මහාචාර්ය රොහාන් සමරජීව

මොහොතකට සිතින් මවාගන්න. ඇය කොවිඞ් වසංගතයට පෙර කොළඹ නගරයේ නිවාස ගණනාවකට පිරිසිදු කිරීමේ සේවා සැපයූ කාන්තාවකි. දෛනිකව එදා වේල උපයාගත්තියකි. ඇයට වැඩට යාමට පොදු ප‍්‍රවාහනය සහ ඉඳහිට ත‍්‍රිරෝද රථ භාවිත කිරීමේ නිදහස තිබිණි. වැඩ භාර ගැනීමේ හා ප‍්‍රතික්ෂේප කිරීමේත්, ගාස්තු සහ දින පිළිබඳව කේවල් කර ගැනීමේත් නිදහස ඇයට තිබිණි. මුදල් ළඟ තබා ගැනීමේත්, යම් මුදල් ප‍්‍රමාණයක් බැංකුවේ තැන්පත් කොට අවශ්‍ය විට ලබා ගැනීමේත් හැකියාව ඇය සතු විය. සිල්ලර බඩු සහ වෙනත් දෑ මිල දී ගන්නේ කුමන වෙළෙඳුන්ගෙන් ද කියා  තීරණය කිරීමේ හැකියාව ඇයට තිබිණි.

එය පහසු දිවියක් නොවීය. වැඩ අමාරු ය. ස්වාමි දියණියෝ හැමවිටම ප‍්‍රියජනක නොවූහ. බස්රථවල තදබදය අධික ය. මේ සියල්ල තිබිණි. එසේ වුව ද තම පවුලේ යැපීම සපයමින් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට ඇයට හැකි විය. සුළුවට හෝ දනක් පිනක් කරගැනීමට ඇයට හැකියාව තිබිණි.  සීට්ටුවකින් මුදල් ටිකක් ඉතිරිකළ හැකි විය. සහනාධාර හෝ පුණ්‍යාධාර මත යැපීමට ඇයට සිදුවූයේ නැත. ඈ අපරාධීන වූවාය.

කොවිඞ් වසංගතයෙන් පසු ඇගේ ජීවිතය ගැන දැන් සිතන්න. මුදල් වියදම් වී අවසන් ය. රත්රන් බඩු උගස් තබා අවසන් ය. ඇයට වැඩ කිරීමට නොහැකි ය. මුදල් ඉපයීමට නොහැකි ය. දැවෙන රශ්නයකින් යුතු අපේ‍්‍රල් මාසයේ කුඩා නිවසට කොටු වී සිටින්නට ඇගේ පවුලේ අයට සිදු වී තිබේ. ඇය සතුව මුදල් තිබුණ ද භාණ්ඩ මිලදී ගන්නේ කාගෙන්දැයි තීරණය කිරීමේ හැකියාවක් ඇය සතුව නැත. තම පාරේ එන  ඕනෑම කෙනෙකුගෙන් තිබෙන  ඕනෑම දෙයක් කියන  ඕනෑම මිලකට මිල දී ගැනීමට සිදු වී තිබේ. ආණ්ඩුවෙන් හා වෙනත් අයගෙන් ලැබෙන සහනාධාර මත යැපෙන්නට සිදුව තිබේ. ජල ගැල්මකින් පසුව ද මෙබඳු  තත්ත්වයක්  ඇති වුව ද, එවිට ජලය බැසයන බව හා සාමාන්‍ය තත්ත්වය උදා වන බවට බලාපොරොත්තු තබාගත හැකිවිය.

ඇඳිරි නීතිය මුලින් ම පනවන විට ප‍්‍රකාශකළේ එය සති අන්තයට පමණක් සීමා වනු ඇති බව යි. දැන් එය මාසයකට වඩා දිගු වී තිබේ. විවිධාකාර දින නියම කරන අතර කිසිදු හේතු දැක්වීමකින් තොර ව ඒවා වෙනස් කරනු ලබයි. මෙය කවදා අවසන් වේ දැයි කිසිවකු දන්නේ නැත.

පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදුණු නිවෙස්වල ඇයගෙන් නැවත සේවය ලබාගනු ඇත් ද? නැතහොත් ඇය රෝග වාහකයකු විය හැකි යයි බියෙන් ඔවුන් තමන්ගේ පිරිසිදු කිරීමේ කටයුතු තමන් ම කරගනු ඇත් ද? මුදලක් උපයා ගැනීමට වෙනත් මගක් තිබිය හැකි ද?

දුරස්ථව කළ නොහැකි වැඩවලින් දිනපතා වැටුප් උපයන්නන්ගේ අපරාධීනත්වය ඛාදනය වී ඇත්තේ ඒ ආකාරයෙනි. ඉපැයීමට හා ජීවත්වීමට ඇති නිදහස, පොදු මංමාවත්වල ගමන් කිරීම, රිසි කෙනෙකුගෙන් කුමක් මිලදී ගන්නේ ද නැත්ද  තීරණය කිරීම ආදි සියලූ දේ ඔවුන්ට අහිමි කොට ඇත්තේ තමන්ගේ ආදායම සහතික වූ සහ හිල්ටන් හෝටලයෙන් මත්පැන් බී නිල වාහනවලින් ගෙදර ගිය විට තමන්ගේ මේසය මත ආහාර ඇති බවට සැකයක් නොමැති දුරස්ථ දේශපාලනඥයන් සහ නිලධාරීන් පිරිසක් විසිනි.

සෞඛ්‍ය සේවාවට දරාගත නොහැකි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමටත්, වයස්ගත අයගේ හා ප‍්‍රතිශක්තිය අඩු අයගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහාත් පරීක්ෂණ උපකරණ, අසාධ්‍ය ලෙඩුන්ට ප‍්‍රතිකාර කිරීමේ ඇඳන්, පුද්ගල ආරක්ෂක උපකරණ ආදිය සංවිධානය කර ගැනීමට කාලය ලබාගැනීම සඳහාත් අගුළුලෑම (සහ එහි දරුණු ආකාරය වන ඇඳිරි නීතිය) අවශ්‍ය බව අපි පිළිගනිමු.

එබැවින් ඇඳිරි නීතිය පැනවීම සමාජයට ඉතා වැදගත් ප‍්‍රතිලාභ ලබාදෙන ක‍්‍රියාවකි. එයින් සියලූ දෙනාට සෙත සැලසෙයි. එසේ වුව ද, එහි ප‍්‍රතිවිපාක සියලූ දෙනාට සමානව බෙදී යන්නේ නැත. ඇඳිරි නීති බලපත් හා ආණ්ඩුවේ වාහන ඇති අයට කිසිවක් දරන්නට සිදුවන්නේ නැත. ඒ අතර අභිමතානුසාර අධිකාරයක් හිමි අයට වැඩිපුර ප‍්‍රතිලාභද අත්විය හැකි ය.

තම උපන්දිනය සැමරීමට නොහැකි වන ළමයකු ඇඳිරිය නිසා යම් ප‍්‍රතිවිපාකයක් වින්දා විය හැකි ය. කොණ්ඩයේ තද කළු පැහැය පවත්වාගත නොහැකි වූ විධායක නිලධාරියකුගේ තත්ත්වය ද එය ම විය හැකි ය. එසේ වුව ද තමන්ට අවශ්‍ය සිල්ලර බඩු මිල දී ගැනීමට මුදල් නොමැතිව කුඩා පැල්පතක කොටු වී සිටින සහ ඊළඟ සතියේ හෝ ලබන මාසයේ කුමක් සිදු වේ දැයි අවිනිශ්චිතතාවෙන් සිටින දිනපතා වැටුප් උපයන්නන්ගේ තත්ත්වය සමඟ සැසඳීමේ දී එම පීඩාව නොසැලකිය යුතු තරම් ය. එම පිරිසට මුදල් දීම පුණ්‍ය ක‍්‍රියාවක් නොවේ. එය සමස්ත සමාජයේ ප‍්‍රතිලාභය සඳහා ඔවුන්ට සිදු වූ විපත සඳහා වන්දි ගෙවීමකි.

රජය, පුරවැසියන්ගේ ජීවිත වෙනස් කරන ආකාරයේ බලපෑමකින් යුතු ක‍්‍රියාමාර්ග ගන්නා  විට (උදාහරණ ලෙස ඇඳිරි නීතිය පැනවීම, නිසි ආරක්ෂාවකින් තොරව ගුවන් තොටුපලින්  ආසාදිත තැනැත්තන්ට එන්නට ඉඩ දීම*  නිසි වගවීමක් තිබිය යුතු ය. තීරණ ගන්නේ ඒ අවස්ථාවේ තිබෙන  වඩාත් ම හොඳ තොරතුරු මත බව මෙන් ම පුරවැසියන්ට සිදුවන හානිය අවම කිරීමට සෑම උත්සාහයක් ම දරා ඇති බවටත් සාක්ෂි තිබිය යුතු ය. ඒ සඳහා කරුණු දෙකක් අවශ්‍ය වෙයි. තීරණ ගත යුත්තේ යම් ලිඛිත නීතියක් අනුව සහ ලේඛනගත ආකාරයෙනි. එමෙන් ම තීරණ ගත් ආකාරය පරීක්ෂා කිරීමටත්, විධායකය වගවීමෙන් ක‍්‍රියා කරන්නේද යන්න සාක්ෂාත් කිරීමට බලය ඇති අධිකරණය සහ ව්‍යවස්ථාදායකය වැනි ස්වායත්ත ආයතන පැවතිය යුතු ය.

අද මෙම තත්ත්වයන් පවතින්නේ ද? වැඩ බලන පොලිස්පතිවරයා විවිධාකාර ප‍්‍රකාශ කරමින් අත්අඩංගුවට ගැනීම් සිදු කරයි. එසේ වුව ද, මහා මාර්ගවල ගමන් කරන පිරිස් කඩ කළ නීතිය කුමක් ද? හදිසි නීති රෙගුලාසි තිබෙන්නේ කොහේ ද? හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කරන්නේ නැතිව හදිසි නීති රෙගුලාසි තිබිය නොහැකි ය. මෙම ප‍්‍රශ්න මතු කිරීමට පාර්ලිමේන්තුවක් නැති අතර උසාවි ද සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක වන්නේ නැත.

නෛතික අඩුපාඩු සහිතව සතියක් කටයුතු කිරීම තේරුම් ගත හැකි අතර එයට සමාව දිය හැකි ය. එහෙත් දැන් මසකට වැඩි කලක් ගෙවී ගොස් ඇත. ගරු කිරීමට බැඳී සිටින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට දැන් කාලය යි.

ඡායාරූපය: ලක්රුවන් වන්නිආරච්චි / Getty Images