ප‍්‍රසන්න විතානගේ

අපේ‍්‍රල් 21 වෙනි දින සිදුවීම් නිසා එදා ලංකාවේ බෙදුම් රේඛාවක් සනිටුහන් වෙනවා. අනාගතයේදී 2019 අපේ‍්‍රල් 21 වෙනි දිනට පෙර ලංකාව හා අපේ‍්‍රල් 21 වෙනි දිනට පසු ලංකාව කියලා සලකුණු කරන්න වේවි. මම එහෙම කියන්නේ අපේ සමාජයේ තියෙන බෙදුම් රේඛා මේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලිය හරහා සමාජයේ ඉස්මත්තට ගෙනල්ලා තියෙනවා. අපි ජීවත් වෙන සමාජය තුළ බියක් තියෙනවා. ඒ බිය අපි දකිනවා මේ වන විට වපුරවමින් තිබෙනවා මාධ්‍ය විසින්. ඒ වගේම ඒ බිය නිසාම, බියෙන්ම ප‍්‍රචණ්ඩත්වය ඉපදිලා තියෙනවා.

ප‍්‍රචණ්ඩත්වය මතුවෙලා තියෙනවා. ඒ නිසාම මේ රටේ සෑම ජනකොටසක්ම මේ රටේ කිසියම් වූ ආකාරයකට තමන්ගේ ජීවිත පිළිබඳ, තමන්ගේ දරුවන්ගේ ජීවිත පිළිබඳ, බියකින් සැකයකින් පසුවෙනවා. මේක අපිට ඇහැට පේන්න තියෙන තත්ත්වයක්. තියෙන ප‍්‍රශ්නේ තමයි අපි කොහොමද මේ බියෙන් අත්මිදෙන්නේ කියන එක. බියෙන් අත්මිදෙන්න නම් මම හිතන්නේ මේ සිදුවීම්වලට පාදක වෙච්ච, සිදුවීම් පෙළක් අපි තේරුම් ගත යුතු වෙනවා.


අපි දකිනවා අද ලෝකයේ, විශේෂයෙන්ම 21 වෙනි ශතවර්ෂයේ, ප‍්‍රධාන සමාජ ප‍්‍රපංචයක් බවට ජාතිකවාදය පත්වෙලා තියෙනවා. අනික් සියලූම ප‍්‍රපංචයන් අබිබවා ජාතිකවාදය මතුවීමට හේතුවක් තිබෙනවා. තමන්ට ලැබිය යුතු පිළිගැනීම නැහැයි කියලා, ලැබිය යුතු ගරුත්වය නැහැයි කියලා, කිසියම් ජනකොටසක් සිතන විට, ඔවුන් බොහෝ වෙලාවට තමන්ගේ ගරුත්වය වෙනුවෙන් පෙනීසිටිනවා. අවසානයේ මේ පෙනීසිටීම, ඒ ගරුත්වය සඳහා කරන අරගල, අතිශය ප‍්‍රචණ්ඩ බෝම්බ බවට පත්වෙනවා.

මෙය අදාළ වෙන්නේ මුස්ලිම් අන්තවාදය සඳහා පමණක් නෙමෙයි. ඊට පසුව ලංකාවේ ඇතිවුණු සිදුවීම්වලිනුත් පෙනෙන්නේ ප‍්‍රචණ්ඩත්වයේ මූලය තිබෙන තැන පිළිබඳ චිත‍්‍රයයි. නමුත් මම විශ්වාස කරන්නේ, ජාතිවාදයෙන් මොනම ආකාරයකටවත්, ඔවුන්ගේ මූලික ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම්, සමාජයේ අසමානතාව, ජාතීන් අතර ඇතිවෙලා තියෙන බෙදීම් සහ ශී‍්‍ර ලාංකික ජාතියක් වශයෙන්, අපට ඉදිරියට යාමට තියෙන නොහැකියාව, යන කිසිම දේකට මේ ජාතිවාදය පිළිතුරක් නෙමෙයි.


අපි අනෙකෙක් නිර්මාණය කරන හැම විටම සැකය අප තුළින් මතුවෙනවා. අපි විශ්වාස කරනවා, අපේ ප‍්‍රශ්නවලට, හේතුව අනෙකෙක් කියලා. දෙමළා අපේ අනෙකෙක් කියලා අපි සලකනකොට, අපි හිතනවා දෙමළා නිසා තමයි අපේ ප‍්‍රශ්න ඇතිවෙන්නේ කියලා. මුසල්මානුවා නිසා තමයි අපේ ප‍්‍රශ්න ඇතිවෙන්නේ කියලා. අනික් පැත්තටත් එහෙමයි. මුසල්මානුවාත්, දෙමළාත් එසේ සිතනවා විය හැකියි. සැකය නිසාම තමයි බිය ඇතිවන්නේ. සමහර ගම්මාන තියෙනවා, මුස්ලිම් ජනතාව බහුතරයක් සිටින නමුත් සිංහල ජනතාව සුළුතරයක් සිටින. මේ ගමේ සිංහල ජනතාව බියෙන් පසුවෙනවා ඔවුන්ට අනතුරක් වෙයි කියලා. බලලෝභීන් සහ දේශපාලන අන්තේවාසිකයන් මේ සැකය ප‍්‍රයෝජනයට අරගනිමින් ප‍්‍රචණ්ඩත්වය දියත් කරනවා. අපි දැක්කා එය සිදුවෙනවා පහුගිය කාලේ. ඒ ප‍්‍රචණ්ඩත්වයට වැඩි පිරිසක් දායකවෙන්නේ, අනෙකා කෙරෙහි ඇතිවෙන්නාවූ සැකය, බියක් බවට පත් කරලා, ඒ බය නිසාම ඔවුන් ප‍්‍රචණ්ඩත්වයට යොමුවෙනවා. නයෙක් අපිව සපාකන්න එන්නේ නැහැ. ඌ යනවා පැත්තකින්. නමුත් නයා අපිිට දෂ්ට කරන්නේ ඉන්නේ කියලා හිතලා නයා මරනවා වගේ වැඩක්.


මිනුවන්ගොඩ සිදුවීම ගත්තත්, ලංකාවේ වයඹ පළාතේ සිදුවීම් ගත්තත්, මේ සැකය උඩුදුවා ගිහින් ඇති වූ තත්ත්වයන් තමයි මේ කලකෝලාහල බවට, මනුෂ්‍ය ඝාතන කිහිපයක් සහ කොල්ලකෑම් දක්වා පරිවර්තනය වෙලා තියෙන්නේ. නමුත් මේ හැම එකක්ම පිටුපස වෙනත් බලාපොරොත්තු ඇති පිරිසක් තමයි මේවා මෙහෙයවලා තියෙන්නේ. ආරංචි ලැබෙන විදියට මූණු වසාගත් පිරිස්, මේ සඳහා මිනිසුන් තුළ තියෙන්නා වූ බිය, උසිගන්වමින්, සැකය වර්ධනය කරවමින්, මුළු සමස්ත සමාජයටම හානියක් කරලා තියෙනවා. අපි අමතක කරන දෙයක් තියෙනවා, අද අපි ප‍්‍රචණ්ඩත්වය මුදාහැරියොත්, වෙනත් ජනකොටසකට හෝ වෙනත් පුද්ගලයෙකුට, එහි ප‍්‍රතිඵලය අපිට දකින්න ලැබෙන්නේ, අනාගතයේ. සමහර වෙලාවට එල්ටීටීඊයට සම්බන්ධ වෙච්ච තරුණයන්ගෙන් ඇහැව්වොත්, ඇයි ඔබ එල්ටීටීඊ සංවිධානයට බැඳුණේ කියලා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි, අපි කිසිම වැරැුද්දක් කළේ නැහැ, යාපනයේ අපේ ගම, අපි පාරේ ඇවිදිනකොට, ඉක්මනට ගෙවල්වලට පලයල්ලා කියලා හමුදාව අපිට කසයකින් ගැහැව්වා.

ඉතින් මට හිතුණා, මොකක්ද මම කරපු වැරැුද්ද මට කසයෙන් ගහන්න. ඇයි මට මෙහෙම වුණේ? මෙතැනදි තමයි ගරුත්වය පිළිබඳව ප‍්‍රශ්නය එන්නේ. ඒ ගරුත්වය සඳහා ඊළඟට එම පුද්ගලයා ප‍්‍රචණ්ඩත්වයට යොමුවෙනවා. ඔහු හිතනවා මගේ ප‍්‍රශ්නයට පිළිතුර තියෙන්නේ, මගේ ජාතිය තුළයි කියලා. මේ ප‍්‍රචණ්ඩත්වය හරහා ඇත්තටම කරන්නේ මේ පිරිස්, මේ ජාති බෙදුම් රේඛා තවත් පුළුල් කරන එකයි. ඒකට දායකවෙනවා මේ රටේ දේශපාලනඥයෝ. ඔවුන්ගේ ප‍්‍රකාශ හරහා මේ දේ සිදුවෙනවා. වැරදි කරන අය පොලිසිවලට ගිහිල්ලා බේරගෙන, නැත්නම් ඔවුන් බේරලා යවන්න කියලා දුරකථන ඇමතුම් දෙමින්, ඔවුන් මෙයට දායක වෙනවා.


සුප‍්‍රසිද්ධ ජනමාධ්‍යවේදිනියක් වන ඔරියානා පෙලිචි වරක් කිව්වා, ‘යුද්ධය මිනිසා කව්රුන්දැයි හෙළිකරයි’ කියලා. මේ විදියේ අර්බුදයකදී තමයි සැබෑ මිනිසුන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මම දකිනවා සංහිඳියාව තමන්ගේ ජීවිතය බවට පත් කරගෙන තියෙන, නැත්නම් තමන්ගේ ජීවිකාව බවට පත් කරගෙන හිටපු මිනිසුනුත් මේ වෙලාවේ හැසිරෙන ආකාරය. ලංකාවෙන් බාහිරව සිදුවන සිදුවීමුත්, ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සිදුවීමුත් තුළින් ඔවුන් කිසිම දෙයක් ඉගෙනගන්නේ නැති බවයි පෙනෙන්නේ. මේ අයිසිස් නමින් හඳුන්වන සංවිධානය ඔවුන් හඳුන්වන්නේ එය මුස්ලිම් සංවිධානයක් හැටියට, සියලූ මුස්ලිම් මිනිස්සු අයිසිස් එකේ තමයි ඉන්නේ කියලා.

නමුත් ඉරාකය ගත්තත්, සිරියාව ගත්තත් වැඩියෙන්ම ඔවුන් විසින් ඝාතනය කරන ලද්දේ මුස්ලිම් වැසියන්. සිරියාවේ ඔවුන්ගේ ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වෙලා සිරියානු වැසියන් දසදහස් ගණනක් තමන්ගේ ගම්බිම් හැරදා බෝට්ටුවල නැගී යුරෝපයටත්, වෙනත් රටවලටත් ගියා. ඒ ගිය දරුවන්ගේ සිරුරු වෙරළට පාවෙලා ආ වෙලාවල්වල ගත්තු ඡුායාරූප තමන්ගේ ෆේස්බුක් පිටුවේ සරසපු අය, මේ මුස්ලිම් අන්තවාදය නිසා, ලංකාවේ සිටින සියලූ මුස්ලිම් ජනතාව අයිසිස් සමාජිකයන් බවට පත්කරලා. මේක අපි කරන්නාවූ විශාල වරදක්. අයිසිස් වැඩියෙන්ම හානි කරලා තියෙන්නේ මුස්ලිම් ජනතාවටයි.
අයිසිස් සංවිධානය නිර්මාණ කළේ ඇමෙරිකාව විසින්. ඒ වගේම මුස්ලිම් ජනතාව සිරියාවේදීත්, ඉරාකයෙත්දීත් අයිසිස් සංවිධානයට විරුද්ධව සටන් කරලා තියෙනවා. කාන්තාවෝ සටන් කරලා තියෙනවා ආයුධ අරගෙන.

ඔවුන්ගේ ජීවිත පූජා කරලා තියෙනවා. නමුත් ඒ කිසිදු දෙයකින් අපි ඉගෙනගත්නේ නෑ. බොහෝ දෙනා ටැක්සිය පදවන්නේ මුස්ලිම් ජාතිකයෙක් කියලා ඒ රථය ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව කරන්නේ, මේ ජනතාව තවදුරටත්, ඔවුන් අන්තවාදීන්ගේ ඔඩොක්කුවට දමන එක හෝ ඔවුන් අන්තවාදීන් බවට පත්කරන එකයි.


මේ තත්ත්වයට වගකිව යුතු ප‍්‍රධාන විත්තිකරුවෙකු මම දකිනවා. ඒ තමයි මේ රටේ ජනමාධ්‍ය. මේ රටේ ජනමාධ්‍ය තමයි අපේ‍්‍රල් 21 වෙනි දින සිදුවුණු බෝම්බ ප‍්‍රහාරය සහ ඉන් පසුව සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් වෙනදා පෙන්වන රියැලිටි වැඩසටහනක් බවට පත්කරගත්තේ. තමන්ගේ නාලිකාව නරඹන ඇස්බෝල සංඛ්‍යාව වැඩි කරගන්න, තමන්ගේ දේශපාලන හාම්පුතාලාට නැවත බලයට පැමිණීමට සේවය සැපයීම හැර කිසිදු ආකාරයක සත්‍ය ගවේෂණයක් මේ මාධ්‍ය කරන්න අසමත් වෙලා තියෙනවා.


පසුගිය දවස්වල සාමාන්‍ය ජනතාව කිව්වා බෝම්බයක් දානවා නම් ගිහින් පාර්ලිමේන්තුවට දාන්න, මේ 225ම නැති වුණත් කමක් නැහැ කියලා. මේ රටේ සාමාන්‍ය ජනතාව මේ රටේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගැන, එවැනි කලකිරීමකට පත්වෙලා තියෙන්නේ. මේ රටේ ජනතාව මේ රටේ මාධ්‍ය ගැන කලකිරීමට පත්වෙලා තියෙනවා. ඒ ඔවුන් කටයුතු කරන ආකාරය නිසා. ඔවුන් කටයුතු කරන්නේ සත්‍ය ගවේෂණයටද? එසේත් නොමැති නම් කිසිදු සත්‍ය ගවේෂණයකින් තොරව, හුදු සන්ත‍්‍රාසයක්, මතු කිරීමටද? ඒ වගේම, ඒ මතු කරන සන්ත‍්‍රාසය වාර්තාකරුවනුත් නොදන්නවා ඇති, ඒවා පාවිච්චි කරන්නේ, තමන්ගේ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් මේ ආයතන හිමියන්. මේ ආයතන හිමියන් බොහෝ දෙනෙකුට දේශපාලන අභිලාෂ තියෙනවා.


රටක ආරක්ෂාව මූලිකයි. අපිට පිළිගන්න සිද්ධ වෙනවා, අපේ‍්‍රල් 21 වෙනි දින සිදුවීම ආරක්ෂක වැඩ පිළිවෙළේ බිඳවැටීමක් ලෙස. එය දැනදැනත් එසේ වීමට ඉඩ හැරියා කියන එක සත්‍යයක්. ඒ බව අපිට මඟහැර යන්නට බෑ. මොකද ඒ දේශපාලනඥයන්ගේ අවධානය තිබුණේ වෙනත් දේවලට. තමන්ගේ අනාගත දේශපාලන බලය ගොනුකර ගැනීම වැනි න්‍යාය පත‍්‍රවල ඔවුන් යෙදිලා සිටියා මිසක, මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්නය ඔවුන්ගේ ප‍්‍රශ්නයක් නෙමෙයි. එය ඔවුන් එසේ සැලකුවේ නෑ. මේ ආරක්ෂාව ගැන කතා කළාම, කෝටි ගණනක් වටිනා වෙඩි නොවදින රථ ගෙන්වන්න, තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න මිසක් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව දේශපාලකයන්ට වැදගත් ලෙස පෙනෙන්නේ නෑ. ජනතාවගේ ආරක්ෂාව දෙවෙනි තුන්වෙනි තැන. ඔවුන්ගේ ආරක්ෂාව පළවැනි තැන.


ඒ වගේම පාලක පක්ෂය හැම තැනම ලෝකයේ මේ තත්ත්වයන් තමාගේ බලය තහවුරු කරගැනීමට භාවිත කරනවා. ඇමෙරිකාවේ සැප්තැම්බර් 11 වෙනි දින ප‍්‍රහාරය හමුවේ, එවකට හිටපු බුෂ් රජය, උපජනාධිපති චේනි ඇතුළු පිරිස මර්දන අණපනත්, නීති රෙගුලාසි ගෙනල්ලා, මුළු ඇමෙරිකාවේම සිටින සියලූම දෙනාගේ පෞද්ගලික ජීවිතවලට එබිලා බලන තරමට, ඒ වගේම මූලික අයිතිවාසිකම් නැතිවෙන ආකාරයට, නීති හදාගත්තා. එය ඔවුන් පාවිච්චි කරන්නේ කුමකටද? එය ඔවුන් පාවිච්චි කරන්නේ තමන්ට විරුද්ධව මහජනයා තුළ කැකෑරෙන, වෛරය පාලනය කරන්නයි.


ජනතාව පාලක සන්ධානයන් සම්බන්ධයෙන් ඇති වෛරය ප‍්‍රකාශ කරන්න වීදියට බැහැලා සටන් කරන දවසකට ආවොත් එදාට මේ අණපනත් පාවිච්චි කරන්න මිසක්, ඔවුන්ට මහජනයාගේ ආරක්ෂාව පිළිබඳව නෙමෙයි ගැටලූව තියෙන්නේ. ලංකාවෙත් අපි දකිනවා මේ තත්ත්වය. මේ තත්ත්වය හරහා කොහොමද නැවතත් මූලික මිනිස් අයිතිවාසිකම්වලට ඔවුන් අත තබන්න සූදානම් වෙන්නේ? පහුගිය කාලේ ගෙනෙන්න හදපු ප‍්‍රතිත‍්‍රස්ත පනත. ඒ වගේම හමුදා ප‍්‍රධානීන්ගේ ප‍්‍රකාශන. මේ වෙලාවේ ඔවුන් පාවිච්චි කරනවා පවත්නා නීතිය අබිබවා යන්න. නැත්නම් පවත්නා නීතිය යටතේ දඬුවම් ලැබිය යුතු අය නැවතත් රාජකාරියේ පිහිටුවන්න. පවත්නා නීතිය යටතේ ඔවුන් සිවිල් වැසියන් පමණයි. දැන් ඔවුන් සියලූම දෙනා ප‍්‍රධාන නළුවන් බවට පත්වෙනවා. ඊට පස්සේ මේ අය ජනමාධ්‍ය ඉදිරියේ රඟපානවා. එසේ කරමින් පාලක පන්තියේ බලය තහවුරු කරනවා.


මේ ප‍්‍රශ්නයට විසඳුම තියෙන්නේ මේ රටේ සාමාන්‍ය දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාවගේ සහෝදරත්වයෙන්, එකමුතුවෙන් ඇති වෙන සන්ධානයකින්. රටේ ආරක්ෂාව ඇතිවෙන්නේ අපි එකිනෙකා කෙරෙහි ඇති කරගන්නාවූ අවබෝධය තුළින්. සිරියාවේ ඇති වුණා කණ්ඩායමක් ‘වයිට් හෙල්මට්’ කියලා. අසාද් රජය විසින් සරේන් වායුව මුදාහැරලා, ඒ රටේ ජනතාව, කුඩා දරුවන්ගේ ජීවිත හානිකරද්දී පවා, රුසියානු හමුදා බෝම්බ හෙළද්දී පවා, මේ අය පාරට බැහැලා, තමන්ගේ රැුකියා පැත්තකට දාලා, පොදු අය වෙනුවෙන් කැපවුණා. අපි සියලූ දෙනාම රට ව්‍යසනයකට පත් වුණු අවස්ථාවකදී අපගේ න්‍යාය පත‍්‍ර, අපගේ පෞද්ගලිකත්වය පසෙකලා මේ වෙලාවේ අනතුරට පත්වුණු, විපත්තියට පත්වුණු, බියෙන් වෙසෙන සියලූ ජනකොටස්වල ඒ බය පහකිරීමට මැදිහත්විය යුතුයි. x

x සුදේෂ් ද සිල්වා