■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

කොළඹ නගරය ජනාකීර්ණය. මරදානේ ආමර් වීදිය දිගේ ඇවිද යන විට ඒ බව වඩාත් හොඳින් දැනේ. විවිධ රැකියාවල නිරත සිංහල, දෙමළ, මුස්ලිම්, දුප්පත්, පොහොසත් මිනිස්සු එකම ජනපදයකි. ඔවුන්ගේ ඇඳුම් විලාසිතා විවිධය, විචිත්‍රය. වෛවර්ණය. එක් එක් අයගේ තරාතිරම ප්‍රදර්ශනය කරනසුලුය. අව්ව, වාහන ශබ්ද, වාහනවලින් නැගෙන දුම් රොටු හා දුහුවිලිවලින් ඇති කරන්නේ කර්කශ ගතියක් වුවත් මොහොතක් නැවතී ඒ මිනිස් කැළ දෙස බලා සිටීම ආස්වාදජනකය.

කොටහේනේ සිට මරදාන දෙසට දිවෙන මාර්ගයේ ආමර් වීදිය හතරමං හංදිය පසු වී මීටර් කිහිපයක් ඇවිද ගොස් විශාල බෝධිය අයිනෙන් වමට හැරුණු විට ආමර් වීදියේ පැරඩයිස් වත්තට ඇතුළු විය හැකිය.

පැරඩයිස් වත්තෟ පැරඩයිස් කියන්නේ පාරාදීසයටය. මේ පාරාදීසයේ සිටින්නේ යටත්විජිත කාලයේ පටන් කොළඹ ජනයාට අත්‍යවශ්‍ය සේවාවක් සපයන අත්‍යවශ්‍ය ජන කොටසකි. එහෙම නැතිනම් කොළඹ මිනිසුන්ගේ ඇඳුම් සෝදා, වේලා පිරිසිදු කර දීමේ සේවාවේ යෙදෙන ජන කොටසකි. විවිධ වර්ණයෙන් යුතු, විවිධ ඇඳුම් එල්ලා ඇති ආකාරයත් පසුබිමේ ඇති කෝවිලේ වර්ණවත් මුහුණතත් අපට සිහිපත් කරන්නේ හිංදි සිනමාපටයක වර්ණවත් රූප රාමු පෙළකි.

1930 දශකය වන විට මේ ප්‍රජාව මේ සේවාව කරගෙන ගොස් තිබෙන්නේ පංචිකාවත්ත පාලම අසළ කුඩා ඉඩකඩකය. රෙදි හෝදන, වේලන, මදින මේ කඩිසර මිනිසුන්ගේ සේවාව ගැන නිරීක්ෂණය කළ සුදු නිලධාරීන් 1931 දී කොළඹ නගරයේ ආමර් වීදිය අසල අක්කර 6ක පමණ මේ භූමිය ඔවුන් වෙනුවෙන් වෙන් කර තිබේ. ඒ රස්සාව කිරීම සඳහා අවශ්‍ය කාමර, නිවාස හා රෙදි සේදීම සඳහා අවශ්‍ය ගල් ආදියද ලබාදෙමිනි.

“අවුරුදු 9න් මම මේ රස්සාව පටන් ගත්තේ. දැන් මට අවුරුදු 75යි. මම ඉස්කෝලේ යන කාලේම තාත්තා මැරුණා. එයා මැරණාට පස්සේ මම මේක කරන්න පටන් ගත්තා. ඒ කාලේ මෙතන මේ තරම් ජනාවාස වෙලා තිබුණේ නෑ. වටේම ගස්කොළන් තිබුණා. කොස් ගස් තිබුණා. ලයිට් තිබුණේ නෑ. ගෑස් ලාම්පු තමයි තිබුණේ. නගර සභාවෙන් ඇවිත් හවසට ඒ ගෑස් ලාම්පු පත්තු කරලා යනවා. උදේට ඇවිත් නිවනවා. රෙදි හෝදන ටැංකි තිබුණේ එහා පැත්තේ තියෙන බිල්ඩිම ගාව. එතන ඉඩම පුද්ගලික සමාගමකට 99 අවුරුදු බදු දීලා, දැන් තියෙන මේ ටැංකි ටික ප්‍රේමදාස මහත්තයා අපිට හදලා දුන්නේ. ඔය කාලි අම්මාන් කෝවිල ඒ කාලේ ඉඳලා පොඩියට තිබුණා. දැනට අවුරුදු 15කට විතර කලින් තමයි කෝවිල ඔය මට්ටමට දියුණු වුණේ. ඉස්සර මෙතන රික්ෂෝ කට්ටිය 10ක් විතර හිටියා. ඒ අය තමයි ගිහින් රෙදි පොට්ටනි පටවාගෙන එන්නේ. දැන් ඒ වෙනුවට ත්‍රීවීල් තියෙනවානේ. දැන් ටෙලිපෝන් තියෙන නිසා ‘රෙදි ටිකක් තියෙනවා ඇවිත් ගෙනියන්න’ කියලා අපට කෝල් එකක් දීලා කියනවා. ටෙලිපෝන් නැති කාලේ දවස් ගාන අනුව මේ දවස් ගානෙන් මේ ගෙදර රෙදි එකතුවෙලා ඇති කියලා අපි දන්නවා. නැත්නම් අපි එන දවස් ඒ අය දන්නවා. ”

සුදු නිලධාරීන් ලබා දුන් අඩි 10X10යේ කුඩා කාමරය ඉදිරිපිට, ඉන් අඩක් පමණ ප්‍රමාණයේ ඉස්තෝප්පුවේ කුඩා ස්ටූලයක් මත ඉඳගෙන පැරඩයිස් වත්තේ දැනට සිටින ජ්‍යේෂ්ඨතම සාමාජිකයන් කිහි දෙනාගෙන් කෙනෙකු වන සින්නයියා වීරසාමි අතීතය සිහිපත් කළේ එසේය. ඔහුට පිටු පසින් තවත් පුද්ගලයෙක් පොල්කටු අඟුරු ඉස්තිරික්කයකින් ඇඳුම් මදිමින් සිටියි. ‘මගේ ළඟ දැන් තුන් දෙනෙක් කුලියට වැඩ කරනවා’ තම රැකියාව ගැන තමන් තෘප්තිමත් බවත්, ආඩම්බර බවත් සින්නයියාගේ දිදුළන ඇස්වලිනුත්, නිරන්තරයෙන් සිහින් මුවින් නැගෙන සිහින් සිනාවෙනුත් පැවසෙයි.

“තාත්තා කරපු ඕඩර්ස් ටිකමයි අදටත් මම කරන්නේ. ඒ ගෙවල්වලත් පරම්පරාවල් තුනක් වෙන්න එනවා. තවමත් ඒ අය අපිට රස්සාව දෙනවා. අපට හුඟක් ඕඩර්ස් තියෙන්නේ වැල්ලවත්තේ. මම රවී කරුණානායක, කරූ ජයසූරිය, අරුමුගම් තොන්ඩමන් වගේ ප්‍රභූ අයගේ වැඩ කරනවා. කොළඹ නගර සභාවේ විජේමුනි ඩොක්ටර්ගේ වැඩ කරනවා. මන්ත්‍රීලා ගොඩාක් අයගේ වැඩ කරනවා. උසාවියේ තිර රෙදි, මේස රෙදි ඔක්කෝම හෝදන්නේ මම. ඒ අය මගේ වැඩ ගැන හරි සතුටුයි. උසාවියේ කාගෙන් හරි, ටවුන් හෝල් එකේ කාගෙන් හරි සින්නයියා කියලා ඇහුවොත් මාව දන්නවා. අපේ අය නගර සභාවේ වැඩ කරගන්න ගියාම මගේ නම කියලා තමයි ඒ වැඩ කරගන්නේ.”

‘ඉස්සර මෙතන සිංහල පවුල් 8 ක් විතර හිටියා. අපි ඔක්කෝම එකටනේ රස්සාව කළේ. ඒ අයගෙන් දැන් ඉතිරි වෙලා ඉන්නේ පවුල් 4 යි. අනික් අය රස්සාව අතෑරලා. මුස්ලිම් අය මෙතන නෑ. 83 කෝලාහල වෙලාවේ ඒ සිංහල පවුල්වල අය තමයි අපිව බලා ගත්තේ. ඒ නිසා අපිට මොනවත් කරදරයක් වුණේ නෑ. අපි ගොඩාක් දෙමළ අය මේ වත්තේ තියාගෙන පරිස්සම් කළා. කලබල ඉවර වෙලා යනකම් අපි තමයි ඒ ඔක්කෝටම කන්න බොන්න දුන්නේ.’ සින්නයියා කියන්නේ ආඩම්බරයෙනි.

පැරඩයිස් වත්තේ වැඩ කෙරෙන්නේ එක රටාවකටය. හැමෝම හැම වැඩේම කරන්නේ නැත. එක එක්කෙනාට පැවරුණු රාජකාරි වෙන වෙනම තිබේ. ඒවා ඔවුන් අකුරට කරයි. කොළඹ නගරයේ විවිධ නිවාසවලින්, රාජ්‍ය ආයතනවලින් ගෙනෙන රෙදි මුලින්ම දාන්නෙ කිළිටි කාමරවලටය. එතැන අයගේ රාජකාරිය රෙදි තේරීමය. තෝරන්නට කලින් එක එක ගෙවල්වලට, ආයතනවලට අයත් ඇඳුම්වලට වෙන වෙනම සලකුණු යෙදීම කළ යුතුය. නැත්නම් අර ගෙදර ඇඳුම්, මේ ගෙදරට මාරු වී සිදු වන්නේ මහත් කලබැගෑනියකි. ඉස්සර නම් ඒ සලකුණු යෙදුවේ සෙංකොට්ටංවලිනි. (සෙංකොට්ටං කියන්නේ කොට්ටම්බා ගෙඩියකින් ගන්නා කහටවලටය.) දැන් නම් මාකර් පෑනෙනි. සායම් යන රෙදි වෙනමත්, සායම් නොයන රෙදි වෙනමත් තෝරා වෙන වෙනම වෙන් කරන්නේ ඉන් පසුවය. පසුවදා සේදීමට ගැනීම සඳහා අවශ්‍ය කෙමිකල් වර්ග යොදා ප්ලාස්ටික් බඳුන්වලට පොඟන්නට දමන්නේ ඊටත් පසුවය. මොනවා දැම්මත් සුදු රෙදිවල කහට පැල්ලම්, කළු පුස් යැවීම ලේසි වැඩක් නොවේ.

වතුර ටැංකිවල දණහිසෙන් පහළට වතුරේ බැහැගෙන රෙදි හෝදන්නේ පිරිමි උදවිය පමණකි. රෙදි සේදීම පටන් ගන්නේ උදේ හත අට වන විටය. රෙදි කෑලි සිය ගණනක් ගලේ ගසා අපුල්ලා තුන් හතර වතාවක් වතුරෙ හෝදා මිරිකා හැරිය යුතුය. ඊළඟට රෙදි යන්නේ වේලන පාටියටය. රෙදි වේලන පාටියේ වැඩි හරියක් වැඩ කරන්නේ ගෑනු උදවියයි. පොරොන්දු පරිදි නිසි කලට රෙදි ටික බාර දෙන්න නම් ඒවා ඉක්මනින් වේලා ගත යුතුය.

පැරඩයිස් වත්තේ රෙදි මදින කාමර පනහක් පමණ තිබේ. ඒවායේ කරන්නෙ රෙදි මැදීම පමණි. තවමත් පැරඩයිස් වත්තේ ඇඳුම් මදින්නේ පොල් කටු අඟුරු යොදා රත් කළ ඉස්තිරික්කවලිනි. මුලින් යෙදූ සලකුණ අනුව ඒ ඒ ගෙවල්වලට, ආයතනවලට අදාළ ඇඳුම් තෝරා, නමා පිළිවෙළට පාර්සල් කර රැගෙන යන්නේ ඉන් පසුවය.

දැන් රෙදි හෝදන මැෂිමක් නැත්තේ එහෙමත් නිවසකය. කොළඹ නගරයේ බොහෝ තැන්වල ලොන්ඩි්‍ර ෂොප් විවෘත කර තිබේ. එවන් වකවානුවක වුණත් අපට නිදහස ලැබෙන්නටත් කලියෙන් සිට පැවත ආ මේ රස්සාවේ ස්වභාවය වෙනස් වී ඇත්නම් ඒ සුළු වශයෙනි. ගලේ ගසා රෙදි අපුල්ලා, වැලේ වනා අව්වේ වේලා, පොල් කටු අඟුරු යොදා යකඩ ඉස්තිරික්කය රත්කර ඇඳුම් මැදීම වෙනුවට ඒ සියල්ල එකවර කළ හැකි ගෘහාශ්‍රිත රෙදි සෝදන යන්ත්‍ර සේම වෘත්තීය රෙදි සෝදන යන්ත්‍රත් වෙළෙඳපොලේ තිබේ. එයාකාරයට ලෝකය වෙනස් වුණත් පැරඩයිස් වත්තේ මිනිසුන්ගේ රාජකාරිය වෙනස් වූ බවක් පෙනෙන්නට නැත.

“කොළඹ කොච්චර ලොන්ඩරි ඇරුණත් අතින් හෝදනවා වාගේ සුදු වෙන්නේ නෑ. පිරිසිදු වෙන්නේ නෑ. ලොන්ඩරියේ මැෂින් එකෙන් හෝදලා සුවඳ කෙමිකල් දාලා දෙනවා. ඒත් අපි හෝදනවා වාගේ කාටවත් හෝදන්න බෑ කියලා අපිට වැඩ දෙන අය දන්නවා. කොරෝනා කාලෙත් අපි පාස් අරන් ගිහින් ඒ අයගේ රෙදි හෝදලා, වේලලා, මැදලා ගිහින් දුන්නා.”

සුදෝ සුදු සරමකින් හා සුදු මේස් බැනියමකින් සැරසී වතුර ටැංකියේ බැහැගෙන රෙදි හෝදන කාර්මේගන් එසේ කියන්නේ දැඩි විශ්වාසයකිනි. අවුරුදු 13 සිට රෙදි සේදීම කරන ඔහුට ඔහුගේ සේවාදායකයන් පිළිබඳව ඇත්තේ දැඩි විශ්වාසයකි.

‘අපට හදිසියක් වෙලා මුදල් ටිකක් ඉල්ලුවත් ටක් ගාලා දෙනවා. ඒත් අපි බැරිම වුණෝත් ඇරෙන්න ඉල්ලන්නේ නෑ. අලුත් පරම්පරාවේ අය මේ රස්සාවේ රැඳෙන්න කැමති නෑ. හෝදලා කරලා දුන්නාම ත්‍රීවීල් එකේ බෑග් ටික

පටවාගෙන ගිහින් කීයක් හරි හොයාගන්නවා. අපි වාගේ ස්ථීරව මේ රස්සාව කරන්න ඒ අය කැමති නෑ. අපිට ඉතිං මේ රස්සාව තමයි ජීවිතේ. මැරෙනකම් අපි මේ රස්සාව අකුරට කරන්න තමයි උත්සාහ කරන්නේ. නැත්නම් අපේ නමට හොඳ නෑනේ.’ විශාල ඇඳ ඇතිරිල්ලක් ගලේ ගසා අතුල්ලමින් කාර්මේගන් කියයි.

පාරාදීසයක්ය කිව්වත්, කාගේ කිලිටි හෝදා නැවුම් පෙනුමක් දුන්නත් පැරඩයිස් වත්තේ මිනිසුන්ගේ ජීවිතයට නැවුම් පෙනුමක් දෙන්නට කවුරුවත් උනන්දු වී නැති හැඩය.

‘මම ඉපදුණේත් මෙහේ, අවුරුදු 20 ඉඳලා මේ රස්සාව කරනවා. සීයා, තාත්තා ඔක්කෝම මේ රස්සාව තමයි කළේ. මට දැන් අවුරුදු 72ක් වෙනවා. අවුරුදු 52ක් තිස්සේ ඉන්නේ, කන්නේ, වැඩ කරන්නේ මේ තියෙන අඩි 10×10 කාමරය ඇතුළේ. දැන් වෙනකොට මේ කාමරේ අපි 6 දෙනෙක් ජීවත් වෙනවා. පරම්පරා තුනක්. මමයි, මගේ බිරිඳයි, දුවයි, බෑනයි, ළමයි දෙන්නයි. ඇතුළට යන්නත් පිට වෙන්නත් තියෙන්නේ එක දොරයි. ජනේල නෑ. කුස්සිය තියෙන්නෙත් ඒ අඩි 10×10 ඇතුළේමයි. වැස්ස වැඩි වුණාම කාමරේ ඇතුළට වතුර දානවා.

මෙතන පවුල් 150කට වැඩිය ඉන්නවා. මුල් කාලේ තිබුණු කාමර පේළිවලින් සෑහෙන ප්‍රමාණයක් කඩලා දැන් තියෙන්නේ කාමර 60 යි. අපි කාටවත් සමෘද්ධිය දීලා නෑ. කොරෝනාවලට ලොක්ඩවුන් කරපු ගිය පාර රුපියල් 5000 දෙපාරක් ලැබුණා. මේ පාර තවම මොනවත් ලැබුණේ නෑ.’ පැරඩයිස් වත්තේ තවත් ජ්‍යේෂ්ඨයෙකු වන මයිල්වාගනම්ගේ කතාව පැරඩයිස් වත්තේ බහුතරයකගේ කතාවමය.■