චින්තනට ඇඞ්වර්ටයිසින් කරන්න හිතුණේ කොහොමද?
මම ෆිල්ම් කරන්න උත්සාහ කරමින් හිටියේ. චිත‍්‍රපටි තමයි හීනය. ඇඞ්වර්ටයිසින් තමයි රකුසා. ගියොත් ඉවරයි. යාළුවෝ කියන්නෙත් ඒක. එහෙත් ඒ කාලෙ හොඳටම ජීවත්වීමේ ප‍්‍රශ්නය තිබුණා. ඒ නිසා යාළුවෙක් මට ඇඞ්වර්ටයිසින් ජොබ් එකක් හොයලා දුන්නා. මම අකැමැත්තෙන් ආවා. මගේ යාළුවොත් මේ ක්ෂේත‍්‍රයට ආවා. සමහරුන්ට දැනුණා මේක ඇෙඟන් කෑල්ලක් සූරලා ගන්නවා වගේ. එහෙම අය අයින් වුණා. හැබැයි මට දැනුණේ ඒක මට උරුමවෙලා තිබුණු, අහිමිවුණ කොටසක් වගේ. දැන් මම ඒක අනන්තෙටම එන්ජෝයි කරනවා.

අපි එතෙක් කල් නොකළ අභ්‍යාසයකට පුරුදු වෙනවා. උදාහරණයක් විදියට ටොපියක් ගනිමු. අපි ඒ ටොපියට ආසාවක් මවන්න ඕනෑ. ටොපිය අතට එද්දී මොකුත් නෑ. හැබැයි මේ ටොපිය පාවිච්චි කරන මිනිස්සු කවුද. ඒක පාවිච්චි කරද්දී දැනෙන්න ඕනෑ ජීවිත ශෛලිය මොකක්ද. මේක වටේට යුනිවර්ස් එකක් ක‍්‍රියේට් කරන්න ඕනෑ. අපි තමයි ටොපිය ආශාව වස්තුව විදියට පත්කරන්නේ. ඇත්තටම මේ ටොපියෙන් විඳින රසයක් නෑ. අපි නිර්මාණය කරන ලෝකය තමයි ඒ මිනිස්සු රසවිඳින්නේ. වෙන කලා නිර්මාණයක් කරලා මට ඉන්න පුළුවන් ඉන්න, මේක මගේ නිර්මාණය, උඹලා ගන්නවානම් ගනිල්ලා, නැත්නම් නිකන් හිටපල්ලා කියලා. හැබැයි මේකෙදී එහෙම බැහැ. මේක ගිහින් මගේ නිර්මාණශීලීත්වය දශමයක්වත් විශ්වාස නොකරන කෙනෙකුට දෙන්න ඕනෑ.

මාක්ස්වාදය ඇතුළු‍ විවිධ දර්ශනවලින් සමාජ ප‍්‍රශ්න විසඳීම ගැන හෙවූ ඔබ පස්සේ කාලෙක වෙළඳ දැන්වීම් තර්කනය සමාජ ප‍්‍රශ්නවලටත් අනුගත කළා නේද?
ඇඞ්වර්ටයිසින්වලදී සමාජය හැසිරෙන විදියට හොඳට නිරීක්ෂණය කරලා විධිමත් දැනුම් පද්ධතියක් විදියට නිර්මාණය කරලා තියෙනවා. මාක්ස්වාදය සහ වාමාංශික අර්බුදයේ තියෙන අවුල තමයි, එයාලාට තේරෙන්න ලියන්න බෑ. එයාලා ඇඞ්වර්ටයිසින් ඉගෙනගත්තා නම් තේරුම් ගන්නවා මේක කොහොමද තේරුම් යන භාෂාවෙන් කියන්නෙ කියලා. අපට දුන්නා නම් මාක්ස්ගේ අහවල් පොත ලංකාවෙ මිනිස්සු අතර ජනප‍්‍රිය කරලා දීපන් කියලා, අපි ඒකට කැම්පේන් එකක් හදනවා. දාස් කැපිටාල් ලංකාවම කියවන්න කැම්පේන් එකක් හදන්න පුළුවන්. මමත් කාලයක් රතු පොත් කියෙව්වා. පස්සේ ඕෂෝ, මිල්ටන් ෆ‍්‍රීඞ්මාන්, ඇඞ්වර්ටයිසින් මුණගැහුණා.

ඇඞ්වර්ටයිසින් ඇතුළෙ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම්, පීඩිත අයිතීන් වගේ දේවල් තියෙනවාද?
බ‍්‍රෑන්ඞ් එකක් සමාජයට පෙන්වන්න ඕනෑ මම සමාජයේ දේවල්වලට වගකියනවා කියලා. ඒකට තමයි පැවැත්මක් තියෙන්නෙ. බ‍්‍රෑන්ඞ් එකක් ඉදිරිගාමී වීම සමාජයට වාසියි. උදාහරණයක් විදියට සන්ලයිට් අලූ‍ත් ඇඞ් එකේ තියෙන්නෙ පිරිමියා විසින් ගෑනු කෙනාට රෙදි හෝදලා දෙනවා කියන එක. ඇඞ්වර්ටයිසින් කියන්නේ මිනිස්සු ඉල්ලන දේ දෙන එක නෙවෙයි. අපි මිනිස්සුන්ට ඉල්ලන්න ඕනෑ දේ තීරණය කරනවා. මම දන්නා විදියට සමාජය වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළු‍වන් හොඳම ක‍්‍රමය තමයි ඇඞ්වර්ටයිසින්. හොඳ දැන්වීමක් සමාජයට අලූ‍ත් දෙයක් දෙනවා.

ඕනෑ නම් කෙනෙක්ට මේ වෙලාවෙ ‘‘සිංහලයන් වෙනුවෙන්’’ කියලා මොකක් හරි විකුණන්න පුළු‍වන්. හැබැයි ඇඞ්වර්ටයිසින් ඒජන්සියකට බැහැ ඒක කරන්න. මොකද ඉන්ඩස්ටි‍්‍ර එක ඇතුළේ එයාලාට ඒකට ඉඩක් නෑ. ඒකෙන් ඒජන්සිය ඇඞ්වර්ටයිසින් ඉන්ඩස්ටි‍්‍රය ඇතුළේ කොන් වෙනවා. ඇත්තටම ඉන්ඩස්ටි‍්‍රයක් කියන්නෙ ඒක. මොකද ඇඞ්වර්ටයිසින් ක‍්‍රිටිකල් මාස් එකට වගකියනවා. ඇඞ්වර්ටයිසින් පදනම් වෙන්නෙ බහුතරය මත නෙවෙයි, සවිඥානික සුළුතරය මත.

ඒ වගෙ වෙනසක් කළ දැන්වීමක් සිහියට නැෙඟනවාද?
දිලීපගෙ පෙපර්මින්ට් ඇඞ් එක. මේක පිටරටින් එන සිදුරක් තියෙන පෙපර්මින්ට් එකක්. මේක දිලීප ලංකාවට කැව්වෙ සීයාගෙ වංගෙඩියෙ දාලා කොටලා. අපට පෙපර්මින්ට් කිව්වාම මතකෙට එන්නෙ සුද්දො කන දෙයක් වුණාට ඒ රූපය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න දිලීප සමත්වුණා. ඒක අම්බ වැඩක්. ගම්පෙරළිය තමයි පෙපර්මින්ට් කවන්න ගෙනාවෙ. තව එකක් තමයි සුභාෂ් කරපු ඇස් දන්දීම ගැන ඇඞ් එක. ‘බලලා ඉවර නම් මටත් දෙන්න’ කියන එක. ඒකෙන් සෑහෙන මිනිස්සු පිරිසක් ඇස් දන් දෙන්න ආවා. මිනිස්සුන්ට ඒකෙන් ෆීලින්ග් එකක් ආවා.

ඩිජිටල් යුගය එක්ක ඇඞ්වර්ටයිසින්වල සංවාදය මාරුවෙනවා. ඉස්සර තිබුණේ අපි කියන ඇඞ් එක මිනිස්සු බලාගෙන ඉන්න ක‍්‍රමයක්. දැන් මිනිස්සු ඒක දැකලා ෂෙයා කරගන්න ඕනෑ. දැන් නිෂ්පාදනය ගැන කියන ප‍්‍රමාණය අඩුවෙලා ඒකේ මිනිස්සුන්ට අදාල කතාව කියන එක වැඩි වෙන්න ඕනෑ. උදාහරණයක් විදියට ප‍්‍රීතිවලට අමිල ගලප්පත්ති කරන ඇඞ් ටික හරිම වෙනස්.

ඇඞ්වර්ටයිසින් නිසා ජීවිතය දකින විදිය වෙනස් වුණාද?
ඔව්. ඇඞ්වර්ටයිසින් නිසා මගේ ජීවිතයෙ ලොකු සංස්කෘතික පරිවර්තනයක් වුණා. මට තිබුණා පරිභෝජනවාදය ගැන ලොකු බයක්. ඒක දැනුත් ගොඩක් අයට තියෙනවා. බ‍්‍රෑන්ඞ් එකක් අඳින්න බයයි. ලොකු වාහනයක් පාවිච්චි කරන්න බයයි. හැබැයි ඒ කන්‍යාභාවය වගේ එක මෙතැනට ආවාම නැතිවුණා. මම හොඳට පරිභෝජනය කරන්න ගත්තා.

සමූහවාසී ජීවිතය කියන එක මම පුද්ගලික ජීවිතයට ලඝු කළා. මම කැමතියි තනියම ජීවත්වෙන්න. ඒක ඇතුළේ මගේ ජීවිතයෙ අරමුණ අනෙක් මිනිස්සුන්ට හානි නොවී දෙයක් කරන්න උපරිම නිදහස ලබා ගැනීම. මම මිනිස්සුන්ගේ ලිංගික නිදහස, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනීඉන්නෙ මගේ පුද්ගලික ලෝකයට බලපාන ප‍්‍රශ්න නිසා. මම සමාජයට බලපාන ප‍්‍රශ්න වෙනුවෙන් පෙනීඉන්නේ නෑ. මම බලනවා මගේ ජීවිතයට බලපානවාද කියලා.‍ තව කෙනෙකුගේ නිදහස සීමාවීම මට බලපානවා. ඒක මගේ නිදහසත් සීමාවීමක්. තෝරාගැනීම් වැඩි කරගන්නට මම කැමතියි. ඒ නිසා මම විවිධාකාර තෝරාගැනීම් තියෙන අධ්‍යාපන ක‍්‍රමයක් ඉල්ලනවා. එතකොට රාජ්‍යය අධ්‍යාපනය සීමාකරනවාට මම විරුද්ධයි. සෞඛ්‍යයත් එහෙමයි. විවිධ තැන්වලින් වෛද්‍යවරු බිහිවුණාම තරගයක් එනවා. මම ලෙඩෙක් විදියට කැමතියි විවිධත්වයට. ඒකට ගෙවන්න සල්ලි නැති නිසා හොඳ ඉන්ෂුවරන්ස් ක‍්‍රමයක් මම ඉල්ලනවා.

ආදරය ගැන හිතන්නෙ…
ආදරය මම විශ්වාස කරන්නෙ නෑ. ඒක හිස් වචනයක්. ඕනෑම දේකින් ඒක පුරවන්න පුළුවන්. බල්ලාට ආදරෙයි, රටට ආදරෙයි කියලා ඕනෑම විදියකට ඒ වචනය පාවිච්චි කරන්න පුළු‍වන්. ඒකට වඩා මම කැමතියි ආසාව කියන වචනයට. මුලින්ම කායික ආශාවක් වෙන්න පුළුවන්. සමහරවිට පස්සේ මට දැනේවි ආශ‍්‍රය කරන්න ආසාවක්. එතකොට ඇඟට වඩා එහා ගිය බැඳීමක්. එතැනිනුත් එයා ගැඹුරකට ඒ සම්බන්ධය යන්නට ඉඩ තියෙනවා. එතකොට මට එයා එක්ක කතා නොකර වුණත් ඉන්න පුළුවන්. මම එයාට වාත වෙන්නෙත් නෑ. එයා මට වාත වෙන්නෙත් නෑ. එතකොට මට හිතෙනවා මම මොකක්හරි විදියකට පැවැත්ම බෙදාගන්නවා කියලා. මම ආදරය කියන්නේ ඒකට වෙන්න පුළුවන්.