ඔබ  පවුල් පසුබිම මොකක්ද?

මම ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය හබුරුගල කියන ගමේ ඉපදුණ කෙනෙක්. බොහොම සාමකාමී ජීවිතයක් ගතකළ මිනිසුන් හිටියේ. කලකෝලාහල, රණ්ඩු මොනාවත් ඒ ගම්වල තිබුණේ නෑ. මගේ සීයා ඒ පළාත්වල විදානආරච්චි. ඔහු වෙද පරම්පරාවකින් ආ එකෙන්. පීනස් වෙදකමට දකුණු පළාතේම ප්‍රසිද්ධ කෙනෙක්. අදටත් මම ගමේම ලොකු ගෙයක් හදලා, එහේ පදිංචි වෙලා ඉන්නවා. මම පළවැනි ළමයා. මල්ලි කෙනෙක් හිටියා, ඔහු මියගියා. මට සහෝදරියන් කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන් තමයි මට අද ශක්තියක් වෙලා ඉන්නේ.

 

ගමේ හිටියාට, ඔබේ තාත්තාගේ පසුබිම මොකක්ද?

තාත්තා ආනන්ද විද්‍යාලයට ගිය කෙනෙක්. තාත්තාගේ අක්කාට තමයි මරදානේ ටෙම්පල් රෝඞ් එකේ ජී.ඒ. පෙරේරා කියන පොත් සාප්පුව අයිතිවෙලා තිබුණේ. ඒ ගෙදර නැවතුණ තාත්තා පොඩි කාලයේ ඉඳන් ආනන්දයට ගියා. ඔහු රජයේ රැකියාවක් කළ කෙනෙක්. විදුහල්පතිවරයෙක් විදියට කාලයක් වැඩ කරලා, පසුව නාවික හමුදාවට බැඳිලා වැඩ කළා. කලාවේත් සම්බන්ධකම් තිබුණා. ඔහු ගොඩක් පොත්පත් කියෙව්ව කෙනෙක්. ඒකෙන් මටත් ආභාසය තියෙනවා. මම අදටත් ගොඩක් කියවන කෙනෙක්. දිනපතා සහ සති අන්ත පත්තර ගොඩක් කියවනවා. දි අයිලන්ඞ් පත්තරය බලන්න මම හරි කැමතියි. සරත් විජේසූරියගේ පොත් කියවන්න කැමතියි. මේ දවස්වල නම් ව්‍යවස්ථා සංශෝධන නිසා ලංකාවේ, ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ඒවා ගැන ලියවුණු දේවල් කියවනවා. පොඩි කාලයේත් පොතක් අතට දුන්නාම මං සද්ද නැතිව බල බල හිටියා කියලා අම්මා කීවා.

 

අම්මා මොනවගේ කෙනෙක්ද?

අම්මා නිවුණ, ආගමට ළැදියාවක් තිබුණ, ගැමි සිතුම් පැතුම්වලින් පිරුණු කෙනෙක්. ඒ වුණාට ඇයට තීන්දුවක් ගන්න ඕනෑ වෙලාවක අපි කළ දේට එකඟ වුණා. අම්මා කොත්මලේ කියන ගමෙන් ආපු කෙනෙක්. උඩරට අයගේ ගතිසිරිත්, කෑම ඉවිලි, ආගමික හැදියාව වගේ දේවල් ඇයට තිබුණා.

 

ගමක හැදුණ ගෑනු ළමයෙක් විදියට..

මම පවුලේ වැඩිමලා නිසා පවුලේ නායකත්වය මට ලැබුණා. තාත්තා නැති වෙලාවට අම්මා නංගිලාට කිව්වා, අක්කලාගෙන් අහන්න කියලා. පවුලේ දන්න කෙනා විදියට අවුරුදු හයේ විතර ඉඳන් මා හැදුණා. අක්කා එක්ක යන්න, අක්කා කියන විදියට ඉන්න කියලා කිව්වා. ඒ කාලයේ තැනකට ගිහින් කතාකරන්න, නායකත්වය ගන්න කියලා මාව තල්ලු වුණා. ඒ නිසා ගෙදර මුල්ලේ ඉන්නේ නැතිව ඕනෑ එකකට ඉස්සරහට පැන්නා.

 

ඒ වැඩිමලාගේ වගකීම නිසා ඉස්කෝලෙදී දැඟලිලි නැතිව ඉන්න වුණාද?

නෑ නෑ. මම හොඳට දඟලපු කෙනෙක්. අපේ ගෙදර අල්ලපු වැටේ මං පොඩි කාලේ යූඇන්පී මීටිමක් තිබුණා. ඩඞ්ලි සේනානායක ඇවිත් කතාකළා. අම්මා මට යන්න එපා කීවා. මට වැටෙන් පනින්න විතරයි තිබුණේ. මම ගවුම් කොටයක් ඇඳගෙන ගිහින් මිනිසුන් මැදින් ඉස්සරහටම ගිහින් ඩඞ්ලිගේ කකුල් දෙක ළඟම ඉඳන් කතාව බලාගෙන හිටියා. අදටත් එතැනින් යද්දී මට ඒ සිද්ධිය මතක් වෙනවා. මම දාසයෙන් පහළ නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව. කථික තරගවලට ගියා. ඉංග්‍රීසි දිනයේ ඒ තරගවලින් දින්නා.

 

ඔබ සිනමාවට ආ හැටි ඕනෑ තරම් අහලා තියෙන කතාවක්. එහෙත් ඉස්කෝලේ හිටපු කාලයේ..

මම ඉස්කෝලේ යන ළමයෙක් විදියට යන අතරේ මගෙන් ඇහුවා පින්තූරයක් ගන්නද කියලා. මම පාරේ යනවා දැකලා. අපි ඉගෙනගත්තා සංඝමිත්තා කාන්තා විද්‍යාලයේ පිට්ටනියක් තිබුණේ නැහැ. අලුත්ගම ඉස්කෝලේ තමයි පිට්ටනියක් තිබුණේ. අපි යාළුවන් එක්ක කණ්ඩායමක් විදියට මම, තමරා, ටෙක්ලා, චාන්දනී ඇතුළු කණ්ඩායමක් යනකොට තමයි පින්තූරය ගන්නද කියලා ඇහුවේ. ‘ශ්‍රී’ කියලා සඟරාවකට පින්තූරයකට ඉන්න කියලයි කිව්වේ. මම හිතුවා හරි ෂෝක් නේ කියලා. ඒත් මම ඒ කාලයේ ශ්‍රී සඟරාවක් දැකලාත් නෑ. යාළුවෙකුගේ ගවුමක් ඇඳලා පින්තූර ගත්තා. යාළුවා කොට නිසා ඒ ගවුම මට ටිකක් කොටයි. පස්සේ ඒ පින්තූරය ‘සවස’ කියලා හැන්දෑවේ පත්තරේක දාලා. ඒ පින්තූරය දැකලා මාව කවුරුත් හොයාගෙන ආවේ නැහැ. චිත්‍රපටි ආවේ ඒ ෆොටෝ නිසා නෙවෙයි. එක් චිත්‍රපටියක් ලැබුණාට පස්සේ එක දිගට චිත්‍රපටි ගණනාවකට ඉඩකඩ හැදුණා. ඒත් සිනමාවට ආපු හැටි මම දහස් වතාවක් කියලා ඇති. මට ඒ කතාව කියලාත් එපාවෙලා. ඕක නොදන්න කෙනෙකුත් නෑ.

 

ඔබේ මුල් චිත්‍රපටිය තිරගත වෙන්නත් කලින් චිත්‍රපටි විසිඑකකට ගිවිසුම් අත්සන් කර හමාර බව, ඉක්මනින් ජනප්‍රිය වූ බව ප්‍රකට කතාවක්. එලෙස ඇවිදින් සිනමාවෙහි වැඩ කිරීම දැනුණේ කොහොමද?

මේ රටේ අනෙක් කාන්තාවන්ට වඩා විශේෂයක් මට තිබුණේ නැහැ. සාමාන්‍ය ගැහැනු ළමයෙකුගේ තවත් එක් ජීවිතයක් මට තිබුණා. දෙමාපියන් හා සහෝදරියන් එක්ක හිටියා. පන්සල් ගියා. සෙල්ලම් කළා. ඒ විදියේ ජීවිතයක් මට තිබුණේ. එකපාරම සිනමාවට ආරාධනා ගණනාවක් ආවා. ඒ විදියට මට ලැබුණු ජීවිතය වාසනාව කියලා විතරයි මම කියන්නේ. ඒත් වාසනාව කීවාට රිදී බන්දේසියේ නිකන්ම කිසිවක් ගෙනාවේ නැහැ. කියපු දේ මහන්සි වෙලා කළා. මම තීරණ ගන්න බය වුණේ නැහැ.

 

ජනප්‍රියත්වය එක්ක සාමාන්‍ය ජීවිතය අවුල් වුණාද?

එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. මම කොළඹ ගෙයක් ගත්තා. පවුලේ අයත් ඇවිත් කොළඹ නතර වුණා. අම්මාගේ තාත්තා හෙවත් සීයා ආවා. එක දිගට චිත්‍රපටිවලට දින දීලා තිබුණා. ජනප්‍රියත්වය ගැනවත්, වෙන කිසි දෙයක්වත් කල්පනා කරන්න වෙලාවක් තිබුණේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනතුරු වැඩ කළා. පත්තරවලින්, ටීවී වලින් එන්න ගත්තා. හැම වෙලාවෙම කවුරුහරි අපේ ගෙදර. ඒක කරදරයක් වෙන තරම් ආවා. ඒත්, මම ඒවා ඉවසන්න පුරුදු වුණා. හැරිලා බලනකොට ඒ කිසිදෙයක් මට කරදරයක් වුණේ නැහැ. සල්ලි ඕනෑ තරම් ලැබුණා. චිත්‍රපටි කිහිපයක් කරනකොට ගෙයක් ගත්තා, කාර් එකක් ගත්තා, නංගිලා ඉස්කෝලේ යන්න ගත්තා. ආපු නොයෙකුත් ප්‍රශ්න විසඳාගැනීමේ හැකියාව මට තිබුණා. තරුණ වියේදීම මම විවාහ වුණා.

 

සිනමාවේදී වෙනත් අය කැමති දේ කරමින් ජීවත්වෙන්න සිදු වූ බව මීට පෙර වතාවක් ඔබ කියා තිබුණා. කෙට්ටු වෙන්න, මහත් වෙන්න සිද්දවුණ බව…

නිළියක් විදියට මට ඒ ඒ චරිතයට හැඩගැහෙන්න සිද්දවුණා. මම බොහොම ළාබාල වයසේදී තමයි ‘සිරිබෝ අයියා’ චිත්‍රපටියේ එමා නෝනා කියන චරිතය රඟපෑවේ. මට වයස අවුරුදු 17ක් වුණාට ඒ චරිතය මැදිවිය පහුවෙච්ච කාන්තාවකගේ චරිතයක්. කරත්ත ගාලකට එන මිනිසුන්ට සතුට දෙන ගැහැනියක්. කන්න දීලා, දුක සැප බලලා ජීවත්වෙන සමාජයේ අමුතු චරිතයක්. මම කරත්ත ගාල් දැකලාත් නෑ. ඒවායේ ඔය වගේ ගැහැනු ඉන්නවා කියලා ඒ කාලයේ දන්නේත් නැහැ. ඒ චරිතය සිරිබෝ අයියා එක්ක ඇති කරගත්ත ප්‍රේමය මොනවගේ එකක්ද කියලා ඒ කාලේ මම දන්නෙත් නැහැ. පිටපතේ තිබුණ ඒවා හිතින් හදාගෙන රඟපෑවා. අද ඒ චරිතය ලැබුණා නම් මම ඒ ඒ චරිතය එන්නේ මොකාටද කියලා දැනගෙන රඟපාන්නත් ඉඩ තිබුණා. ගමේ ඉඳන් ආපු අසරණ බාල බොළඳියට අරවා කරන්න කිව්වාම හා කිව්වා. ඇඟ වෙළුවා. කොණ්ඩය ඉදෙව්වා. හම කළු කළා. හැම දෙයක්ම මැදිහත් සිතිවිල්ලෙන් බාරගත්තා. කොහොමහරි හැමෝම ඒවා හොඳ රඟපෑම් කියලා අගය කළා.

 

කරුමක්කාරයෝ වගේ චිත්‍රපටිවල වෙනස් චරිත බාරගත්තා නේද?

ඒකනේ. මම ආපු කාලෙත් රැඩිකල්. කරුමක්කාරයෝ, සිරිබෝ අයියා වගේ චිත්‍රපටිවල චරිත මම පොඩි කාලෙම බාරගත්තා. ඒ කාලයේ ගොඩක් අය පුදුම වුණා මේ වගේ චරිත කරන්නේ ඇයිද කියලා. ඒත් මම හරි ආසයි කළු චරිත කරන්න. මොකද අපේ ගෙවල්වල ඉන්නේ කළු චරිත. සමාජය පිරිලා තියෙන්නේ කළු චරිතවලින්. ඇය වෙන ගමකින් කැන්දාගෙන ආ කෙනෙක්. සැමියා ලෙඩෙක් දුකෙක්. සැමියාගේ මල්ලි හරි හැඩකාරයි. ඒ අතරේ තාත්තාත් ට්‍රයි කරනවා. මට ඒ චරිතය රඟපානකොට ඒ චරිතය ගැන දුක හිතුණා.

ආන්දෝලනාත්මක රඟපෑම් මම කළා. සිනමා රසිකයන් බලාපොරොත්තු වුණේ සියුමැලි, කිසි වැරැද්දක් නැති චරිත. අත ඇල්ලුවත් ලැජ්ජාවෙන් දුවගෙන යන විදියේ ගැහැනු චරිත. මේ සමාජයේ වැරදි කරන මිනිසුන් ඉන්නවා කියලා දන්නේ නැහැ වගේ. ගෙදර එහෙම චරිත ඉන්නවා. ඒ ගෙවල්වල ඉන්න මිනිසුන්ගේ චරිත සිනමාවේ රඟපානවාට එයාලා කැමති නෑ. ගෑනු කෙනෙක් පන් ටික අරගෙන එන්න කැලේට ගියාම දහදොළොස් දෙනෙක් දූෂණය කරනවා. යථාර්ථය ඒ වගේ. අපේ අය යථාර්ථය වහගෙන පට්ටපල් බොරුවකනෙ ජීවත්වෙන්නේ. දේශපාලනයේදීත් මම දැක්කේ සිනමාවෙන් මිනිසුන් දකින්න කැමති නැති අඳුරු යථාර්ථය. මට දැන් හිතෙනවා දේශපාලනයත් අල්ලලා යථාර්ථවාදී චිත්‍රපටියක් හදන්න. දේශපාලනය ඇතුළේ ගැහැනිය දෝලනය වෙන විදිය ගැන.

 

දේශපාලනයට ආ හැටි කීවොත්..

මම දේශපාලනයට ආවේ සිරිමා මැතිනිගේ ප්‍රජා අයිතිය අහෝසි කළ වෙලාවේ. ඇය කාන්තාවක් විදියට අසාධාරණයට ලක් වූ නිසා මම ඒකට විරුද්ධව කතාකළා. එදාම මම දැනගත්තා ස්ත්‍රීත්වයට හැමවෙලාවේම අසාධාරණකම් සිද්ධවෙන බව. ඊට වසර ගණනාවක් ගතවෙන තුරු විවිධ දේශපාලන නායකයන් ඡන්දය ඉල්ලන්න කියලා මට කතාකළා. අන්තිමේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදර හිටපු මට එන්න කියලා කීවා. සමහර විට මම ජනප්‍රිය නිසා වේදිකාවට නග්ගාගෙන උදව් ගන්න හිතන්න ඇති. ඒත් ඒ ආරාධනයෙන් මට උනන්දුවක් ඇතිවුණා.

 

ඒ වෙද්දී ඔබට සහ සැමියාට ව්‍යාපාර ගණනාවක් තිබුණා. විශාල ධනයක් තිබුණා…

ඔව්, දේශපාලනයෙන් හම්බ කරගන්න මට ඕනෑ වුණේ නැහැ. දේශපාලනයෙන් අලුතින් නමක් හදාගන්න දෙයක් තිබුණේත් නැහැ. මම හොඳම නිළිය, ජනප්‍රියම නිළිය, නිෂ්පාදිකාව වගේ විවිධ භූමිකාවලින් සම්මාන පවා දිනලා ඉවරයි. නිෂ්පාදිකාවක් විදියට මම කළේ හොඳ චිත්‍රපටි. මට තෘප්තිමත් වෙන්න පුළුවන් ජීවිතයක් තිබුණා. දේශපාලනයට ආවේ අහම්බෙන්. සැමියා සහ දියණිය දේශපාලනයට එනවාට ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු ස්විට්සර්ලන්ත ජාතිකයෙක්නේ. ඔහු ගැහැනියගේ ස්වාධීන මතයට ගරු කළා. ඒ නිසා දේශපාලනයට ආ වෙලාවේ පවුලේ ආරවුලක් වුණේ නැහැ.

ආවාට පස්සේ මම චිත්‍රපටි මොනවත් නොකර දේශපාලනයට අන්තවාදී වුණා. දේශපාලනයෙන් සේවයක් කරන්න පුළුවන් කියලා හිතාගෙන මම ආවේ. ඒත් මට දේශපාලනේට එන්න කියලා කතාකළ අය මොන අරමුණින් කතාකළාද දන්නේ නැහැ. මම දේශපාලනයෙන් පීඩා වින්දා.

 

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයත් ආවා නේද?

මට පුරවැසිභාවය අහිමිවීමෙන් ලොකු පාඩුවක් සිද්ධවුණා. මම විවාහය නිසා ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය ගත්ත කෙනෙක්. මම සල්ලි නැතිව, නම වෙනස් කරගෙන, ආගම වෙනස් කරගෙන ස්විට්සර්ලන්තෙට ගිය කෙනෙක් නෙවෙයි. මම ස්විට්සර්ලන්ත ජාතිකයෙක් එක්ක විවාහ වුණාම ඉබේම ලැබුණු පුරවැසිභාවය ඒක. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට 2015දී හැමෝම අත ඉස්සුවා. මම එතකොට පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. ඒ ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසියන්ට ඡන්දය ඉල්ලන්න බැරි බව තිබුණා නම්, මම ද්විත්ව පුරවැසියෙක් බව දැන දැන ඇයි මේ අය මට නාමයෝජනා දුන්නේ? ඡන්දයට කලින් පුරවැසිභාවය අත්හරින්න කියලා කීවා නම් මම ඡන්දෙට එන්නෙත් නෑ. දහනවවැනි සංශෝධනයට අත උස්සලා තියෙන්නේ ඇතුළේ තියෙන දේ කියවන්නේත් නැතිව වෙන්න ඇති. පක්ෂය කියන විදියට අත උස්සන්න ඇති. දැන් ද්විත්ව පුරවැසිභාවය තිබුණාට කමක් නැහැ කියලා අලුතින් සංශෝධනය කරයි. ඒකට සූදානම් වෙලා කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිල්ලාත් ඉන්නවානේ. ඒත් ද්විත්ව පුරවැසිභාවයේ ප්‍රශ්නය නිසා මගේ ජීවිතයට වෙච්ච අපරාධය ලේසි පාසු එකක් නෙවෙයි. මම ලොකු චිත්ත පීඩාවක් වින්දා. දෙලොවක් අතර හිරවුණා. අදත් මගේ මහත්තයා මගේ මූණ බලන්නේ නෑ. දුවට මානසික පීඩනයක් ආවා. ඒ සියලු දේ මම තමයි අහිමි කරගත්තේ.

 

ඒත් එහෙම වුණේ ඔබ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව අධිකරණයෙන් තීන්දු කළ නිසානේ..

ඒක හරි. මම අධිකරණයට බනිනවා නෙවෙයි. උසාවියේ තීන්දුව අවසන් තීන්දුව. මම ඒක විවේචනය කරන්නේ නැහැ. එහෙත්, මට විරුද්ධව නඩු දැම්ම අයට තිබුණේ මන්ත්‍රීධුරය ඩැහැගැනීමේ චේතනාව මිසක් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ චේතනාවක් නෙවෙයි. තත්වය දැනගත්තාම මම පුරවැසිභාවය ඉවත් කරගෙනයි හිටියේ. පුරවැසිභාවය ඉවත් කරගැනීම නිසා සැමියාගෙනුත් වෙන්වෙන්න සිද්ධවුණා. මට මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නායකයන් ඇමතිකම් ආදි නොයෙක් දේවල් දෙන බවත්, එහෙම වුණොත් පුරවැසිභාවයේ ප්‍රශ්නය අදින්නේ නැති බවත් කීවා. ඒත් මම මගේ විශ්වාසය අනුව විපක්ෂයේ හිටියා. අද ආණ්ඩුවේ සමහරුන්ට ඒවා මතක නැහැ.

 

දේශපාලනයට ආ එක ගැන දැන් හිතේ දුකක් තියෙනවාද?

අනිත් කලාකාරයන් පවා මගේ අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගන්න ඕනෑ. කලාවයි දේශපාලනයයි එකිනෙකට ගැළපෙන්නේ නැහැ. දේශපාලනයේදී ළඟට ගන්නේ වැඩ ටික කරගන්න විතරයි. සම මට්ටමේ ඉන්න අය බලන්නේ අලුතින් එන ජනප්‍රිය අය කපලා දාන්න. දැන් මට වෙලාවකට හිතෙනවා දේශපාලනයට ආ එක මා කළ මෝඩකමක්ද කියලා. දේශපාලනයට වියදම් කළ කෝටි ගාණක සල්ලිවලින් මට දේශපාලනයට නෑවිදින් ජනතාවට වැඩක් කරන්න තිබුණා. මම බොහෝවිට නැවත ඡන්දය ඉල්ලන එකකුත් නැහැ.

 

දුව එක්ක දැන් තියෙන බැඳීම මොනවගේද?

මේ දවස්වල දුව ඉන්නේ ලංකාවේ. එයා වෙනම ගෙදරක නතර වෙලා ඉන්නවා. ඇය මුණගැහිලා, කතාබහ කරනවා. සමහර දවසක පාර්ලිමේන්තුවේ ඉඳන් ඇය මුණගැහෙන්න යනවා. වෙලාව තිබුණොත් ඇය එක්ක ටිකක් නිදාගන්නවා. වෙලාවකට හිතෙනවා ඇයටත්, සැමියාටත් මගෙන් වෙන්න ඕනෑ යුතුකම් කොටස අඩු වුණාදෝ කියලා. මම පුළුවන් උපරිමයෙන් කරන්න ඇති. එහෙත්, අඩුවක් ඇති.

 

ඡන්ද කරන එක ලේසි වුණේ නැහැ නේද?

පළවැනි වතාවේ මම පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ නැහැ. ඒ ඡන්දයේදී මට විරුද්ධව පැතිරවූ කතාවක් තමයි අනර්කලී වගේ ඇවිත්, ඡන්ද අරන් මම යන්න යාවි කියලා. දේශපාලනයේදී ඕනෑ කෙනෙකුට කිසි අනුකම්පාවක් නැතිව ඕනෑ චරිත ඝාතනයක් කරන්න පුළුවන්. ඕනෑ කුණුහරුපයක් කියන්න පුළුවන්. අපේම පැත්තේ අයගෙන් රුදුරු ප්‍රහාරයක් මට එල්ලවුණා. මගේ ආසනයට පක්ෂයෙන් දෙන්නෙක් දාලා හිටියා. සාගර කාරියවසම් හිටියේත් ඒ ආසනයේ. මට ඒ ඡන්දයේදී වැඩිපුර ඡන්ද ලැබුණ නිසා බෙන්තර-ඇල්පිටිය ආසන සංවිධායක විදියට මා දැම්මා. ඡන්දයෙන් පස්සේ මම මිනිසුන් අතරම විවිධ වැඩ කරමින් ගමේම හිටියා. මා ගැන පූර්ව නිගමන ඔක්කෝම බොරු වුණේ මම ඒ විදියට ෆුල් ටයිම් දේශපාලනය කරමින් ගමේ හිටපු නිසායි. මම පළාත් සභාවට පත් වුණා. මම ඡන්දය ඉවරවුණාට පස්සේ කොළඹ ගියේ නැහැ. ගමේම ගෙයක් හදාගත්තා. 2015 ඡන්දයෙන් තේරී පත්වුණේ ඒ විදියට. ඒත් ඒ මන්ත්‍රීධුරය පුරවැසිභාවයේ ප්‍රශ්නය නිසා අහිමිවුණා. ඒකෙන් පසුවත් මම ගම අත්හැරලා ගියේ නැහැ. මිනිසුන් අතරම හිටියා. 2020 ඡන්දෙට ආවේ ඒ විදියට. ෆේස්බුක් එකෙන් සහ කතාවලින් විවිධ මඩගැසීම් ආදිය තිබුණා. මගේ ස්විට්සර්ලන්ත පුරවැසිභාවය තවම අත්හැරලා නැහැ කියලාත් කටකතාවක් ගියා. ඒත් මම ඡන්දයෙන් තේරී පත්වුණා. දැන් ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන්ම දකුණු පළාතට ඉන්න එකම කාන්තාව මම විතරයි. දැන් මට මන්ත්‍රී කෙනෙක් විදියට දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්න නම් අමාරුයි. මට නැතිවෙන්න දේකුත් නෑ. ඇතිවෙන්න දේකුත් නෑ. මම ආපු දේ කරන්න බැරි නම් දේශපාලනයේ ඉන්න එකේ තේරුමක් නෑ.■