කොරෝනා වසංගතය දැන් මුළු රටම වෙළාගෙන ඇත. පොකුරු කතා යන අර්ථයෙන් ගත්තොත් ලංකාවම එකම පොකුරකි. ඒ නිසා, අහවල් පොකුරක් ගැන කියමින්, සීමිත ව්‍යාජ වළල්ලකට රෝග ව්‍යාප්තිය කොටුකොට පෙන්වීමට බැලීමෙන් වැඩක් නැත. ඇත්ත ඇති සැටියෙන් තේරුම්ගත යුතුව තිබේ.
මෙවැනි වෛරසයක් රට පුරා පැතිරුණු පසු පාලකයන්ට සහ බලධාරීන්ට කළ හැකි දේවල් සීමිත ය. එසේ රට පුරා වසංගතය මෙලෙසින් පැතිරීම ගැන මුලින්ම වගකිව යුත්තේ බලධාරීන් ය යන්න සැබෑවක් මුත් එය වෙනම කාරණයකි. දැන් වැදගත් වන්නේ, වර්තමාන අදියරෙන් පසු ජනතාවක් වශයෙන් මේ වසංගතයෙන් ගොඩඒම සම්බන්ධයෙන් තමන් වෙත පවතින ප්‍රජා වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට කවුරුත් වගබලාගැනීමයි. විශේෂයෙන් ජනගහන ඝනත්වය වැඩි තැන්වල වෙසෙන නාගරික ප්‍රජාව තමන්ගේ සුපුරුදු චර්යා රටා වෙනස් කරගැනීම, රටේ කවුරුත් එළියේ යන විට මුඛ ආවරණ පැලඳීම, නියමිත දුරස්ථභාවය තබා ගැනීම සහ සෑම විටකදීම සබන් යොදා අත් සෝදා ගැනීම ආදී සමස්ත සමාජයක් වශයෙන් බාරගත යුතු වගකීම් රාශියක් සෑම පුරවැසියෙකුටම තිබේ. ජනතාවක් වශයෙන් රට අභ්‍යන්තරයේ එසේ වගකීම් සහගතව පුරවැසියන් හැසිරෙන අතරේ, (බ්‍රැන්ඩික්ස් මෙන්) තවත් අලුත් රැල්ලක් රටට ඇතුළු වීමට ඉඩ නොතැබීමටත් පාලකයන් වගබලාගත යුතුය. නැත්නම්, ජනතාවගේ පරිස්සම නැවතත් වරක් නාස්ති වනු ඇත.
විද්‍යාවෙන් ඔප්පු කොට නැති කිසිවක් බාර නොගැනීම මගේ සිරිතයි. එහෙත්, විද්‍යාවෙන් ඔප්පු කොට නැති සහ අප නොදන්නා තව බොහෝ දේ ඇති බව පිළිගැනීමට එය බාධාවක් නොවේ. ලෝක ස්වභාවය අනුව, දෙන ලද ඕනෑම මොහොතක, අප අනුභූතිකව දන්නා තරම, දැනුම යන සමස්ත ක්ෂේත්‍රයෙන් සොච්චමක් පමණක් බව, අදටත් අපට පැමිණිය හැකි නිගමනයකි. එසේ වෙතත්, අපේ පැවැත්ම සඳහා අවශ්‍ය කරන දැනුම සහ හදිසියේ අපේ පැවැත්ම සඳහා අවශ්‍ය නොකරන දැනුම යනුවෙන් ඒ කියන ක්ෂේත්‍රය අපට වෙන් කරගත හැකිය. අප නොදන්නා සමස්තයේ තරම අති විශාල විය හැකි වෙතත්, අපේ පැවැත්මට අත්‍යාවශ්‍ය වන මුත් තවම අප නොදන්නා දැනුම, ඒ තරම් අති විශාල නැත.
එසේ වී ඇත්තේ, අපේ පැවැත්ම සඳහා සෘජුව අදාළ වන දැනුමෙන් විශාල කොටසක් මේ වන විටමත් විද්‍යාවෙන් සොයාගෙන ඇති බැවිනි. තවත් කොටසක් තවම සොයාගැනීමට විද්‍යාව පොහොසත් වී නැත. එය, කළු පාට සහ අළු පාට පරිශ්‍රයකි. කළු පාට පරිශ්‍රය විනිවිද දැකීමට සෑහෙන කාලයක් ගතවේවි. අළු පාට පරිශ්‍රය ඊට හුඟාක් කලින් පැහැදිලි කරගත හැකි වේවි.
එතෙක්, අපේ ජීවිත සහ පැවැත්ම තුළ පවතින විවිධ අඳුරු කුහර තුළට, හැකි සෑම අවස්ථාවකම රිංගන්නට බලන සතුරෙකු සිටී. ඒ අවිද්‍යාවයි. ගමනක් යාමට එළියට බහින විට ගෙදර හූනෙකු හැඬූ නිසා අපේ අම්මා ගමන නතර කොට ගෙදර නැවතුනු එක් වතාවක් මම අත්දැකීමෙන් දනිමි. අද ලොකු මහත්තුරු, ටයිකෝට් ඇඳගෙන, කෝටි ගණන් ලස්සණ වාහනේ මිරිස් කරලක් සහ දෙහි ගෙඩියක් එල්ලාගෙන යති. ඒවා දකින විට සිනාසීමට වඩා හඬා වැටීමට සිතෙයි. මන්ද යත්, අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළ ධනස්කන්ධයක් අපතේ ගොස් ඇති සැටි දැකීමෙන් ඇති වන කනගාටුව නිසා ය. දැන්, අර හූනා ගැන හෝ මේ දෙහිගෙඩිය ගැන හෝ මා යමක් ඔප්පු කොට පෙන්විය යුතුද? එසේ ඔප්පු කොට පෙන්වන තෙක්, හුනා සහ දෙහිගෙඩිය තුළ යම් ‘සත්‍යයක්’ ඇතැයි අප බාරගත යුතුද? කොහෙත්ම නැත.
මිනිසුන්ට සාමාන්‍ය දැනුම කියා දෙයක් ඇත්තේ ඒ සඳහා ය. සාමාන්‍ය දැනුම යනුවෙන් මා අදහස් කරන්නේ, මහවැලි ගඟේ දිග හෝ අයිෆල් කුලුනේ උස කොපමණද වැනි දේවල් ගැන ඇති දැනුමක් නොවේ. ලෞකික අත්දැකීම් සහ සාධාරණ තර්ක ඥානය එක්තැන් කරගත් සාමාන්‍ය සිහිබුද්ධියයි. උදාහරණයක් වශයෙන්, 1980 දශකයේ යම් දවසක කතරගම දේවාලයේ සිදුවූ මහා හොරකම සිදුකළ පුද්ගලයන් සොයාගැනීමට තවමත් නොහැකිව සිටින දෙවියෙකුගෙන්, මගේ බයිසිකලය සොරාගත් එකා සොයා දෙන්නැයි කියා, තවත් බයිසිකලයක් ගැනීමට ඇති සල්ලියක් වියදම් කරගෙන බාරහාර වීගෙන කතරගම ගොස් පිණ්සෙන්ඩු වන මිනිසෙකු මුග්ධයෙකු බව කීමට මට විශේෂ විද්‍යාවක් අවශ්‍ය නැත. තට්ටයෙකුගෙන් කොණ්ඩය වැවෙන බෙහෙතක් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමට මට විශේෂ විද්‍යාවක් අවශ්‍ය නැත. කොරෝනා වසංගතයට ප්‍රතිකාරයක් වශයෙන්, ගඟට වතුර කළයක් දාන කාන්තාවක් සෞඛ්‍ය ඇමතිනියක් වශයෙන් සිටින රටක පුරවැසියෙකු වීම ලැජ්ජාවට කාරණයක් වශයෙන් ගැනීමට මට විශේෂ විද්‍යාවක් අවශ්‍ය නැත.
මිථ්‍යාව දෙපැත්තකින් අපව වට කරගනී. පීනස රෝගියෙක් දිනපතා රෑට සීතල වතුර නාගෙන දිනපතා රෑට තඩි කොත්තමල්ලි කෝප්පයක් පානය කරන තත්වයට එය සමාන ය. ඒ නිසා, කොරෝනා වසංගතය සඳහා සොයාගෙන ඇතැයි කියන දේශීය ප්‍රතිකර්ම තුළ ඇති හාස්‍යය පමණක් නොව, එහි ඇති භයානකකමත් සාමාන්‍ය සිහිබුද්ධිය ඇති ඕනෑම කෙනෙකු වටහාගත යුතුව තිබේ.
එහෙත් අසරණකම නිසා හෝ අනුවණකම නිසා බොහෝ මිනිසුන් වංචාකරුවන්ට සහ හොර වෙද්දුන්ට අහුවෙන අවස්ථා එමටයි. මෙහිදීත් වර්ගීකරණයක් ඇති කරගැනීමට මම කැමැත්තෙමි. පිරිමියෙකු නම් ලිංගික බෙලහීනත්වය සුව කර ගැනීමට හෝ ගැහැනියක් නම් නිසි ස්වාමිපුරුෂයෙකු සොයාගැනීමට කට්ටඩියෙකු ළඟට යන අවස්ථාවක් සමාව දිය හැකිය. එය එම පුද්ගලයාට පමණක් අදාල හුදකලා අසරණබවක් ඉදිරියේ කෛරාටිකයෙකු වළ ඉහගෙන කෑමකි. එහෙත් කොරෝනා වැනි මුළු සමාජයක්ම වෙළාගෙන ඇති මාරක වසංගතයක් ඉදිරියේදීත් එවැනි කෛරාටිකයන් සහ ගොඩවෙදුන් කූට ව්‍යාපාරයට බැසීම බලධාරීන් විසින් වහා නතර කළ යුතුව තිබේ. එහෙත් ඛේදයක මහත! බලධාරීන්ම මිථ්‍යාවෙන් ඔළුගෙඩි ඔද්දල් කරගත් විට කෙසේ නම් එසේ වන්නද?
කෑගල්ල ප්‍රදේශයේ යම් තැනක කොරෝනා පැණියක් බෙදාහරිතැයි ආරංචි වී එහි ගිය සෙනග එය ලබාගැනීමට රැස්කකා සිටින ඡායාරූපයක් පසුගියදා දකින්ට ලැබුණි. මීටරයක දුරක් තියා අඩියක දුරක්වත් එහි දක්නට නොවුණි. එහි ප්‍රශ්නයක් නැත. මන්ද යත්, රෝගය බෝ වුණත් එය සුව කරගැනීමේ ඖෂධය තව පැයකින් හෝ දෙකකින් තමන්ට ලැබෙතියි ඒ මෝඩ මිනිසුන් විශ්වාස කළ බැවිනි.
වෘත්තියෙන් මේසන් බාස් කෙනෙකු/කපුවෙකු වන තැනැත්තෙකු මේ ඖෂධය නිපදවා ඇතැයි සමාජ මාධ්‍ය මගින් පසුගිය සතියේ ප්‍රචාරයක් ලබා දුනි. කෙනෙකුගේ වෘත්තියක් නිසාම එම තැනැත්තාගේ වෙනත් සොයා ගැනීමක් අප ප්‍රතික්ෂේප කළ යුතු නැත. එහෙත් ඔහුගේ එම සොයාගැනීම පිළිගත යුත්තේ, ලෝකය පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂාවන්ට යටත්ව මිස මාධ්‍ය විසින් හෝ බලධාරීන් විසින් හුවාදක්වන නිසා නොවේ. අර කී සෞඛ්‍ය ඇමතිනියම ඒ පැණියෙන් හැන්දැක් පානය කරන ඡායාරූපයකුත් මේ ප්‍රවෘත්තිය සමග පළවුණි. කොරෝනා වසංගතය ඉදිරියේ ලංකාවේ සෞඛ්‍ය අංශයේ සාර්ථකත්වය ප්‍රකාරව ප්‍රතිකාර ලබා සුවය ලද චීන ජාතික තරුණියකගේ හිස සිඹගෙන මේ තැනැත්තිය විසින්ම ඇයව ලංකාවෙන් පිටත් කර යැවූ ඡායාරූපය ඔබට මතක ඇතැයි සිතමි. ඒ, අපේ මුල්ම ‘කෝවිඞ් විජයග්‍රහණය’ රටට ප්‍රකාශ කළ අවස්ථාවයි. එතැන් පටන් (පෙබරවාරි 19 පටන්) දැන් මාස දහයක් ගත වී ඇත. මේ කාලයේ යම් දවසක (ඔක්තෝබර් 30) මේ ඇමතිවරිය කොරෝනා වසංගතයෙන් රට බේරාගැනීමට ගඟට මුට්ටියක් දැම්මාය. එදා ලංකාවේ සිටි කොරෝනා ආසාදිත සංඛ්‍යාව 9788 කි. අද එම සංඛ්‍යාව 30,072 කි. එනම්, මුට්ටියේ හාස්කමින් රෝගීන් සංඛ්‍යාව තුනෙන් දෙකක ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත! ඈ මුට්ටිය ගඟට දැමූ දවස වන විට වසංගතයෙන් මියගොස් සිටි සංඛ්‍යාව 18 කි. අද වන විට එය 144 දක්වා වර්ධනය වී තිබේ. එනම් 8 ගුණයක වර්ධනයකි! පෙරේදා (7) අලුතෙන් සොයාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 800 ට අධිකයි! මියගිය අය අතර වයස දවස් 22 ක අතදරුවෙක්ද සිටී. මුට්ටියේ ආනුභාවයක තරම!
ඉහත කී කෑගල්ලේ පැණිය නිපදවූ පුද්ගලයාගේ සුදුසුකම් සොයා බැලීම සාධාරණ නැතැයි සිතන සමහරු, බුද්ධදාස රජතුමා නයෙකුගේ උදරය පලා සැත්කම් කෙළේ එම්.බී.බී.එස්. සහ එෆ්.ආර්.සී.එස්. උපාධි ඇතිව නොවන බව අපට පෙන්වා දෙති. එහෙත් ඒ කවුරුත් හෘදයාබාදයක්/පිළිකාවක් ඇති වූ විට දුවන්නේ නවලෝක, ආසිරි, හේමාස්, ලංකා හෝ ඩර්ඩන්ස් වැනි රෝහලක සේවා සපයන එෆ්.ආර්.සී.එස්. වෛද්‍යවරයෙකු සොයාගෙන මිස ආයුර්වේද වෛද්‍යවරයෙකු සොයාගෙන නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ආයුර්වේදයට නොගොස් රජයේ ඉස්පිරිතාලයට යන අසරණ දුප්පතා පවා, තමන් ප්‍රතිකාර ගැනීමට යන්නේ, ඉහළින්ම විභාග පාස් කළ වෛද්‍යවරුන්ගෙන් බව දනිති. මේ කිසි තැනක -ආයුර්වේදයේ පවා- නිසි උපාධි නැතිව වෛද්‍යවරයෙකු වශයෙන් සේවයට බඳවා නොගනී. එසේම, එවැනි ප්‍රමිතිගත ලියාපදිංචියක් නැතිව, රාජ්‍ය ආයතනවලින් පිටස්තරව හෝ වෙදකම් කිරීම නීතියෙන් තහනම් ය. ඇයි ඒ? බුද්ධදාස රජතුමාගේ කාලයෙන් පසු, විශේෂයෙන් විද්‍යාව අරභයා නව දැනුම් සම්භාරයක් සමාජ සන්තකව ඇති බැවිනි. එයද, පෙරලා, සම්මතය සහ විද්‍යාව මගින් ප්‍රමිතිගත කොට ඇති බැවිනි.
වසංගතයට වඩා මිථ්‍යාව භයානක ය. වසංගතය වැලඳෙන සහ පැතිරෙන ‘විද්‍යාවක්’ තිබේ. එබැවින් එය පාලනය කළ හැක. තුරන් කළ හැක. එහෙත් මිථ්‍යාව එසේ නොවේ. ඊට තර්කයක් නැත. එබැවින් පාලනය කිරීම උගහට ය. මෙවැනි වසංගත කාලයක, වෙනදාට වඩා මිථ්‍යාවට එරෙහිව කෙනෙකු නැඟී සිටිය යුත්තේ එබැවිනි. නාථ දෙවියන් වකුගඩු රෝගයේ නිධානය පෙන්වා දුන්නේය යන්නට වඩා, කාලි මෑණියන් කොරෝනා වසංගතයට බෙහෙතක් සොයා දී ඇතැයි කීම භයානක ය. පසුගිය සති ගණන තිස්සේ මාධ්‍ය හරහා සමාජගත කළ මෙවැනි ගූඪ ප්‍රතිකාර ලැයිස්තුවක් දක්වතොත් මෙසේ ය:

1. කොරෝනාවට බයවෙන්න එපා, බෙහෙත් මං ළඟ තියෙනවා- අබේවර්ධන හෙට්ටිආරච්චි
2. ජනපති අවසර දෙනවා නම් වයිරසයට බෙහෙත මම දෙන්නම්- පස්යාලේ වෙද හාමුදුරුවෝ
3. කනගාටුයි: ජනපති තියා කවුරුත් කතා කළේ නැහැ, මං බෙහෙත පිටරටක විකුණනවා- සෙන්ජිත් රාජගුරු
4. කිසිදු බෙහෙත් ගැල්වීමක්, බීමක් නැත. කොරෝනා සුව කරමි- විශ්වනාත් වෙද මහතා
5. කොරෝනාවලට මේ රහස් ඖෂධ හතර තම්බා බොන්න- ගල්ලෙන් වාසී හිමිනමක්
6. දුමක් අල්ලා කැඳක් පොවා කොරෝනා සුව කළ හැකියි- හෙළ සුවය
7. මං ගාව කොරෝනාවලට බෙහෙත් තියෙනවා, දැන් බයවෙන්න දෙයක් නැහැ- මෙහෙණින් වහන්සේ නමක්
8. දවස් දහයෙන් මුළු ලංකාවම සුවපත් කරනවා- වික්‍රමාරච්චි වෙද මහතා
9. කොරෝනා නසන විශ්වීය රහස මා සතුයි- උදේශා ගංගා මෑණියෝ
10. කොරෝනාවලට බෙහෙතක් අපි ළඟ තියෙනවා. ඒක හැබැයි රහසක්- සීතා අරඹෙපොල
11. කට ගැටගැසූ කළගෙඩි, හිස් බඩ ගඟට අතහැරීමෙන් කොරෝනා වයිරසය අහෝසි වෙයි- එලියන්ත වයිට්

මේ සියලු ප්‍රකාශ, සිහිබුද්ධිය ඇති මිනිසුන්ට නිගා දෙයි. අසරණ ජනයා අන්දවා ගසා කයි. අසාර්ථක දේශපාලනඥයන් සහ හැම කුණු ගොඩක්ම රස කරමින් තලුමැරීමේ විනෝදය මජර ව්‍යාපාරය කරගත් මාධ්‍ය මේ මිථ්‍යාවේ පුරෝගාමීන් ය. පාලකයන්ට අවශ්‍ය නම් ඉතා පහසුවෙන් මේ කූට ක්‍රියා නතර කළ හැකිය. දෘඪ පරීක්ෂාව දීර්ඝ ක්‍රියාවලියක් නිසා මේ කියන පැණිය හදිසියේ අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම කළ නොහැකි නම්, අඩු වශයෙන් අනුභූතිකව එහි සත්‍යාසත්‍යභාවය සොයා බැලිය හැකිය. එය ඉතා පහසුයි. මේ පැණියේ අයිතිකරුවාට එම පැණිය පොවා, දැනට කොරෝනා රෝගීන් සිටින තැනකට ඔහුව ගෙන ගොස් සති දෙකක් නතර කර තබා ඔහුට රෝගය වැලඳේදැයි අත්හදාබැලිය හැකිය. එවැනි පරීක්ෂාවකදී තමා අසාර්ථක වන බව ඔහුමත් දනී. එදා සෞඛ්‍ය ඇමතිනිය ඔහුගේ පැණිය බොන අවස්ථාවේ පවා ඔහු එතැන සිටියේ මුහුණු ආවරණයක් පැලඳගෙන ය. ඒ තරමට, ඔහුට ඔහුගේ ඖෂධය ‘ෂුවර්’ බැවිනි!
ඔහුට ඇති ඒ ටිකිරි මොළය පවා, කෑගල්ලේ පසුගිය දවසක පොරකෑ සිය ගණන් මෝඩ මිනිසුන්ට නොවීම මොන තරම් ඛේදනීය ද!
(ප.ලි): මේ පැණිය ගැන වාර්තාවක් සැපයීමට පත්කළ කමිටුව, එය ප්‍රතිකර්මයක් වශයෙන් නොව, ආහාර අතිරේකයක් වශයෙන් නිර්දේශ කොට ඇතැයි දැන් දැනගැනීමට ලැබුණි. එසේ නම්, මුල සිටම මේ පුද්ගලයාත්, සෞඛ්‍ය ඇමතිනියත්, ඇතැම් මාධ්‍යයත් මේ රටේ ජනතාව ගොනාට අන්දවා ඇති බව ඔප්පු වෙයි. එහෙත් කමිටුවේ එකී සීමිත නිර්දේශය, රටේ සිහිබුද්ධිය වෙනුවෙන් ලද ජයග්‍රහණයක් වශයෙන් මොහොතකටවත් නොසිතන්න. මේ රටේ ඇතැම් මාධ්‍යයන්ටත්, මේ පුද්ගලයාට සහ ඔහු පසුපස සිටින ඇතැම් දේශපාලඥයන් සහ කූට ව්‍යාපාරිකයන්ටත් මුල සිටම අවශ්‍ය කෙළේ මෙවැන්නක් පමණි. දැන් ඊනියා ඖෂධීය පැණිය ආහාර අතිරේකයක් වශයෙන් රජය විසින්ම අනුමත කොට නිත්‍ය වෙළෙඳපොළක් ලබා දී තිබේ. ඊටත් වඩා තවත් අවශ්‍ය මොනවාද?■