ටැබූ සබ්ජෙක්ට්ස්

අද සටහනට ප‍්‍රස්තුතය ‘මීම්’‍ එකක්. මෙය වත්පොතේ තැන් තැන්හි බෙදා හදාගෙන තිබුණා. අපේ රටේ වත්පොත්තු වත්පොත්තියෝ යහපත් මිනිස්සු හා ගැහැනු. ඔවුන් තමන් ඇසැ ගැටුණු යමක් තනිව නොවිඳ සෙස්සන් හා බෙද හදා ගන්නවා. එසේ බෙදා ගැනුණු මේ ‘මීම්’‍ එක කවර රජ දවසට අයත්ද ලේඛකයාට නිනව්වක් නැහැ. සමහරවිට සරල මෙත්පල් නිරිඳුන්ට පෙර කලැ සත්වැනි මිහිඳු රජ දවස වෙච්චි කතාවක් යළි අළු ගසා දමා නැඟිටි අවස්ථාවක් වෙන්නත් පුළුවන්. කොහොම කොහොම හරි ඒක බෙදා ගත් හැම තැනෙකම වගේ බොහෝම උනුසුම් කෙස් වළු පටලවා ගැනීම් ඇති වෙලා තිබුණා දකින්ට ලැබුණා.
ඒකෙ තිබුණෙ මෙහෙම සටහනක්.
‘‍ඔය නිරාගමිකයොද මොක්කුද කියන එවුන් ඉන්නෙ බුකියෙ විතරයි’
‘මොකද ඔය රැුඩිකල් බුද්ධ පූජා විරෝධී ටෝක් සමාජෙදි දෙන්න ආවොත් වඩාගෙනනෙ ගහන්නෙ’‍
ඔය ‘නිරාගමිකයා’‍ කියන යෙදුම වත්පොත් බ්ලොග් රචකයකු වන රිටිගල ජයසේනගේ. මීට පර්යාය ඉංගිරිසි වදන ‘‍නොන්-රිලිජස්’‍ විය යුතුයි. මන්ද යත් ඉංගිරිසියෙන් ‘ඒතිස්ට්’‍ කියලා කියන්නේ ආගමක් නො අදහන පුද්ගලයා නෙවෙයි, දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් නැත්තා. බටහිර සමාජයේ නම් ඔය දෙකම එකයි. හැබැයි ආසියානු සමාජයේ ථෙරවාද බෞද්ධයන්ද ‘ඒතිස්ට්’‍ කුලකයට වැටෙන්ට හැකිය මතයක් තියෙනවා. නිරාගමිකයා යනු කවර හෝ ආගමක් පිළිබඳව විශ්වාසයක් නැත්තා. ඒ පොදු නිර්වචනය තුළ අටෝරාසියක් නිරාගමික ප‍්‍රභේද දකින්ට පුළුවන්. කොහොම හරි අපේ රිට්ටා ආගමිකයන් හා නිරාගමිකයන් වෙන් කරලා ඉරක් ඇන්දා අවුරුදු හත අටකට කලින්. අද දක්වා අප භාවිත කරන්නේ ඒ බෙදුමයි.
මෙහිදී අප කාරණා කිහිපයක් සිහි තබා ගත යුතුයි. එකක් රිට්ටා මේ ඉර අඳින්නේ සමස්ත දක්ෂිණ ලාංකීය සමාජය දරුණු ලෙස ඒකධ‍්‍රැවීය (යුනිපෝලරයිස්* වුණු අවස්ථාවකයි. පරසි මිහිඳු රජපසතුමා උත්තර දේශය භීතියෙන් මුසපත් කළ පිරබාහරන් නම් පරාස්සයාගේ කෙස් වැටියෙන් ගෙන ගෙළ සිඳුවා ලංකාද්වීපය එක්සත් එක්සේසත් කොටැ ‘මා හැර අන් කිසි නිරිඳෙක් වෙතිද මේ ලක් පොළෝ තලයේ!’‍ යි මේඝ ගර්ජනා කළ මේ සමය අපේ රටේ බුද්ධ ශාසනය ස්වර්ණමාලී මහා චෛත්‍යයේ කොත් වහන්සේ සේ දිදුළ යුගයෙක්. බොදුනුවකු සේ පෙනී සිටීම මේ යුගයේ කෙනකුට මහා ආඩම්බරයක් වුණා. කොටින්ම උපතින් කතෝලිකයකු වූ පනාපුත‍්‍ර කුහුඹුපැණියා වැන්නන්ටත් ‘අනේ දෙවියන් වහන්ස ඔබ වහන්සේගේ මේ පුත‍්‍රයා බොදුනුවකු නොකළේ මන්ද?’‍ කියා හිතෙන්ට ඉඩ තුබුණු කාලයක් ඒක. මේ නිසා රිට්ටාගේ ‘නිරාගමික කල්ටියට’‍ (ඔව්, අකුරු වැරැුදුණේ නැහැ. කල්ලිය නොවේ, කල්ටිය – අර ඉංගිරිසියෙන් කල්ට් කියලා කියන්නේ* අතක ඇඟිලි ගණනට වැඩි සාමාජිකයන් පිරිසක් සිටියේ නැහැ. මේ ලේඛකයා ඒ හතර පස් දෙනාගෙන් එකෙක්. හැබැයි ඔහු නම් නිරාගමිකයකු වූයේ රිට්ටා උසස් පෙළ ටියුෂන් පන්තියේ අල්ලපු පේළියේ යුවතියන්ට ඇස් ගහන සමයෙහිමැයි, ඔය වදනම භාවිත නොකළාට. ඒක වෙනම කතාවක්.
කාලය වෙනස් වුණා. මිහිඳු රජපසතුමන්ගේ වැල්ලේද කරැුකැවුණු බඹරයේ වේගය අඩාල වෙමින් තුබුණා. ඒ අතර ඥානයක් සාරයක් නැති පුඟු‍ලෙක් මැදහත් බොදුනුවන්ට තමන් බොදුනුය කියාගැන්මේ මහත් වූ ආඩම්බරයත් බින්දා. මේ පුඟු‍ලා කළ කී දෑ බොදුනුවන්ට රෙදි ඇඳගෙන දරා සිටිය හැකි දේ නම් නෙවෙයි. ලේඛකයා හිතන හැටියට මේ කාලයේ සැබෑ බොදුනුවන් රාසියක් බුද්ධාගමින් ඈත් කිරීමේ (අ*ගෞරවය මේ ඥානයක් සාරයක් නැති පුඟු‍ලාට හිමි විය යුතුයි. මේ නිසා නිරාගමික රිට්ටා නිදා සිටියදීම ඔහුගේ නිරාගමික කල්ටිය පිම්බෙන්න පටන් ගත්තා. ඒක අප ගණිතයේ කියන්නාක් වගේ ඝාතීයව (එක්ස්පොනෙන්ෂලි* ප‍්‍රසාරණය වුණා. හරියට පස්වග මහණුන්ගෙන් ඇරැුඹුණු බුද්ධ ශාසනය ප‍්‍රසාරණය වුණා වගේම පිම්බුණා. පහ දහය වුණා. දහය පනහ වුණා. පනහ සීය වුණා. සීය දහස වුණා. පඳුරකට පා පහරක් දුන්නත් එකකු විසිවෙන තරමට නිරාගමික ශාසනය වැඩුණා. ලේඛකයා මේ සියල්ල අපේ රිට්ටාගේ එකවුන්ට් එකට බැර කරනවා නෙවෙයි. මේවා වෙද්දී රිට්ටා වැඩි කාලයක් හිටියේ ශිශිර තාරකා නින්දේ. ඔහු අවදි වුණේ ඔය ඉඳලා හිටලා ඇවිත් මොකක් හරි වඳුරු කුණුහරුපයක් කොටා යන්න විතරයි. නිරාගමික ශාසනය මේ තරම් ප‍්‍රසාරණය කිරීමේ පූර්ණ ගෞරවය හිමිවිය යුතු අර ඥානයක් සාරයක් නොතිබුණු පුඟු‍ලාටයි.
එක අතෙකින් මේ විපරිණාමය අන්තර්ජාතිකව සිදුවෙමින් පවතින යම් ප‍්‍රවණතාවක දේශීය සංරචකය සේ දකින්ට පිළිවනි. ගෝලීය වශයෙන් නිරාගමිකයන්ගේ ප‍්‍රතිශතය වැඩෙමින් පවතිනවා පසුගිය දශක කිහිපය තුළ. බුරුතු පිටින් මිනිසුන් ගැහැනුන් ආගමින් ඉවත් වෙනවා. එක ආගමික කණ්ඩායමක් සේ සලකතොත් නිරාගමිකයන් අද අන්තර්ජාතික වශයෙන් දෙවැනි වන්නේ ක‍්‍රිස්තියානින්ට හා ඉස්ලාමිකයන්ට පමණයි. නිරාගමික ජනගහන ප‍්‍රතිශතයට සාපේක්ෂව බෞද්ධයන් කියන්නේත් ඉතාම සුළු පිරිසක්. ථෙරවාද බෞද්ධයන් කියන්නේ ඊටත් අඩු පිරිසක්.
තව එකක්! අපේ රටේ ඔහොම නිරාගමික කල්ටියක් හැදුණේ බුකියේම (වත්පොතේ* විතරයි. සැබෑ ලෝකයේ එවැන්නක් හැදුණේ නෑ. ඒ නිසා ඔය ‘ඔය නිරාගමිකයොද මොක්කුද කියන එවුන් ඉන්නෙ බුකියෙ විතරයි’‍ කියන කියමන කිරි ගහට ඇන්නා වගේ හරියට හරි.
මෙසේ වූයේ මන්ද කියන එක අපට ලෙහෙසියෙන් වටහා ගත හැකියි. මිහිඳු රජපසතුමන් සිය සුප‍්‍රකට ජනෙල් පඩි කතාව පැවැත්වීමෙන් අනතුරුව රිටයර් වී බොහෝ කල් ගත වී ඇතත් තවමත් අපේ සමාජයේ තලෙබාන් ලක්ෂණ දුරුව නැහැ. 2012 ජන හා නිවාස සංගණනයෙහිදී පවා පුද්ගලයකුගේ ආගම ගැන අසද්දී ‘කිසිම ආගමකට අයත් නොවේ’‍ කියන විකල්පය දී තුබුණේ නැහැ. කවර හෝ ආගමකට අයත් නොවන පුද්ගලයකු සේ පෙනී සිටින්ට විවිධාකාරයේ සාමාජීය බාධාවන් තුබුණා. එසේම නිරාගමිකයන්ට තමන්ගේ අදහස් පළ කරන්ට මාධ්‍යයක් තුබුණේද නැහැ.
ඇත්තටම අදහස් ප‍්‍ර‍කාශනයේ නිදහස අතින් සමාජය 1960-70 ගණන්වල සිට දශක ගණනාවක් ආපස්සට ඇවිත් තුබුණා. මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන් ‘බව තරණය’‍ ලියා පළ කරන්නේ 1973 දියි. ඒ පැසුණු වැඩිහිටියකු ලෙස. ‘බව තරණය’‍ වික‍්‍රමසිංහයන්ගේ නිර්මාණකරණයේ කූඨප‍්‍රාප්තිය සේ සඳහන් කළ හැකියි. එතෙක් අන් කිසිවකු නොකළ අපූරු දෙයක් ඔහු කරනවා. ඒ සිද්ධාර්ථ ගෞතමයන්ගේ පිළිගත් චරිත කතාවෙන් ඔබ්බට ගොස් ඊට නව අර්ථ කථනයක් දීමෙන්. මේ නවකථාව පළ වූ සමයේ ඒ ගැන දරුණු විවාද ඇතිවුණා. බොහෝ වියත් හිමිවරු වික‍්‍රමසිංහ විවේචනය කළා. හැබැයි මේ කිසිවක් පෞද්ගලික මට්ටමට වැටුණේ නැහැ. අනෙක් අතට බැරි වෙලාවත් මාර්ටින් වික‍්‍රමසිංහ 1973 දී බව තරණය නොලියා වෙනත් වික‍්‍රමසිංහ කෙනෙක් ඊට වසර 40 කට පසුව 2013 දී ඒකම කළා නම්, අර දෙවැනි වික‍්‍රමසිංහගේ නිවෙසත් ගිනිබත් වෙන්ට ඉඩ ඇති තරමට සමාජය වෙනස් වී තලෙබාන්කරණය වී තුබුණා. ඉතින් ඒ සමාජයේ නිරාගමිකයන් පහළ නොවීම තේරුම් ගත හැකි කාරණාවක්. පුදුමයක් හෙම නෙවෙයි.
වත්පොතෙහි හෙවත් බුකියෙහි මීට සාපේක්ෂව තරමක හෝ ආරක්ෂිත පරිසරයකුයි තුබුණේ. අතථ්‍ය මාධ්‍යයක කෙනකුට කෙළින්ම පහර දෙන්ට බැහැ. එසේම අතථ්‍ය මාධ්‍යයේ වෙස් මුහුණක් පැළැඳ ඒමේ හැකියාවක් තියෙනවා. වත්පොත්තු හා වත්පොත්තියෝ මේ හැකියාවන් මනාව භාවිත කළා. සමාජයේ නැතිව බුකියේ නිරාගමිකයන් පැටව් ගැසුවේ මේ නිසයි.
දැන් බුකියේ ආගමිකයන් හා නිරාගමිකයන් අතර වසර කිහිපයක පටන් ගැඹුරු සාකච්ඡුා පැවැත්වෙනවා. විශේෂයෙන්ම ‘තුලාව’‍ නම් ලක්ෂකයට අධික සාමාජිකත්වයක් ඇති සමූහය තුළ පැවැත්වෙන සංවාද කැපී පෙනෙනවා. මේවා සියල්ලටම සංවාද කියන්ට බැහැ. දෙපාර්ශ්වයෙන්ම වැඩිපුර කෙරෙන්නේ මඩ ගසා ගැනීම්; පහර ගසා ගැනීම් හා අනෙකාගේ ජාතකය ප‍්‍රශ්න කිරීම්. හැබැයි ඒ අතරම යම්කිසි ගැඹුරක් ඇති සංවාදද දැකිය හැකියි.
ආගමිකයන් නිරාගමිකයන්ගෙන් අසන ප‍්‍රශ්න බොහෝ විට සාම්ප‍්‍රදායිකයි; සරලයි; බොළඳයි. නිදසුනක් හැටියට යහපත් සමාජයක් තැනෙන්ට ආගම් ඕනෑ නේද?; ආගමක් නැතුව කෙනකුට ජීවත් වෙන්න පුළුවන්ද?; නිරාගමිකයන් නම් නිරාගමිකයන් විදියට කට පියාගෙන ඉන්නේ නැතුව ආගම්වලට ‘ගරහන්න’‍ එන්නේ ඇයි?; ඔහොම ආගමික වතාවත් ‘අපහාසයට පත් කරන එක’‍ හරිද?; ඔයගොල්ල ඇත්තටම සේවය කරන්නේ කිතුනු පල්ලියට නේද?; ඔයගොල්ලන්ට රාජ්‍ය නොවන ආයතනවලින් ඩොලර් ලැබෙනවා නේද?: නිරාගමිකත්වය තියෙන්නේ ප්ලේන් එක ගැස්සෙන තුරු විතරයි නේද? වගේ ප‍්‍රශ්න. මේවා සියල්ලටම පහසුවෙන් පිළිතුරු දෙන්න පිළිවනි. හැබැයි මේ ප‍්‍රශ්න කවුරුන් හෝ නඟන්නේ ඒ පිළිතුරු අපේක්ෂාවෙන් නොවන බව පැහැදිලිව පෙනෙනවා.
නිරාගමිකයන්ගේ ප‍්‍රශ්න සංකීර්ණයි. ආගමිකයන් රිදවනසුලූයි. පහුගිය දවසක වත්පොත කැළඹූ එක ප‍්‍රශ්නයක් වුණේ දකුණු ආසියාවේ මන්දපෝෂණයෙන් දෙවැනි තැන ගන්නා රටේම (ගඩොල්, මැටි හෝ සිමෙන්ති* චෛත්‍යවලට ටොන් ගණනින් පලතුරු පූජා කිරීම් සාධාරණද, සදාචාරාත්මකද, චෛත්‍යයන්ට බුදුන්ගේ කාලේ වත් නොකෙරුණු ආකාරයට ලක්ෂ ගණන් සිවුරු පෙරවීම සම්පත් විනාශයක් පමණක් නේද වැනි කාරණා. මේවායින් කුපිත වුණු ආගමිකයන් විවිධාකාරයෙන් නිරාගමික කල්ටියට පහර ගසන්න පටන් ගන්නවා. ඔවුන්ට නොතේරෙන කාරණය තමයි මේ පහර ගැසීම්වලිනුත් නිරාගමිකයන්ට තව කිලෝමීටරයක් දෙකක් වත් යන්න පෙට්රල් ඞීසල් දීමක් නේද කරන්නේ කියා.
දැන් ඔය උඩ තියෙන ‘මීම්’‍ එක තමයි නිරාගමිකයන්ට එරෙහිව ආගමිකයන්ගේ අවසාන තුරුම්පුව. මේක පැහැදිලිවම තර්ජනයක්. නුඹලාට නිදහස් අදහස් දරන්න පුළුවන් බුකියේ පමණයි. එළියට ආවොත් අපි නුඹලා විනාශ කරනවා. දැන් මෙහෙම කියන්නේ අවිහිංසාව සහජීවනය පෙරදැරි කොට ගත් දහමක් අනුගමනය කරන බහුතර ජනතාවක් වෙසෙන රටක නේද වැනි ප‍්‍රශ්න නඟන්න එපා. මහාචාර්ය නලින්දනාථ දේවාදිත්‍ය සිරිමතුන්ට අනුව මේ රටේ තියෙන්නේ බුද්ධාගම නෙවෙයි සිංහල බුද්ධාගම. ඒකට ඔය අහිංසාව, කරුණාව, මෛත‍්‍රිය වගේ සංකල්ප ඇලජික්. අනෙක් අතට ජයන්ත මහරජ ගැමුණු චන්ද්‍රසිරි අපට කිව්වේ අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන කල් දමා ගැන්මට තරම් පරාර්ථකාමී මිනිසුන් ගැහැනුන් කොටසක්ය මේ රටේ වසන්නේ කියලා. ඒ නිසා ඔය කවුරු කවුරුත් තම තමන්ගෙ ආරක්ෂාව තම තමන් සපයා ගන්නවා නම් හොඳයි. මහාචාර්ය සරච්චන්ද්‍ර වගේ බුද්ධිමතුන්ටත් කාණුවල වැටී ගුටි කන්න සිද්ද වෙච්චි රටක් මේක. අමතක කරන්න එපා.x