ලක්ෂ්මන් කිරිඇල්ල එක්සත් ජාතික පක්ෂය



එක්සත් ජාතික පක්ෂයට ඉදිරි ජනාධිපතිවරණයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාගන්නවාද?
දෙමළ ජාතික සන්ධානය සමඟ අපි කළ සාකච්ඡුා සාර්ථකයි. සජිත් පේ‍්‍රමදාස මහතා කිහිප වතාවක් ඔවුන් සමඟ සාකච්ඡුා කළා. ඔවුන් සමඟ රහස් ගිවිසුම් ඇති කරගන්නේ නැහැ. ඒ වෙනුවට සාකච්ඡුා කොට එකඟතාවක් ඇති කරගන්නයි අවශ්‍ය වුණේ. අපට රහස් ගිවිසුම් ගැන බොරු චෝදනා හැමදාම එල්ලවුණත් දැන් මිනිස්සු ඒවා ගණන් ගන්නේ නැහැ. සජිත් පේ‍්‍රමදාස මහතා කරන්නට බලාපොරොත්තු වන දේවල් දැනගන්නයි ඔවුන්ට අවශ්‍ය වුණේ. යහපාලන ආණ්ඩුව සමයේදී පාර්ලිමේන්තුවේ ක‍්‍රියාත්මක කළ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය අපි ඉදිරියට අරගෙන යනවා. ඒ අනුව ඔවුන් සමඟ අපට යම් එකඟතාවකින් වැඩකටයුතු කරන්න හැකිවේවි. අපි ජාතිවාදී දේශපාලනයක යෙදෙන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ හැම ජනකොටසක්ම නියෝජනය කරන නායකයන් එකතු කරගන්නයි. අපි ඒ කටයුත්තේදී සාර්ථකයි.


ඒ කියන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා බලය බෙදීම ගැන එකඟ වුණාද?
ඒ ගැන තමයි මම කීවේ. සජිත් පේ‍්‍රමදාස මහතා එකඟ වුණේ පසුගිය කාලයේ ආරම්භ කළ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නයි. එම වැඩපිළිවෙළේදී සාකච්ඡුා කළ කරුණු මොනවාදැයි අප දන්නවා.


නිශ්චිතව විධායක ජනාධිපති ක‍්‍රමය ගැන එකඟ වුණාද?
ඒ කාරණය ගැන හාරමින් අහලා වැඩක් නැහැ. අපි දැනට පාර්ලිමේන්තුවේ තියෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයනවා. දැනට එපමණයි කියන්න තියෙන්නේ. ප‍්‍රතිපත්ති එළිදක්වන්නේ ඉදිරියේදීයි. ඉදිරියේදී අපට නිශ්චිතවම කරුණු කාරණා ඉදිරිපත් කළ හැකියි. විස්තරාත්මකව කතාබහ කළ හැකියි. අප ඉදිරියට මිස පසුපසට යන්නේ නැති බව පොරොන්දු වෙන්න පුළුවන්.


ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවට සජිත් පේ‍්‍රමදාසට ඡුන්දය ලබාදෙන ඉල්ලන්නට යහපාලන ආණ්ඩුව මෙහෙයවූ එක්සත් ජාතික පක්ෂයට ඇති සුදුසුකම බව සලකන්නේ මොකක්ද?
ඇත්තටම අපි යහපාලන ආණ්ඩුව සමයේදී පැහැදිලි ජයග‍්‍රහණ ගණනාවක් ලබාගත්තා. විවිධාකාර පනත් සම්මත කළා. කෙසේ වෙතත් අපේ ආණ්ඩුව එක් විශේෂ කාරණයක් ගැන ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වුණා. අපේ ආණ්ඩුව කිසිම නීති විරෝධී ක‍්‍රියාවක් කරලා නැහැ. ඒ නිසායි අපි ජාත්‍යන්තර ගෞරවය ලැබුවේ.


ඒ කියන්නේ ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කරන ලද ආයතනගත ක‍්‍රියාවලියක් ලෙස අපරාධ සිද්ධවෙලා නැහැ. උදාහරණයක් විදියට අපේ ආණ්ඩුවට පුද්ගලයන් අතුරුදන් කිරීමේ චෝදනා නැහැ. මාධ්‍යවේදීන්ව ඝාතනය කිරීමේ චෝදනා නැහැ. විනිශ්චයකාරයන්ව බලහත්කාරයෙන් පුටුවෙන් පහකිරීම ගැන චෝදනා නැහැ. වෘත්තීය සමිතිවල සාමාජිකයන් උද්ඝෝෂණය කරද්දී ඔවුන්ව ඝාතනය කිරීම ගැන චෝදනා නැහැ. එවැනි අපරාධ ක‍්‍රියා ගැන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ඇතුළු නායකයන් මෙහෙයවූ කලින් ආණ්ඩුවට චෝදනා තිබුණා. ඒ චෝදනා නිසා ජාත්‍යන්තර වශයෙන් ඒ ආණ්ඩුවට හා රටට කළු පැල්ලම් එකතුවුණා. යහපාලන ආණ්ඩුව සමයේදී අපට ලැබුණු ලොකුම ජයග‍්‍රහණය තමයි රටට තිබුණු ඒ කළු පැල්ලම් නැති කරගැනීම. දැන් මේ රටේ ඉන්න ආණ්ඩුව මිනීමරන්නේ නැහැ, ගිනි තියන්නේ නැහැ. නැවත එවැනි යුගයකට රට ගෙනයන්න බැරි බව රටේ පුරවැසියන් දන්නවා. අපේ ආණ්ඩුවක් යටතේ නැවත ඒවා සිද්ධවෙන්නේ නැහැ. අපට දෙන්න පුළුවන් ලොකුම පොරොන්දුව ඒක. අපි මිනී මරන්නේ නැති ආණ්ඩුවක් හදනවා. මිනිස්සුන්ට දෙන්න පුළුවන් ලොකුම පොරොන්දුව තමයි ඒ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක අත්‍යවශ්‍යම ලක්ෂණයක් තමයි ඒක.


සජිත් පේ‍්‍රමදාස මහතාගේ පැමිණීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තිවල වෙනසක් වෙනවාද?
අපි රට ඉදිරියට ගෙනයනවා. කලින් පටන්ගත් වැඩපිළිවෙළවල් ශක්තිමක් කරනවා. රට වෙනුවෙන් ගන්න ඕනෑ තීන්දු නිර්භයව ගන්නවා. බුද්ධිමත් පුරවැසියෙක් අඳුරු යුගයකට යන්න කැමති නැහැ. දෙමළ, සිංහල, මුස්ලිම් අහිංසකයන්ව ඝාතනය කරන යුගයකට යන්න ඕනෑ නැහැ. රටම අපරාධවලින් පිරුණු යුගයකට යන්න ඕනෑ නැහැ. ඒ නිසා ආපස්සට යන්නට අකැමති අය අපිත් එක්ක ඉන්නවා.


එහෙත් නැවත ජාතික ආරක්ෂාව වැනි මාතෘකා හිස ඔසවා තියෙන සමයක ජාතිකවාදී අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මතුවෙනවා නේද?
ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපේ‍්‍රමය ගැන තමයි කතාකරන්නේ. එහෙම කතාකළත් ඔහු අමාරුම කාලයේ ලංකාව අත්හැරලා ගියා. ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගනිමින් ලංකාවේ පුරවැසිභාවය අත්හැරීම සඳහා ඔහු දිවුරුම් දුන්නා. ඇමෙරිකාව හැර වෙනත් කිසි රටකට පක්ෂපාතී නැති බව එහෙම කරද්දී ඔහු පිළිගත්තා. හෙල්ප් මී ගෝඞ් කියලා දෙවියන්ගෙන් උදව් ඉල්ලූවා. එහෙම කියපු කෙනෙක් තමයි දැන් දේශපේ‍්‍රමය ගැන කතාකරමින් ජනාධිපතිධුරයට පත්වෙන්න උත්සාහ කරන්නේ.


රාජපක්ෂවරු නිතරම දේශපේ‍්‍රමය ගැන කතාකරනවා. සජිත් පේ‍්‍රමදාස මහතාත් නිතර දේශපේ‍්‍රමය ගැන කතාකරන කෙනෙක්. සජිත් පේ‍්‍රමදාස කතාකරන දේශපේ‍්‍රමය මොකක්ද?
ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා සජිත්ගෙන්ම තමයි අහන්න ඕනෑ. ඒත් ගෝඨාභය රාජපක්ෂලා කතාකරන දේශපේ‍්‍රමය මොකක්ද කියන එක ඔහුගේම ක‍්‍රියා ඇසුරෙන් අපි ප‍්‍රශ්න කරන්න ඕනෑ. වෙනත් රටකට පක්ෂපාතී බව දිවුරපු කෙනෙක් දේශපේ‍්‍රමී වෙන්නේ කෙසේදැයි අහන්න ඕනෑ.


ඔබ අනුමාන කරන විදියට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපේ‍්‍රමය මොකක්ද?
ඔවුන් දේශපේ‍්‍රමය යැයි කියන්නේ සුළු ජාතීන්ව හතුරන් විදියට හැඳින්වීමයි. සුළු ජාතීන්ට එරෙහිව සිංහලයන්ව පෙළගැස්වීමයි. අනෙකුත් ජනවර්ගවල ප‍්‍රශ්න අමතක කිරීමයි. අපි දේශපේ‍්‍රමය කියලා කියන්නේ රටේම සියලූ ජනවර්ග එකතු කරලා රට ඉදිරියට ගෙනයෑමටයි.