• මිනිසුන්ගේ අවසාන කටයුතු සම්බන්ධයෙනුත් දේශපාලන අවස්ථාවාදය ක්‍රියාත්මක කරවීමට මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටීම ඇත්තටම කණගාටුවට කාරණයක්.

■ පවිත්‍රා රූපසිංහ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දැන් කොවිඞ් ව්‍යාප්තියක් පිළිබඳව කතා කෙරෙනවා…
ලංකාවට කොරෝනා දෙවන රැල්ලක් ආවත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ දක්වා කොවිඞ් ආසාදිතයන් සිටියේ නැහැ. එහෙම වුණත් දෙසැම්බර් විසිවනදා දිස්ත්‍රික්කයේ වෛරස් ආසාදිතයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. ත්‍රිකුණාමලය නගර සීමාවේ, කින්නියා සහ මුත්තූර්වල දැන් කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබෙනවා. දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් සිටින්නේ ධීවරයෝ සහ දවස් කුලියට වැඩකරලා ජීවත්වෙන මිනිස්සු. මේ මිනිස්සුන් ජීවන අරගලයකයි සිටින්නේ. අපි ප්‍රාදේශීය මට්ටමින් කොරෝනා ව්‍යාප්තියක් ගැනත් එහි භයානකකම ගැනත් පණිවුඩය මිනිසුන්ට දෙනවා. මිනිසුන්ට ලොකු උනන්දුවක් නැහැ මේ ගැන. මොකද අද මිනිසුන්ට ඊට වඩා ලොකු ප්‍රශ්න තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය ගැන කිව්වත් දිස්ත්‍රික්කයේ ධීවරයන්ට මුහුදු යන්න වෙනවා. ඒ අයට පළමුවෙන් ජීවත්වීම තමයි වැදගත්. දිස්ත්‍රික්කයේ ගොවීන්ට මෙවර ගංවතුර ප්‍රශ්නයක් ආවෙ නැහැ. ඒ අයට ගොවිතැනින් හොඳ අස්වැන්නත් ලබන්න ඒ නිසා හැකි වුණා. ඒත් අවසානයේ වුණේ වෙන දෙයක්. ලබාගත්තු හොඳ අස්වැන්නට හොඳ මිලක් දෙන්න ආණ්ඩුවට බැරි වුණා. ගොවිතැනින් අන්තිමට ගොවීන්ට ලාභයක් වුණේ නැහැ. සොබාදහම ගොවියා කෙරේ සානුකම්පිත වුණත් වෙළඳපළ ඉදිරියේ ගොවියා අසරණ වුණා. ඊට අමතරව ගොවියාට දැන් පොහොර ප්‍රශ්නයකුත් තියෙනවා.

 

ඔබගේ දිස්ත්‍රික්කයේ පරිසර ප්‍රශ්නයක් තිබෙනවා නේද?
පරිසර විනාශය ගත්තම වැලි ගොඩදැමීම පිළිබඳ ලොකු ප්‍රශ්නයකයි අප ඉන්නේ. දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දාන්නේ දිස්ත්‍රික්කයේ ඇතුළත පිරිස් නෙමෙයි. පිට පළාත්වලින් පිරිස් දිනපතාම එනවා. මේ නිසා සිදුවන හානිය ඉතාමත් බරපතළයි. දැන් රටේ කොරෝනා ව්‍යාප්තියක් තිබුණත්, දවස ගානේ ලොරි විශාල සංඛ්‍යාවක් ත්‍රිකුණාමලයට එනවා සහ යනවා. පරිසර ප්‍රශ්නයක් විදියට අපට වැඩියෙන්ම දැනෙන මේ වැලි ගොඩදැමීමේ ප්‍රශ්නය කලිනුත් තිබුණා තමයි. ඒත් දැන් තත්ත්වය බොහොම බරපතළයි කියලා පේනවා. රටේ හැම පළාතකින්ම මෙහෙම අපේ දිස්ත්‍රික්කයෙන් වැලි ගෙනියන්න පර්මිට් දෙන්නේ කවුද සහ මේවායේ පදනම මොකක්ද කියන කාරණය අපට ඉතාමත් අපැහිදිලියි.

 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාව පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කොයිවගේ අදහසකද සිටින්නේ?
හැට නව ලක්ෂයක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. ආණ්ඩුව ඡන්දෙ ඉල්ලද්දී දුන්නු පොරොන්දු මොනවාද කියලා ජනතාවට අමතක නැහැ. මිනිසුන් දන්නවා ආණ්ඩුවට දැන් ඒ පොරොන්දු මතක නෑ කියලාත්. ඒත් කවුරුවත් කතා කරන්නේ නැහැ. විරෝධයක් දක්වන්න එළියට එන්නේත් නැහැ. දිස්ත්‍රික්කයේ මිනිස්සු රටේ දැන් තිබෙන ප්‍රශ්නය ගැන දැනුවත්. කතා කරන්නේ නැත්තේ කාරණා දෙකක් නිසායි. පළමුවන කාරණය මිනිසුන්ට දැන් ජීවත් වෙන්න බොහොම අමාරු තත්ත්වයක ඉන්නේ. ජීවන අරගලය හැම අරගලයකටම වැඩියි. දවසේ වියදම හොයාගන්න එක ඉස්සර වගේ නෙමෙයි දැන් ලොකු අරගලයක් කරන්න වෙලා තියෙනවා. මිනිස්සු ඉන්නේ කන්න බොන්න විදියක් නැතිවයි. අනෙක් කාරණය තමයි මිනිස්සු මේ ආණ්ඩුව විරෝධතාවලට පෙරළා දක්වන ප්‍රතිචාරවලට ලොකු බයක් තියෙනවා. අදෘශ්‍යමාන ප්‍රතිචාර එන්න පුළුවන් කියන බය ජනතාවට තිබෙනවා.

 

රටේ කොවිඞ් ව්‍යාප්තිය සමඟ ආණ්ඩුව කොවිඞ් මරණ ආදාහනයට කටයුතු කිරීම, මුස්ලිම් ජනතාව කෙරෙහි දක්වන කිසියම් මර්දනයක්ද?
ආණ්ඩුව දන්නවා කොවිඞ් මරණ ආදාහනය කිරීම වැරදියි කියලා. රටේ තිබෙන හැම ආගමක්ම මෙම කාරණය ගැන දැන් දැනුවත්. කොවිඞ් මරණ භූමදානය තහනම්, ආදාහනය පමණක් කළ යුතුයි යන ආණ්ඩුවේ ස්ථාවරය වැරදියි කියන ස්ථාවරය දැන් සමාජගත වෙලා අවසානයි. දැන් මුස්ලිම් ජාතිකයන් නොවෙයි වැඩි වශයෙන් මේ කාරණය ගැන කතා කරන්නේ. සිංහල, දමිළ ජාතිකයනුත් වැඩි වශයෙන් මේ අයිතිය ඉල්ලා කතා කරන තැනට පත් වෙලා තියෙන්නේ. සමාජ මාධ්‍යවල මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි විරෝධයක් දකින්නට පුළුවන්. ඒත් සමාජ සංවිධාන හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන හෝ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. පළමුවන හේතුව තමයි ආණ්ඩුවේ මර්දන පිළිවෙත පිළිබඳ රටේ ජනතාවට භීතියක් තිබෙනවා. ආණ්ඩුව මේ කරන්නේ දේශපාලන කුමණ්ත්‍රණයක් කියලයි මා දකින්නේ. මුස්ලිම් මිනිසුන්ට එරෙහි කුමණ්ත්‍රණයක්. හැම ආගමකම මිනිසුන්ට තමන් වෙනුවෙන් මිය යන අයගේ අවසන් කටයුතු කැමති විදියට කරන්න ඉඩ දීම සදාචාරමය යුතුකමක්. එය හැම ආගමකටම පොදුයි. මිනිසුන්ගේ අවසාන කටයුතු සම්බන්ධයෙනුත් දේශපාලන අවස්ථාවාදය ක්‍රියාත්මක කරවීමට මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටීම කනගාටුවට හේතුවක්. දවස් විස්සක් වයස දරුවා පිළිස්සීම ගැන අද ලෝකයම කතා කරනවා. මෙම විරෝධය ආණ්ඩුව නොදන්නවා නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා කොවිඞ් මරණ ආදාහනය සම්බන්ධයෙන් විරෝධයක් නැති බව. ඒ වගේම රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එය පිළිගෙන තිබෙනවා. ඒත් ආණ්ඩුවට ඕනෑවෙලා තියෙනවා කිසියම් ජන කොටසකට රිදවන්න. එය ඔවුන් ඉතාමත් සාර්ථක විදියට කරනවා. දවස් විස්සේ දරුවා පිළිස්සුවේ ඒකයි.

 

ලංකාවේ තිබෙන්නේ කොවිඞ් වසංගතයක් නොවේ කොවිඞ් වසංතයක් බව සමහරුන්ගේ මතයයි. ඒ පිළිබද ඔබේ අදහස කුමක්ද?
මේ ආණ්ඩුව කොවිඞ් ව්‍යසනය වාසියක් බවට හරවා ගෙනයි තිබෙන්නේ. 2004 වසරේදී සුනාමිය වාසියක් බවට හරවා ගත්තා. දැන් කොවිඞ් ව්‍යසනය, ක්‍රමයෙන් දේශපාලන වාසියක් බවට පත්කර ගනිමින් සිටිනවා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමේදී රටේ කොරෝනා ව්‍යාප්තියක් ගැන ආණ්ඩුව අවධානය යොමු කළේ නැහැ. ඒ අවස්ථාවේදී පෑලියගොඩ පොකුරක් නිර්මාණය වුණේ ඒ නොසලකා හැරීම නිසයි. ඒ අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් කිව්වා රට වහන්න කියලා. ඒත් ඒ පිළිබඳව උනන්දුවක් ආණ්ඩුවට තිබුණේ නැහැ. විසිවන ව්‍යවස්ථා සංශෝධනය දිනා ගැනීම ගැන පමණයි ආණ්ඩුව ඒ අවස්ථාවේ කල්පනා කළේ. දැන් රට විශාල ආර්ථික සහ සමාජ බිඳවැටීමකයි සිටින්නේ. එහිදී කියනවා ඊට හේතුව කොවිඞ් ව්‍යසනය කියලා. නිෂ්පාදන ආර්ථිකය ඇණහිටීම ගැන කතා කළත් කුමන ක්ෂේත්‍රයක් ගැන අවධානය යොමු කළත් ආණ්ඩුව කොවිඞ් බලපෑම මතුකරලා අත පිහදා ගන්නවා.

 

එවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම විදියට ඔබ වැන්නන් කරමින් සිටින්නේ කුමක්ද?
අපි මේ අවස්ථාවේදී රටේ ඇත්ත ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කතා කරමින් ඉන්නේ. අපි විපක්ෂය විදියට එය දිගටම කරනවා. කොවිඞ් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ කතා කරද්දී කවුරුත් මුලින් පිළිගත්තේ නැහැ. අද ඒ ප්‍රකාශයන් නිවැරදි බවට සනාථ වෙලා තියෙනවා. ආණ්ඩුව උත්තර දුන්නත් නැතත් අපි ජනතාව වෙනුවෙන් කතා කරන එක නවත්වන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළ සත්‍යය කතා කරලා දැනුවත් කරනවා. අපි කතා කරන දේවල් ජෝක් විදියට ආණ්ඩුව භාරගත් අවස්ථා කවුරුත් දැක්කා. කොවිඞ් නිසා පීඩනයට පත්වන අයට රුපියල් 20,000 ක මුදලක් ලබාදිය යුතු බව සජිත් ප්‍රේමදාස කීවා. එය විහිළුවකට ගත්තත්, සිදුවුණේ කුමක්ද? ආණ්ඩුවට සිද්ධ වුණා කොටස් වශයෙන් හරි රුපියල් විසිදහසක මුදලක් ජනතාවට දෙන්න.

 

ආණ්ඩුව දැන් පළාත් සභා ඡන්දයකට සූදානම් වීමක් ගැන කතා කරනවා. එය ඔබ දකින්නේ කොහොමද?
ආණ්ඩුව විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තා. ආණ්ඩුවට දැන් කරන්න බැරි දෙයක් නැහැ. ඒත් ආණ්ඩුවට දැන් එක දෙයක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ තමයි ආණ්ඩුවට සම්බන්ධව සිටින පහළ ස්තරය සතුටු කරවන්න. ඒ අයට තනතුරුවලින් සංග්‍රහ කරලා හෝ වෙනත් විදියකින් හෝ ඒ අයවත් කිසියම් පමණකට හෝ ඉහළට ගේන්න ආණ්ඩුවට ඕනෑවෙලා තියෙනවා. ඒ පදනමේ සිට පළාත් සභා ඕනෑ කියනවා.

 

දැන් රට යන අත පිළිබඳ ඔබගේ මතය කුමක්ද?
යහපාලන ආණ්ඩුවේ ප්‍රශ්න තිබුණා තමයි. පක්ෂ දෙකක් රට කරන විට ප්‍රශ්න නැති වෙන්න විදියක් නැහැ. මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු කොල්ලය ගැන බොහෝ කතා කළත් කිසිවකු වරදකරුවන් කරන්න කිසියම් මැළිකමක්, ප්‍රමාදයක් දක්වනවා වගේ පේනවා. වරදකරුවන් පිළිබඳ අදහස් දක්වමින් සිටින්නට ආණ්ඩුවට අවශ්‍ය නැහැ. දැන් බලය තියෙන්නේ ඔවුන් අතේයි. එහෙත් කරන්නේ කතාකිරීම පමණයි. අනෙක් අතට යහපාලන යුගයේ කිසියම් නිදහසක් රටේ මිනිසුන්ට තිබුණා. විශේෂයෙන්ම මාධ්‍ය නිදහස තිබුණා. අද රටේ මාධ්‍ය නිදහස පිළිබඳ කාටත් ප්‍රශ්නයක් තියෙනවා. සමාජ වෙබ් අඩවිවල කතා කරන අය අත්අඩංගුවට පත් අවස්ථා අප පසුගිය මාසයේ දුටුවා. අද ඇත්ත ඇතිසැටියෙන් කතා කරන්න බැහැ. විවේචනයට ඇති ඉඩ ක්‍රමයෙන් හැකිළෙමින් තිබෙන්නේ. රට ඇත්තටම ගමන්කරමින් තිබෙන්නේ භයානක පැත්තකට කියලයි මට දැනෙන්නේ.
මේ තත්ත්වය තුළ හැටනව ලක්ෂයක් ජනතාව දැන් සිටින්නේ කිසියම් කළකිරීමකයි. ආණ්ඩුවට අවුරුද්දයි, ජනතාවට ඇතිවෙලා සිටින්නේ. ආණ්ඩුව පිළිබඳ ජනතාවට දැන් විශ්වාසයක් නැහැ. ජනාධිපති, අගමැති වශයෙන් කතා කරන්න මම කැමති නැහැ. මම කියන්නේ ආණ්ඩුවක් විදියට මේ අය ෆේල් කියලයි. හොඳම නිදර්ශනය තමයි මෙවර අයවැය. මිනිස්සු බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටි අයවැයක්. ඒත් කිසිවක් පොදුවේ ජනතාවට ලැබුණේ නැහැ. මේ අයවැය පිටරටින් මෙරටට එන කළු සල්ලි සුදු කරන අයවැයක් වුණා. මේ ගැන කතා කරද්දිත් ආණ්ඩුව නැවතත් කොරෝනා වසංගතය මතු කරලා ඇඟ බේරාගන්නවා. ඒත් කොරෝනා නැති කරන්න ආණ්ඩුව කරමින් සිටින විධිමත් වැඩපිළිවෙළක් දකින්න නැහැ.■