එච්.ආර්. රේණුකා කරුණාරත්න

 

සුළු ගොවි කාන්තා සාමූහිකය පිහිටුවා ගත්තේ ඇයි?

2016 පමණ පටන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය අරගෙන ගෙවාගෙන ඇවිල්ලා වගා පාළු වීම නිසාත් පාස්කු ප්‍රහාරය නිසාත් ණය ගෙවා ගැනීමට අපොහොසත් වූ කාන්තාවන් තමයි අපේ සංවිධානය වටා එක් වෙලා ඉන්නේ. යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිහිප පාරක්ම කිව්වා ණය කපා හරිනවා කියලා. රටේ ඇති වෙලා තිබුණු ආර්ථික තත්ත්වයත් එක්ක ලබාගෙන තිබූ ණය කොහොමත් ගෙවාගන්න බැරි වෙලා හිටියේ හැමෝටම. ඒ නිසා තමයි අපි සංවිධානගත වුණේ. මේ ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යන්න බලාගෙන. ගමේ ණය ගත්ත අයට නඩු දාලා තියෙනවා. ණය ප්‍රශ්නය නිසාම පවුල් පවා බිඳිලා තියෙනවා. මේ වෙනකොට මේ ණය අර්බුදය නිසා විශාල පිරිසකගේ ජීවිතත් විනාශ වෙලා තියෙනවා. ඒක විශාල ප්‍රශ්නයක්. ක්ෂුද්‍ර මුල්‍ය ප්‍රශ්න විසඳන්න පුළුවන් රජයට. ණය සහනයක් අරන් දෙන්න, නැත්නම් ණය අහෝසි කරලා දෙන්න. දඩ පොලී ඉවත් කරලා දෙන්න. නඩු දාලා තියෙන අයට යම් සහනයක් දෙන්න. අසාධු ලේඛනගතව සිටින අය පිළිබඳව සාධාරණ විසඳුමක් ලබා දෙන්න. වගේ යෝජනා අපි ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් තවම අපිට රජය පැත්තෙන් කිසිම සහණයක් ලැබිලා නෑ.

 

ඒ වෙනුවෙන් රජයේ පාර්ශවය එක්ක කතාබහ කරන්න හැකිවුණාද?

ඒ වෙනුවෙන් බලපෑම් කරන්න මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවා. උද්ඝොෂණ කළා. ඡන්දයට කලින් කොළඹදි අපි හැම පක්ෂයකින්ම නියෝජිතයෙක් ගාණේ කැඳවලා අපේ අදහස් හා යෝජනා අඩංගු විස්තර සහිත ලිපියක් හැමෝටම බාර දුන්නා. දිස්ත්‍රික්ක 10කම මේ ණය උගුලේ හිරවුණු කාන්තාවන් ඒ රැස්වීමට පැමිණියා. ප්‍රධාන දේශපාලන පක්ෂ නියොජනය කරමින් නියෝජිතයෝ ඇවිත් හිටියා. බලයට පත්වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කිසිවෙක් සහභාගී වුණේ නෑ. අද වෙනතුරු පැමිණ සිටි අයගෛන්වත් කිසිම පිළිතුරක් ලැබිලා නෑ. මගේ ගම් ප්‍රදේශය වැලිඔය. මෙවර මැතිවරණයේදි මෙහේට සම්බන්ධ සියලුම අපේක්ෂකයින්ට අපේ දුක්ගැනවිල්ල ලිඛිතව ඉදිරිපත් කළා.

උතුර, උතුරුමැද, යාපනය, කිලිනොච්චිය, මන්නාරම,  බදුල්ල, මොණරාගල, ගාල්ල, කොළඹ, මුලතිව්, පොළොන්නරුව කියන දිස්ත්‍රික්ක හයේම කාන්නතාවන් ණය උගුලෙන් පීඩාවට පත්ව සිටිනවා. මේ සියළුදෙනා ණය ගෙවාගන්න බැරි මට්ටමක ඉන්නේ. ඡන්දයට පෙර අපිව යාපනයට ගෙන්නලා ණය අහෝසි කරනවා කියලා රනිල් වික්‍රමසිංහ අපට පොරොන්දු වුණා. දැන් වෙනස්ම ආණ්ඩුවක් තියෙන්නේ.

 

රජයෙන් වැඩපිළිවෙලක් සැකසෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්නේ. ඒ නිසා කාන්තාවන්ගේ පැත්තෙන් මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මොනවාද කරමින් ඉන්නේ?

ඉදිරියේදී සමුපකාර සමිතියක් හෝ කාන්තා බැංකුවක් නිර්මාණය කරලා ණය උගුලේ සිර වූ කාන්තාවන් වෙනුවෙන්, ඔවුන් තුළින්ම විසඳුමක් අති කරගන්න අපි කටයුතු කරමින් යනවා. ඇත්තටම අති බහුතරයක් කාන්තාවන් දැනගෙන හිටියේ නෑ, ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් අපේ කාන්තාවන්ට ණය දීලා තියෙන්නේ 220% ක් වගේ අධික පොලියකට බව. හවස දෙක විතර වෙනකොට ණය ඉල්ලුම්කරුවන්ට එන්න කියලා අත්සන් ටික ගන්නවා හරි හරියට. ඊට පස්සේ චෙක් එක අරන් බැංකුව වහන්න කලින් යන්න ඕනෑ හින්දා කලබලේට අත්සන් කරලා එනවා. අනික ඒ ගිවිසුම් සකසලා තියෙන්නෙ ඉංග්‍රීසියෙන්. ණය අයදුම් කරන අයගෙන් කාටවත් ඉංගීසි කියවන්න බෑ. ඒ නිසා විකල්පයක් හැටියට හදිසියට ගනුදෙනුවක් කරගත හැකි, අධික පොලියකින් කාන්තාවන් සූරාකන්නේ නැති, කාන්තාවන්ගේම දායක මුදල් ආශ්‍රයෙන් බිහිවන කාන්තා බැංකු ක්‍රමයක් ගොඩනගාගැනීම ගැන හිතමින් ඉන්නවා.

 

මින් එහාට තියෙන්නේ මොනවගේ වැඩපිළිවෙලක්ද?

සමුපකාර ක්‍රමයේ හෝ ණය උගුලේ හිර වෙච්ච ලක්ෂ 28ක් කාන්තාවෝ ලංකාව පුරා විසිරී සිටිනවා. මේක බරපතල තත්ත්වයක්නේ. අර මුලින් කියපු දිස්ත්‍රික්ක දහයේ ලක්ෂයක් පමණ කාන්තාවන් සමග එක්වෙලා මේ විකල්ප වැඩ පිළිවෙළේ ආරම්භය සටහන් කරන්න අපි කටයුතු කරමින් සිටිනවා. මූලිකව අපි දිස්ත්‍රික්ක දහයට සම්බන්ධීකාරකවරියන් පත්කරගෙන තියෙනවා. සමූපකාරයක් හෝ බැංකුවක් ගොඩනැගීම මේ අර්බුදයට එකම විසඳුම ලෙස අපි හිතන්නේ නෑ. ඒ නිසා මේ කාන්තාවන්ගේ ආදායම් මට්ටම් වැඩි දියුණු කිරීම සඳහාත් ඉදිරියේ දී විවිධ වැඩසටහන් ආරම්භ කරන්න සිදු වේවි. අනෙක් අතට අපි ආණ්ඩුව පැත්තෙන් ඉල්ලුම් කර තිබෙන සහන පිළිබඳත්, විසඳුමක් ලබා දෙන්නේ කවදාද කියලත් අවධානයෙන් බලාගෙන සිටිනවා.■

ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර