දශක කිහිපයක සිට මා ඇබ්බැහි වී සිටින සංගීත පුරුද්දක් නම් බොබ් මාලේ ගේ සහ නිහාල් නෙල්සන්ගේ ගීතවලට සවන්දීමයි. වෙනස් රිද්ම-කටහඬ ශෛලීන්ට යාවෙන අනන්‍ය ගායන පෞරුෂයන් රැගෙන, ඔවුහු මගේ පුද්ගලික වින්දන අවකාශය තුළ සිට නිතර මුමුණති. ඒ ඒ කලාත්මක ආමන්ත්‍රණයන් කොයි අතට විහිදුණේ වුවද නාද රස වින්දනයේදී ඔවුන් ලබා දෙනුයේ ‘ප්‍රබෝධය’යි.

1945 වසරේ ජැමෙයිකාවේ උපත ලබා, වයස 36දී මිය යන විට ජාත්‍යන්තර සංගීත අයිකනයක් බවට පත්ව සිටි මාලේ පිළිබඳව උදක්ම හැඳින්වීම් කළ යුතු නැත. ජැමෙයිකානු මූලික ‘රස්ටෆාරි’(Rastafari) ඇදහිල්ලත්, රෙගේ(Reggea) සංගීත ශානරයත්, Wailers(වැළපෙන්නෝ) සංගීත කණ්ඩායමත් ඇසුරෙහි වූ බොබ් මාලේ ගේ ජීවිතය හා ගායනා සම්බන්ධ විග්‍රහයන් සුලබය. එහෙත් ඔහුගේ කලාව තුළ විමසා බැලිය යුතු වෙනත් අංශ තිබිණි. ඔහු ද, ජෝන් ලෙනන්, බොබ් ඩිලන්, පෝල් හිව්සන් (බෝනෝ) සේම විරෝධාකල්ප සන්නිවේදනය සඳහා ගීත මාධ්‍යය නොපැකිළව භාවිතා කළ අයෙකි.

මාලේ ලෝක ප්‍රකට වන්නේ ඔහුගේ දිවි පැවැත්මේ සහ ජීවිතයේ විශේෂතාවලට වඩා ගීතය තුළින් ඔහු ඉදිරිපත් කළ දර්ශනය සහ එය සමාජයට කළ බලපෑම නිසාය යන්න මගේ අදහසයි. තරුණයෙකු ලෙසම මිය ගිය ද ඔහු සිය ජනප්‍රියත්වය භාවිතා කළේ මුහුකුරා ගිය පරිණත බවකිනි. ගීත තුළත්, ඉන් බැහැරවත් ඔහු පළ කළ අදහස් අදට ද වලංගු ය; එසමයටත් වඩා වත්මන් ලෝකයට අවශ්‍යය.

ඔබ සුද්දෙකු නම් සහ ඔබ වැරදි නම්, ඔබ වැරදි ය. ඔබ කල්ලෙකු නම් සහ ඔබ වැරදි නම් ඔබ වැරදි ය. මිනිසුන් යනු මිනිසුන් ය. කළු, නිල්, රෝස, කොළ වශයෙන් දෙවියන් පාට සම්බන්ධ නීති පැනවුයේ නැත. මිනිසුන් පීඩා විඳින්නේ සමාජය පැනවූ නීතිවලිනි. අප දැන්මම නිදහස් විය යුත්තේ එබැවිනි.

මාලේ එසේ නිදහසට දුන්නේ වෙනම අරුතකි. ජීවිතයෙන් නික්ම යන්නට සූදානම් වෙමින් ඔහු ලෝකයට දුන් අවසන් පණිවුඩය ද එයයි. ඒ ගැන කියන්නට පළමුව, ඔහුගේ විශිෂ්ට විරෝධාකල්ප ගී කිහිපයකින් පසුබිම සකසා ගත හැකිය. 1973 දී නිකුත් කළ“Get Up Stand Up”ගීතය ඒවා අතර පෙරමුණේ රැඳෙයි. එහිදී, ඔබට ටික දෙනෙක් කෙටි කලකට මෝඩයන් කළ හැකි ය. එහෙත් සැම දෙනාම සැම විටම මෝඩයන් කළ නොහැක යනුවෙන් පවසන මාලේ අවධාරණය කරනුයේ මිනිසා සිය අයිතීන් වෙනුවෙන් නැගී සිටිය යුතු බවයි. “Bob Marley and Wailers” නාමයෙන් එළි දුටු ඔහුගේ අමරණීය ගී සම්භාරය අතරින් “Simmer Down”, “Concrete Juangle”, “Burning and Lootin”, “Them Belly Full (But We are Hungry)”, “War”, “Revolution” වැනි ගීත, සමාජ අගතීන් සහ අසාධාරණයන් වෙත එල්ල කරන ලද සියුම් ස්වර ප්‍රහාරයන්ය. “I Shot the Sheriff” නම් ජනප්‍රිය ගීතයෙන් ඔහු කදිම පරිකල්පනයක් ඉදිරිපත් කරයි. එය ගැයෙනුයේ ජැමෙයිකානු පොලිසිය විසින් මහජනතාව තලා පෙලන අයුරු දැක උපන් කම්පනයෙනි. මා වෙඩි තැබුවේ පොලිස් ලොක්කාට මිස ඔහුගේ අහිංසක දෙවෙනියාට නොවන බව කීමෙන් ඔහු අඟවන දේ බොහෝය.

තමාට චර්ම පිළිකාවක් වැළඳී ඇති බව මාලේ දැනගන්නේ 1979දීය. “Redemption Song” හෙවත් “නිදහසේ ගීතය” ඔහු නිමවන්නේ සිය මරණීය රෝගයේ වේදනාවෙන් පීඩා විඳිමිනි. Bob Marley and Wailers නිකුත් කළ නමවැනි සහ අවසාන ගීත ඇල්බමය වූ Uprising හි අවසානයට අමතර ගීයක් ලෙස ඇතුළත් වූ එය, මාලේගේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස ප්‍රකටය. ඔහු එය පටිගත කළේ අනෙක් නිර්මාණයන්ට වෙනස්ව, සිය ප්‍රබල හඬ සහ ඇකොස්ටික් ගිටාරය පමණක් යොදාගනිමිනි. බිරිඳ, රීටා පසු කලෙක ඒ පිළිබඳව මෙසේ කීවාය.

“ඔහු Redemption Song නිර්මාණය කළේ දැඩි වේදනාව රහසක් ලෙස තබාගෙනයි. ඔහුගේ වේදනාව Uprising ඇල්බමය තුළිනුත්, විශේෂයෙන් මේ ගීතය තුළිනුත් පැහැදිලිව දැනෙනවා.”

“අරගෙන මා පතුළක් නැති ඒ නරාවළෙන්

මාව පැහැර ගත්තා වූ ඒ මුහුදු සොරුන්                                                                                                                                                                                                        වෙළඳ නැව්වලට වික්කා මිනිත්තු ගණනින්

මගෙ අත් දැඩි කර තිබුණා එනමුත් දෙවියන්

අප මේ පරපුර පෙරටම ගෙනාවා තොසින්

උදව් කරන් නැද්ද ඔබත් ගයන්නට ඉතින්

මේ නිදහස් ගී සැමදා තිබුණු මා ළඟින්”

ස්ටීවන් ඩේවිස් පවසන්නේ “නිදහසේ ගීතය යනු මාලේගේ පරිපූර්ණ නික්ම යාම” බව ය. නිදහස පිළිබඳ සිය ආකල්පය හෙළි කරන මේ ගීතයේදී මාලේ විසින් කළු ජාතික සමාජ ක්‍රියාකාරිකයෙකු වූ මාර්කස් ගාර්වේ ගේ දේශනයකින් උපුටා ගත් “Emencipate yourself from mental slavery, none but ourselves can free our mind” යන ප්‍රකාශය එලෙසම යොදා ගනී.

“මුදා ගන්න! ඔබව මනෝ වහල් භාවයෙන්

අපටම මිස කාටත් බැහැ මුදනු අප මනැස්

පරමාණුක ශක්තීන්ට බිය නොවෙමු ඉතින්

කාටවත්ම කාලය නවතන්න බැරි හෙයින්”

“Redemption songs…. redemption songs…… songs of freedom…. these songs of freedom….” බොබ් මාලේගේ හුදකලා හඬ මහාද්වීපයෙන් මහාද්වීපයට, නගර මංමාවත්-කඩපිල්, සමාජශාලා, රථ මැදිරි අරා නැවත නැවතත් වාදනය වෙයි. එහෙත් වත්මන් සමාජ දේශපාලන වටපිටාවෙහි මිනිසා මාලේගේ අවසන් ඉල්ලීම පරිදි “මානසික වහල් බවින් මිදුණු සැබෑ නිදහසක්” පිළිබඳව සිතන්නට සූදානම් ද? පිළිතුර ඔබේය.