානවා, අමු තුනපහ වගේ පොඩි වෙනසක් විතරක් කරනවා.


අනෝමා: ඔයා දන්නවාද දැන් ලංකාවේ ගොඩක් අය උයන්නේ නෑ කියලා. කාන්තාවෝ උයන්නේ නෑ. තරුණ ළමයි උයන්න දන්නෙවත් නෑ.


උදාන්: මං පිටරට ඉද්දි.. මං කියන්නේ පිටරට හැම දෙයක්ම හොඳයි කියන මතයේ නෙවෙයි මම ඉන්නේ.. සම්ප‍්‍රදායන් දෙනවා කියන එක පිටරටවල තියෙනවා සීරියස්ලි. අපිත් ඔය කියන්නේ ‘ග‍්‍රෑන්ඞ් මා’ස් රෙසිපි’ එහෙම කියලා. පරම්පරාවකින් එනවා කියන අර්ථයක්නේ ඒකේ එන්නේ.


අනෝමා: ඒත් මෙහේ මොකද වෙලා තියෙන්නේ. මං ඒක තේරුම් ගත්තේ. මට ඇහිලා තියෙනවා සමහර කාන්තාවන් කියනවා.. ඉඳිආප්පයි කිරිහොදියි අද කඩෙන් ගත්තා කියලා. අපි වුණත් හදිසි වෙලාවක ඉඳිආප්ප, ආප්ප කඩෙන් ගන්න එක කරනවා.. ඒත් කිරිහොදි? කිරිහොදි වගේ දෙයක් මං හිතන්නේ කවදාවත් ගෙදර උයන රස ගන්න බැහැ කඩෙන් ගත්තොත්. මං කල්පනා කරනවා, අයියෝ ඇයි මේ ඉඳිආප්ප ටික විතරක් ගෙනිහින් කිරිහොදි ගෙදර හදාගත්තනං හොඳයි නේද කියලා. බලන්නකො ?ට කඩවල්වල පෝලිම.. හරියට කඩෙන් කනවානේ. මම හිතන්නේ ඒක අපරාදයක් කියලා. මම නං සිංහල කෑම ගෙදර රසට වෙන කොහේදිවත් කාලා නැහැ.


පිට්සා එකක් වගේ නං, ඒ ඒ රෙස්ටොරන්ට්වල පිට්සා ඒ රසම තමයි. ඉතිං ගැරන්ට් කරලා ගිහිං ඒකේ කන්න පුළුවන්. නමුත් මාතර බත් කඬේ කියලා හැම තැනම තිබ්බාට හරි රසක් ඒ හැම තැනින්ම එන්නේ නැහැ. අද කඬේ හොඳට උයලා, ඊළඟ දවසේ සෙනඟ එනවා නම් කොලිටිය අඩුකරනවා.
මං බැලූවා ඇයි මේ උයන්නේ නැතුව කඩෙන් කන්නේ කියලා. හේතුවක් හැටියට මම දැක්කේ, අම්මලා තමයි ඒකට වැරදි. අම්මලා ළමයින්ට උයන්න පුරුදු කරන්නේ නැහැ. ළමයින්ට ක්ලාස් යන්න බලකරනවා මිසක. ළමයකුට උයන්න වෙලාවක් නෑ. අපි පොඩි කාලේ, මං කොන්වන්ට් එකක හොස්ටල් එකක හැදිච්ච ළමයෙක්.. හැබැයි නිවාඩුවට ආවාම අපේ අම්මා, හෙල්පර්ව ගෙදර යවලා අපිව කුස්සියට දානවා. මම හිතන්නේ කොන්වන්ට් එකේ ඉඳලා ආවාම අම්මා කන්න සූදානම් කරලා දේවි කියලා. කුස්සියට දැම්මාම අපි ආස නෑ ඒ හින්දා. ඒත් එහෙම තමයි අපි ඉගෙන ගත්තේ. දැන් ඒක වෙන්නේ නැත්තේ අම්මලා ළමයින්ට උයන එක උගන්වනවාට වැඩිය ඉගෙනීමේ තරගෙ යොදවන්න හදන නිසා.


බලන්න ගොඩාක් මැරි කළ අය උයන්න දන්නේ නෑ.. ඉගෙන ගත්ත ළමයි කැම්පස් ගිිහින් රස්සාවක් කරලා මැරි කරලා බොහෝ විට පිටරට යනවා. පිටරට ගියාම උයන්න දන්නේ නැහැ. ඉතිං මම යූටියුබ් එකෙන් උයන එක ඒ අයට ගොඩාක් වටිනවා. මම පොල් සම්බෝලෙන් තමයි පටන් ගත්තේ. බටුද, කරවිලද, තුඹ කරවිලද ඔක්කොම දේවල් මම දැන් හදලා තියෙනවා.
සමහර ආච්චිඅම්මලා එහෙම දන්න රෙසිපිස්, මම හිතන්නේ අපරාදෙ ඒ කාලේ අහගත්තේ නැත්තේ කියලා.


උදාන්: මං ළඟ තියෙනවා, ‘ඬේලිනිව්ස් කුකරි බුක්’ කියලා පරණ පොතක්. එක්දාස් නවසිය තිස් ගණන්වල තමයි පළමුවැනි මුද්‍රණය. බ්‍රෝහියර් හරි කවුරුහරි ගෑනු කෙනෙක් තමයි ලියලා තියෙන්නේ. ඒකේ පෙරවදන හරිම ලස්සනයි. ඒකේ තියෙන්නේ මේ උයන එක විතරක් නෙවෙයි. ඒකේ තියෙන්නේ ‘ගෘහණිය සහ සර්ව සම්පූර්ණ නිවසක තිබිය යුතු ගුණාංගය’ කියලා. ඉවීම කියන එක ගන්නේ එතැනින්. පරණ බාසාවෙන් ලියලා තියෙන්නේ. හරිම ලස්සනයි. නිකං මේ බඩට දාගන්න මොකක් හරි කෑමක් හදනවා කියන එක නෙවෙයි. ඒකේ තියෙනවා මේසය පවුල ආදි ලෙස, හෝල්සම් එකක් කියන එක.
අනෝමා: ඉස්සර අම්මලා අපිට කෑම මේසේ තනියෙන් කෑම කන්න දෙන්නේ නෑ.. දැන් ටීවී එක නිසා එක එක්කෙනා පිඟන් අරන් එක එක තැන්වල කනවා.

මගේ යූටියුබ් චැනල් එකේ ‘කුකිං විත් ලව්’ කියලා ගහලා තියෙන්නේත් ඒ නිසාමයි. සමහර අය, මුන්ට මොනවා හරි තම්බලා දෙන්න ඕනෑ කියන හැඟීමෙන් උයන්නත් පුළුවන්. එහෙම නැතුව ඒක ආදරෙන් උයන්නත් පුළුවන්. ආදරෙන් උයනවා කියන්නේ හොඳට හැඳි ගාලා, ඒක බලලා, හොඳට ලූණු බලලා, සැලකිල්ලෙන් කරන ඉවීම. හොද්ද ඔහේ හැඳිගාලා ටක් ගාලා බෙදලා දුන්නොත් වැඩක් නෑ.


කෑම කියන්නේ ගෙදර තියෙන වැදගත්ම දෙයක්. මම හිතන විදියට හස්බන්ඞ්, ළමයි ගෙදර හැමෝම එකට තියාගන්න ඕනෑ බැඳීමේ එක පුරුකක් තමයි කෑම. එතකොට කොහේ ගියත්, සමහරවිට ළමයි කියනවා, අයියෝ ගෙදර වගේ නෑ රස නෑ අම්මා කියලා. පවුලේ බැඳීම ඇතිකරගන්න නං හස්බන්ඞ්ට ආදරේ වෙනවා වගේම එකක් තමයි හොඳට උයන එක. ඒක තමයි අද නැත්තේත්.


මගේ දුව කියන එකක් තමයි, දැන් ඔයාගේ ගෙදර උයන්නේ නෑ කිව්වාට..
උදාන්: නෑ අපේ ගෙදර ඉව්වේ නෑ කියලා නෙවෙයි, ඉව්වා. අපේ අම්මා ඉව්වේ නෑ. ඒ කාලේ පිටින් කන එකක් කියලා නෑ. පානදුරේ ඒ කාලේ අපි හිටියේ. එහේ තියෙනවා ගල්කන්ද බේකරිය සහ හෝටලය කියලා එකක්. එතැනට අපි ඉඳලා හිටලා භාජන හට්ටි වගේ දේවල් ගෙනිහිල්ලා කෑම අරගෙන එන්නේ. ඉස්සර ‘ටේක් අවේ’ කියලා එකක් නෑනේ.


මං ඇම්ස්ටර්ඩෑම්වල ඉද්දි මගේ යාළුවෙකුගේ අම්මා හිටියා, එයාට මතකයි ඉස්සර කාලේ දේවල්. ඉස්සරම චයිනිස් ටේක් අවේ තිබුණෙත් එහෙමලූ. ගෙදරින් භාජන අරගෙන ගිහින් කෑම ගේනවාලූ. ප්ලාස්ටික් භාජන තිබුණෙත් නෑනේ ඒ කාලේ.


අනෝමා: මම කියාගෙන ආවේ… මගේ දුව කියනවා, අම්මා අපි හරි ආසයි ඔයා ඉස්කෝලෙ යනකොට ලන්ච් බොක්ස් එකට මොනවද දාන්නේ කියලා බලන්න. එයා දවසක ඇවිත් කිව්වා, මං ආසයි මගේ චයිල්ඞ්හුඞ් හැපිනස් එක මගේ ළමයින්ටත් දෙන්න. ඒ නිසා මං උයන්න ඕනෑ කියලා. මම ලබපු ලොකුම ජයග‍්‍රහණයක් තමයි ඒක.


අනිත් එක හොද්දක් බතක් විතරක් උයන්න ඉගෙනගෙන වැඩක් නෑ. ඔයා වගේ ඉන් එහාටත් යන්න ඕනෑ.. අද ලෝකෙ විශ්ව ගම්මානයක් වෙලා. යූටියුබ් එකෙන් ඕනෑ දෙයක් සර්ච් කරගන්න පුළුවන්. ඒ නිසා විවිධ දේවල් කරන්න ඕනෑ.


අනිත් එක මම කියන දෙයක් තමයි හස්බන්ඞ් උදව් කරන්න කියන එක. ඔයාට පිටරට අත්දැකීම් තියෙන නිසා දන්නවානේ හස්බන්ඞ් උදව් කරනවා උයන්න.
උදාන්: එහෙම නැතුව බෑ වැඬේ කරන්න.


අනෝමා: දෙන්නාම මහන්සි වෙලා ගෙදර ආවාම හස්බන්ඞ් ටීවී එක බලනවා මිසක් එන්නේ නෑනේ වයිෆ්ට උදව් කරන්න. ඒකත් හරියට හදාගන්න ඕනෑ එකක් තමයි ලංකාවේ. යං ක‍්‍ර‍්‍රවුඞ් එක නං ටිකක් හැදීගෙන එනවා වාගේ.
උදාන්: ඉස්සර ගෙවල්වල කුස්සිය තියෙන්නේ ගෙයි ටිකක් පහළට ඈතට වෙන්නනේ. අපේ තාත්තා ඒ පළාතට යන්නේ නැහැ. කුස්සියේ උයන්න හිටපු ජේන් වෙන කවුරුත් එනවට කැමතිත් නැහැ. ආවොත් අප්සෙට් එකක් වගේ. ඒවාත් හැබැයි වෙනස් වෙන්න ඕනෑ කාලානුරූපව.


අනෝමා: සමහර විට ඔයාගේ තාත්තා එහෙම වැඩකරනවාට ඔයාගේ ආච්චි අම්මා එහෙමත් කැමති නැතිවෙන්න ඇති.. අන්න මගේ පුතාගෙන් වැඩ ගන්නවා කියලා හරි අවනම්බුවක් විදියට තමයි පුතෙක් ගිහින් වයිෆ්ට උදව් කරන එක සලකන්නේ.


උදාන්: පහුගිය පෝය දවසෙ හවසක මායි යාළුවෙකුයි ගියා ලයනල් ප‍්‍රනාන්දු මහත්තයාලගේ ගෙදර කෑම ටිකකුත් අරගෙන. මට ඔය ලයනල් ප‍්‍රනාන්දුව මුලින්ම හමුවුණේ, මගේ යාළුවාගේ ගෙවල් තිබුණේ මිනුවන්ගොඩ. අපි ගියා එයාගේ තාත්තාගෙ මළගෙදර. අපි යනකොට එයාගෙ ගෙදර කුස්සියේ පුංචි බංකුවක වගේ ලෑල්ලක වාඩිවෙලා ලයනල් ප‍්‍රනාන්දු මහත්තයා කොස් වගයක් ලියනවා. හැබැයි ලස්සනට අත්දෙක දිගට දාලා, එයා මේස් දාන්නැතුව දිග සපත්තු දෙකක් දානවානේ. ඒකත් දාගෙන.. ස්මාට් මනුස්සයානේ. ඒත් කොස් ලියනවා. ඉතිං එහෙම මොඞ්ල්ස් වෙනස්. එහෙම කට්ටියත් ඉන්නවා.


මට මතකයි, කෙලී සේනානායක කියනවා, සුනිලා අබේසේකර බැඳලා ඉන්න කාලේ. එයා ඒ ගෙදර ඉන්නකොට, උදේ මුලින්ම නැගිටින්නේ චාල්ස් අබේසේකරලූ. ඒ කියන්නේ සුුනිලාගේ තාත්තා. නැගිටලා එයාලූ තේ හදන්නේ ගෙදර හැමෝටම. හැමෝටම ගෙනැත් දෙන්නෙත් එයාලූ. හොඳට සීනි කිරි දාපු රස තේ එකක්. ඉතිං කෙලීට අප්සෙට්ලූ චාල්ස් තේ එක තමන්ට ගෙනත් දෙනකොට. ඒත් චාල්ස්ගේ පුරුද්ද ඒකයි.


අපි කියන සමහර දේවල් ගමේ සහ දුප්පත් කියන අය අතරත් නැහැ. මම දන්න සමහර පවුල් තියෙනවා, පිරිමි අය සේරම වැඩ කරනවා. හොඳට උයන්න පුළුවන්. ඕක එන්නේ ඔය මිඞ්ල් ක්ලාස් එකේදී තමයි.


අනෝමා: අම්මලාගෙන් තමයි වැඩියම. මගේ ඥාතියෙක්ගේ් පුතා කොළඹ නෝනා කෙනෙක් බැඳලා එයාත් එක්ක ගමේ ගිහිල්ලා ආච්චිඅම්මලෑ ගෙදරදි එයා බබාගෙ බෝතලේ හෝදන්න උදව් කරනකොට, ගේ ඇතුළෙ ලොකු කසුකුසුවක්, පුතා වැඩකරනවා, බබාගේ බෝතලූත් හෝදනවා කියලා. ඒ වගේ ආකල්ප තියෙනවා. අපි කොහොමද මේ ළමයා හැදුවේ. ඒත් දැන් බලන්නකෝ වෙලා තියෙන දේ ආදි වශයෙන්. හරි ලොකු වැරැුද්දක් වුණා කියලා තමයි හිතන්නේ.


උදාන්: දැන් මගේ නෝනා පුතාට උයන්න දෙනවා. අම්මා අසනීප වුණාම එයා තමයි උයලා දෙන්නේ. ඒක අපි ඇප්රිෂියේට් කරන්න ඕනෑ.
අනෝමා: හැබැයි හරි කලාතුරකින් ඒ වගේ අවස්ථාවක් දකින්න ලැබෙන්නේ. දුවලාටත් උගන්නන්නෙ නැති එකේ පුතාලට කොහොමටත් නෑනේ. ලංකාවේ තියෙන්නේ පුතාට තාත්තාට කරලා දෙන්න ඕනෑ, ළඟට ගෙනත් දෙන්න ඕනෑ කියලානේ. x

x අරුණ ජයවර්ධන


ලබන සතියට.