දිලීප අබේසේකර

අගහිගකම ලෝකය පුරා පැතිරුණු ‘ද ග්‍රේ‍්‍රට් ඩිප්‍රෙ‍්‍රෂන්’ නොහොත් මහා ආර්ථික අවපාතයේ මුව විට වූූ 1935 අමෙරිකාවේ, මිසිසිපි ජනපදයේ ටුපෙලො නගරයේ තරුණ යුවලකට ජනවාරි 8 වැනිදා පිරිමි දරුවෙක් උපන්නේය. සුළු කම්කරු රැකියා කළ මේ දෙදෙනා දරුවාට එල්විස් ඒරන් ප්‍රෙ‍්‍රස්ලි යන නම තබා එතැන් සිට, තමන්්ටම කියා ලෑලි ගෙයක් අටවාගෙන පදිංචි වෙති. ඊළග අවුරුද්දේ, 1936 පෙබරවාරි 12 වැනිදා එවකට බි‍්‍ර‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් වූූ සිලෝන් නමින් හැඳින්වුණු ලංකාවේ කොළඹ, කැටවලමුල්ලේ දෙපළකට කුΩළුඳුලේ ඉපදෙන දරුවාට හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඞ් ජෝතිපාල යන නම තැබේ. ටේලර් වැඩ කළ මේ පවුලට වැඩිකල් නොගොසින් තවත් දරුවන් කිහිප දෙනකු එකතු වන බැවින් ඔවුහු නුහුරු දෙමටගොඩ ප‍්‍ර‍්‍රදේශයේ ගෙයක් සොයා ගනිති.
මේ අතර දෙවැනි ලෝක යුද්ධයත් පටන් ගැනීමෙන් ජන ජීවිත කබලෙන් ළිපට වැටෙද්දීයි කුඩා එල්විස්ට සහ ජෝතිපාලට පාසල් යන්නට සිදුවන්නේ. එහිදී ඔවුන් විශේෂ දක්ෂතා පෑ බවට සදහනක් නැත. සංගීත විෂයය සදහා එල්විස් ලබාගෙන ඇත්තේ ‘සී’ සමාර්ථයකි. එසේවත් සංගීතය හදාරා නැති ජෝතිපාලට ඩෙස්ක් බංකු හා බෙලෙක්කවලට ගසමින් සිංදු කීමේ පුරුද්දක් තිබුණු බව පමණයි කියැවෙන්නේ. එය ඔහුගේ පිහිටට එන්නේ පසු කාලයකය. එල්විස්ට අත්වැල වන යමක් උපන්දින තෑග්ගක් ලෙස දෙමාපියන්ගෙන් ලැබේ. ඒ ළමා ගිටාරයකි. කරදඬු උස් වූූ පසුවත් ඔහු එයම පාවිච්චි කරන්නේ අලූත් එකක් ගන්නට වත්කමක් නැති නිසාය.

මෙම්ෆිස් සහ මරදාන
එල්විස්ගේ ගැටවර වියේදී ටෙනසි ජනපදයේ මෙම්ෆිස් නගරයේ පදිංචියට යන්නට ප්‍රෙ‍්‍රස්ලිලා තීරණය කරති. අප‍්‍ර‍්‍රිකානු සම්භවයක් ඇති ජනතාව බහුලව වාසය කළ එහි ගැයුමට, වැයුමට, නැටුමට නැඹුරු සංස්කෘතිය එල්විස්ගේ දෛවය අන් අතක ප‍්‍ර‍්‍රස්ථාරගත කරන්නේය. දුක, විරහව පදනම් වූූ ‘බ්ලූස්’ ආරේ සංගීතයට ප‍්‍ර‍්‍රසිද්ධ මෙම්ෆිස් නගරයේ බීල් ස්ටී‍්‍ර‍්‍රට් පාරේ රස්තියාදු ගසන එල්විස්, සංගීතයට සවන්දීමේ පහසුකම් ඇති ‘ලිස්නින් බූූත්’වලින් හා කාසි දමා ගීත අසනු හැකි ‘ජූූක් බොක්ස්’ වාදන යන්ත‍්‍ර‍්‍රවලින් සිංදු අහන්නට පුරුදු වෙයි.
ජෝතිපාල රස්තියාදු වන්නේ මරදානේය. කොළඹ වරායට නුදුරු මේ ප‍්‍ර‍්‍රදේශය ලෝකයට විවෘත වූූ දොරටුවකි. නූූර්ති, නාඩගම් පෙන්වූූ ටවර්හෝල් ශාලාවද, එල්ෆින්ස්ටන්, කැපිටල්, කිංග්ස්ලි ආදි සිනමාශාලාද එක යායට පිහිටි මරදානේ වැඩෙමින් පැවති අලූත් නාගරික සංස්කෘතියේ එක් ප‍්‍ර‍්‍රබල විනෝදාංගයක් වූූ ගීතයට ඔහු වහ වැටුණෙන් සංගීත කාමර හා ‘රෙඩිෆියුෂන්’ ගුවන්දුලි යන්ත‍්‍ර‍්‍ර තිබුණු කඩවල් අසල ගැවසෙමින් ඒවා ඇසුවේය. ඔහුට අල්ලලා යන්නේ ඉන්දීය චිත‍්‍ර‍්‍රපට ගීත හා සංගීතයයි. කළු අමෙරිකානුවන්ගේ ගායනා ආරෙන් සැදුණු කි‍්‍ර‍්‍රස්තියානි පල්ලියේ ‘ගොස්පල්’ ගීතිකා සම්ප‍්‍ර‍්‍රදාය එල්විස්ගේ සිත්ගන්නා බැවින් ඔහු ගිටාරයද රැුගෙන දේවස්ථානවලින් සංවිධානය කරනු ලබන සර්වරාති‍්‍ර‍්‍රක ගැයුම්වලට සහභාගි වේ. මරදාන ආශ‍්‍ර‍්‍රිත ප‍්‍ර‍්‍රදේශවලින් බිහිවූූ සංගීත සාජ්ජවල ගී ගයන ජෝතිපාල ඉද හිට, මළගෙවල්වල මුදලට වෙස්සන්තර කවි සජ්ඣායනා කරන්නටත් ගිය බවට අප‍්‍ර‍්‍රකට සාක්ෂි ඇත.
එහෙත් දෙදෙනාටම නියම අවස්ථාවක් ලැබෙන්නට පෙර බොහෝ පසුබෑම්වලට ලක්වන්නට සිදුවේ. එවකට අමෙරිකාවේ අලූත් මාධ්‍යය වන ටෙලිවිෂනයේ වැඩසටහන් සදහා සංගීත කණ්ඩායම් සම්බන්ධ කරගත් බැවින් එවැන්නක සාමාජිකත්වය ලබාගන්නට ට‍්‍ර‍්‍රක් රියැදුරකු ලෙසද සේවය කරමින් සිටි එල්විස් උනන්දු වන්නේය. එවැනි සම්මුඛ පරීක්ෂණයකදී එඞී බොන්ඞ් නම් ජනපි‍්‍ර‍්‍රය සංගීත කණ්ඩායම් නායකයා පවසන්නේ: ‘ට‍්‍ර‍්‍රක් එළවගෙන ඉන්නවා. ඔය කටහඬත් එක්ක සිංදු කියන්න වෙන්නෙ නැහැ ජීවිතේට.’ කියායි. එකල ලංකාවේ අලූත්ම ආකර්ෂණීය මාධ්‍යය වූූ චිත‍්‍ර‍්‍රපටවල ගී ගැයීම සදහා අවස්ථාවක් ලබාගන්නට උත්සාහ දරන ජෝතිපාල ඒ නිසාම ඇතැමුන්ගේ විහිළුවට ලක්වේ. බොහෝ රැුවටීම්වලට හසුවන ඔහු සියදිවි හානිකරගන්නට තරම් දුර්මුඛ වූූ අවස්ථා ඇත. වරක් සිරිසේන විමලවීරගේ ‘පොඩි පුතා’ චිත‍්‍ර‍්‍රපටය සදහා හඬ පරීක්ෂණයකට යන ඔහුට අසන්නට ලැබෙන්නෙත් ‘ළමයෝ තමුසෙගෙ හඬට උපකරණ දෙදරනවා, මිහිරි ගතියක් නෑ’ යනුවෙනි.

නමසිය පනස් හය
අන්තිමේ එල්විස්ට අවස්ථාවක් ලැබෙන්නේ සී.බී.එස්. විකාශන සේවයේ ‘ටැලන්ට් ස්කවුට්ස්’ නම් නවකයන්ගේ හැකියාව සෙවූූ වැඩසටහනකින්ය. ඊට වඩා වැදගත් වන්නේ මේ කියන වකවානුවේදී ඔහුගේ ඉදිරි ගායන ජීවිතයේ නියමුවකු වන කර්නල් ටොම් පාකර්ගේ මුණැසීමයි. හරියටම ඒ අවුරුද්දේ, 1955 ජෝතිපාල ‘පෙරකදෝරු බෑණා’ චිත‍්‍ර‍්‍රපටය ස`දහා හඬ පරීක්ෂණයට යන අතර එහිදී කරුණාරත්න අබේසේකර නම් පද රචකයා හඳුනාගන්නට ලැබේ. පසු කලෙක සිංහල සිනමාවට නැතිවම බැරි ගායක-ගීත රචක දෙපළ වන මොවුහු එම චිත‍්‍ර‍්‍රපටයේ පරීක්ෂණයෙන් අසමත් වෙති.
හැමදාම සිංදු කියන්නට යන පුතුගෙන් ඔහුගේ හඬ රැුගත් සංගීත තැටියක් ගෙන එන්නැයි ජෝතිගේ මව ඉල්ලා සිටින්නීය. ස්ටැන්ලි ඕමාර් නම් සංගීතඥයා ඔහුට එම අනුග‍්‍ර‍්‍රහය ලබා දී ගීත දෙකක් තැටිගත කරයි. ඉන් එකක් එච්.ආර්. ජෝතිපාලගේ ප‍්‍ර‍්‍රථම ගීය ලෙස සැලකෙන ‘මගෙ රන් රාජිණි◊’ ය. එක් උදෑසනක මෙම්ෆිස්හි ‘සන් රෙකෝඞ්ස්’ සමාගමට ගොඩවන එල්විස් ප්‍රෙ‍්‍රස්ලි තරුණයා තමන්ගේ වියදමෙන් ගීත දෙකක් තැටිගත කරන්නේ මේ කාලයේදීමය. ඒ සිය මවට තමන්ගේ ගායනා අසන්නට සැලැස්වීම ස`දහා බව හේ පසු කලෙක කියා තිබේ.
1956 දෙදෙනාටම වාසනාව ගෙනා වර්ෂයයි. එල්විස්ට අවුරුදු 21 ක් වූූ අතර ජෝතිපාලට අවුරුදු 20 ය.
එල්විස්ගේ ‘හාට් බ්‍රේ‍්‍රක් හොටෙල්’ නම් ගීය අමෙරිකාව පුරා නොසිතූ ජනපි‍්‍ර‍්‍රයත්වයක් හිමිකර ගනිමින් ප‍්‍ර‍්‍රචාරය වේ. එය හෝටලයකදී සියදිවි නසා ගත් තරුණයකු පිළිබද සත්‍ය සිදුවීමක් අළලා නිර්මාණය වූූවකි. බොහෝ ගීත අඩංගු වූූ ‘සුරතලී’ චිත‍්‍ර‍්‍රපටයට ජෝතිපාලගේ හඬින් ගැයුණු ‘සිරියා මෙ සාරා’ ගීයද එක රැුයෙන් ජනපි‍්‍ර‍්‍රය වන්නේය. කලින් නිර්මාණය කරන ලද මේ ගීය, සැබැවින්ම චිත‍්‍ර‍්‍රපටයට යොදා ගන්නා බවට සැක හැර දැන ගැනීම සදහා එම ජවනිකාව රූපගත කරන අවස්ථාවට ගිය ජෝතිපාල, එහි පෙනී සිටි නළුවකුගේ පුහුණුවීම් උදෙසා ගීත වාදන යන්ත‍්‍ර‍්‍රය කර තබාගෙන යාමට ඉදිරිපත් වූූ බවටද ප‍්‍ර‍්‍රවාදයක් පවතී. පසු කලෙක එම නළුවා, එල්විස්ගේ ගීතයට පාදක වූ සිද්ධියේ මෙන් සියදිවි හානි කරගත්තේලූ. එතැන් සිට බොහෝ ගීත ගායනා කරන දෙදෙනාගේම ගීතාවලියට වැඩි වශයෙන් පසුබිම් වන්නේ ප්‍රේ‍්‍රමය හා විරහවය.

කළු හඬ සහ හින්දි රහ
‘කළු හඬක් ඇති සුදු මිනිසා’ බවට පත්වන එල්විස්ගේ ජනපි‍්‍ර‍්‍රයත්වයට එවකට අමෙරිකාවේ, අපි‍්‍ර‍්‍රකානු සම්භවයක් ඇති පුරවැසියන්ගේ සිවිල් අයිතීන් උදෙසා වූූ ව්‍යාපාරය හො`ද පදනමක් සපයයි. එසේම බොහෝ කල් බටහිර රටවල යටත්විජිතයක්ව පැවති ශී‍්‍ර‍්‍ර ලංකාවේ, නිදහස ලැබීමෙන් පසු ඇති වූූ දේශීයත්ව පුනරුදය තුළ ‘හින්දි රහට සිංහල ගී ගයන්නා’ ලෙස එච්.ආර්. ජෝතිපාලට ඉඩ සෑදෙන්නට ඇත.
එකල මෙරට සමාජයට අලූත් කලා අංග වූූ සිනමාව, ගුවන්විදුලිය, ගීත තැටි හා සංගීත සංදර්ශන හරහායි ජෝතිපාල ජනපි‍්‍ර‍්‍රය වූයේ. එල්විස්ගේ ජනපි‍්‍ර‍්‍රයත්වයටද බලපෑවේ එකල සිනමාවට වඩා වේගයෙන් ඉදිරියට යමින් පැවති අමෙරිකානු ටෙලිවිෂන් කලාව, රේඩියෝව, ගීත තැටි හා සංදර්ශනම ය. එක වගේ උස මහත, පැහැපත්, පි‍්‍ර‍්‍රය මනාප වූූ මොවුන්ගේ රූපකායන්ද ඊට රුකුල් දුන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. වැඩි කල් නොගොසින් එල්විස් පෙනී සිටින චිත‍්‍ර‍්‍රපට නිෂ්පාදනය වූූ අතර ඒවාට වඩා එහි ගීත ජනපි‍්‍ර‍්‍රය විය. ජෝතිටද ර`ගපෑමේ අවස්ථා ලැබී ඇතැම් විට, එකම චිත‍්‍ර‍්‍රපටයේ වීරයාගේත් දුෂ්ටයාගේත් පසුබිම් ගී හඬ බවට පත් වෙමින් දශක තුනක්ම සිංහල සිනමාවේ ප‍්‍ර‍්‍රබලතම ගායකයා වූූ බව අවිවාදිතයි.

‘එල්විස් ද පෙල්විස්’ සහ ‘පීචං ගායකයා’
එහෙත් අමෙරිකානු සංගීත බල අධිකාරිය හා සෙසු මාධ්‍ය ප්‍රෙ‍්‍රස්ලිටත්, ලාංකේය විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගත් ‘ඉන්ටලිජන්සියාව’ ඇතුළු සංගීත අධිකාරිය සහ පුවත්පත් ජෝතිපාලටත් සාධාරණ නුවූූහ. නිර්දය විචේචනයටත් ඇතැම් විට, මර්දනකාරි තත්ත්වයන්ටත් මුහුණ දුන් ඔවුන් තනිව ඒවා අබිබවා යාම සුළුපටු ජයග‍්‍ර‍්‍රහණයක් නොවේ.
වරක් අමෙරිකාවේ සුප‍්‍ර‍්‍රකට ටෙලිවිෂන් වැඩසටහනක් වූ ‘එඞ් සලිවන් ෂෝ’හි පෙන්වූූයේ එල්විස්ගේ සිරුරේ උඩ කොටස පමණක් බව ප‍්‍ර‍්‍රසිද්ධය. ඔහුට ආවේණික ඉ`ග නටවන රංගන විලාසය ‘පවුලේ නැරඹීම ස`දහා නුසුදුසු’ යැයි වාරණයට ලක්වීලූ. දැඩි ආගමික බල අධිකාරියකින් පාලනය වූ ඇතැම් පුවත්පත් එල්විස්ගේ ප‍්‍ර‍්‍රසංග වටා රොක්වන තරුණයන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට පොලිසියට ලියා දන්වන්නට තරම් කුපිත වී තිබේ. ‘ජනප‍්‍ර‍්‍රිය සංගීතයේ පහළම අඩිය’ ලෙස ඔහුගේ ශෛලිය හඳුන්වන්නට විචාරකයෝ පසුබට නුවූහ. අංග චලනය නිසා ‘එල්විස් ද පෙල්විස්’ නොහොත් ‘උකුල් ඇට එල්විස්’ යනුවෙන් ඔහුට නමක් පටබැන්දේද ප‍්‍ර‍්‍රකට විචාරකයෙකි.
එච්.ආර්. ජෝතිපාලට එල්ල වූ විවේචනයද ඊට යොදාගත් වචන පෙළද බොහෝ දුරට සමාන වේ. ප‍්‍ර‍්‍රමුඛ මහාචාර්යවරයකු විසින් ‘ගෙදරක අහන්න බැරි ගීත’ ලෙස ඒවා නම් කරනු ලැබීමෙන් නොනැවතී ‘මේ ගායකයාගේ හඬ දිගටම අහන් ඉන්න පුළුවන් දැයි’ ප‍්‍ර‍්‍රශ්න කරන ලදි. එකල මාධ්‍ය සෘජුවම ඔහු ‘පීචං ගායකයා’ ලෙස හැඳින්වීමෙන් මෙරට සංගීත ක්ෂේත‍්‍ර‍්‍රයේ ‘ප‍්‍ර‍්‍රබුද්ධ-පීචං වාදය’ ඇති විය. හින්දුස්ථානි තනු අනුව ගී ගැයීම ඔහුට එල්ල වූූ බරපතළම චෝදනාව වූූ අතර ඔහුගේ ස්වතන්ත‍්‍ර‍්‍ර ගී ගුවන්විදුලියේදී යට ගැසී◊. ‘ජෝති රාති‍්‍ර‍්‍රය’ නම් වූූ ඔහුගේ සංගීත ප‍්‍ර‍්‍රසංගය වරක්, ක්ෂේත‍්‍ර‍්‍රයේම වාදක ශිල්පීන් පිරිසක් විසින් වර්ජනය කරන ලද අවස්ථාවේදී ජෝතිපාල පාසලේදී මෙන්, ආධුනික ඩොලැක් වාදකයකුගේ සාහයෙන් පමණක් ගී ගැයුවේලූ.
දෙදෙනාගේම පෞද්ගලික ජීවිත තුළ දකිනු හැකිවන්නේ මත්ලෝලීත්වය පෙරටු කරගත් අයාලේ ගිය රටාවකි. කලක් පසුබා සිටි ප්‍රෙ‍්‍රස්ලි ජීවිතයේ අවසන් වසර කිහිපයේදී සජීවී ප‍්‍ර‍්‍රසංග ඔස්සේ නැවත ජනාදරය දිනාගත්තේය. රසිකයන් අතර සිය ජනපි‍්‍ර‍යත්වය දිගටම රදවාගන්නට සමත් වූ ජෝතිපාල ජීවිතයේ අවසන් දින කිහිපය දක්වාම සංදර්ශන වේදිකාවේ ගී ගැයී.

රොක් රජු සහ පොප් රජු
1977 අගෝස්තු 16 වැනිදා එල්විස් ප්‍රෙ‍්‍රස්ලි හෘදයාබාධයකින් මිය යන විට 42 හැවිරිදිව සිටියේය. ඔහුට වඩා වසර දහයක් ජීවත් වූූ එච්.ආර්. ජෝතිපාල 1987 ජූූලි 7 වැනිදා මිය යන විට වයස අවුරුදු 51කි. කොළඹ කනත්තේ මඩුවක වහලය කඩා වැටෙන්නට තරම් ජන කදක් ඔහුගේ අවමගුලට රැස් විය. එල්විස්ගේ අවමංගල්‍යය සිදු කෙරෙන අවස්ථාවේ ඇතිවූූ අනතුරකින් රසිකයකු මරණයට පත්වීමේ සිද්ධියක් වාර්තා වේ. මේ වන තෙක් ඔවුන්ගේ අනුස්මරණ දිනවල ප්‍රෙ‍්‍රස්ලිගේ ග්‍රේ‍්‍රස්ලන්ඞ් වතුයායේ තිබෙන සොහොනටත්, කොළඹ කනත්තේ පිහිටි ජෝතිපාලගේ ‘ගී සෑය’ටත්, ඔහු දිවි ගෙවූූ මාලිගාවත්තේ ජෝති ස්මාරකය අසලටත් රසිකයන් එක්වන්නේ රාජ්‍ය හෝ මාධ්‍ය මැදිහත්වීමකින් තොරවයි.
දෙදෙනාටම සිය හඬ ගෙන යන්නට පුතුන් සිටියේ නැත. ප්‍රෙ‍්‍රස්ලි විසින් ප‍්‍ර‍්‍රකට කරන ලද ආවේණික සංගීත ශෛලිය ලොව පුරා පැතිර යාමෙන් ජීවත්ව සිටියදීම ‘කින්ග් ඔෆ් රොක් ඇන්ඞ් රෝල්’ යන නම ඔහුට පටබැඳිණි. ‘විසි වැනි සියවසේ වඩාත්ම කැපී පෙනෙන සංස්කෘතික සලකුණක්’ ලෙසයි අද ඔහු පිළිගැනෙන්නේ. එල්විස්ගේ ගීත සදහාම වෙන්වූූ ගුවන්විදුලි නාලිකා අදත් අමෙරිකාවේ ජනපි‍්‍ර‍්‍රයයි. ලංකාවේදී ‘පොප්’ නොහොත් පොදු ජන සංගීත ආරේ ප‍්‍ර‍්‍රමුඛයා අදත්, එච්.ආර්. ජෝතිපාලය. ‘සිංහල පොප් රජු’ ලෙස ඉද හිට හෝ හඳුන්වනු ලබන ඔහුගේ ආභාසය ලාංකේය ගීත සම්ප‍්‍ර‍්‍රදාය තුළ තහවුරු වී ඇතත් එය පිළිග ැනීමට සංගීත බල අධිකාරිය අදත් මැලිි වේ. තවත් විද්වත් ආචාර්යවරයකු විසින් ජෝතිපාල මෙරට සමාජයේ ‘සංස්කෘතික බල කණුවක්’ ලෙස හඳුන්වනු ලැබීම කලෙක අතිශයින් විවාදයට ලක් වුවද මේ වන විට එය පැහැදිලි කරුණකි. අදටත් පැයකට වරක් හෝ ජෝතිපාලගේ ගීතයක් වාදනය නොවන රේඩියෝ නාලිකාවක් නැති තරම්ය.
එකම කාලයක ලෝකයේ දෙකොණ ජීවත් වූ නිවුන් සහෝදරයන් වන් එල්විස් ප්‍රෙ‍්‍රස්ලිගෙත් එච්.ආර්. ජෝතිපාලගේත් සමාන්තර භූමිකා අසමාන වන තැනක් ද තිබේ. අමෙරිකානු සමාජය තුළින්ම ප්‍රෙ‍්‍රස්ලිගේ අනුප‍්‍ර‍්‍රාප්තිකයකු බිහිවන්නට හේතු සැලසිණ. ඒ මයිකල් ජැක්සන් නම් අපි‍්‍ර‍්‍රකානු-අමෙරිකානු සංගීතඥයායි. අතිශයින් ආනුභාවසම්පන්න වූූ හේ ප්‍රෙ‍්‍රස්ලිගේ දියණි◊ය සමග විවාපත් වී ‘කින්ග් ඔෆ් පොප්’ යන විරුදාවලිය ලද්දේය. ලංකා සමාජය තුළ එච්.ආර්. ජෝතිපාලගේ අනුප‍්‍ර‍්‍රාප්තිකයකු මෙතෙක් ප‍්‍ර‍්‍රකට වී නැති. එසේ වීමට හේතු ගැඹුරින් විමසා බලනු වටින්නේ සිංහල ගීතයේ පොදු උන්නතිය උදෙසාය.
ප.ලි.: එල්විස් ප්‍රෙ‍්‍රස්ලිට නිවුන් සහෝදරයෙක් සිටියේය. මව්කුසේදීම මියගොස් සිටි ජේසන් ප්‍රෙ‍්‍රස්ලි නම් වූූ ඔහුගේ සලකුණු නොකළ සොහොනවත් එල්විස්ට සොයාගත නුහුණු බව කියැවේ. තමනට බොහෝ දුරට සමාන වූූ එච්.ආර්. ජෝතිපාල නැමැති ගායකයකු වෙනත් රටක සිටි බව ප්‍රෙ‍්‍රස්ලි දැන සිටියේ යැයි සිතනු නොහැකිය.

(අන්තර්ජාල තොරතුරු, වාර්තාගත සම්මුඛ සාකච්ඡා, ‘අමරණීය ජෝති’ (කර්තෘ: අර්නස්ට් වඩුගේ) කෘතිය සහ ජනශ‍්‍ර‍්‍රැතික කරුණු ඇසුරෙනි.)