මේ රටේ දේශපාලනය අලූත් විය යුතු යැයි මේ දවස්වල වැඩියෙන්ම කියන්නේ 2015 ජනවාරියේ ආණ්ඩු වෙනසට මුල් වුණු කණ්ඩායමේ සිවිල් සංවිධාන නායකයෝය. මේ කාණ්ඩයට ධම්ම දිසානායක මහතා කියන්නේ ‘ජනවාරිවරු’ කියාය. මේ ජනාධිපතිවරයා හා මේ ආණ්ඩුව හදන්නට මහන්සි වූ මේ සමහර සිවිල් සංවිධාන සාමාජිකයන් අනිද්දා පත‍්‍රයේ ලියන ලිපි දෙස බැලූවිට පෙනී යන්නේ ඒ අයට සිදුවී තියෙන්නේ සැත්කම වැරදී ලෙඩා මරණයට පත් වූ විටෙක දොස්තර මහතාට මුහුණ දෙන්නට වෙන ආකාරයේ සන්තෑසියකට බවය.
ඒ කෙසේ වෙතත් දැන් රට මුහුණ දෙන්නේ අලූත් නායකයෙකු හදන්නට නොව අලූත් දේශපාලනයක් හදන්නට හැකි ව්‍යාපෘතියක් හදන්නේ කෙසේද කියන කාරණය නිරවුල් කර ගැනීමටය.

බි‍්‍රතාන්‍යයන්ගේ පාලනයෙන් පසුව අප තනියම රට පාලනය කර අද පැමිණ තියෙන තත්වය කුමක්දැයි කියන කාරණය ගැන සිතීම මෙහිදී ඉතාමත් වැදගත්ය. මේක හරියට සමාන වන්නේ කොම්පැනියක් විදේශීය අධ්‍යක්ෂ මණ්ඩලයක් පාලනය කරගෙන ගොස් අපේ රටේ අධ්‍යක්ෂවරුන්ට භාරදී අපේ පාලනයක් යටතේ වසර 70 ගතවූවාට පසුව කොම්පැනියේ තත්වය නිරීක්ෂණය කිරීම වැනි කාරණයකටය. බැලූ බැල්මටම පෙනෙන්නේ ලාභ ලබමින් තිබූ කොම්පැනියක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කිරීමෙන් පසු කොම්පැනියම නැත්තටම නැතිවී ගිය සේයාවක් ය. ලාභ ලැබීම නැවතුණා පමණක් නොව පාඩු ලැබීමේ සීමාවත් පැන ගොස් ණය ගැනීමේ සීමාවත් නැතිවන තැනට වසර 70ක් අපේ පාලනය යටතේ කොම්පැනිය පත් වී ඇත. දැනටත් අධ්‍යක්ෂවරුන් ලෙසින් මන්ත‍්‍රීවරුන් 225 වසර 6කට වරක් රටේ ප‍්‍රතිපත්ති හා නීති සදන්නටත් නිසි උපක‍්‍රමික තීන්දු තීරණ ගැනීම පිණිස පත්වෙන අතර ඒ අය වැඩි වශයෙන් උනන්දු වන්නේ තව තවත් ණය ගනිමින් තම තමන්ට හොඳ වාහන හොඳ ගෙවල් නිතර විදේශ සංචාර වැනි දේවල් ලබා ගැනීම ගැන මිස කොම්පැනියේ අනාගතය (රටේ අනාගතය) ගැන නොවේ. මේ මොහොතේ අප ඇසිය යුතුම ප‍්‍රශ්නය වන්නේ නිදහසින් වසර 70කට පසුව රටට මෙහෙම වූයේ ඇයි සහ දැන් අප කළ යුත්තේ කුමක්ද යන ප‍්‍රශ්නයයි.

මා මීට පෙර වෙනත් පුවත්පතක ලියූ සටහනකින් කියු පරිදි අපි මුලින්ම තේරුම් ගත යුතු කාරණයක් වන්නේ ලැබුණු දේශපාලන නිදහසත් සමග අපේ රට නිසි ආකාරයෙන් ගොඩ නගන්නේ කෙසේ දැයි මෙරට සිංහල සමාජයේ සිදුවූ සාකච්ඡාව ප‍්‍රධාන දාර්ශනික ධාරාවන් තුනක් මත පදනම් වූ බවය. මේ දාර්ශනික පදනම් තුන මා නම් නරන්නේ එක් පැත්තකින් වෙළෙඳපොළ ආර්ථිකය පදනම් වූ ධනේශ්වර අර්ථ ක‍්‍රමයෙන්ද දෙවනුව එම ධනේශ්වර සාමාජ ආර්ථික ක‍්‍රමයට ප‍්‍රතිපක්ෂ ව්‍යාපෘතිය ලෙසින් මතුවූ මාක්ස්වාදී දේශපාලනයද තුන්වෙනුව යටත්විජිත පාලනයට එරෙහිව නැගී සිටි ස්වදේශිකවාදී දේශපාලනයද ලෙසින් වූ ස්ථාවරයන් තුනක් අපේ රටේ ප‍්‍රතිපත්ති සම්පාදනය කෙරෙහි බරපතළ අයුරින් බලපානු ලැබූ බවය. හැමෝටම තේරුම් ගැනීමට පහසුවන පරිදි කිවහොත් මේ දාර්ශනික ස්ථාවර තුන මේ රටේ සාකච්ඡුා වන්නේ පිළිවෙළින් ඇඩම් ස්මිත් කාල්මාක්ස් සහ අනගාරික ධර්මපාල යන චින්තකයන්ගේ මතවාද හරහා යැයි සරලව කීමේ වැරැුද්දක් ද නැත. නිදහසින් පසු මේ රටේ දේශපාලනය සංවිධානය කළ මුරගල් තුන වන්නේ මේ තුන්දෙනාගේ දාර්ශනික ධාරාවන් තුනය. එජාපය හැමදාම සිටියේ වෙළෙඳපොළ ධනවාදය පැත්තේය. ඇඩම් ස්මිත්ගේ පැත්තේය. සාම්ප‍්‍රදායික වාමාංශය හා ජවිපෙ වැනි පක්ෂ ආරම්භ වූයේ ම මාක්ස්වාදය පැත්තෙන්ය. කාල් මාර්ක්ස්ගේ පැත්තේය. ශ‍්‍ර‍්‍රීලනිපය හා ජාතිකමය වූ පක්ෂ මතුවුණේ ස්වදේශිකවාදයේ පැත්තෙන්ය. ඒ කියන්නේ ධර්මපාලගේ පැත්තෙන්ය. මේ බෙදීම තනිකරම නිශ්චිත හා ‘හරි හතරැුස්’ දෙයක් නොවූවත් පසුගි ය වසර 70 මේ රටේ ප‍්‍රධාන ධාරාවේ දේශපාලනය සංවිධානය වූයේම මේ චින්තන ති‍්‍රකෝණයේ සීමාව ඇතුළේය. දැන් මේ සීමාවන් ඇතුළත නිදහස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති සහ නීති සම්පාදනය පැත්තෙන් අප සිටින්නේ එහාට යන්නත් බැරි මෙහාට එන්නත් බැරි බරපතළ අවුලක පැටලිලාය. එක කාණ්ඩයක් හදන්නේ රාජ්‍යය හකුළුවා වෙළෙඳපොළ පමණක් තියා ගන්නටය. අනෙක් කාණ්ඩය හදන්නේ වෙළෙඳපොළ නිර්ධන පන්තිය අතට ගෙන ඒ අයගේ පන්ති ආඥාදායකත්වයක් හරහා රට පාලනය කරන්නටය. මේ දෙකටම නැති අය හදන්නේ සුභසාධනයට ප‍්‍රමුඛත්වය දීමට එක් පැත්තකිනුත් යටත් විජිතය පටන් ගත් කාලයේ තත්වයට යළිත් ගමන් කිරීම තව පැත්තකිනුත් එල්ල කරගත් පාලනයකටය. 1948 සිට 1977 වෙනකල්ම පැවතුණේ මේ වගේ විසමකෝණී ත‍්‍රිකෝණයක් ආකාරයේ දේශපාලන හුවමාරුවක් බව පැහැදිලි කාරණයක්ය. එක්කෝ අපි නැවතුණේ ඇඩම් ස්මිත් ළඟය. නැත්නම් කාල් මාක්ස් ළඟය. එහෙමත් නැත්නම් ධර්මපාල ළඟය. දැන් අප සිටින්නේ මේ ත‍්‍රිකෝණයේ කොයි පැත්තේද යන කාරණය තේරුම් ගැනීමත් නායකයන් මාරු කිරීමට වඩා පළල් දේශපාලනමය වූ ප‍්‍රතිපත්ති පිළිබඳ තේරුම් ගැනීමක් දක්වා අලූත් වූ දේශපාලනයක් හදන්නේ කෙසේද යන කාරණය අපේ න්‍යාය පත‍්‍රවලට ඇතුළත් කිරීමත් මේ මොහොතේ වැදගත්ම කාරණා බව මගේ අදහසයි.

චරිත හේරත්