■ එස්.ජී. පුංචිහේවා

කවියෙක් දිගට හරහට යොවුන් කතාවක් ලියයි. දිගට ලියන්නේ කලකට පෙර සතුටින් ගෙවුණු කටුක ජීවිතය ගැනය. හරහට ලියන්නේ එම ජීවිතයට ඔරොත්තු දීමට පිරිනැමුණු කිරි අම්මාගේ ආදරය ගැනය. මේ කතාව කීම සඳහා කතුවරයා යොදාගත් කතා වියමන ගැන මෙසේ සිතෙයි. එය කිරිඅම්මා අපූරු රටා දමා වියූ පැදූ රටාවක්ද? නැත්නම් නූල් කොන් සඟවා මතුකරන විසිතුරු ගෙත්තමක්ද?

මුතුහර සිසුවා කිරි අම්මාගේ නොපසුබට දිරිගැන්වීම සමග එක්ව, වචනවලට ජීවිතයේ විවිධ අවස්ථාවලින් පැමිණෙන ලෙස ආරාධනා කරයි. ගැටලු විසඳීමේ ප්‍රායෝගික අවස්ථා ඔස්සේ ප්‍රහේලිකාවක් විසඳීමට වචන සොයාගැනේ. ප්‍රහේලිකා තරගයෙන් ජය ලබා එම සහතිකය හා තෑගි ලබාගැනීමට මුතුහර පියා සමග බසයකින් ගොඩකවෙල සිට රත්නපුරට ගොස් පැමිණේ. බසයේ ගමනේදී ජීවිතයේ අනිවාර්ය සිදුවීම් සහ ප්‍රහේලිකාවට අවශ්‍ය වචන ගලා එයි. කිරිඅම්මා, අඳ (ගොවියා), මාගල, ගගන, ගල්ගුහාව, කමත වළල්ල, අතමාරුව යන වචනවලින් දිගට සහ හරහට ප්‍රහේලිකාව සම්පූර්ණ වේ.

එහෙත් ඒ වචන සිනාවෙමින් පැමිණෙන්නේ කිරිඅම්මා සමග හවුල් වී ගන්නා උත්සාහයෙනි. එම උත්සාහය ජීවිතයයි. ජීවිතය ප්‍රහේලිකාවකි. මේ ප්‍රහේලිකාව විසඳීමට දරන වෙහෙස නිසා ජීවිතයද යම් පමණකට සාර්ථක වේ. එම වචන සම්බන්ධ වන්නේ ආර්ථික, සමාජ, සංස්කෘතික අවස්ථාවන්ටය. ඉහත වචන ටිකෙන් ජීවිතය විස්තර කොට හිමිවන විට බසයේ ගමනද, ප්‍රහේලිකා පිරවීමද අවසන් වේ.

මෙවැනි සූක්ෂ්ම සන්දර්භයක් සහ අර්ථාන්විත කියවන්නට ඉඩ ලැබෙන්නේ කලාතුරකිනි. එක් එක් වචනය පිටුපස දිග කතාවක් ඇත. අඳ ගොවියන් ‘අඳ’ වුණේ කෙසේද යන පැනයකි. ඉඩං අයිතිකාරයොයි කියන අයට වී ගෙනිහිං දීම මුතුහරට ගැටලුවකි. ‘ඔව්ව ඔහොම තමයි.’ යනු කිරි අම්මාගේ පිළිතුරය.

අකුරු හොඳ නැති නිසා පාසලින් කොන් කිරීම වළක්වන්නට අකුරු රවුමට ලියන හැටි කී ආකාරය රසවත් සිද්ධියකි. මළපොතේ අකුරක් නොදත් කිරි අම්මා අධ්‍යාපනඥයෙකු ලෙස සිදුවීම තුළ ජීවත් වුණාය. දොළේ වතුර ගලා එකතු වූ වැලි පිල්ලේ රවුම් අකුරු ලිවීම සාර්ථක ඉගැන්වීමේ ක්‍රමයකි. කිරිඅම්මා සැබැවින්ම පොතේ නොව ජීවිතය පිළිබඳ දාර්ශනිකයෙකි. ඒ බවට පහත නිදසුන මදිද?

‘ඔව්ව හැම එකක්ම පුරාණෙ උන්නු දැනුං තේරුං ඇති උදවිය කියාපු කවි. නිකං වචන තිබුණු පළියට කියාපුව නෙවෙයි. කවික්කාරය ආං එහෙම තමයි. උඩින් එකක් කියපු ගමං යටින් තව එකක් කියනව. එව්ව මතකෙ තියාගත්තම අපිට හිතෙනව මේ ලෝකෙ කොච්චර විසාලද, අපි කොච්චර ඇබිත්තංද කියල. එහෙම හිතුණම හිතට කරදරයක් නෑ. මනුස්සයින් එක්ක, ගස් කොළන් එක්ක, සතා සීපාව එක්ක උනත් හොඳින් වාසේ කොරන්න පහසුයි.’ (75 පිටුව)

ඇයට යසෝදරාවත කටපාඩම් වූයේ කෙසේද යන පැනයට මුතුහරට දුන් පිළිතුරය ඒ.

ආතා ද එසේය. ආතා වරක් මෙසේ පැවසීය.

‘මිනිස්සු ගැන හැම දේම දැනගෙනත් ගස් සද්ද නැතුව ඉන්නව. ගස්වල දෙවිවරු නෑ පැටවුණේ. ගස් කියන්නෙම දෙවිගොල්ලො ජාතියක්.’

කතාව පුරා විහිදෙන මිනිස්කම, ගැටලුවලට මුහුණදීමේ අපමණ දිරිය යොවුන් පාඨකයාට පෝෂණීය ආහාරයකි. මස්ඉඹුල සතු අපූර්ව කාව්‍යමය රචනා ශක්තිය නිසා කථාව ලියැවුණා නොව පහළ වූවකි.■