ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් 2018 නොවැම්බර් 11 වන දින විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ නිල නිවසේදී මෙසේ කියා තිබුණි.
‘අපි අද පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තා. පොදු ජන පෙරමුණ මේ රටේ පල්ලෙහා මට්ටමේ ඉදලා බලය අල්ලගෙන තියෙන්නේ. ඒ නිසා ශක්තිමත්ව ඒ බලය තවත් ශක්තිමත් කරගෙන අපේ ආණ්ඩුවක් නිර්මාණය කිරිම තමයි අද සාමාජිකත්වය ගත්ත එකේ බලාපොරොත්තුව. මොකද සමහර විට හිතන්න පුළුවන් සාමාජිකත්වය ගත්තේ නැත්නම් වෙන වෙන දේශපාලන පක්ෂවල ඉන්නේ, වෙන වෙන කණ්ඩායම්වල සාමාජිකත්වය තියෙන්නේ කොහොමද මේ මැතිවරණයට තරග කරන්නේ මේ විදියට. දැන් ඉතාමත් පැහැදිලිව, අපි අද ඉන්නේ මොන පැත්තේ ද කියලා පැහැදිලි වුණා.’
නොවැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීතිවිරෝධී ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර තිබුණි. අධිකරණයෙන් එම ගැසට් පත්‍රය නීතිවිරෝධී බව ප්‍රකාශ කරනු ඇතැයි ඒ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හෝ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නොසිතන්නට ඇත. ඔවුන් සිටියේ කුමන්ත්‍රණය සාර්ථක වී ඇතැයි උද්දාමයෙනි. ඒ උද්දාමයෙන්ම නොවැම්බර් 11 වැනිදා මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා තිබුණි.
මහින්ද රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, සී.බී. රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සාලින්ද දිසානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලු‍ත්ගමගේ, ප්‍රියංකර ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, දුලිප් විජේසේකර, ජනක වක්කුඹුර, නාමල් රාජපක්ෂ, ෂෙහාන් සේමසිංහ, තේනුක විදානගමගේ, සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු. කාංචන විජේසේකර, නිමල් ලංසා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක, අනුර ප්‍රියදර්ශන, ටී.බී. ඒකනායක, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී ජයසේන, තාරක බස්නායක, සුසන්ත පුංචිනිලමේ යන මන්ත්‍රීවරුන් මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා තිබුණි. එදින අවස්ථාව ආවරණය කරන්නට පැමිණි මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබුණේද, එම අවස්ථාවේදී ප්‍රකාශ කර තිබුණේද එම කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් බවයි. සාමාජික කාඞ්පත්ද පෙන්වා තිබුණි.
මහින්ද රාජපක්ෂ විසින් සිය නිල ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වූ බවයි. නාමල් රාජපක්ෂ තමන්ගේ නිල ට්විටර් ගිණුමෙහි සටහන් කර තිබුණේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ බවයි. නොවැම්බර් 11 දිනයේ රූපවාහිනී නාලිකාවල හා වෙබ් අඩවිවල ප්‍රධාන ප්‍රවෘත්තිය වී තිබුණේද මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමයි. නොවැම්බර් 12 වැනිදා පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය වී තිබුණේද එයයි.
ඒ පුවත් අතරින් එකදු පුවත්ක්වත් නිවැරදි කරන්නට මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පෙළැඹී තිබුණේ නැත. තමන්ගේම ට්විටර් ගිණුමේ තිබුණු ට්විටර් පණිවුඩ නිවැරදි කරන්නට කිසිදු උත්සාහයක් ගෙන තිබුණේද නැත. මේ සටහන ලියන මොහොත දක්වාම ඒ ට්විටර්, ෆේස්බුක් පිටුවල සටහන් ඉවත් කරගැනීමටවත් මහින්ද රාජපක්ෂලා උනන්දු වී තිබුණේ නැත. සටහන ලියැවෙන දෙසැම්බර් 26 වැනිදාත් ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටු බොහොමයක තිබුණේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් බව දැක්වෙන සටහන්ය.
පත්තරයක ප්‍රධාන පුවත ලෙස මේ තරම් ව්‍යාජ පුවතක් පළවෙද්දී එය නිවැරදි කිරීමට කිසිවෙකු වෙහෙසුනේ නැත්තේ ඇයිදැයි අප විමසිය යුතු නැත. සිදුවූ දේත්, දැන් සිදුවන දේත් අපි හොඳින් දන්නෙමු.
මේ කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නිල වශයෙන් දැරුවත් නැතත් ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් බව රටටම රහසක් නොවේ. ඔවුන් පොදුජන පෙරමුණ වෙනුවෙන් 2018 පෙබරවාරියේ මැතිවරණ ව්‍යාපාරයකද නිරත විය.
ඔවුන් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් බව ජනතාව දන්නා බව දැන දැනම ඔවුන් අපි ගත්තේ සාමාජික ඉල්ලු‍ම්පතක් පමණක්යැයි ඔවුන් ප්‍රකාශ කරන්නේ ව්‍යවස්ථාවේ 99 වැනි වගන්තිය නිසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි ව්‍යවස්ථාවෙහි 13 (අ) අනු ව්‍යවස්ථාව මෙසේය.
‘යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඔහු එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අවස්ථාවේදි ඔහුගේ නම ඇතුළත් වූයේ යම් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍රයේද ඒ දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ හෝ සාමාජිකයෙකුව සිටීම ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවක, ඔහු එසේ සාමාජිකයෙකුව සිටීම නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස් වන්නේය.’
දෙසැම්බර් 20 වන දින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සුසිල් ප්‍රේම්ජයන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ කියන්නේය.
‘අපේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි ඉන්න සන්ධානය තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානය. විජේරාම මාවතේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නිල නිවසේදී එදා අපි සාකච්ඡාවක් තිබිලා, එතුමා මට ලියවිල්ලක් භාර දුන්නා. මම ඒක ගත්තා. ඉතින් මාධ්‍ය ඒ වෙලාවේ මගේ පොටෝ අරගෙන තිබ්බා. හැබැයි එතන කිහිපදෙනෙක් හිටියා සාමාජිකත්වය ගත්තා. මම එයාලාත් එක්ක ගත්ත සමුහ පොටෝ එකක් තමයි ඔය මාධ්‍යවල යන්නේ. ප්‍රශ්නය තියෙන්නේ වෙන පක්ෂයක සාමාජිකත්වය ගත්තාද නැද්ද කියන එක නෙවෙයි. මේ අයව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කලාද නැද්ද කියන එක.’
තවත් බොහෝ අය කියා තිබුණේ එදා ඔවුන් ගත්තේ ඉල්ලු‍ම්පතක් පමණක් බවයි. සාමාජිකත්වය නොගත් බවයි. සැබෑ තත්ත්වය දැන දැනම මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම සාමාන්‍ය ජනතාවට මී ගොනුන් ලෙස සැලකීමකි.
අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂලාට පොදුජන පෙරමුණක් හදන්නට තිබුණු දේශපාලන අවශ්‍යතාවයද ඔක්තෝබර් 26 වැනිදායින් පසුව අහෝසි වී තිබුණි. එයට හේතුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දෙවතාවක්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නට පවා ඒ වෙද්දී පෙළැඹී තිබීමයි. තවදුරටත් ශ්‍රීලනිපය සමග මහින්ද රාජපක්ෂලාට භේදයක් තබාගැනීමේ අවශ්‍යතාවයක් නොවීය. ඒ නිසා ශ්‍රීලනිපයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවයක්ද නොවීය.
පොදුජන පෙරමුණක් තැනීමේ එකම අවශ්‍යතාවය වුණේ රාජපක්ෂලාගේ පවුලේ දේශපාලනය ඉදිරියට ගෙනයෑම සඳහා පවුලේ දේශපාලන පක්ෂයක් නිර්මාණය කරගැනීමේ වුවමනාව නිසාය.
මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්නයක් පමණක් බව තර්ක කළ හැකි බව සැබෑය. එහෙත් මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, ආණ්ඩුකරණ සම්ප්‍රදායට අයත් ප්‍රශ්නයකි. ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන්ට පොදුජන පෙරමුණට ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට කොන්දක් නැති වීම ඔවුනගේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බව සැබෑය. එහෙත් එක් පක්ෂයකින් බලයට පත්ව තවත් පක්ෂයක සාමාජිකත්වය ගැනීමේ පූර්වාදර්ශය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් යහපත් එකක් නොවේ. රාජපක්ෂලාගේ පක්ෂයක් ශක්තිමත් වීමද ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් යහපත් දෙයක් නොවේ. පක්ෂ දේශපාලනය කිසිසේත්ම එක් පක්ෂයක අභ්‍යන්තර කාරණයක් නොවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙද්දී ඉන්නේ ඒ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට දේශපාලන හයියක් නැති දුර්වල තැනකය. පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් අය සම්බන්ධයෙන් විනය පියවර ගත යුතු බව ශ්‍රීලනිපයේ සැලකිය යුතු පිරිසක් දැනටමත් කියා ඇතත්, එසේ කිරීමෙන් තම පක්ෂය දුර්වල වනු ඇතැයි ඔවුන් කල්පනා කරමින් සිටියි.
එහෙත් යථාර්ථය නම් අද තමන් ශ්‍රීලනිප සාමාජිකයන් බව කියා පාර්ලිමේන්තුවේ රැඳී සිටින රාජපක්ෂලා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසිර ගිය දිනයෙක යළිත් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නා බවයි. එපමණක් නොව, නිල සාමාජිකත්වය නැතත් දැනටමත් ඔවුන් පොදුජන පෙරමුණේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන බවයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිපය විසින් පොදුජන පෙරමුණ වෙත තමන් සතු පාර්ලිමේන්තු අසුන් පරිත්‍යාග කොට අසරණයන් මෙන් නිහඬවම බලා සිටියි.
මෛත්‍රීපාල සිරිසේන හෝ ශ්‍රීලනිපයේ අනෙක් නායකයන් මේ මොහොතේ තමන්ට ඇති දැවැන්ත අවස්ථාව හඳුනාගෙන නැති බව පෙනෙයි. රාජපක්ෂලා ඇතුළු ශ්‍රීලනිපය දුර්වල කරන කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් එළියට යැවීම ශ්‍රීලනිපයේ ප්‍රාදේශීය නායකයන් රැසක් ජාතික තලයට ගෙන ඒමට හොඳ අවස්ථාවකි. තවත් වසරක් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙයි. ශ්‍රීලනිපයේ තරුණ දේශපාලනඥයන් රැසකට පාර්ලිමේන්තුවේ ඉඩකඩ විවෘත කොට, ඔවුන්ට ජාතික දේශපාලනයේ ස්ථාවර වීමට පුළුල් අවස්ථාවක් ඇත. රාජපක්ෂලාට මෙන්ම එජාපයටද එරෙහි නව දේශපාලනයක් කිරීමේ අවකාශයක් ඔවුන්ට ඇත. එහෙත් ශ්‍රිලනිපය එවැනි නිර්භීත පියවරක් නොගෙන, අසරණව බලාසිටිනු ඇතැයි විශ්වාස කළ හැකිය. ශ්‍රීලනිපයේ ඉතිරි වී තිබෙන සාරයත් උරාගෙන, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දිනයෙක රාජපක්ෂලා පොදුජන පෙරමුණට යනු ඇත.■