මානව හිමිකම් ක්‍රියාකාරිනිය, ස්ත්‍රීවාදිනිය, ගායිකාව, කලාකාරිනිය, ලේඛිකාව, විචාරිකාව ආදි භූමිකා රැසකට පණ දුන් සුනිලා අබේසේකරගේ වියෝවට වසර 7ක් පිරීම හා සැප්තැම්බර් මස 04 වෙනිදාට යෙදෙන ඇගේ උපන්දින සැමරුම නිමිත්තෙනි. 2013 සැප්තැම්බර් 09 ඇගේ වියෝව සිදුවිණ.

 

■ සීතා රංජනී

 

මුලින් ම ඇය මට මුණගැසෙන්නේ 1984 මැයි මස 29 වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේ දීය. ඒ,  ‘කාලයේ රාවය’ ප්‍රසංගයේ මංගල දර්ශනය පැවැත්වූ දාය. ප්‍රසංගය සංවිධානය කරන ලද්දේ, ජනතා සංස්කෘතික කේන්ද්‍රයේ අනුරාධපුර මධ්‍යස්ථානය විසිනි. සංවිධාන කටයුතු මෙහෙයවන ලද්දේ පසුව, එනම්, 1987 නොවැම්බර් මස ඝාතනයට ලක්වූ නන්දන මාරසිංහ විසිනි. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, විජයානන්ද ජයවීර, ගුණදාස කපුගේ ආදි ප්‍රබල සංස්කෘතික ක්‍රියාධරයෝ එහි ක්‍රියාකාරී වී සිටියහ. අපද එයට දායක වන්නේ ‘කාලයේ රාවය’ හරහාය. පීඩිතයාගේ කෝණයෙන් හා ස්ත්‍රියකගේ කෝණයෙන් මිනිසා පෙළෙන අයුක්තිය තේමා කරගත් මා ලියූ ගීත දෙකක් එම ප්‍රසංගයට ඇතුළත් වී තිබිණ. මගේ එම ගීත නිර්මාණ දෙක ගැයුවේ සන්ධ්‍යා බුලත්සිංහල සහ තිලක් ඉද්දමල්ගොඩය. එම ප්‍රසංගයේදී ඇය සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ගී ගැයුවාය. කොළඹ දී කණ්ඩායමක් වශයෙන් ප්‍රසංගයේ පුහුණුවීම් කරන විට ඇය මගේ ගීත දෙක හරහා මා හඳුනාගෙන මා මුණගැසෙන්නට බලාසිටියාය. අද මෙන් නොව කොළඹට බොහෝ දුරස්ථ වූ අනුරාධපුරයේ සිට ඇය අපේක්‍ෂා කරන සමාජය අරමුණු කරගත් ගීත ලියූ නොහඳුනන රචිකාව හඳුනාගන්නට ඇයට අවශ්‍ය වී තිබිණ. ඇය ගැන කිසිවක් නොදත් මගේ අවධානය තිබුණේ මා ලියූ ගීත ගයන අය කවුරුන්දැයි හඳුනා ගැනීමටය.

චන්ද්‍ර සූර්ය රශ්මි නුඹට බැන්ද වියන වේ

මහ පොළොව කිම්ද පා තබන්න නොදෙන කාරණේ

ගොළු මුහුද ගයන්නී රණ ගී වියරු ගායනා

හිත තුවාල වී වැළපේ කිරි හිඳුණු අම්මලා..

කොළඹ ලුම්බිණි රඟහල දෝංකාර දෙමින්, රත්න ශ්‍රී ලියා තිබූ ගීයකට මුසු වූ ඇගේ හඬ, මට නුහුරු කොළඹ රාත්‍රියේ සැකසංකා අමතක කර තිබිණ.

කලකිරීමේ පිළිකුලේ ලෝදිය

කල්ප වැස්සෙන් වසී ලෝ මත

අභිමානය යදී දොර දොර සිඟමන්

නිසරු බව හැඩ වී මහඟු රන් මිණිබරණින්…

සුනිල් විජේසිරිවර්ධන ලියූ ගීයට ඔහු සමඟ මුසු කළ ඇගේ හඬ, අපේ හද කෙම්බිම් මත, නිබඳ දලුලා වැඩෙන, නොමියෙන සිහිනය සැබෑ කර ගැන්මට මගේ ඇති ආශාව එදා ස්ථිර කළේය. ප්‍රසංගය පළමු දින අවසානයේ ඒ සුන්දර සිනාවෙන් යුතු ඇය, සුනිලා අබේසේකර හා මා අතර හමුව සිදුවූවා පමණක් නොව එදින රාත්‍රියේ ඇයගේ නිවසේ නවාතැන් ද ලැබුණි.

එතැනින් පටන්ගෙන කෙටි කලකින් ම ඇය අනුරාධපුරයේ පදිංචියට ආවාය. ඒ 1984 අවසානයේ හෝ 1985 වසරේ මුලදීය. ඇය එන්නට පෙර ඒ බව මා වෙත දන්වා එවා තිබිණ. සුනිල් විජේසිරිවර්ධන සමඟ ඇය අනුරාධපුරයේ ගෙවූ කාලය තුළ අපි (කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධ තරුණ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ද ඇතුළත්ව) ‘කිණිහිර’ නමින් කුඩා කණ්ඩායමක් ලෙස, දේශපාලන, සාහිත්‍ය, සංස්කෘතික ආදි විවිධ දේ ගැන සතියකට වරක් රාත්‍රියේ රැස් වී සාකච්ඡා කළෙමු. අපි එකිනෙකාගේ නිවෙස්වල නිවාඩු දවස් ගතකළෙමු. එම අවස්ථාවල අපගේ නිවස පිටුපස වැව්තාවුල්ලේ වාඩි වී නොයෙක් දේ කතාකළෙමු. අපගේ හමුවේ පරිච්ඡේද වෙනස් වී කොළඹ උපන් ඇය අනුරාධපුරයේ සිටියදී අනුරාධපුරයේ උපන් මා 1986 කොළඹට එන්නේ ඇයගේ ද බලපෑම මත බව මට සිතේ. 1979 සිට රජරට සේවයේ පිටපත් රචිකාවක හා ශිල්පිනියක වශයෙන් කටයුතු කරමින් සිටි මට මගේ ලිවීම් නිසා ම, අලුතින් පටන් ගන්නට සූදානම් ‘විවරණ’ නම් මාසික සඟරාවේ සංස්කාරක මණ්ඩලයට ආරාධනාවක් ලැබිණ. ලිවීම අතිරේක දෙයක් මිස ස්ථිර රැකියාවක් වශයෙන් සිතා නොසිටි මට එම ආරාධනාව පිළිගන්නට මානසිකත්වය සැකසුවේ ඇයයි. ‘ඔයාට දුර ගමනක් යන්න තියෙනවා. දැනට කරන, කියන, ලියන දේ අනුව කොළඹ ගිහින් මේ වගේ විකල්ප මාධ්‍ය වැඩකට සම්බන්ධ වුණොත් ඔයාගෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්න පුළුවන්.’

අවුරුදු 30ක් වන අපගේ ඉතිහාසයේ පරිචේඡ්ද ගෙවීයද්දී ඇය පෙරමුණ ගත් හා ඇය ද සම්බන්ධ බොහෝ ක්‍ෂේත්‍රවල අප එකට කටයුතු කර ඇත. ඇයගේ දැනුම, දැක්ම, දක්‍ෂතාව, බුද්ධිය මෙන්ම ඉවසීම, මව්වත් ගුණය, ගැටුම් සමනය කිරීමේ හැකියාව ඒ සියලු තැන්හි දී කැපී පෙනුණි. අනුන්ගේ හැකියාවන් අගය කිරීමේ, දිරිදීමේ ගුණය ඇය තරමට මා වෙනත් කිසිවකු තුළත් දැක නැති බව කිව යුතුය. අවසන් හුස්ම හෙළන්නට සති දෙකකට පෙර දුටු විටෙක ද මා දෙස බලාගෙන ඇය මතක් කළේ මා තුළ ඇති දරාගැනීමේ ශක්තිය ගැනය. තනි ගැහැනියක ලෙස කොළඹට පැමිණි මා, පැමිණ ඇති දුර ගැන, පොදු හා පෞද්ගලික ජීවිතයේ දේවල් දරාගත් ආකාරය ගැන ලියා තැබිය යුතු යැයි මට යෝජනා කළ ඇය, පවුල් හෝ වෙනත් කිසිදු ශක්තියක් නැතිව, තනිව සියලු දේට මුහුණ දුන් ගැහැනියක තවත් නැතැයි ද කියා නිර්ලෝභීව මා ලියන්නට උනන්දු කරන්නට උත්සාහ කළාය. මඩකලපුවේ සිට ඇය බලන්නට පැමිණ සිටි රාජේශ්වරීට මා පෙන්නා ‘මෙයා අපි සේරටම වඩා යකඩ ගැහැනියක්’ කියා ශාරීරික වේදනා අතරින් සිනාසුණාය. ඒ සියලු මතක ඉතිරි කර, ඊට සති දෙකකට පසුව ඇය අපගෙන් වෙන් වී ගිය පසු එය දරාගැනීම අපට පහසු වූයේ නැත. තමා එම රෝගයෙන් ගොඩ නොඑන බව ඇය ම ප්‍රකාශ කළ ද, එම අවසන් හමුවේදීත් ඇය කතා කළ ආකාරයෙන් එය එතරම් ඉක්මනින් නිමවේයැයි මා කිසිසේත් සිතුවේ ද නැත.

මා සඳහන් කළේ ඇය හා මා අතර පෞද්ගලික මුල් ම හමුවීමත්, අවසාන හමුවීමත් ගැන පමණි. ඒ අතර ගෙවී ගිය පරිචේඡ්ද විශාල ගණනක් අපගේ සහෝදරත්වය අතර නොකී කතා නිසා හිස්ව පවතී. ඒවා පුරවන්නට ඕනෑතරම් කරුණුකාරණා මා මෙන්ම ඇගේ මිතුරු සමාජයේ මතකයන්වල තැන්පත්ව ඇත. ඒ කාලය සහ ඊට පෙර ඇය සමාජයට දායාද කළ බොහෝ දේ පිරුණු පරිච්ඡේද විශාල ගණනක් ද කතා කිරීමට ඉතිරිව ඇත. ඒ සා මානව දයාවෙන් පිරි ගැහැනියකගේ සමාජ කාර්යභාරය විග්‍රහ කරන්නට පරිචේඡ්දයක් නොව පොතක් ලිවිය හැකිය. ඒ සා ගැහැනියකගේ ගැහැනිය පිළිබඳ ලෝක දැක්ම විග්‍රහ කරන්නට පොතක් ලිවිය යුතුය. ඒ සා ගැහැනියකගේ දේශපාලන භූමිකාව විස්තර කරන්නට පොතක් ලිවිය යුතුය. ඒ සා ගැහැනියක තුළ සිටි රසවතිය/කලාකාරිනිය හඳුනා ගන්නට පොතක් ලිවිය යුතුය. ඒ සා අප්‍රමාණ ගැහැනියක වූ සුනිලා අබේසේකර සම්බන්ධ පෞද්ගලික මතකයන් එකතු කරන්නට පොතක් ලිවිය යුතුය. ඇය පොත් කිහිපයකට වස්තු බීජයකි.

ඒ අතරින් එතරම් කතා නොකරන එක දෙයක් ගැන කෙටියෙන් හෝ කිව යුතුමය. ඇගේ විචාර කලාව ගැනයි. සාහිත්‍ය, කලාව, සංස්කෘතික කටයුතු, දේශපාලනය, යුද්ධය හා සාමය, ආර්ථිකය ආදි ඕනෑම කාරණයක් ගැඹුරු දේශපාලන පසුබිමක පිහිටා ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණයකින් විග්‍රහ කිරීමේ ආරම්භය සපයන ලද්දේ ඇය විසින් බව පිළිගත යුතුය. නැතහොත්, එවැනි විචාර කලාවක් පිළිබඳ කතිකාව සමාජගත කරන ලද්දේ හෝ එයට පන්නරය දෙන ලද්දේ ඇය විසින් බව පිළිගත යුතුය. චිත්‍රපට විචාරය එහිදී ප්‍රමුඛ විය. ගැහැනිය මෙවලමක් කර ගන්නා කලාව තුළ ස්ත්‍රී පුරුෂ සමාන මනුෂ්‍යත්වය පිළිබඳ කතිකාව ගොඩනගන්නට ඇය තම විචාර කලාව උපයෝගී කරගත්තාය. එම බලපෑම මත ස්ත්‍රිය පිළිබඳ යථාර්ථය ප්‍රතිනිර්මාණය කෙරෙන නිර්මාණ කරන්නට ඈ වටා සිටි හා ඇයගේ දෘෂ්ටිමය බලපෑම ලද අයට තරමක් දුරට හෝ හැකියාව ලැබිණ. ඇගේ නමින් ඇති පොත්පත් අතර ඇයගේ අභාවයෙන් පසු කාන්තාව හා මාධ්‍ය සාමූහිකය මඟින් පළ කර ඇති ඇගේ චිත්‍රපට විචාර ඇතුළත් පොත මෙහිදී සුවිශේෂය.

වියෝවී වසර 7ක් ඉක්ම ගිය ද මතකය තුළ ජීවත්වන, අප්‍රමාණ වූ ගැහැනියක වූ සුනිලා අබේසේකර මේ සමාජය තුළ සදා ජීවමාන කර වීමට ඇගේ මෙහෙවර ඉතිහාසගත විය යුතුය.■