■ පවිත්‍රා රූපසිංහ

ගෞතම් මෙනන්ගේ ‘වරනම් අයිරාම්’, හොඳම දමිළ චිත්‍රපටයට හිමි ඉන්දීය ජාතික චිත්‍රපට සම්මානය දිනාගත්නේ 2015දීයි. ‘තංගා මීංගල්’ 2013දී එම සම්මානයටම පාත්‍ර වුණා. ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, තිරරචකයෙක් සහ නළුවෙක් වන ගෞතම් තමාගේ දමිළ චිත්‍රපට, තෙළිඟු සහ හින්දියටද ප්‍රතිනිර්මාණය කළා. විවේචනාත්මක පැසසුමට ලක්ව ඇති ගෞතම්, 2021දී කුට්ටි ස්ටෝරි, 99 ස්නෝග්, ජොසුවා ඉමායි පොල්කාහා, ධර්වා නට්චාත්‍රිම්, නීරදුම් සූර්යන් යන දමිළ චිත්‍රපට නිමවනවා. ඔහු සිනමාව සහ ජීවිතය ගැන කතා කළේ මෙහෙමයි.

ඉන්දියාවේ පමණක් නොවෙයි ලෝකයේත් මේ ගෙවෙන්නේ ඉතාමත් භයානක වසංගත කාලයක්. ගෙවුණු මාස දොළහ තුළ ඔබ වඩාත්ම ඵලදායී සිනමාකරුවා ලෙස ක්ෂේත්‍රයේ කතා කරනවා. එසේ වූවේ කොහොමද?
මෙවැනි භයංකර වසංගත කාලයකදී සිනමාකරුවකුට විශාල වගකීමක් පැවරී ඇති බව මගේ හැඟීමයි. මෙවන් අතිශය ව්‍යසනකාරී වේදනාකාරී සමයක මිනිසුන්ගේ සිත් යම් පමණකින් හෝ ප්‍රබෝධමත් කිරීමට විනෝදය සැපයිය යුතුයි. එම කාර්යයයේ කොටස්කරුවකු වන්නේ සිනමාකරුවායි. ඔහු මෙවන් යුගයක සැඟවී සිටීම යුක්තිසහගත නැහැ. මම මිනිසුන් වෙනුවෙන් මිනිසුන්ගේ වින්දනය වෙනුවෙන් නිර්මාණ කළා. ඒ අවස්ථාව ලැබීම ගැන මා අතිශය සතුටට පත් වනවා. පවතින වසංගත තත්ත්වය තුළ නිර්මාණයක් අවසන් කිරීම ඉතාමත් අභියෝගාත්මකයි. එහිදී මුහුණ දෙන්නට සිදුවූ දුක්ගැහැට සහ අභියෝග සියල්ල මා කැමැත්තෙන් භුක්ති වින්දා.

සිනමා කර්මාන්තය සහ සිනමා විචාර අතර තිබෙන්නේ අත්‍යන්ත බැඳීමක්. පළපුරුදු සිනමාකරුවෙක්, තිරරචකයෙක් සහ නළුවෙක් විදියට ඔබට සිනමා විචාර පිළිබඳ ඇති දැක්ම කුමක්ද?
මනිරත්නම් මා දකින සිනමා ජීවිතයේ මගේ ආලෝකයයි. ඔහුගේ විසල් සෙවණැල්ල මේ තරම් දුරක් මාව ගෙනාවා. මා ඔහුගෙන් උගත් දැවැන්ත පාඩමක් තිබෙනවා. ඒ නම් චිත්‍රපට විචාර කියවීම සිතාමතා නොකර සිටීමයි. මගේ චිත්‍රපටයක් පමණක් නොවෙයි, ඕනෑම චිත්‍රපටයකට මා තුළ කුමනාකාර හෝ බලපෑමක් ඇති කිරීමට ඉඩහසර ලබාදිය යුතුයි. මගේ ජීවිතයේ අවසාන වරට මා කියවූ චිත්‍රපට විචාරය 2012 වසරේදී ‘එක් දීවානා’ සඳහා ලියවුණක්. මනි මට පැවසුවා, ‘ගෞතම්, ඔබ මුළු හදවතින්ම චිත්‍රපට සාදා තිබෙනවා. සංඛ්‍යා වැදගත් වන්නේ ඔබට නොව, මිනිසුන්ටයි. එහෙනම් ඇයි ඔබට එම සංඛ්‍යා ඔබ වෙත ළඟාවීමට ඉඩදෙන්නේ?’ මනි මට අදටත් සිතා ගත හැකි තරම් තරුණයි. ඒ මිනිසා, මට විශ්වාස කළ නොහැකි දේ පවසනවා. ඔහු සමඟ කරන කුමන සංවාදයකදී වුණත් මා තුළ මහත් ආස්වාදයක් ඇති කරනවා. මා චිත්‍රපට විචාර ගැන උනන්දුවක් නැහැ.

ඔබ වර්ණවත් ආකාරයට තිරනාටක ලියනවා. තරුණයන් ආසක්ත වන්නේ ඒ ලිවීමටයි. ඒත් අත්දැකීම් බහුල චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ඔබ නවකයන්ගේ පිටපත් අධ්‍යක්ෂණය කරන්නේ ඇයි?
ඇයි මා එසේ නොකළ යුත්තේ? මෑතකදී මගේ කෙටි චිත්‍රපටයක් වන ‘මචන්’ නැරඹූ මිත්‍රයෙක් මට අපූරු උපදෙසක් ලබා දුන්නා. ඔහු කිව්වා ‘මා ඒ චිත්‍රපටයට බොහෝ කැමතියි. කතාව හරිම අපූරුයි. ඔබගේ කතා සෑම විටෙකම අපට ඕනෑ නැහැ’ කියලා. මට සෑම විටෙකම අලුත් කතාවක් තිබෙනවා තමයි. ඒත් අපගේ ජීවන අත්දැකීම් අළලා පමණක් නිර්මාණ සිදු කිරීම ප්‍රමාණවත් නැති බව මට වැටහී තිබෙනවා. ඉන් ඔබ්බට යාම සඳහා නවකයන්ගේ මිත්‍රත්වය ලබා ගැනීමට මා ඉතාමත් ප්‍රිය කරනවා. ප්‍රවීණයන් කියන අය නවකයන් හා එක්ව කටයුතු කිරීමේ කිසිදු වරදක් නැහැ. චිත්‍රපට සඳහා මගේ කතා මේ මොහොතේ මට පහළොවක් පමණ තිබෙනවා. ඒත් මා තුළ සිටින ලේඛකයා කියනවා මගේ ක්‍රීඩාව මා වෙනස් කළ යුතු බව. ඒ සඳහා පිටත සිටින තිරරචකයන් සමඟ වැඩ කිරීම අවශ්‍යයි. ඔවුන්ගේ කතා අධ්‍යක්ෂණය කිරීම මට ඉතාම හොඳින් කළ හැකියි කියා මා සිතනවා. චිත්‍රපට අධ්‍යක්ෂවරයකුට චරිතයකට බද්ධ විය හැකි නමුත් ඒ චරිතය ඔහුගේ ජීවිතයෙන්ම උකහා ගත්තක් වීම අත්‍යවශ්‍ය නැහැ.

මෑත කාලයේදී අවම වශයෙන් එක් ප්‍රමුඛ නළුවකු (රැජිනිකාන්ත්ගේ සිට විජය දක්වා) හෝ ගෞතම්ගේ පිටපතක් සමඟ ඔට්ටු වෙනවා. එය ඔබ දකින්නේ කෙසේද?
සමහරවිට මට හැඟෙනවා, මගේ චිත්‍රපටවල චරිත නිරූපණය කරන ප්‍රධාන නළුවාට එය තමන්ගේ චිත්‍රපටය බවට පත් කරගන්නට අවැසි බවක්. ගෞතම්ගේ චිත්‍රපටයට වඩා එය මගේ චිත්‍රපටය බව සමාජගත කිරීමේ බලවත් වුවමනාවක ඔවුන් වැඩකරන බවක් මට පේනවා. ඒත් මම ප්‍රාර්ථනා කරනවා ඔවුන් මාව විශ්වාස කර, ඒ වුවමනාව අතහරිනවා නම් හොඳයි කියලා. මොකද මට විශාල ඊගෝඑකක් නැහැ. මම වැඩකරද්දී පිටියේදී කෑගහන්නේ නැහැ. මම හදවතින්ම චිත්‍රපට කරන්න ආස කරන සහ එහෙම කරන කෙනෙක්. එසේනම් ඔවුන්ට අවස්ථාව ලැබෙන එක අනිවාර්යයි. මගේ කිසිදු පරිකල්පනයක් විනාශකාරී නිර්මාණයක් සිදුකර නැහැ. නළුවන් අපේක්ෂා කරන තරම් වාණිජමය වශයෙන් චිත්‍රපටය ක්‍රියා නොකළ අවස්ථාවලදීත්, ඒ චිත්‍රපට විශ්වයට ගොස් මිනිසුන් සමඟ සුහද කතාබහක නිරත වනවා මා හඳුනාගෙන තිබෙනවා.

ඔබ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් වසර විස්සක් සපුරා ඇතත් ඔබගේ අද්විතීය තාරුණ්‍යය පළුදු වී නැති බවයි විචාරකයන් පවසන්නේ. ඔබ තුළ විසි වසරක් පුරා අවදිව තිබෙන ‘ස්ත්‍රීන් ආකර්ෂණය කරගැන්මේ ජානය’ නිර්මාණයන් තුළ වෙනකෙකුට වෙස්වලා ගැනීමේදීත් රඳවා තබාගන්නවාද?
ඔබ දන්නවා, නිර්මාණයකදී මා මුලින් ස්ත්‍රියව හඹා යනවා. ඒත් කවර මොහොතක හෝ සීමාව ඉක්මවා ඇයව නතු කරගන්නේ නැහැ. ‘වසීගරා’ චිත්‍රපටය අවසානයේදී ඇය හා අතිශය සරාගි නිරූපණයක් කළත් එය මානසිකයි. සිනමාවේදී ලිංගිකව සම්බන්ධ වීම මා අනුමත කරන්නේ නැහැ. ඉන් එහා අසීමාන්තිකව අනුරාගීව බැඳෙන්න පුළුවන්. ප්‍රේක්ෂකයා තුළ ශෘංගාරය පිළිබඳ හැඟීම මතු කරන්න ශාරීරික සබඳතා මා තෝරා ගන්නේ නැහැ. මම එසේ කිව්වත්, වර්තමානයේ චිත්‍රපට විචාර මගේ හැඟීම පසුකර බොහෝ දුර ගොස් තිබෙනවා. ඇත්ත වශයෙන්ම දේශපාලනික වශයෙන් නිවැරදි වීමට උත්සාහ කිරීම සෑමවිටම නිර්මාණාත්මක ක්‍රියාවලියට බාධා කරනවා කියන හැඟීම මට තිබෙනවා. මගේ අවංක අදහස වන්නේ චිත්‍රපටයක තිබෙන්නේ චිත්‍රපටයක් පමණක් වන බවයි. ‘නවරාසා’ චිත්‍රපටයේ දර්ශනයක් ගෙන බලද්දී, මට එය වැටහෙනවා. අපේ මිනිස්සු චිත්‍රපටවලට බෙහෙවින්ම ඇලුම් කරනවා. ඇත්ත වශයෙන්ම එය ඔවුන්ගේ ජීවිතය හා සමානයි. මා ඒ හැඟීමට වෙනස් මඟක් ගන්නේ නැහැ.
පිරිමි චරිත නිරූපණයේදී මගේ පෞද්ගලික ජීවිතයේ පෞරුෂයෙන් උපුටා ගැනුණු අවස්ථා බොහෝ තිබෙනවා. ඇත්ත වශයෙන්ම සිම්බුගේ ‘කාර්තික්’ (වින්නයිතාන්ඩි), ජීවගේ ‘වර්මන්’ (නීතාන්), සූරියාගේ ‘සූර්යා’ (වරනම්) යන ඒවා කිසියම් ආකාරයකින් මගේම අනුවාදනයන් වෙනවා. මා මිනිසුන් සමඟ වැඩ කරද්දී මා ගැන බොහෝ දේ මා විවෘතව එළියට දෙනවා. එය මට ඉතාමත් අහිතකර විදියට බලපා ඇති අවස්ථා තිබෙනවා. ගුවන් ගමනකදී පවා අහඹු විදියට සමහර පුද්ගලයන් අවුත් මගෙන් අසනවා, හිටපු පෙම්වතියක් හමුවෙන්න යන ගමන්ද කියලා. බොහෝ දෙනෙක් උපකල්පනය කරන්නේ මගේ චිත්‍රපට මගේ ජීවිතයේ පිළිබිඹුවක් බවයි.

චිත්‍රාගාර කියන්නේ ඔබගේ ජීවිතයේ කොටසක් බව රසිකයින් ඒත්තු ගන්වාගෙන තිබෙනවා. එය මිහිර දනවන්නක්ද?
පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවන බැඳියාව විග්‍රහ කිරීමට රසායන විද්‍යාවට හැකි වන්නා සේම, හදවතටත් එය කළ හැකියි. මට ආදරය හමුනොවුණා නම් මා චිත්‍රපට නොකරාවි. මා ආදරයෙන් බැඳී නොසිටියේ නම් හෝ දැඩි ආදර හැඟීමක් මා තුළ ඇති නොවුයේ නම් මා කිසිවිටෙක චිත්‍රපට නොකරාවියි මා සිතනවා. මගේ සෑම චිත්‍රපටයක්ම පාහේ මගේ බිරිඳගේ සහ අම්මාගේ පරීක්ෂණයෙන් සමත් විය යුතුයි. මගේ අම්මා ‘කාකා කාකා’හි තුතූ වරුමා පින්තූරගත කර ඇති ආකාරය ගැන සතුටු වුණේ නැහැ. ඒවා මගේ මනෝභාවයන්ට බලපානවා. මම හිතන්නේ මට ස්ත්‍රීන් ලියන ආකාරය සහ ස්ත්‍රීන් තිරය මත නිරූපණය කරන ආකාරය අවඥානිකව ඉතාමත් හොඳින් දැනෙනවා කියලායි. කොහොම නමුත් මම ප්‍රසාද් චිත්‍රාගාරය තුළ මගේ ඇත්ත ජීවිතය ප්‍රතිනිර්මාණය කළා. මගේ මියගිය පියාගේ චරිතය මා ‘සූර්යා’ චරිතයට ගෙනාවා. ඒ බව පවුලේ කිසිවෙක් දැන සිටියේ නැහැ. මගේ අම්මා ඇතුළු පවුලේ අයට එම චිත්‍රපටය ඉතාමත් චිත්තාවේගී එකක් වුණා.

ගෞතම් 2015දී යෙනායි අරින්ඩාල් අති සාර්ථක වාණිජමය චිත්‍රපටයෙන් ලැබූ ජනප්‍රියත්වය තවමත් පවතිනවා. සිනමා කර්මාන්තයේ ඇති ව්‍යාපාරික මුහුණුවර තුළ ඔබ නිර්මාණකරණය සාර්ථකව පවත්වාගන්නේ කෙසේද?
මම ඉතාම අවංකව තේරුම් ගෙන තිබෙනවා සිනමා කර්මාන්තය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න වග. එහි බරපතළ අවදානමක් තිබෙනවා. එක්කෝ එය අපව පියවර දහසක් ඉදිරියට ගෙනෙනවා. නැත්නම් පිටුපසින් පැමිණ අපට දෂ්ට කරනවා වෙන්නත් පුළුවන්. හැදෑරීම් හරහා පමණක් මෙම ක්ෂේත්‍රයේ ගමනක් තිබෙනවා. ඉතාමත් සුළු පිරිසක් ඒ මඟ ගමන් කරමින් සිටිනවා මා දකින්නේ. මේ මොහොතේ මුහුණපාන සිදුවීම්වල ප්‍රබලත්වය ඊළඟ නිර්මාණවල පැතිරෙනවා. සමහර අවස්ථාවලදී එක් චිත්‍රපටයක් හා සම්බන්ධ ගැටලු විසඳනු වස් මා ඊළඟ චිත්‍රපටය සිදු කළා. ඊළඟ චිත්‍රපටයට වස්තු බීජය සැපයූවේ කලින් චිත්‍රපටය කරද්දී ඇති වුණු ආරම්භක ගැටලුවක් විසඳීම සඳහා වෙන්න පුළුවන්. එවැනි හේතු නිසා චිත්‍රපට සෑදිය යුතු නොවේද? චිත්‍රපට නිර්මාණය වන්නේ අපට කීමට දේවල් ඇති නිසායි.
වෙනස තමයි, මගේ ප්‍රශ්න ගැන මා විවෘතව කතා කරනවා. මෙහිදී නවකයන්ට උගත් පාඩමක් අනිවාර්යෙන්ම තිබෙනවා. ඔබව ආරක්ෂා කර ගන්න. චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබීම ගැන වගකිව යුතු නැතිව ක්‍රියා කරන්න. එහි වගකීම නිෂ්පාදකයා වෙත පවරන්න. ඔබ මේ කර්මාන්තයේ දි නිරන්තරයෙන් අවශ්‍ය වන මුදල් පිළිබඳ විසම චක්‍රයට හසු නොවී සිටින්නට වගබලා ගන්න. සිනමා ලෝකය අපූරු තැනක් වන්නේ ඔබ සතුව ඇති හැදෑරීම් සහ ඔබ සතු දේ මොනවාද යන්න මතයි. ඔබ ඒවා සන්නිවේදනය කරන්නේ කෙසේද යන්න ඊටත් වඩා එයට බලපානවා. නිර්මාණවලින් මුදල් ලැබුණත් අප ඒවා ව්‍යාපාර ලෙස සලකන්නේ නැහැ. අපගේ කෙටි චිත්‍රපට සහ වීඩියෝ හරහා අප දැන් රූපවාහිනී නාලිකාවලට වඩාත් ස්වාධීන නිර්මාණ ප්‍රවර්ධනය කරමින් සිටිනවා. මේ ආකාරයට දීර්ඝ චිත්‍රපට පවා සිදු කළ හැකිදැයි මිනිසුන් දැන් වන විට අපගෙන් අසන්නට පටන් ගෙන තිබෙනවා. අප ලේඛකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මිනිසුන් සොයමින් සිටින්නේ.
සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස, පසුගිය වකවානුවේ නෙට්ෆ්ලික්සිහි ‘පාවා කඩයිගල්’ අපූරු පර්යේෂණාත්මක උත්සාහයක් වුණා. නුදුරේදී අපගේ අවධානය යොමු තිබෙන්නේ නෙට්ෆ්ලික්ස් වෙතටයි. ඒ හරහා ලෝකය පුරා ප්‍රේක්ෂක පිරිසක් අප වටා රොක්වනවා දැනෙනවා. ඉදිරි වසර කිහිපය තුළ එවැනි අභියෝගාත්මක විවිධ විෂයන් සමඟ කටයුතු කිරීමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා. මට මා කරන දේ පිළිබඳව කිසිදු අනාරක්ෂිත බවක් නැහැ. මා වටා සිදුවන දේ මා පිළිගන්නවා. මා ඉල්ලා සිටින්නේ අප වටා සිදුවන අනේක පරස්පර දේ සමඟ කටයුතු කිරීමට ශක්තිමත් උරහිස් පමණයි.

(‘ද හින්දු’ පුවත්පතට
කරන ලද සාකච්ඡාවක් ඇසුරිනි)■