ඉදිරි ජනාධිපතිවරණයට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් කිරීමටත්, ඔහුට සහාය දක්වන ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා සිටීමටත් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇතැයි අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ‍්‍රීලනිප ප‍්‍රබල තනතුරු දරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක් ප‍්‍රකාශ කළෝය.

ජුනි 26 වැනිදා පැවති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා රැුස්වීමේදී ඉදිරි ජනාධිපතිවරණයට ශ‍්‍රීලනිපයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට නිල තීන්දුවක් ගෙන තිබුණි. අනිද්දා කළ විමසීමකදී ශ‍්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකරද තහවුරු කළේ මීළඟ ජනාධිපතිවරණයට ශ‍්‍රීලනිපයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇති බවයි.

නිර්නාමිකව අදහස් දැක්වූ මන්ත‍්‍රීවරුන් සඳහන් කළේ එම තීන්දුව ගත්තේ ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් බවය.

එම මන්ත‍්‍රීවරුන් වැඩිදුරටත් පැවසුවේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පිළිගැනීමට ඉදිරියේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කැමති කරවාගත හැකිවනු ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලයන් පිරිසක් දැඩි විශ්වාසයක සිටින බවය. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි පසුබිමක මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසත්, මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙසත් තෝරාගැනීමට ඔවුන් කැමති කරවාගත හැකිවන බව එම කණ්ඩායමේ මතය වී ඇත.

ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් එලෙස විශ්වාස කරන බව වාර්තා වුවද, ඒකාබද්ධ විපක්ෂයේ අපගේ ආරංචි මාර්ග ප‍්‍රකාශ කරන්නේ එම කරුණ තහවුරු වී නැති බවය. අනිද්දා කළ විමසීම්වලදී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුම ප‍්‍රකාශ කළේ තම කණ්ඩායමේ සහාය කිසිදු හේතුවක් මත මෛත‍්‍රීපාල සිරිසේනට ලබා නොදෙනු ඇති බවය.