ආගම උඩුවියනක්, පා පලසක් කරගෙන

වැකඳවල රාහුල හිමි

මීට  කලින් ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ අනුරාධපුර පූජා භූමියේදී. පසුගිය සතියේ අගමැතිවරයා කැලණි විහාරයේ දිවුරුම් දුන්නා. ඇමති මණ්ඩලය දළදා මාලිගය අසල දිවුරුම් දුන්නා. ආණ්ඩුවේ අනාගතය ගැන එයින් සංකේතවත් වෙනවා.

විවිධ ආගමික ව්‍යුහයන්වල ඒ ආගමේ තියෙන දාර්ශනික අදහස, ආගමේ ධර්ම කාරණා මත පිහිටීම සහ ආගම මතුපිටින් නියෝජනය කිරීම කියන්නේ දෙකක්. මේ වෙනකොට ආගම භාවිත වෙන්නේ දේශපාලනික අවශ්‍යතාවන් සඳහා. භික්ෂූන් විවිධ දේශපාලන පක්ෂවලට බෙදිලා ඉන්න බව දැකිය හැකියි. විවිධ ආගම්වල පක්ෂ දේශපාලන මතවාද ගොඩනැඟිලා තියෙන බව දැකිය හැකියි.

ඒවායින් පෙනෙන්න තියෙන්නේ ආගමේ මූලික හරය අත්හැරලා වෙන වුවමනාවක් වෙනුවෙන් ක්‍රියාකාරී වෙන බව. දැන් සාමාන්‍ය ජනතාව අතරිනුත් වැඩි බහුතරය සහයෝගය දක්වන්නේ ධර්ම කාරණාවලට නෙවෙයි. විවිධ ආගම්වල තියෙන හර පද්ධතීන්ට අනුව ජීවිත්වෙන නායකයන්ට නෙවෙයි. ඊට වැඩිය සංස්කෘතික කාරණා මත ගොඩනඟාගත්ත ආගමික පරිසරයකට තමයි වැඩි නැඹුරුවක් දක්වන්නේ. ඒ නිසා හොරෙක් වුණත් පන්සල් යනවා නම් කමක් නැහැ කියලයි හිතන්නේ. එයාලා පන්සල වෙනුවෙන් පෙනී ඉන්නවා නම්, පිරිත් නූල් බඳිනවා නම් මිනිසුන්ට කමක් නෑ.

භික්ෂුවක් මොන තරම් සිල්වන්ත, ධර්මානුකූල කෙනෙක්ද කියන එකත් දැන් අදාළ නැහැ. ඒ වෙනුවට මොන තරම් රැස් විහිදුවගෙන ඉන්න, භෞතික දේවල් අත්පත් කරගත් කෙනෙක්ද කියන කාරණාව මත තමයි භික්ෂුව ගැන උනන්දුව තීන්දු වෙන්නේ.

ආගමේ පිරිහීමක් තියෙනවා. මේ දේශපාලන සිදුවීම්වලදීත් පේනවා ආගමේ එම පිරිහීම. අගමැතිවරයා දිවුරුම් දෙන්නට තෝරාගත් කැලණි විහාරය මෑත ඉතිහාසයේ ලොකුම ප්‍රසිද්ධ බොරුව ප්‍රකාශයට පත්කළ විහාරස්ථානය. නාග ලෝකයෙන් ආ නාගරාජයාගේ කතාව මතක ඇති. ඒ රැවටිල්ලෙන් පසු අගමැතිවරයා එතැන දිවුරුම් දීමෙන් සමාජයේ තියෙන නොදැනුවත්භාවය, ගොනාට ඇන්දීම, ගැතිකම පැහැදිලි වෙනවා. මේ දිවුරුම් දීම පසුපස තියෙන ආමන්ත්‍රණය ගැන සවිඥානිකව හිතා බැලුවොත්, බොරු කියන එකට රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබෙනවා.

මේ පාලකයන්ට අවශ්‍ය වෙන්නේ ආගම මෙවලමක් කරගන්න. ආගම උඩුවියනක් සහ පා පලසක් කරගෙන. ආගමික නායකයන් ඔවුන් විවිධ විදියට හසුරුවමින් ඉන්නවා. දැන් භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉදිරිපත් වූ දේශපාලන පක්ෂයේ අර්බුදයෙනුත් පැහැදිලි වෙන්නේ ආගමික නායකයන් බලය අත්පත් කරගැනීම සඳහා කරන දේවල ස්වභාවය.

අද බොහෝ අයට ආගම උරුම වෙලා තියෙන්නේ පරම්පරාවෙන් මිසක්, ධර්මාවබෝධයෙන් නෙවෙයි. ඔවුන්ටත් ඕනෑ ආගමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා දකින්න. ඒ කැමැත්ත, ආණ්ඩුව බලය ලබාගැනීමටත්, පවත්වාගැනීමටත් පාවිච්චි කරනවා. ඒ අතරේ හොඳට හොරකම් කරනවා.

රටේ තියෙන ස්වාභාවික සම්පත් විනාශ කරමින් කටයුතු කරන අතරේම, සාමාන්‍ය ජන මනස තෘප්ත කරන්න ආණ්ඩුව සමත්. බඩගින්නේ හිටියත්, ඒක පුද්ගල ණය බර වැඩි වුණත්, දේපළ කොල්ලකෑවත්, සෞඛ්‍ය පිරිහුණත් ආගම සහ ජාතිය නිසා ජනතාව තෘප්ත වෙනවා. ඒ අනුවයි ආණ්ඩුවට වැඩි බලය ලැබිලා තියෙන්නේ. ඒ විදියට තමයි ආණ්ඩුවත් වැඩ කරන්නේ.

 

යටි තරංග පෙනෙන්නේ නැහැ

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

දැන් අපේ ජනබල පක්ෂය කියන ඥානසාර හිමිගේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය වෙනුවෙන් ගැටුම් තියෙනවානේ. ඒ කියන්නේ එම පක්ෂයේ යටි තරංග ඒ සිදුවීමට අදාළව යනවා. අනෙක් කණ්ඩායම්වල පවා ඒ වගේ යටි තරංග පේනවා. එහෙත් දැනට සිද්ධවෙච්ච දේවල් එක්ක අපට තවම ආණ්ඩුව ඇතුළේ තියෙන යටි තරංග එළියට පේන්නේ නැහැ. ඒ ඒ දිස්ත්‍රික්කවල මනාප ප්‍රශ්න, ඇමතිධුර ආදි මාතෘකා ගැන කාරණා ටිකක් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ මොනවා වුණත්, තවම හරිහැටි පේන්නේ නෑ. පැරදුණ අයට දෙන තනතුරු ආදි නොයෙකුත් මාතෘකාවලට අදාළ කාරණා ඉදිරියේදී මතුවෙනවා. දැනටත් එහෙම ඒවා ඇති.

දැනට අපට පෙනෙන්නේ රාජපක්ෂ ව්‍යාපෘතියට ලොකු ජනවරමක් ලැබිලා තියෙන බව පමණයි. ඒ අනුමැතිය අනුව ඒ අය තමන්ගේ බලය අවුරුදු දහයකට පමණ පවත්වාගැනීමට අවශ්‍ය කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකරයි. මීට කලින් මේ වගේ වෙලාවල ගෙනා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රගතිශීලී අරමුණුවලින් ගෙනාපු ඒවා නොවන බව පැහැදිලියි. හැත්තෑහතේ හයෙන් පහක බලයක් තිබියදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඒ විවේචනය තියෙනවා. 2010දී මහින්ද රාජපක්ෂගේ දේශපාලන බලය තහවුරු කරගැනීමට ගෙනා 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයත් ප්‍රතිගාමී එකක්.

මේ ආණ්ඩුව ඉදිරි අවුරුදු 10කදී බලය පවත්වාගැනීම සඳහා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරන්න ඉඩ තියෙනවා. ගොඩක් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ එන්න ඉඩක් නෑ. කොමිෂන් සභා අහෝසි කිරීම වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මා හිතන විදියට විපක්ෂයේ අයට තියෙන ලොකුම අභියෝගය තමයි දැනට බලාත්මක වෙලා තියෙන සාපේක්ෂ වශයෙන් අගය කළ හැකි ප්‍රතිසංස්කරණ ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක.

එහෙත් ඒක අභියෝගයක්. පාර්ලිමේන්තුවේදීත්, මහජන අවකාශයේදීත් ආණ්ඩුවට ලොකු ශක්තියත් තියෙනවා. විපක්ෂ බලවේගවලට තියෙන්නේ අසීරු කාලයක්.

පාර්ලිමේන්තුවේ යටි තරංග නොපෙනෙන බව මම කලින් කීවා. එහෙත් ඔවුන් ගෙන එනවායැයි කියන ව්‍යවස්ථාවේ කෙටුම්පත එනකොට යටි තරංග එළියට පෙනෙනවා. එතකොට කීදෙනෙක් ඒකට ඡන්දය දෙයිද, කීදෙනෙක් කැඩෙයිද කියන එක ප්‍රශ්නයක්. ඔතැන සාම්ප්‍රදායික ජාතිකවාදී නායකයන්ගේ සිට ලිබරල් නායකයන් දක්වා අය ඉන්නවා. උදාහරණ ඇසුරින් කීවොත් ගෙවිඳු කුමාරතුංගගේ සිට සුරේන් රාඝවන් දක්වා පුද්ගලයන් ඉන්නවා. ලොකු පරාසයක්. ඒකේ එක අන්තයක් හෝ අන්ත දෙකම හෝ කෑගහන්න, අරගල කරන්න, ගැටෙන්න පටන්ගනීවි. එහෙම වෙනකොට බැලූ බැල්මට දැන් තියෙන බලය දිගටම පවතීවිද කියලා අපි දන්නේ නෑ. යටි තරංග පෙනෙන්න පටන්ගනීවි කියලා කීවේ ඒ නිසා.

අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ වගේ ආණ්ඩුවක් පත්වුණාම අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතා නිසා ඒක දුර්වල වේවි කියලයි. එහෙත් මම කලින් කීවේ එහෙම ඉබේම ආණ්ඩුව දුර්වල වේවි කියලා නෙවෙයි. ප්‍රගතිශීලී බලවේගවලට එවැනි යටි තරංග කළමනාකරණය කරගැනීමේ හැකියාව තියෙන්න ඕනෑ.

විපක්ෂයට පාර්ලිමේන්තුවෙන් එළියේ දේශපාලනය සක්‍රිය කරන වැඩවල යෙදෙන්න සිදුවේවි. එහෙත් ආණ්ඩුවට ශක්තිමත් පෞද්ගලික නාළිකා දෙකක් සහ ආණ්ඩුවේ නාළිකා දෙකක් තියෙන නිසා, එළියේ කරන ඕනෑම දෙයක් දේශද්‍රෝහී, සිංහල බෞද්ධ විරෝධී, රාජපක්ෂ විරෝධී යනාදි වශයෙන් ලේබල් කරන්න එයාලාට පුළුවන්. ආණ්ඩුවට මාධ්‍ය බලය තියෙනවා, ජනබලය තියෙනවා, දෘෂ්ටිවාදී බලය තියෙනවා. ඒ නිසා ඕනෑ ආකාරයක අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් කළමනාකරණය කිරීමේ හැකියාව තියෙනවා. කවුරුහරි එළියට ගියොත්, බලය පාවිච්චි කරමින් ද්‍රෝහීන් ලෙස ලේබල් කරන්න හැකිවේවි. අභ්‍යන්තර කාරණා කළමනාකරණය කරගන්න එදා ඉඳන් රාජපක්ෂලා දක්ෂයි. ඉදිරියේදී තවත් සටකපට විදියට ඒක කරන්න ඔවුන්ට හැකිවේවි.

ඒ නිසා ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා ඉබේ පුපුරා ගිහින් දුර්වල වනතුරු බලා ඉන්න බෑ. එහෙම බලාගෙන හිටියොත්, ආණ්ඩුව තමන්ගේ ප්‍රතිවිරෝධතා කළමනාකරණය කරගනීවි. ඒ නිසා, අභ්‍යන්තරයේ මොනවා වුණත් ප්‍රගතිශීලී බලවේග ලොකු කර්තව්‍යයක නිරත වෙන්න ඕනෑ.

 

රාජාණ්ඩුවේ වැඩ ආරම්භ කරලා

සිවිල් ක්‍රියාකාරික ටෙරන්ස් ගාමිණී

දිවුරුම් දුන්න ආකාරයෙන් නම් පෙනෙන්නේ ඔවුන් තමන්ගේ රාජාණ්ඩුවේ වැඩකටයුතු ආරම්භ කරලා තියෙන බවයි. අනෙක් පැත්තෙන් ජනතාව ඡන්දය දීලා තියෙන විදියට ඔවුන් ආණ්ඩුවේ වැඩකටයුතු පටන් අරගෙන තියෙනවා. මහින්ද රාජපක්ෂට පස්සේ ඉන්න වඩා සුදුසු බාල සහෝදරයාට රාජ්‍යත්වය දීලා. රජ පවුලේ අනෙක් අයටත් බලය දීලා.

රාජපක්ෂ පවුලේ අයට දුන්නාට පස්සේ, ඊළඟට අවස්ථාව තිබුණොත්, වෙනත් ‘සුදුස්සන්ට’ දීලා තියෙනවා. රජ පවුලේ සමීපතමයන්ට. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි තැන දීලා තියෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට. මතෙන් තොර රටක් හදන්න එපායැ.

කොළඹ දිස්ත්‍රික්කයේදී සරත් වීරසේකර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ වැනි නායකයන්ට ඡන්දය දීලා තියෙනවා. සරත් වීරසේකර කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාත් අත උස්සපු 19 වැනි සංශෝධනයට විරුද්ධ වූ එකම කෙනා. ඔහුට වැඩිපුරම ඡන්දය ලබාදීමෙන් ජනතාව 19 වැනි සංශෝධනය වැනි ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන ඕනෑ නැති බව කියා තියෙනවා. කොළඹ මිනිසුන් කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට තුන්වැනි වතාවේත් ජනාධිපති වෙන්නට තිබුණ හැකියාව ඉවත් කිරීම වැරදි බව. ඔවුන් අනුමත කරන්නේ රාජාණ්ඩුව විය හැකියි. මිනිසුන් ඉල්ලනවා නම් ඒක දෙන්න එපායැ.

අනුරාධපුරෙන් වැඩිපුරම මනාප ලබලා තියෙන්නේ එස්.එම්. චන්ද්‍රසේන කියන පරණ දේශපාලන නායකයා. දෙවැනියට වැඩිම මනාප ‘ජාතියේ මුරදේවතාවා’ ඡන්න ජයසුමනට. තුන්වැනියාට උද්දික ප්‍රේමරත්න. එයා දුටුගැමුණුනේ. චිත්‍රපටියක දුටුගැමුණු රඟපෑ මිනිහා. එළාරට රඟපෑව කෙනෙක් ඉල්ලුවොත්, ඔහු මීට වඩා දේශපාලනයේ සුදුස්සෙක් වුණත් ඡන්දය ලැබෙන්නේ නැහැ. මොකද, ඒ එළාරනේ.

කොහොමහරි මේක එහෙම රටක්. අපට හිතාගන්න බැහැ මොනවා වේවිද කියලා. තුනෙන් දෙක ලැබුණාම, ඒක මත ඔවුන් ගමනක් යයි. අනාගතය හිතාගන්න අමාරුයි. කොහොම වුණත් ආණ්ඩුව ජාතික ප්‍රශ්නය වගේ දේවල්වලදී මධ්‍යස්ථ මතයකට එන්න ඉඩ තියෙනවා. ජාත්‍යන්තර බලපෑම, විශේෂයෙන්ම ඉන්දීය බලපෑම නිසා ඔවුන්ට මධ්‍යස්ථ තීන්දු ගන්න වෙනවා. මීට කලිනුත් මහින්ද රාජපක්ෂ තර්ටීන් ප්ලස් දෙනවා කියලා පොරොන්දු වුණානේ. බලය ලැබුණාම ඒ වගේ තීන්දු ගන්න, ප්‍රකාශ කරන්න සිද්ධවෙනවා.

අන්න එහෙම වෙලාවට දිස්ත්‍රික්කවලින් වැඩිපුරම ඡන්දය ගත්ත සරත් වීරසේකර, විමල් වීරවංශ වගේ ජාතියේ මුර දේවතාවුන් එයට එරෙහි වේවි. මධ්‍යස්ථ තීන්දු වෙනුවට ස්වෝත්තමවාදී තීන්දු ගන්න කියලා බලපෑම් කරාවි. සිංහලයන්ගේ ජනවරම අනුව වැඩකරන්න කියලා බලපෑම් එල්ල කරන්න පටන්ගනීවි. සමහරවිට පළාත් සභා මැතිවරණය පවත්වාවි. උණු උණුවේම තිබුණොත් වැඩිපුර ඡන්ද ගන්න පුළුවන් කියලා හිතලා පළාත් සභා ඡන්දය පවත්වාවි. ඒත් ඊට පසුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පළාත් සභා ඡන්දය අහෝසි කරන්න කියලාත් බලපෑම් එයි.

ආණ්ඩුවට එම්.සී.සී. ගිවිසුම ක්‍රියාත්මක කරන්න වෙනවා. විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න වෙනවා. සමහර ඒවා සාමාන්‍ය මිනිසුන්ට අහිතකර ඒවා. ආර්ථික පීඩනයක් පවා ඇතිවේවි.

ඇත්තටම ඔය ජාතික චින්තන කණ්ඩායමේ ප්‍රධානීන් ටික සමහරවිට මේ ආණ්ඩුවටම විරුද්ධ බලවේගයක් වගේ පෙනී සිටීවි. ගලගොඩඅත්තේ ඥානසාර හිමි වගේ අයත් ආණ්ඩුවේ ජනප්‍රිය විවේචකයන් වේවි. අන්න ඒ මතය මේ ආණ්ඩුවට විකල්ප ජනප්‍රිය මතය බවට පත්වේවි.

එහෙම වෙනකොට සමහර වාමාංශිකයන් ලොකු පටලැවිල්ලකට යනවා. ජාතිකවාදීන්ගේ ප්‍රහාර එල්ල වෙනකොට වාමාංශිකයන් රාජපක්ෂවරුන් දිවිහිමියෙන් රැකගන්නට පෙරට ඒවිදෝ කියා හිතෙනවා.

මේකට ශක්තිමත් විරෝධයක් ඇතිවේවි කියා මා හිතන්නේ නෑ. සජිත් ප්‍රේමදාස කණ්ඩායමේ කීදෙනෙක් පොහොට්ටුවට එකතු වේවිද, ආණ්ඩුවට හයෙන් පහක් ලැබේවිද කියලා හිතාගන්න අමාරුයි. ඒ කණ්ඩායමෙන් ජාතික මට්ටමේ ප්‍රශ්න ගැන කතා කළ හැකි අය අඩුයි.

 

ජනතාවට ආණ්ඩුව අභිමුඛ වේවි

කථිකාචාර්ය රමිඳු පෙරේරා

සමානුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ ලැබුණ අසමානුපාතික ප්‍රතිඵලයක් මේක. තුනෙන් දෙකක් කියන්නේ අසමානුපාතික බලයක්නේ. 2015 ඉඳන් මොනවා හරි ආයතනික ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් යමක් වුණා නම්, ඒ තත්වය වෙනස්වීම බලාපොරොත්තු විය හැකියි. කොවිඞ්-19 කාලයේදී වුණත් ජනාධිපති කාර්යසාධක බලකා දාලා, ආයතන දුර්වල කරමින් වැඩ කළානේ. ඒ අනුව ඔවුන් ආයතන රාමු බිඳලා, දැඩි අධිකාරිවාදී පාලනයක් ක්‍රියාත්මක කරයි.

ආණ්ඩුවේ ඒ භාවිතාවට ගැළපෙන ගෝලීය තත්වයකුත් දැන් තියෙනවා. ගෝලීය වශයෙනුත් දක්ෂිණාංශික ජනප්‍රියවාදය ශක්තිමත් වූ කාලයක් මේක. ඉන්දියාවේත් ඉන්නේ මෝදි වගේ පාලකයෙක්. ඒ නිසා අපට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

ලංකාවේ සිංහල බෞද්ධ ජනතාවගේ අතිබහුතරය මේ ආණ්ඩුව එක්ක අනන්‍ය වෙලා ඉන්නේ. ඒත් ඒක වෙන්නේ එදිනෙදා ප්‍රශ්න තවමත් මතු නොවූ තැනක. මේ ගැටලුව සමබර වෙන තැන තමයි, කොවිඞ් එක්ක ආර්ථික ප්‍රශ්නයක් ඇවිල්ලා තිබීම. ඒ ආර්ථික ප්‍රශ්නයේ ප්‍රතිඵල ඉදිරියේදී දකින්න හැකිවේවි. තවම ඒක හරියට පෙනෙන්නේ නැහැ.

අපේ රට මොනවා වුණත් අවුරුදු හැට හැත්තෑවක් ප්‍රජාතන්ත්‍රවාදය තිබුණ රටක්. එතකොට මිනිසුන් ප්‍රශ්නයක් ආවොත් උද්ඝෝෂණ කරනවා, අරගල කරනවා. එහෙම කරනකොට ජනතාවට එයාලාම ගෙනා ආණ්ඩුව අභිමුඛ වීමට නියමිතයි. තමන්ට බලය දුන් ජනතාව තමන්ට එරෙහිව නැගිටිනකොට ආණ්ඩුව මුහුණදෙන්නේ කොහොමද? ඒ ආණ්ඩුව මුහුණදෙන ආකාරයට ජනතාව ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? කියන ඒවා තීරණාත්මකයි. ඔය ඉඬේ විපක්ෂය සෙල්ලම් කරන්නේ කොහොමද කියන එක අනුව තමයි අධිකාරිවාදය කොහොම සමබර වෙනවාද කියලා තීන්දු වෙන්නේ.

වරාය අරගලයේදී හිටපු හමුදාපති දයා රත්නායක හමුදාමය අණ යොදමින් වෘත්තීය සමිති පාලනය කරන්න උත්සාහ කළත්, වෘත්තීය සමිති නියෝජිතයන් එයට එරෙහිව සටන් කළා. ඒ අනුව මිනිසුන් අතරින් ස්වයංසිද්ධව අයිතීන් ඉල්ලා සටන් මතුවෙනවා. එහෙත්, ඒ සටන් ඇතිවෙන වේගයෙන් නැතිවෙලා යනවා. උදාහරණයක් ලෙස රතුපස්වල වගේ විරෝධයක් ආවොත් ආණ්ඩුව මිනිසුන්ට ගහන්න ඉඩ තියෙනවා. ඒත්, ඊට පස්සේ ඒ සිදුවීම අනාගතය සඳහා සංවිධාන කරන්න ශක්තිමත් විපක්ෂයක් ඉන්න ඕනෑ. ඒ ඉඩ තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. එජාපය බෙදී ගිහින්, සමගි ජන බලවේගය දුර්වලයි, ජාතික ජන බලවේගයට ප්‍රමාණවත් නියෝජනයක් නෑ. මා හිතන විදියට ජාතික ජන බලවේගය වගේ සංවිධානවලට පාර්ලිමේන්තුවෙන් පිට මහපොළොවේ ලොකු වැඩක් තියෙනවා. විසම්මුතියට සහ ඉදිරියේදී මතුවිය හැකි විරෝධතාවන්ට නායකත්වය දෙන්නේ කොහොමද කියන අභියෝගය ඔවුන් ඉදිරියේ තියෙනවා.■