අද (20), ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අද්විතීය දිනයකි. ඒ, අලුත් පාර්ලිමේන්තුවක් මුල් වරට රැස්වන විශේෂිත දිනය වීම නිසා නොව. එල්ලුම්ගසට නියම වී සිටින මිනීමරුවෙකු අපේ උත්තරීතර පාර්ලිමේන්තුවේ එදාට අසුන් ගන්නා බව කියන නිසා ය. එය ‘සාමාන්‍ය’ සිදුවීමකැයි ඉතිරි 224 දෙනා විශ්වාස කරන සෙයක් පෙනී යයි. නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජී. ඇල්. පීරිස්ට අනුව, එල්ලුම් ගසට නියම වූ පුද්ගලයෙකු වූවත්, අවසාන අධිකරණයෙන් (ශ්‍රේෂ්ඨාධිකරණයෙන්) එම දඬුවම සනාථ කරන තෙක් ‘අහිංසකයෙකු’ වශයෙන් සැලකිය යුතුලු. රාජපක්ෂ දේශපාලනය තුළ නීතිය සහ යුක්ති ධර්මයත්, ශිෂ්ටත්වයත් අර්ථකථනය කරන්නේ එයාකාරයෙනි. 

දැන් අලුත් අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දී වැඩ භාරගෙන තිබේ. ඒ අතරින් කිහිප දෙනෙකුම බරපතළ නඩු ගණනාවක තවමත් විත්තිකරුවන් වශයෙන් සිටින බව පසුගියදා මාධ්‍ය වාර්තා කෙළේය. එය ඇත්තක්දැයි නොදනිතත්, ඇත්තක් වුවත් පුදුමයක් නොවෙතැයි දනිමි. පුදුමය වන්නේ, ඔවුන්ගෙන් එක් අයෙකු හෝ අනාගතයේදී වැරදිකරුවෙකු වී දඬුවම් ලැබුවොත් ය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය යනු, සාමාන්‍ය අර්ථයෙන් ගත් විට, ජනතාව දැනුවත් කිරීම, ජනතා කැමැත්ත ලබා ගැනීම, ආර්ථික සහ සමාජ සංවර්ධනය ඇති කිරීම, ඒ සඳහා ප්‍රචාරණය කිරීම, රැස්වීම් පැවැත්වීම සහ සංවාද කිරීම ආදියයි. අසාමාන්‍ය අර්ථයකින් ගැනෙන දේශපාලනයක්ද තිබේ. එහිදී, මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම, මාධ්‍යවේදීන් පැහැරගෙන යාම සහ ඝාතනය කිරීම, මහපරිමාණ දූෂණ සහ මුදල් විශුද්ධි කිරීම ආදි තවත් නොයෙකුත් අංග ඊට එක් වෙයි. අද රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ ඉහත කී එල්ලුම්ගසට නියම වී සිටින පුද්ගලයාට අමතරව, තවත් මිනීමැරුමක් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ද සිටී. විශේෂත්වය වන්නේ, ඔහු අතින් ඝාතනය වී ඇත්තේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමයි. ඊළඟ විශේෂත්වය වන්නේ, මේ මිනීමරුවන් දෙන්නාම එකම පක්ෂයක් නියෝජනය කිරීමයි. එය අහම්බයක්ද, නැත්නම් සංස්කෘතියක්ද? 

2005-2015 අතර කාලයේ රාජපක්ෂ දේශපාලනය තුළ මේ දෙවැනුව කී අංග යහමින් තිබුණි. එය, ඊට කලින් කිසි රාජ්‍ය පාලන කාලයක් තුළ දක්නට නොලැබුණු තත්වයකි. ඒ නිසා, එම රෙජිමයට සම්බන්ධව සිටි බොහෝ දෙනා 2015 සිට මේ මෑතක් දක්වා රහස් පොලීසිය, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අධිකරණය ආදි ස්ථානවල නිතර සිටිනු මාධ්‍ය ඔස්සේ දකින්ට ලැබුණි.

ලංකාව වැනි බහු-වාර්ගික සහ බහු-ආගමික රටක දේශපාලනය තුළ තවත් වැදගත් අංගයක් ගැබ් වෙයි. ඒ, ජාතිවාදය සහ ආගම්වාදයයි. එවිට, ඉහතින් කී ජනතාව දැනුවත් කිරීම වශයෙන් බොහෝ විට සිද්ධ වන්නේ, ජාතිය සහ ආගම මත ජනතාව දක්කාගෙන යාමයි. එය, බහුජාතිය/බහුආගම නියෝජනය කෙරෙන දේශපාලනයට මෙන්ම, සුළු ජාතීන්/සුළු ආගම් නියෝජනය කෙරෙන දේශපාලනයටත් එක සේ පාවිච්චියට ගැනේ.

අභිනවයෙන් අධිකරණ අමාත්‍ය ධුරයට පත් ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ වාර්ගිකත්වය දඩමීමා කරගැනීමට ඇතැම්හු තැත් කරන්නේ ඒ සන්දර්භය තුළ ය. ඒ අනුව, සරත් වීරසේකර ලැබූ රාජ්‍ය අමාත්‍ය ධුරය සමග අලි සබ්රිට ලැබුණු කැබිනට් ඇමති ධුරය විවේචනාත්මකව සසඳනු දක්නට ලැබේ. මෙය, නැවත වරක්, ජාතිවාදය ඔස්සේම පිටපොට පටලවා ගැනීමකි.         

බලය ලබා ගැනීම සඳහා ජාතිවාදය පහසුවෙන් පාවිච්චියට ගත හැකි වෙතත්, බලය පවත්වාගෙන යාමේදී එතරම් පහසුවෙන් එය පාවිච්චියට ගැනීම ප්‍රායෝගික නැත. මුස්ලිම් ව්‍යාපාර හරහා සිංහල ජාතිය වඳ කෙරෙන විවිධ ටොෆි වර්ග බෙදා හැරෙන බවට පැවති ප්‍රචාරයක් දකුණේ ජන විඥානය තුළ අරක්ගත් කාලය සිහියට ගන්න. කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ගැන දකුණේ ඇති කෙරුණු වෛරී හාහෝව මතකයට ගන්න. තවත් එවැනි සිද්ධි රාශියකි. ඒ සියලු ව්‍යාපාර දියත් කළ සහ විවිධ ආකාරයෙන් ඒවා සමාජගත කළ දේශපාලනික ධාරාව අද බලය හොබවයි. ඉතිං, මේ කාලය තුළ, වඳපෙති ගැන, ෂරියා විශ්වවිද්‍යාල ගැන හෝ වෛද්‍ය සාෆිලා ගැන ආස්වාදනීය තරංග ඔස්සේ ඔබට අසන්නට නොලැබෙනු ඇත.

පුංචි කාලේ ළමෝ සෙල්ලම් ගෙවල් දමති. එහිදී දෙන්නෙක් අතින’ත ගනිති. ඉන් එක් අයෙක්, මේ සෙල්ලම ‘සීරියස්’ අරගෙන, වැඩිවිය පත්විටත් අර සහකරුවාම/සහකාරියම පතයි. එය නොකෙරෙන විට හෝ කෙරුණු පසු අසාර්ථක වූ විට, ‘ද්‍රෝහී’ වීමකට හෝ ‘අතරමං’ වීමකට තමන් ලක්විණැයි සිතයි.

දේශපාලනඥයා අටවන සෙල්ලමට වගකිව යුත්තේ, එය සෙල්ලමක් වශයෙන් පමණක් පාවිච්චියට ගැනීමට බලන දේශපාලනඥයාට වඩා, එය ‘සීරියස්’ විදිහට (බරසාර විදිහට) ගන්නා තැනැත්තා බව කෙටියෙන් කිව යුතුව තිබේ.

ජාතිවාදී සෙල්ලම බරසාර විදිහට නොගත යුතු බවක් මෙයින් අදහස් නොවේ. එය බරසාර විය යුත්තේ, මොන අර්ථයෙන්ද යන්නයි වැදගත් වන්නේ. වඳපෙති හෝ වෛද්‍ය සාෆි පිළිබඳ මිථ්‍යාව හරහා විශාල විනාශයක් යම් දවසක මේ රටේ ඇති විය හැකි යැයි බරසාරව ගැනීම අත්‍යන්තයෙන්ම යුක්ති යුක්තයි. එහෙත්, අනිත් අතට, ඒ ප්‍රබන්ධ කතාවල්, අත්දුටු සත්‍යයක් වශයෙන් ගෙන, ඒ කතාවේ ඉදිරි මාර්ගය කතාවේ කතුවරුන් විසින් ‘තාර්කික’ අවසානයකට ගෙන යනු ඇතැයි (සාෆිව හිරේට නියම වෙනු ඇතැයි) බලාපොරොත්තු වීම, මෝඩ ‘සීරියස්’ ය. අර, පුංචි කාලේ සෙල්ලම් මඟුල ‘සීරියස්’ විදිහට ගත්තා සේ ය.

මේ ලිපියෙන් අදහස් කරන්නේ අලි සබ්රිගේ සහ සරත් වීරසේකරගේ පත්වීම් ‘සෙල්ලම් ගෙයින්’ එළියට ගැනීමටයි. එහිදී, ඔවුන් අයත් ජනවර්ගය හෝ ආගම අදාළ නැත. ඇත්ත වශයෙන්ම, ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය ධුරය අලි සබ්රිට පිරිනමන්නේ ඔහු මාර්ගයෙන් මුස්ලිම් ජනතාව තමන්ගේ ආණ්ඩුව තුළ නියෝජනය කැරැවීමට නොවන බව ඉතා පැහැදිලියි. අලි සබ්රි වුවත්, තමන් එවැනි නියෝජිතයෙකැයි නොසිතන බවත් පැහැදිලියි. ඒ නිසා මෙය ‘ජාතියෙන්’ පිටතට ගත යුතුය.   

අපේ ස්වාධීන ආයතන තිබියදීත් අධිකරණ ඇමතිවරයෙකුට කළ හැකි බලපැම් කවරාකාරදැයි හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ප්‍රසිද්ධියේම පෙන්වා දී ඇත. වර්තමාන රජයේ ප්‍රධානියෙකු අත්අඩංගුවට ගැනීම එදා තමන් මැදිහත් වී නතර කෙළේ යැයි විජයදාස රාජපක්ෂ පසුගිය මැතිවරණ සමයේදී කීවේය. ඔහුගේ ඒ ප්‍රකාශය සම වුණේ, ගෙදර යන ගමන් තමන්ට එන්නැයි කියා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පදවියක් ප්‍රදානය කළ බව හෙළි කළ තැනැත්තියගේ කතාවටයි.

අලි සබ්රි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ පාර්ශ්වයේ නඩු ගණනාවකට පෙනී සිටි සහ පෙනී සිටින ප්‍රමුඛ පෙළේ ජනාධිපති නීතිඥවරයෙකි. මේ ලියුම්කරු සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර එක්ව ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් පැවරූ නඩුවටත් අලි සබ්රි පෙනී සිටියේය. අපේ නඩුව වීසි විය. ඊට සතියකට පමණ පසු ඒ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් අලි සබ්රි මුහුණුපොතේ සටහනක් තබමින්, අපේ නම්වලින් ආමන්ත්‍රණය කොට, “මේ නිහඬ බව බිඳින්න-තව මොනවා හරි කරන්න” යැයි අපට කෝචොක් කොට තිබුණි. අලි සබ්රි මුස්ලිම් වූවත්, ඔහු අධ්‍යාපනික පෝෂණය ලද එක් සම්භාව්‍ය කෘතියක් වන්නේ සිංහල ‘ගුත්තිලය’ බව පසුගියදා කීවේය. එය ඔහු කීවේ තමා දෙස ජාතිවාදී ආකාරයෙන් බලන සිංහල මිනිසුන්ගේ දැනගැනීම සඳහා විය යුතුය. මීට වසර 54 කට කලින් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සඳහා මා කියැවූ ‘ගුත්තිලයේ’ එක තැනක මෙසේද තිබුණි: “කිරි දියෙනි දෙවියත්- අඟුරු සුදු වන කලෙක් නම් නැත්.”

ඔහු ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සියලු නඩුවලට පෙනී සිට ඇත්තේ නොමිලේ බව අප දැනගත්තේ මෑතකදී ය. එසේ නම් එය, වෘත්තීය/ව්‍යාපාරික මැදිහත්වීමක් නොව, දේශපාලනික මැදිහත් වීමකි. මෙහිදී ඔහු නොකියන කාරණයක් තිබේ. එනම්, දේශපාලනික මැදිහත්වීම්වලටද ‘මිලක්’ ඇති බව ය. ගෝඨාභය රාජපක්ෂ දැන් අලි සබ්රිට කැබිනට් ඇමති ධුරයක් දීම මගින් පෙන්වා තිබෙන්නේ එම කාරණයයි. මා මතු කරන කාරණය වන්නේ, ඔහුගේ එම සේවාවේ ‘වටිනාකම’ රාජපක්ෂලා තක්සේරු කොට ඇති ආකාරයේ ස්වභාවය අප සැලකිල්ලට ගත යුතු බවයි. එවිට ‘රාජපක්ෂ දේශපාලනය’ නිරාවරණය කරගත හැකිය.  

සරත් වීරසේකර මීට ඉහතදී අවුරුදු පහක් පාර්ලිමේන්තුව නියෝජනය කොට තිබේ. ඒ, නැගෙනහිර පළාතෙනි. මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු කොළඹින් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින්, එතෙක් එම කඳවුරේ ප්‍රමුඛයා වශයෙන් සිටි විමල් වීරවංශවත් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් දෙවැනි තැනට පත්කෙළේය. විමල් වීරවංශ සහ සරත් වීරසේකර නියෝජනය කරන්නේ සමාන මතවාදයකි. එය, රාජපක්ෂලාගෙනුත් එහාට ගිය සිංහල-බෞද්ධ මතවාදයක් වශයෙන් හැඳින්විය හැකිය. එහිදී වීරවංශ, ජාතිවාදී නැඹුරුවක් පෙන්නුම් කරන අතර, වීරසේකර ජාතිකවාදී නැඹුරුවක් පෙන්නුම් කරයි. ඒ සියල්ල මැද්දේ වීරවංශසට නැති වැදගත් යමක් වීරසේකරට තිබේ. එකක් වන්නේ, යුද පෙරමුණේ සක්‍රිය සහභාගිත්වයයි. එය, වීරවංශගේ ‘මරාගෙන මැරෙන’ කොළඹ උපවාසයට වඩා සක්‍රිය සහ සැබෑ දායකත්වයකි. දෙවැන්න වන්නේ, යුද්ධය අවසානයේ පටන්, සිංහල පැත්තේ කතාව සරත් වීරසේකර ජාත්‍යන්තරයට ගෙන යාමයි. එයත්, වීරවංශගේ රූපවාහිනී කැමරා ඉදිරියේ කරන බෙරිහන්දීමට සපුරා වෙනස් ය. තෙවැන්න වන්නේ, අද පාලකයන් පලු යන්නට විවේචනය කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව එදා පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කළ එකම මන්ත්‍රීවරයා සරත් වීරසේකර වීමයි. විමල් වීරවංශ එදා ඊට පක්ෂව ඡන්දය දුන්නේය.

දැන් සරත් වීරසේකරගේ ඒ සියලු ‘සුදුසුකම්’ කැබිනට් අමාත්‍ය ධුරයක් සඳහා ප්‍රමාණවත් වී නැත. රාජපක්ෂලාගේ ජයග්‍රහණය සඳහා එක ඡන්දයක්වත් උපයා දී ඇති බවට සාක්ෂි නැති, දේශපාලනයට කෝඩුකාරයෙකු වන අලි සබ්රි, රාජපක්ෂලා වෙනුවෙන් කළ නීතිමය සහ අධිකරණමය මැදිහත්වීම්, කැබිනට් අමාත්‍ය ධුරයකින් පිදුම් ලැබීමට තරම් ප්‍රමාණවත් වී තිබේ.

අපේ ‘සෙල්ලම් ගෙය’ පිළිබඳ උපමාවට නැවත හැරෙමු: සරත් වීරසේකර ‘සෙල්ලම් ගෙවල්’ බරසාරව ගනිද්දී, අලි සබ්රි සැබෑ රාජපක්ෂ දේශපාලනයේ ගැලවුම්කාර භූමිකාව රඟපෑවේය. අතීත රාජපක්ෂ දේශපාලනය, කිරෙන් සුද වෙන් කළ නොහැක්කා සේ, අධිකරණ ක්‍රියාදාමයන් තුළ පැටලී තිබුණු එකකි. තවමත් ඒ කිසිවක් අහවර නැත. මල්වානේ මන්දිර සහ මැණික් මලු එකලාසයක් කළ යුතුය. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ සහ වසීම් තාජුඩීන්ගේ සොහොන්ගෙවල් සදහට වසා දැමිය යුතුය.  

දැන් අලි සබ්රි අධිකරණය භාර කැබිනට් ඇමතිවරයා ය.■