‘දිළිඳුකම තුරන් කරමින් ජීවනෝපාය, ආර්ථික කටයුතු තුළින් සවිබල ගැන්වූ ප‍්‍රජාවක්.‘ යන තේමාව 1995 දී සමෘද්ධි වැඩසටහන ආරම්භ කරද්දී තිබුණු තේමාවයි. වසර 25කට ආසන්න කාලයක් තිස්සේ සමෘද්ධි වැඩසටහනට ළඟා වෙන්නට නොහැකි වූ ඉලක්කයද එයයි.

ඒ කතාවේ තේරුම දිළිඳුකම තුරන් කිරීමට රජයේ මුදල් වෙන්කිරීම නරක ප‍්‍රතිපත්තියක් බව නොවේ. කිසිදු මුදලක් ඒ අරමුණ වෙනුවෙන් වෙන් නොකළ යුතු බව නොවේ. සමෘද්ධි සංවර්ධන වැඩසටහන වෙනුවෙන් මෙතෙක් කාලයක් වෙන්කළ මුදල් එලෙසම වෙන් කළ යුතුව තිබුණි. එහෙත් ඒ මුදල් දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ඇත්තටම යෙදවීම කළ යුතුව තිබුණි.

දැන් රටේ මුදල් ඇමතිකම ඉල්ලන දයා ගමගේ මහතා ලංකාවේ ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයාය. සමෘද්ධි අධිකාරිය භාරව ඉන්නේ ඔහුය. ඊට පෙර එස්.බී. දිසානායක ඇමතිවරයාද යහපාලන ආණ්ඩුව යටතේ සමෘද්ධිය භාරව සිටියේය. 

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් දයා ගමගේ ඇමතිවරයාගේ සහභාගීත්වයෙන් සමෘද්ධි නිලධාරීන්ට පත්වීම් ලබාදීමේ උත්සව මෑත දිනවල පැවැත්වීය. අරලියගහ මන්දිරයට පුද්ගලයන්ව ගෙන්වා පැවැත්වූ පත්වීම් ලබාදීමේ එම උත්සවවලින් සිහිපත් වුණේ 2014 ජනාධිපතිවරණය ළංවෙද්දී එකදිගට අරලියගහමන්දිරයේ මෙවැනි උත්සව පවත්වමින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රඟදැක්වූ බාල නාටකයයි.

තවත් ලක්ෂ තුනහමාරකට සමෘද්ධිය ලබාදෙන බව ඒ උත්සවවලදී ඇමතිවරයා උජරුවෙන් කියා තිබුණේ ගැලරියේ විසිල් බලාපොරොත්තුවෙනි. ලංකාවේ සමෘද්ධිලාභීන් ප‍්‍රමාණය ලක්ෂ 20ට නැංවීම ගැන මේ ඇමතිවරයා හරි උනන්දුවෙන් පොරොන්දු වෙමින් ඉන්නේ තමන්ගේම අඳබාලකම ප‍්‍රදර්ශනය කරමින්ය.

මෙවැනි පොරොන්දු දෙමින්, දේශපාලන නායකයන්ගේ මුහුණු සහිත පෝස්ටර් අලවාගනිමින් කයිවාරු ගැසීම වෙනුවෙන් පවත්වන උත්සව බාල නාටක පමණි. ප‍්‍රබුද්ධ දේශපාලනයෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටීමට උත්සාහ කරන අගමැතිවරයාත් මෙවැනි බාල නාටකවල කොටසක් වීමෙන් අගමැතිවරයාගේද සැබෑ ගතිලක්ෂණ හෙළිදරව් වෙයි.

මීට මාස කිහිපයකට පෙර නව සමෘද්ධිලාභීන් ලක්ෂ 6කට සහනාධාර දීම සඳහායැයි උත්සවයක් පැවැත්වීය. ඒ උත්සවයට රුපියල් මිලියන 300ක් පමණ වියදම් කර ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයෙන් පෙන්වාදී තිබුණි. 2019 වර්ෂය මුලදී ලංකාවේ සිටි 1,385,516ක් වූ සමෘද්ධිලාභීන් ප‍්‍රමාණය ලක්ෂ 20ට ඉතා ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ නැංවීම එයින් සිදුකර තිබුණි. ඡුන්දය අභියස එලෙස අලූත් පිරිසකට සමෘද්ධි දෙන්නේ ඇයිදැයි අමුතුවෙන් පැහැදිළි කරන්න  ඕනෑ නැත.

එහෙත් සමෘද්ධි ආධාරය ලෙස ලබාදෙන රුපියල් දෙතුන්දාහක මුදල විශාල දෙයක් ලෙස සලකන අන්දමේ පුරවැසියන්ව මැතිවරණවලදී දිනාගැනීමට සැබෑ වුවමනාවක් තිබුණේනම් ගෙවුණු වසර හතරක කාලයේදී ඔවුන්ට කළ හැකි දේවල් බොහෝ විය. සමෘද්ධියේ මුදල්වලින් වුව සැබෑ නාට්‍යයක් පෙන්වන්නට ඔවුන්ට ඒ කාලය ප‍්‍රමාණවත් විය.

සමෘද්ධිය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගතකරණය කොට ලංකාවේ දිළිඳු ප‍්‍රජාවගේ ජීවිතවලට වැදගත් වෙනස්කම් කිරීමට තරම් කාලයක් ඔවුන්ට තිබුණි. එහෙත් එවැනි ව්‍යාපෘතියකට ආරම්භක පියවරක් පමණක් ඔවුන් ගෙන තිබුණු අතර එයද නිරපරාදේ මුදල් නාස්තියක් පමණක් විය.

ඉලක්ක නෑ

අප මෙහි කරන්දී කතා කරන්නේ සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිවල පසුගිය කාලයේ කල්කිරියාව ගැනය. එයට පදනම් කරගන්නේ මාස කිහිපයකට පෙර සමෘද්ධි ව්‍යාපාරය ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ විගණකාධිපති වාර්තාවකි.

සමෘද්ධියේ ලොකුම ගැටලූව ඉලක්කයක් නොතිබීමයි. සමෘද්ධිලාභියා හා සවිබල ගැන්වීම යනු කුමක්ද  යන්න අර්ථ ගන්වා ප‍්‍රතිලාභින් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කර  නැත. දිළිදුකම තුරන් කිරිමේ නිශ්චිත ඉලක්කයක්  සදහා වැඩසටහන් සැලසුම් කර මෙහෙයවා නැත. ඒ නිසා වාර්ෂිකව විශාල වියදමක් දැරුවත් සමෘද්ධිය ලබන්නට සුදුසු අයව නැවත නැවතත් හඳුනාගැනීමේ ක‍්‍රියාවලියක් නොවීය. උදාහරණයක් ලෙස කලින් සමෘද්ධිලාභියෙක්ව සිට, ඉහළ ආදායමක් ලබා දියුණු වූ අයෙකු සිටීනම් එවැන්නෙක්ව හඳුනාගැනීමට නිශ්චිත අවයවයක් රජයට නැත. දියුණු වීමෙන් පසුවත් එවැන්නෙකුට සමෘද්ධිය ගෙවිය යුතුය.

සමෘද්ධි සහනාධාරයට අමතරව සමෘද්ධියෙන් ලැබෙන තවත් සහන ඇත. අනිවාර්ය ඉතිරිකිරීම්, සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල, සමෘද්ධි නිවාස සංවර්ධන ලොතරැුයි අරමුදල යන ක‍්‍රමවේද යටතේද සමෘද්ධිලාභීන්ට සහන ලැබෙයි. ඊට අමතරව සමෘද්ධි ප‍්‍රජාමූල බැංකු තිබේ. ලංකාව පුරාවට ප‍්‍රජාමූල බැංකු 1074ක් ඇත. ප‍්‍රජාමූල බැංකු සමිති 332ක් රටපුරා ප‍්‍රාදේශීය ලේකම් මට්ටමෙන් ඇත. මුදල් සකසුරුවම, ඉතිරිකිරීම්, ආයෝජනය කිරීම් ආදී ක‍්‍රියාවලට සමෘද්ධිලාභීන්ව පෙළඹවීම බැංකුවල අරමුණ විය. සහනාධාර බෙදීම හැර අන් කිසිදු කටයුත්තක් විධිමත් නැත.

සමෘද්ධිලාභී පවුලක සාමාජිකයෙකු රැුකියා සඳහා විදේශගත වීම, රජයේ රැුකියා ලැබීම, ආදායම් තත්වය ඉහළ යෑම, විශ‍්‍රාම වැටුපක් ලැබීම, අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම, මත්පැනට යොමුවීම හා සූදුවට යොමුවීම යන කාරණාවලින් එකක් හෝ කිහිපයක් මත සහනාධාර අත්හිටුවේමේ හෝ අවලංගු කිරීමේ බලයක් ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට ඇත.

ඒ ක‍්‍රමවේදය විහිළුවක් බව බැලූ බැල්මට පෙනී යයි. ඇතැම් කාරණා ප‍්‍රාදේශීය ලේකම්වරුන් තීරණය කළ හැකිය. එහෙත් සූදුවට යොමු වීම හෝ නොවීම තීරණය කරන්නේ කෙසේද. මත්පැනට යොමුවීම මනින්නේ කෙසේද. ප‍්‍රායෝගිකව සිදුවෙන්නේ ඔය එකදු ක‍්‍රමයක්වත් නොව දේශපාලන වුවමනා මත සමෘද්ධිය ගෙවීම හෝ නොගෙවීමයි.

වෙන්කල මුදල්

2014 වර්ෂය දක්වා එක් පවුලකට මාසයකට ලබා දුන් උපරිම සහනාධාර මුදල  රු 1500 ක් විය. එය වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රු 3,500 ක් දක්වා වැඩි කර තිබුණි.

සමෘද්ධිලාභින්ගේ සහනාධාර හා අනෙකුත් සමෘද්ධි සංවර්ධන කටයුතු වෙනුවෙන් 2013 – 2017 වසර පහේදී කර ඇති සමස්ථ වියදම රුපියල් මිලියන 156,634කි. ඒ වියදමෙන් රුපියල් මිලියන 150,954ක් සමෘද්ධි සහනාධාරය ලෙස මිනිසුන් අතට බෙදා දී ඇත. ලංකාවේ දැන් ජීවන වියදමේ හැටියට දිළිඳුකමෙන් ගොඩ එන්නට නොව, කුමන හෝ එදිනෙදා කටයුත්තක් සඳහා ඒ බිලියන 150ක පමණ මුදල ඔහේ වියදම් කර ඇතිවාට සැක නැත.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවසන් වර්ෂය වූ 2014 දී සමෘද්ධි සහනාධාර වෙනුවෙන් සමස්ථ වියදම ලෙස රුපියල් මිලියන 15,041ක් වියදම් කර තිබුණි. එහෙත් යහපාලන ආණ්ඩුවේ දෙවැනි හා තෙවැනි අවුරුදු දෙක වූ 2016 හා 2017 අවුරුදු දෙකේදී ඒ මුදල රුපියල් මිලියන 40,209 දක්වාත්, ඉන්පසුව රුපියල් මිලියන 40,730 දක්වාත් වැඩිවී තිබුණි. එසේ මුදල් ලබාදී තිබුණේ සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල් ලක්ෂ 14ක් සිටි කාලයේදීය.

2017 අවුරුද්දේදී සමෘද්ධි ප‍්‍රතිලාභීන් සංඛ්‍යාව අඩු කර තිබුණි. ඒ අනුව ලක්ෂ 13.38ක් වූ ප‍්‍රතිලාභීන්ට රුපියල් මිලියන 39,707ක් ගෙවා තිබුණි. ඒ අනුව ආසන්න වශයෙන් මිලියන 40,000ට ආසන්නයේ වියදම ඇත.

ඒ කරුණු සලකා බලද්දී සමෘද්ධි ප‍්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවයි. අඩුම තරමේ තවත් මිලියන 13,000ක් පමණ අලූතෙන් එකතුකළ සමෘද්ධි ප‍්‍රතිලාභීන් ලක්ෂ 6 වෙනුවෙන් වාර්ෂික වියදමට එකතු වනු ඇතැයි තතු දන්නා උදවියගේ අදහසය.

අප ඉහතින් කීවේ වාර්ෂිකව ලබාදුන් සමෘද්ධි සහනාධාර ගැන පමණි. ඒ හැරුණාම සමෘද්ධිලාභින්ට ලබාදෙන අනෙකුත් පහසුකම් සඳහාත් වාර්ෂිකව මුදල් වෙන්කරයි. 2014 ජනාධිපතිවරණය අස්සේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 2,325ක් වෙන්කර තිබුණි. 2016 දී ඒ වියදම රුපියල් මිලියන 1,141ක් විය. 2017 දී රුපියල් මිලියන 1,148ක් විය.

කලින් කී සියලූ මුදල් ගණනය කළ පසුව 2016 දී එක් සමෘද්ධිලාභී පවුලක් වෙනුවෙන් කර ඇති සාමාන්‍ය වියදම රුපියල් 28,352කි. 2017 දී එක් පවුලකට රුපියල් 29,761ක් වෙන්කර තිබුණි. ඒ සාමාන්‍ය මාසික වැටුපක් තරම් මුදලකි. එලෙස මුදල් වෙන්කිරීම ගැටලූවක් නැත. ගැටලූව වන්නේ සුදුස්සන්ට ඒ මුදල නොලැබීමත්, සැබෑ ලෙසම දිළිඳු පුද්ගලයන්ගේ ජීවන තත්වය වෙස් කිරීමට තරම් බලපෑමක් එමගින් සිදු නොවීමත්ය.

සංගණනය

සමෘද්ධි අරමුදල් ලබාදීම දේශපාලන සෙල්ලමක් නොවීම අත්‍යාවශ්‍ය කාරණයකි. සැබෑ සුදුස්සන්ට ඒ මුදල් ලබාදිය යුතුය. ඒ සඳහා සමෘද්ධි ලැබීමට සුදුසු පවුල් සෙවීම සඳහා සංගණනයක් කළ යුතුය. යහපාලන ආණ්ඩුව ඒ අඩුව පුරවමින් සංගණනයක් කළේය. 2015-2017 වර්ෂ අතර කාළය තුළ රු මිලියන 80 ක වියදමක් දරමින් එම සංගණනය ක‍්‍රියාත්මක කර ඇත.

එමගින් ප‍්‍රතිලාභ ලබමින් සිටි පවුල් 1,403,021 ක් හා අළුතින් හදුනාගත් පවුල් 519,753 ක් ඇතුළත්ව පවුල් 1,922,774 ක තොරතුරු ලබාගෙන ප‍්‍රමුඛතා ලේඛන සකස්කර තිබුණි. එහෙත් ඒ ලැයිස්තුව මධ්‍යස්ථ මැදිහත්වීමකින් සැබෑ වුවමනා මත සකස් කළ එකක් නොවන බවට පැහැදිළි චෝදනා එල්ලවිය. හිටපු ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් වෙනුවට වත්මන් ආණ්ඩුවේ දේශපාලන හිතවතුන්ට සහනාධාර දීමෙන් ඒ ලැයිස්තුව හැ¥ බවට චෝදනා එල්ලවිය.

ලැයිස්තුව 2017 දී ප‍්‍රසිද්ධ කර අතර එයට එරෙහිව දිවයින පුරා විරෝධතා මතුවිය. එහි ප‍්‍රතිඵලය ලෙස ආණ්ඩුව කළේ පසුගිය වසර කිහිපය තුළ බොහෝ ක්ෂේත‍්‍රවලට අදාලව ගත් පියවරයි. එනම්, තමන්ම පටන්ගත් ව්‍යාපෘතිය තමන්ම නැවැත්වීමයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2017 අගෝස්තුවේ නව ලැයිස්තුව වැරදි බවත්, දැනට ප‍්‍රතිලාභ ලබන කිසිවෙකුගේ නම් ඉවත් නොකරන බවත් සඳහන් කරමින් පුවත්පත් දැන්වීම් පළ කර තිබුණි. ඒ පුවත්පත් දැන්වීම්වලට රුපියල් මිලියන 1.3ක වියදමක් දරා තිබුණි. ඒ අනුව මේ ව්‍යාපෘතිය සම්පූර්ණ පාඩුවක් විය.

සමෘද්ධියේ වෙනසක් නොවීය. අලූත් ප‍්‍රතිලාභීන්ව දැන් සිටින ගොඩටම එකතු කළේය. ඒ අනුව වියදමත් වැඩි විය.

ජන හා සංඛ්‍යා ලේඛණ  දෙපාර්තුමේන්තුවේ වෙබ් පිටුවෙන් ලබා ගත් ද්‍රරිද්‍රතා දර්ශකයන්ට අනුව ශ‍්‍රි ලංකාවේ දිස්ත‍්‍රික් මට්ටමින් පවතින ද්‍රරිදතාවය සලකා බලද්දී, දරිද්‍රතාවය වැඩිපුර ඇති දිස්ත‍්‍රික්කවලට සාධාරණ ලෙස සමෘද්ධිය බෙදී නොයන බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.

වංචා

සමෘද්ධි ප‍්‍රජාමූල බැංකුවල ඇත්තේද අඩුපාඩුමය. ඔවුන් තවමත් අනූව දශකයේ ක‍්‍රමවේද අනුගමනය කිරීම ලොකුම අවුලකි. එමෙන්ම ප‍්‍රජාමූල බැංකුව ඇතැම් අවස්ථාවල ගණුදෙනුකරුවන්ව පීඩාවට පත් කරන බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වයි.

ප‍්‍රජාමුල බැංකු හා බැංකු සමිති පද්ධතිය තුළ වාර්ෂිකව දිගින් දිගටම මුල්‍ය වංචාවක් සිදුවන බවට අනාවරණය කරගෙන තිබෙන නමුත් ඒ සම්බන්ධ විමර්ශණ කටයුතු මන්දගාමී අයුරකින් සිදු කිරිම මත අලාභ  නැවත අය කර ගැනිමටත් වරදකරුවන් අනාවරණය කරගෙන  දඩුවම් පැමිණවීමටත්  නොහැකි විම වංචාවන් ඉහළයාම කෙරෙහි  බලපා ඇති බවට නිරික්ෂණය විය. 2014 වර්ෂයට පෙර ශ‍්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක වු බැංකු හා බැංකු සමිති 18ක අණාවරණය කරගෙන තිබූ මුල්‍ය වංචාවන් හි වටිනාකම රු 12,023,000ක්ද,  දිවි නැගුම සංවර්ධන  දෙපාර්තුමේන්තුවේ  ස්ථාපිත කිරිමෙන් පසුව 2014 වර්ෂයේ සිට  2016 වර්ෂය දක්වා බැංකු හා බැංකු සමිති 63 ක සිදු කර තිබු වංචාවන්හි වටිනාකම  රු 108,902,167ක්ද විය. තවද බැංකු හා බැංකු සමිති 25ක මුල්‍ය වංචාවන් සිදු කර ඇති බවට අනාවරණය කර ගෙන තිබු නමුත් ඒවායේ ප‍්‍රමාණය ගණනය කර නොතිබුණි.

ඡන්දය ළංවෙද්දී යහපාලන ආණ්ඩුව සමෘද්ධිය ගැන කයිවාරු ගසනු ඇත. දයා ගමගේ ඇමතිවරයා දැනටමත් මුදල් ඇමතිකම ගෙන රට හදා පෙන්වන හැටි කියා ඇත. එහෙත් රාජපක්ෂලා දිවිනැගුම ලෙස නාමකරණය කළ සමෘද්ධියේ බෝඞ් ලෑල්ල මාරු කිරීම හැර යහපාලන ආණ්ඩුවෙන් සමෘද්ධියට කර ඇති යහපතක් නැත.