ඔබේ පවුල් පසුබිම විස්තර කළොත්..

මම හැදී වැඩුණේ පිළියන්දල. ඒ කාලයේ පිළියන්දල හරිම ගැමි ප්‍රදේශයක්. මද්දුමබණ්ඩාර කනිෂ්ඨය කියලා ගමේ පොඩි ඉස්කෝලයක් තියෙනවා. මම ඉස්කෝලේ ගියේ. මම ශිෂ්‍යත්වය පාස්වුණා. මට ඊළඟට යන්න තිබුණ ලොකුම ඉස්කෝලේ තමයි පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය. මගේ තාත්තා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය නිලධාරියෙක්. ගබඩා භාරකරුවෙක්. අම්මා ගෙදර හිටපු කෙනෙක්. අපට ලොකු ආර්ථික හයියක් තිබුණේ නැහැ. ඉතින්, අපි සාමාන්‍ය පවුල්වල හැදුණ අය. සාමාන්‍යයෙන් අපට ගෙට වෙලා ඉන්න කියලයි පුරුදු කරලා තිබුණේ. උසස්පෙළ දක්වා ඉගෙනගෙන මම දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියැදුරෙක් විදියට රැකියාවට බැඳුණා. අවුරුදු 17ක් මම දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකළා.

 

ඒ කියන්නේ නීතිඥයෙක් වෙන්න කලින් ඔබ කෝච්චි රියැදුරෙක්?

ඔව්, මම කෝච්චි එළෙව්වා. මුලින් අවුරුදු පහක පුහුණුවක් දුන්නා, දුම්රිය එළවන්නට. කඳුකරයේ එළවන්නට තිබුණා. දුම්රිය සංඥා, පරිපාලනය, අලුත්වැඩියාව ගැන ඉගැන්වුවා. පාරේ වාහනයක් තල්ලු කරලා අයින් කරන්න පුළුවන් වුණාට, කෝච්චියක් එහෙම බෑ. කැඩුණොත් මූලික අලුත්වැඩියාවක් කරන්න දැනුම ඕනෑ. ඒකට මූලික තාක්ෂණ දැනුමත් ඕනෑ. දුම්රිය හරි සංකීර්ණ වාහනයක්. ඉතින්, මගේ කාලය ශ්‍රමය වැයකරලා ඒ ගැන ඉගෙනගත්තා. පුහුණුවෙන් පස්සේ විභාගයකට මුහුණදීලා කාලයක් යනතුරු දුම්රිය එළෙව්වා. ඒත් කෝච්චි පදින වැඬේට වඩා මට ආසාව සමාජයට යහපතක් කිරීමේ දිශාවට යොමුවුණා. වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වලට යොමුවුණා. පස්සේ මම වෘත්තීය සමිති කටයුතුවලට රැකියාවෙන් පූර්ණකාලීනව නිදහස් වුණා. අවුරුදු දහයක් එහෙම හිටියා.

වෘත්තීය සමිතිය මොකක්ද?

දුම්රිය වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් විදියට මම වැඩ කළා. අපේ වෘත්තීය සමිතියේ සභාපති  සරත් ප්‍රනාන්දු. දැන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ මා එක්ක ඉන්න සුදේශ් නන්දිමාල් තමයි ඒ වෘත්තීය සමිතියේ භාණ්ඩාගාරික. මිනිසුන්ගේ අරගල පිළිබඳ දැනුමක් ආවේ එතැන වැඩකරද්දී. ඒ නිසා මගේ තක්සලාව විදියට මම සලකන්නේ එතැන. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකතු කරලා දුම්රිය වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ හදනකොට ඒකේ නම දැම්මෙත් මම.

ඔය අතරේ අපි බාහිර සමාජයේ මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඒ කාලයේ එප්පාවල පොස්පේට් නිධියට එරෙහි ව්‍යාපාරය තිබුණා. ඒ කාලයේ මහමංකඩවල පියරතන හාමුදුරුවන්ගේ නායකත්වයෙන්. මට හොඳට මතකයි, අපි දුම්රිය වෘත්තීය සමිති විදියට අපේ වෘත්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන අතරේ අර ජාතික ප්‍රශ්නයටත් මැදිහත් වුණා. සමහරු ඇහුවා ඒවාට සම්බන්ධ වෙන්නේ ඇයි කියලා. ඒත් අපි ඒ සටන වෙනුවෙන් අනුරාධපුරයේත් ගියා. දුම්රිය අධිකාරී පනත ගෙනා වෙලාවේ අපි එයට එරෙහිව සටන්කළා. දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් මුණගැහුණාම අපෙන් සටන නවත්වන්න මොනවාද ඕනෑ කියලා ඇහුවා මට මතකයි. ඒ වගේ වෙලාවක දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමක් වගේ ඉල්ලලා, ඒක අරගෙන සටන පාවාදෙන්න තිබුණා. ඒත් අපි දුම්රිය අධිකාරී පනත හකුළාගන්න තුරු සටන් කළා. ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුව ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙන ආයතනයක්. ඒවා අනවසරයෙන් අල්ලාගැනීම් ගොඩක් සිද්ධවෙලා තියෙනවා. ඇතුළේ වෘත්තීය සමිතිවල අයට පවා ඒවා අල්ලගන්න අවස්ථා නිර්මාණය වෙනවා.

 

පොඩි මාධ්‍යවේදී පසුබිමකුත් හැදුණා නේද?

ඔව්, ඔය කාලයේ අපි ‘අකුණ’ කියලා පත්තරයක් ගැහුවා. මම ඒකේ නියෝජ්‍ය කර්තෘ. සරත් ප්‍රනාන්දු තමයි කර්තෘ. අපේ තේමා පාඨය වුණේ ‘වැඩබිමේ ජවය’ කියන එක. ඔය කාලයේ වාමාංශික පක්ෂවල පත්තර ඔක්කෝම ආණ්ඩුවට හිතවත්. ජේවීපීයේ පත්තර පවා යුදවාදී සහ ආණ්ඩු හිතවාදී තැනකනේ හිටියේ. අපි විරුද්ධව වැඩකළා. මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය වැනි අය අපි එක්ක වැඩකළා. වෘත්තීය සමිති එකතු කරන වේදිකාවක් හදන්න, ඒ අයට අවශ්‍ය දැනුම දෙන්න පත්තරේ පාවිච්චි කළා.

 

ඒ කාලයේ යුද්ධයට විරුද්ධ වුණා නේද?

ඔව්, අපි දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. සුනාමි සහන කළමනාකරණ සභාව කියලා ආයතනයක් හැදුණානේ. ඒක චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කාලයේ ආ එකක්. යාපනය ආදි ප්‍රදේශවල අයට සහන දෙන්න තමයි ඒක හැදුණේ. ඒ කාලයේ ජේවීපීය පවා මේක රට පාවාදීමක්, කොටින්ට වෙනම සහන දීමක් කියලා තර්ක කළා මතක ඇති. අපි මරදාන දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළා. ඒ සුනාමි සහන කළමනාකරණ සභාවට සහයෝගය දෙන්න ඕනෑ බව කියමින්. එදා ඉඳන්ම අපි ජාතිවාදයට විරුද්ධ ස්ථාවරයක හිටියේ. ඒත් ඒ වැඩවලින් අපට කතාවක් හැදුණා අපි කොටි කියලා. එල්ටීටීඊ එකට කඬේ යන බව කීවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතුළේ අපට තිබුණ තත්වය වෙනස් වෙන්න ගත්තේ ඊට පස්සේ. ජනප්‍රිය නොවන කටයුතු කිරීම නිසා අපි ලොකු අපහසුතාවන්ට පත්වුණා. විශේෂයෙන්ම ජේවීපී වෘත්තීය සමිති අපට විරුද්ධ ව්‍යාපාරයක් ගෙනිච්චා.

 

සිද්ධවුණේ මොනවාද?

දුම්රිය දෙපාර්තමේන්තුවේ මගේ ලොකර් එකක් තිබුණා. ජේවීපී වෘත්තීය සමිතියේ අය ඒ ලොකර් එකේ ලියලා තිබුණා කොටියා කියලා. සිංහල කොටි චෝදනාව අපේ අයට එල්ලවුණාට පස්සේ අපි කරපු වැඩ ටික නතර වුණා. කට්ටියක් හිරේ ගියා. මටත් වැඩ කරන්න බැරි තත්වයක් ආවා. මම යන වෙලාවට තාප්පයේ ගහලා තිබුණා, ‘මීළඟට ආර්.එච්.එස්. පෙරේරා’ කියලා. දුම්රියේ ඉන්න කාලයේ මම පාවිච්චි කළ නම ඒක. පෝස්ටර් ලියපු කොළ ගලවලා බැලුවාම ඒවා ලියලා තිබුණේ ජේවීපී වෘත්තීය සමිතිවල නම්. ඒවායේ ඡායාරූප පවා මා ළඟ තියෙනවා.

 

සිංහල කොටි චෝදනාව මොකක්ද?

2008 දී විතර උතුරේ පීඩිත ජනතාව හා දකුණේ පීඩිත ජනතාව එකතු වූ දවසට තමයි සහනයක් තියෙන්නේ කියලා අපි කල්පනා කළා. ඒ සඳහා සාකච්ඡාවක් කරන්න ඕනෑ බව අපි තීන්දු කළා. ඒ වෙනුවෙන් අපි සිංහල-දෙමළ කලා උළෙලක් කළා. ඒක එල්ටීටීඊ වැඩක් කියලා හෙළඋරුමය ඇතුළු පක්ෂවල කණ්ඩායම් ඇවිල්ලා පහරදීම් පවා කළ බව සමහර අයගේ මතකයේ ඇති. ඔය අතරේ පීඩිත පන්තියේ එක්සත්කම වෙනුවෙන් අපි දේශපාලන කණ්ඩායමක් විදියට උතුරේ දෙමළ තරුණයන් එක්ක සාකච්ඡාවක් කළා. ඒත් එහෙම සාකච්ඡා කරන්න බැරි විදියට බාධකයක් තිබුණා. එයාලා කොටි, අපි සිංහල කියලා බෙදීමක්. ඒත් අපි කතාකළා. අපේ සාකච්ඡා පදනම් කරගෙන සිංහල කොටි කියන චෝදනාව යටතේ අපේ කිහිපදෙනෙක් අත්අඩංගුවට ගත්තා. එහෙම හිරේ ගිය සුදේශ් නන්දිමාල් අවුරුදු හතක් හිටියා. සරත් ප්‍රනාන්දු අවුරුදු තුනක් හිටියා. අපි ගැන පුවත්පත්වල දැවැන්ත පුවත් පළවුණා. අත්අඩංගුවට ගත්තාට පස්සේ නන්දිමාල්ලාට පහරදීලා තිබුණා. ලේ එනතුරු ඇදගෙන ගියාලු. සරත් ප්‍රනාන්දු වධහිංසාවට එරෙහිව බන්ධනාගාරයේදී උපවාසයකුත් කළා. ඔය කාලයේ එළියේ හිටපු කෙනා විදියට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන්න මම උත්සාහ කළා.

 

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉවත්වුණේ කොහොමද?

සිංහල කොටි චෝදනාව එක්ක අපි මහා විනාශකාරී කණ්ඩායමක් විදියට ලේබල් වුණා. අපට දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළේ කොයිවෙලාවේ ගුටිකන්න වේවිද කියන තත්වයක් තිබුණේ. ජාතිවාදය ඇවිස්සුවාට පස්සේ, කාව හරි දේශද්‍රෝහියෙක් කළාට පස්සේ තියෙන ලේසිම දේ තමයි පහරදෙන එක. හිරේ දාන්න ඕනෑම නෑ. පොඩි කණ්ඩායමක් ලවා පහරදීම ලෙහෙසියි. ඒ තත්වය නිසයි මම අයින්වෙන්න හිතුවේ. රේල්ලුවෙන් අයින්වුණාම නීතිඥ වෘත්තිය විකල්පයක් විදියට සලකමින් වැඩ කරන්න පටන්ගත්තා.

 

නීතිය ඉගෙනගන්න හිතුවේ ඇයි?

2006/06 කියලා චක්‍රලේඛයක් ආවා. ඒකෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වාගේ අයට සීයට 300ක් වැටුප් වැඩිවුණා. ඒත් සාමාන්‍ය රජයේ සේවකයන්ට වැඩිවුණේ සීයට 10යි. ලොකු විෂමතාවක් හැදුණා. ඒකට විරුද්ධව වෘත්තීය සමිති නියෝජිතයන් මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා. ඒ නඩුවේ මමත් එක පෙත්සම්කාරයෙක්. වැලිඅමුණ මහත්තයා තමයි නඩුව කළේ. ඒ කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නකොට මටත් හිතුණා නීතිඥ වෘත්තියට එන්න උත්සාහ කරන්න ඕනෑ බව. ඒක වෘත්තීය සමිති වැඩවලට පහසුවක් කියලයි එදා හිතුවේ. ඒ නිසා මම ඒ කාලයේ නීති ප්‍රවේශ විභාගයට ලීවා. කරන්න පුළුවන් වේවිද කියලා සැකයක් තිබුණාත් මම සමත්වුණා. නීතිය ඉගෙනගන්න ලැබුණා. දුම්රියේ රස්සාවෙන් අයින්වුණාම නීතිඥ වෘත්තියටම යොමුවුණා.

 

නීති විද්‍යාලයේදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් වුණේ නැත්ද?

නීති විද්‍යාලයේදී ලොකු ශිෂ්‍ය සටන් හෝ අයිතිවාසිකම් ඉල්ලීමේ ක්‍රියාවලියක් නෑ. නීති ශිෂ්‍ය සංගමයේ අනුශාසක විදියට ඉන්නේ නීති විද්‍යාලයේ විදුහල්පති. යම් ඉල්ලීමකට සටනක් ගියොත්, විදුහල්පති ඇවිත් නවත්වන්න කීවාම නවත්වනවා. බොහෝවිට අධිකරණ ක්ෂේත්‍රයේ නීති ශිෂ්‍යයන් විතරක් නෙවෙයි, නීතිඥයන් පවා සටන් කරන්න බයයි. ශිෂ්‍යයන් බයයි දිවුරුම් දෙන්න බැරිවේවි කියලා. නීතිඥයන් බයයි කෝට් එක ගැලවේවි කියලා.

 

දුම්රිය රැකියාව අහිමිවීම පෞද්ගලික ජීවිතයට අමාරුවක් වුණේ නැද්ද?

මම විවාහ වෙලා හිටියේ චම්පිකා සේරසිංහ කියන දේශපාලන ඉතිහාසයක් ඇති ක්‍රියාකාරිනිය එක්ක. ඇය නව සමසමාජ පක්ෂයේ කාන්තා නායිකාවක්. පසුකාලීනව ඇගෙන් වෙන්වුණා. පසුව දෙවැනි විවාහයක් කරගත්තා. දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවෙන් ඉවත් වෙද්දී ළමයිනුත් හිටියා. මුලින් ජීවත්වීම අමාරු වුණා. මේ වෘත්තියට එනකොට පහසුකම් ලැබෙන්නේ නෑ. සේවාදායකයන් ලැබෙන්නේ නෑ. මේ වෘත්තියට එන සමහර අය පවුල් පසුබිමක් තියෙන අය. සමහරුන්ගේ දෙමාපියන් නීතිඥයන්. එවැනි සම්බන්ධතා මැද හොඳ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් හමුවෙනවා. හොඳ නමක් හදාගන්නවා. සමහරවිට දෙමාපියන්ගේ හෝ ජ්‍යෙෂ්ඨයන්ගේ සේවාදායකයන් යොමුවෙනවා. ඒත් ඒ කිසිවක් නැති ආධුනික නීතිඥයෙක් විදියට උසාවියට ගිහින් සමහර දේවල් කරන්නත් අපි බයක් දැක්වුවා. ක්‍රමානුකූලව තමයි ස්ථාවරත්වයක් හදාගන්න පුළුවන් වුණේ. අදටත් වෙනත් නීතිඥවරුන් ස්ථාවරයි කියලා හඳුන්වන තත්වයට අපි ඇවිත් නෑ. ඒත් එදිනෙදා ජීවිතේ ගෙවාගෙන හොඳ ජීවිතයක් ගතකරන්න දැන් පුළුවන්. ලොකු ගෙවල් හදන්න වුවමනාවක් දැන් නැහැ.

 

ඔබේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කවුද?

මගේ ජ්‍යෙෂ්ඨයා වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක්ද වන නීතිඥ ඊ. තම්බයියා. ඔහු බොහොම ප්‍රගතිශීලී නීතිඥවරයෙක්. මට මතකයි ඔහු එක්ක අපි ඉහළ කොත්මලේ වේල්ල ඉදිකරනකොට ඒකට විරුද්ධ අරගලයකට ගියා. එදා අපි සටන් කළේ, ඒ වේල්ල නිසා ස්වාභාවික පරිසරයට සහ ඩෙවෝන් දියඇල්ලට හානි වෙන බව කියලා. කොත්මලේ ගිහින් අපි ලොකු විරෝධතාවක් පටන්ගත්තා. ඒ වෙලාවේ දේශපාලන බලවතෙක් පහරදුන්නා. අපි පිටින් ආපු පිරිසක් කියලා ගැහුවේ. අපේ කන්වලට ගැහුවේ. අප ඇඳගෙන හිටියේ ඉහළ කොත්මලේ විදුලි බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය කියලා සඳහන් ටීෂර්ට් එකක්. ඒක ඇදලා, ඔළු වටේ එතුවා. තම්බයියාගේ ගෙවල් තිබුණේත් ඒ පැත්තේ කොටගල. අපි ආරක්ෂාවට ඔහුගේ ගෙදර හැංගිලාත් හිටියා. අද වෙනකොට අපේ එදා සටන්පාඨ ඇත්ත වෙමින් ඩෙවෝන් ඇල්ලේ වතුර සිඳී ගිහින්. තම්බයියා හොඳ සටන්කරුවෙක්. ඔහු ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට එහා ගිය අත්දැකීම් බෙදාගත් චරිතයක් වුණා.

 

සිරකරුවන්ගේ අයිතිවාසිකම් කතා කරන්න යොමුවුණේ කොහොමද?

අපි 2015 දී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හැදුවා. නන්දිමාල් හිරගෙදර ඇතුළේ ඉන්න කාලයේ ඇතුළේ ඉඳන් ඔහුත්, එළියේ අඳින් අපිත් එතැන හිටපු අයගේ ප්‍රශ්නවලට මැදිහත් වුණා. ඔහු බන්ධනාගාරයෙන් ආවාට පස්සේ ඔහුට ඕනෑ වුණා සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විධිමත් මැදිහත්වීමක් කරන්න. ඒ අනුව තමයි අපි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හැදුවේ. මූලිකව 2012 දී වැලිකඩ සිරගෙදරදී කළ ඝාතනවලට විරුද්ධව අපි වැඩ කළා. ඒ නිසා අපට විවිධ තර්ජනත් ආවා. වැලිකඩ සිදුවීමේ වගඋත්තරකරුවන් අපේ ක්‍රියාකාරකම් නවත්වන්න උත්සාහ කළා. අපි ද්‍රෝහීන් විදියට ලේබල් කළා. එහෙත් අපි බොහොම සරල විදියට අපේ වැඩ කරගෙන ආවේ. තාම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට බැංකු ගිණුමක්වත් නෑ.

 

ඒත් චෝදනා නතරවුණේ නැහැ..

නෙත් එෆ්.එම්. එකේ බැලුම්ගල වැඩටසහනක් ගියා. අප ද්‍රෝහීන් කරලා. අපට විරුද්ධව සාමාන්‍ය මිනිසුන් කුපිත කරන්න උත්සාහ කළේ. ඒ විස්තරය ඇහුවානම් හිතෙයි අපි තරම් භයානක පිරිසක් නැතිව ඇති කියලා.

දිවයින පත්තරේ සමන් ගමගේ කියන මාධ්‍යවේදියා දිගින් දිගටම අප ද්‍රෝහීන් විදියට ලේබල් කළා. ඔහු ලියන ඒවායින් මිනීමරුවන් ආරක්ෂා කරන බව පේනවා. නාකොටික් වීරයන් කියලා රංගජීව ගැන පහුගිය කාලයේ ලිව්වේ ඔහුනේ. අන්තිමේ රංගජීව මාධ්‍යවේදියෙක්ට පහරදුන්නාම ඔහු සද්ද නැතිව හිටියා. සමන් ගමගේ නන්දිමාල්ට සහ මට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩුවකුත් දැම්මා. ඒ අපි අධිකරණයට අපහාස කළා කියලා. ඒ නඩුව ගැන මට වැඩි කිසිවක් කියන්න බෑ. ඒත් අධිකරණයට අපහාස කරපු බව කියමින් මගේ නීතිඥ වෘත්තිය තාවකාලිකව හෝ නැතිවෙන්නත් පුළුවන්. මේ වගේ මාවතක් තෝරාගත්තාම ඔය වගේ තත්වයන්ට මුහුණදෙන්න වෙනවා.

 

ආණ්ඩු වෙනස් වුණාට පස්සේ, ජීවිතය ගැන බියක් ඇතිවෙනවාද?

අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වෙන අයට ඉස්සරහට එන්නේ දුෂ්කර කාලයක්නේ. කලිනුත් දුෂ්කරයි තමයි. ඒත් මේ මැතිවරණ ජයග්‍රහණයත් එක්ක ඒක වැඩිදියුණු වීමක් තියෙන්නේ. ඒත් අපි අපේ වැඩ නවත්වන්නේත් නෑ. ද්‍රෝහීන් විදියට ලේබල් වුණාම කාගෙන්  හරි ගුටිකෑමේ අවදානමක් තමයි තියෙන්නේ. කවුද ගැහුවේ, කොහොමද ගැහුවේ කියලා දන්නේ නෑනේ. ඒත් අපි මේ කරපු වැඩවලින් හම්බ කරලා නෑ. ඒ නිසා අපට චෝදනා කරන්න පදනමකුත් නෑ. මම උසාවිය ඉස්සරහ පුංචි කාමරයක සේවාදායකයන් මුණගැහෙන්න ඉඳගෙන ඉන්නවා. අපට මොනවා නැතිවෙන්නද?

 

ඔබ ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙනුත් පෙනීහිටියා..

ලිංගික ශ්‍රමිකයන් කියන්නේ කොන් වූ පිරිසක්. වෙන කාටත් නැති සමාජ පීඩනයකුත් ඔවුන්ට තියෙනවා. ගමට බෙදන සහන, ආධාර මොනාවත් එයාලාට ලැබෙන්නේ නෑ. එයාලාගේ ළමයින් ඉස්කෝලෙකට ගන්නේ නෑ. ඒ සංගමය හැදුවාට පස්සේ, ඒකේ හිටපු එක් කාන්තාවක් තමන් ලිංගික ශ්‍රමිකයෙක් බව කියමින් සම්මුඛ සාකච්ඡාවක් දුන්නාම එයාගේ ගෙදරට ගල් ගැහුවා. මටත් ඒ අය වෙනුවෙන් පෙනී හිටපු නිසා අපහාස එල්ලවුණා. ගණිකා නීතිඥයා කිව්වෙ ඒ නිසා. ඒත් රාජනීතිඥ, රැජිණගේ නීතිඥ, ජනාධිපති නීතිඥ වැනි ගෞරව නාම ලබන නීතිඥවරුන් අතර ගණිකාවන්ගේ නීතිඥ, හිරකාරයන්ගේ නීතිඥ වගේ අපහාස විඳින අපි වගේ අයත් ඉන්න එපායැ. ඒ අපහාසය මට දැනෙන්නේ ගෞරවයක් විදියට.■