‘මේ සතියේ විතරක් මගේ මල්මාලා 500ක ඕඩර් එකක් කැන්සල්. ඒ කියන්නෙ එන්න හිටපු සුද්දෝ 500ක් එන්නෙ නැහැ කියන එක.’ සීදුව ගුරුගේ නේචර් පාක් එකට හැරෙන තැන මල් කඬේ මගේ මිත්‍රයෙකු සිරිසේනගේ පුංචි ලෝකය නිසා අද ලංකාවේ සංචාරක කර්මාන්තයට අත්වී තිබෙන ඉරණම පැහැදිලි කළේ එලෙසින්‍ ය. ඔවුන්ගේ ව්‍යාපාරය මේ රටට පැමිණෙන සංචාරක කණ්ඩායම් ගුවන් තොටුපොළේදී පිළිගැනීම සඳහා මල්මලා සැපයීමය. තත්ත්වය මෙසේ වුණත් හොර ආණ්ඩුවට කඬේ යන රජයේ මාධ්‍ය පවසන්නේ සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් රටේ සංචාරක කර්මාන්තයට අබමල් රේණුවක කරදරයක් අනතුරක් නැති බවය. මෙම තත්ත්වය තුළ සත්‍යය දැනගැනීම සඳහා අපි බෙන්තොට ගියෙමු. බෙන්තොට අක්කර 100ක් පමණ විහිදී තිබෙන සංචාරක කලාපය ප්‍රසිද්ධ වී තිබෙන්නේ ධනවත් සංචාරකයන් නිසාය. හික්කඩුව ප්‍රදේශයෙන් රුපියල් 1500ක පමණ මුදලකට කාමරයක් සොයා ගන්නට පුළුවන් වන විට බෙන්තොට එම මුදල ඊට සෑහෙන්න ඉහළය. බෙන්තොට සංචාරක කලාපයෙන් පිටත එහෙත් සංචාරක කලාපයට ආසන්න ගෙස්ට්හවුස් එකක වුණත් මිල අවම වශයෙන් රාත්‍රියක් සඳහා රුපියල් 3500ක් පමණ වෙයි.

බෙන්තොට සංචාරක කලාපයේ ප්‍රධානම තරු පන්තියේ හෝටලය බෙන්තොට බීච් හෝටලයයි. එහි සැලසුම් ශිල්පියා ලෝ ප්‍රකට ජෙෆ්‍රි බාවාය. අප එහි යනවිට ඒ හෝටලය සම්පූර්ණයෙන්ම බිමට සමතලා කර දමා නව හෝටලය ලහිලහියේ ඉදිවෙමින් තිබෙයි. දැන් බෙන්තොට සංචාරක කලාපයේ හදවත ටාජ් බෙන්තොට, අවානි, ද සර්ෆ් සහ සෙන්තාරාය. අපි සොයා ගියෙමු. බොහෝ තැනක උණුසුම් වාග් සංග්‍රාමය. බෙන්තොට කියූ සැණින් සංචාරකයන්ගේ සිතට එන්නේ හිරු කිරණ සහ මුහුදු වැල්ලය. නිලට නිලේ මුහුදු තීරයය..

‘මුහුද හොඳටම හොඳයි. වැස්ස නෑ. හැම දෙයක්ම හොඳයි. හැබැයි සුද්දෝ නෑ.’ මේ නිහාල්ය. ඔහුගේ ටුවරිසම් ජීවිතයට දැන් වයස අවුරුදු 35ක්ය. ‘මට ජර්මන්, ඉංග්‍රීසි පුළුවන්. මේ මම 88/89ට පස්සෙ දැකපු සංචාරකයෝ අඩුම කාලේ. මට ගෙවල් දොරවල් හදාගන්න සේරටම උදව් කළේ යුරෝපේ සංචාරකයෝ. මේ බෙන්තොට ගොඩක් අය ජීවත්වෙන්නේ සංචාරකයෝ නිසා. ඒත් කියන්න කනගාටුයි මේ ප්‍රශ්නය නිසා ටුවරිසම් ඉවරයි. මම කරන්නේ බෝට් සෆාරි, ටුවර්, කිමිදුම්, බිලීබෑම් වගේ දේවල්වලට සුද්දන්ට අවශ්‍ය සම්පත් සැපයීම. ඒත් දැන් දවස් දෙකකින් වැඩ නෑ.’ අපි බෙන්තොට ගියේ 24 වැනි සෙනසුරාදා දිනයේදීය. එදින තත්ත්වය දැන් ඔබට සිතාගැනීමට අසීරු නොවෙනු ඇත. මෙවැනි තත්ත්වයක් ඇතිවූ විට එය ඉක්මනින් විසඳී තත්ත්වය පෙර පැවති තත්ත්වයට පැමිණීම සාමාන්‍ය ස්වභාවය නොවන්නේය. එය සමහර විට සීසන් දෙකක් තුනක් දිගට ඇදීයන්නට පුළුවන්‍ ය.

බුකින් කැන්සල්
‘මම දන්න විදිහට අවානි එකේ, ද සර්ෆ් එකේ, ටාජ් එකේ බුකින් 50% කින් අවලංගු කරලා. ඉස්සර ටාජ් එකේ කාමරයක් ගියේ හාෆ් බෝඞ් ඩොලර් 350කට විතර. අද ඒ රේට් එකත් පහළට දාලා. ඒත් සංචාරකයෝ නෑ. මම කැබ් සර්විස් එකක් කරන්නේ. දැන් දවස් තුනකින් හයර් එකක් නෑ. අපි 71 දෙනෙක් ඉන්නවා බෙන්තොට මේ ප්‍රදේශයේ. අපි හැමෝම අනාථයි මේ ජනාධිපතිගේ වැඩෙන්. හික්කඩුව වගේ නෙවෙයි බෙන්තොට. සංචාරකයෝ එනවා නම් හොඳටම හොඳයි. යුරෝපෙ හොඳ පෝසත් අය තමයි මෙහේ එන්නේ. අපි සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ මේ කාලෙට දවසට 10,000ක් විතර අවම හොයනවා. දැන් අපිට ගුවන්තොටුපොළට විතරයි හයර් එකක් වදින්නේ. ඒකත් කලාතුරකින්.’

ඔහු අතුලය. ඔහුගේ මේ සංචාරක ජීවිතයටත් අවුරුදු 20කට වැඩිය. දකුණේ මේ මුහුදු තීරයට සීසන් එක පැමිණෙන්නේ නොවැම්බර් මැදදීය. අවසන් වන්නේ අප්‍රේල් මැදදීය. මේ කාලය තුළ යුරෝපයේ ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය ආදි බොහෝ රටවල පොහොසතුන් බෙන්තොටට පැමිණෙන්නේ හිරු කිරණේ සහ මුහුදු වැල්ලේ රසය විඳින්නටය. තත්ත්වය මෙසේ වුණත් මේ පොහොසතුන්ට හොඳ දියුණු සේවාවක් සහ ඔවුන් සන්තර්පණය කරන්නට පුළුවන් විවිධාංග සහිත ක්‍රියාකාරකම් මෙහි නැත. එහෙත් අවුරුදු 30/40 එක දිගට එන සංචාරකයෝ ඇත. මෙම ව්‍යාකුල තත්ත්වය ඔවුන්ට බලනොපෑවද අලු‍තින් මේ රටේ සංචාරය කරන්නට සැලසුම් කරන බොහෝ දෙනෙකු එම සැලසුම් මෙම තත්ත්වය තුළ හකුලාගෙන බව පැවසිය යුතුය.

අපි ඉවරයි
‘ඇත්තටම තත්ත්වය එන්න එන්නම නරකයි. මම මේ රෙස්ටුරන්ට් එකේ මැනේජර්. අපි තමයි මේ ප්‍රදේශයේ මුහුදු ආහාරවලට ප්‍රසිද්ධ. ගොඩාක් ගෙස්ට්ලා අපිව හොයාගෙන එනවා. මේ හරහා දකුණට ගියත් කොළඹ ගියත් ගොඩාක් අය දවල් ආහාරය ගන්නේ මෙතනින්. ගිය අවුරුද්දේ සීසන් එක පටං අරන් මේ කාලේ වෙනකොට දවසට ලක්ෂ 1 1/2ක ඇවරේජ් බිස්නස් එකක් අපි කළා. දැන් රාත්‍රී 8 වෙනකොට ගෙස්ට් කෙනෙක් හොයාගන්නත් නෑ. ටාජ් එකේ ටිකක් ඉන්නවා එච්චරයි. බුකින් එන්න එන්නම කැන්සල් වෙමින් යනවා. රජයේ මාධ්‍ය නම් දිගටම කියනවා සංචාරක කර්මාන්තයට අවුලක් නෑ කියලා. අවුල දන්නේ මේකේ ඉන්න අපි. රෙගියුලර් කස්ටර්මර්ලා එනවා. හැබැයි සුළු පිරිසක්. ඔවුන් දන්නවා උද්ඝෝෂණ තියෙන්නෙ කොහේද? ප්‍රශ්න තියෙන්නෙ කොහේද? කොටින්ම රටේ හැටි ඔවුන් දන්නවා. ඒත් අලු‍තින් එන සංචාරකයෝ තමයි 60%ක් විතර ඉන්නේ. ඒ ප්‍රමාණෙ අඩුවෙනවා. ඔවුන් හැමවෙලාවෙම එන්නේ රටේ වර්තමානය බලලා. තමන්ගේ රට ඔවුන්ට අදාළ රටේ සංචාරය කරන්න එපා කියලා අනතුරු ඇඟෙවුවොත් ඔවුන් එන එක ගැන දෙපාරක් හිතනවා. අපි මේවා හිතන්න ඕනෑ දේශපාලන තීන්දු තීරණ ගන්නකොට. දැන් මේ තත්ත්වය උඩ ජනවාරි පෙබරවාරි මැතිවරණයක් ආවොත් මේක ඉවරෙටම ඉවරවෙයි. ඒකයි බරපතළම අනතුර. රජයෙන් කිසිම යටිතල පහසුකමක් නැතුව අපි මේවා කරන්නේ. ඔවුන් ඉන්නේ මේවා විනාශ කරන්න විතරයි.’ මේ හඬ අමල් විලා හෝටලයේ සහ අවන්හලේ කළමනාකරු රංගගේය.

මේ අනුව හොර ආණ්ඩුව, ඒ ආණ්ඩුවට කඬේ යන මාධ්‍ය මොනවා දේශනා කළත් සංචාරක කර්මාන්තය මේ අරාජික තත්ත්වය තුළ තිබෙන්නේ අසීරු අඩියකය. ජෙට්වින් සංචාරකයෝ කියන ලෙසට ගෙවුණු සතියේ සංචාරක කණ්ඩායම් 30ක් තම සංචාර අවලංගු කරගෙන ඇත. එය ආසන්න වශයෙන් සංචාරකයන් 500 දෙනෙකු ලෙස ගණන් බැලිය හැකිය.

මේ, තත්ත්වය තේරුම් ගැනීමට නියැදියක් පමණි. ඒ නිසා කිව යුතු වන්නේ දැන්වත් නුවණ පහදාගෙන ජනපති සිරිසේන මේ මෝඩ ක්‍රියාවලිය ආපසු හැරවිය යුතු බවය.■