මගේ මිතුරෙක් විද්‍යුත් පණිවිඩ ක්‍රමයට පුංචි කතාවක් එවා තිබුණි.
ඒ මෙසේ ය: උදේ පාන්දර බස් ඩිපෝවෙන් රාජකාරි ආරම්භ කළ එක් රියැදුරෙක් සුක්කානම තුන් පාරක් පැදකුණු කොට සුපුරුදු මාර්ගයේ බසය ධාවනය කිරීමට වන්නේය. පළමු නැවතුම්පොළේදී මගියක් දෙන්නෙක්, දෙවැනි නැවතුම්පොළේදී තවත් මගියෙක් දෙන්නෙක් ආදි වශයෙන් කිහිප දෙනෙක් බසයට ගොඩවූහ. තුන්වැනි නැවතුම්පොළේදී එක මගියෙක් බසයට ගොඩවිය. ඔහු අසාමාන්‍ය සිරුරකින් හෙබි, සද්දන්ත පුද්ගලයෙකි. මුහුණේ පෙනුමත් හරිම රළුපරලුයි. රියැදුරාගෙන් ටිකට්පත ලබාගන්නවා වෙනුවට ඔහු “ලොකු ජෝන් ටිකට් ගන්නෙ නැහැ!” කියාගෙන පසුපස අසුනකට ගොස් වාඩි විය. අසරණ රියැදුරා, අඩි පහක්වත් උස නැති, කෙසඟ මිනිසෙකි. අර මරුමුසුවාගේ මැරකම ඉදිරියේ නිශ්ශබ්දව සිටීම හැර කිරීමට වෙන දෙයක් තිබුණේ නැත. ඊට පසුවදාත් මේ දේම සිදුවිය. එදාත් රියැදුරා ඉවසා සිටියේය. එහෙත් දිනපතාම මෙසේ වෙද්දී තවදුරටත් ඉවසා සිටීමට රියැදුරාගේ අභිමානය ඉඩ දුන්නේ නැත. ඔහුගේ කෑම රුචිය නැති විය. නින්දයාම නතර විය. එතෙක් පැවති සැහැල්ලු මනෝභාවය තුරන් විය. අවසානයේ, මේ ප්‍රශ්නය විසඳා ගැනීමට සිතාගත් රියැදුරා ඒ සැරේ ගිම්හාන නිවාඩුව වැය කෙළේ, කායවර්ධන පාඨමාලාවකට බැඳී ශාරීරිකව හැඩිදැඩි වීමටත්, කරාටේ සහ ජුඩෝ වැනි සටන් ක්‍රම ප්‍රගුණ කරගැනීමටත් ය. නිවාඩුවෙන් පසු පළමු දවසේම යෝධ මැරයා බසයට ගොඩ වී සුපුරුදු කතාව කියා බසයේ පසුපසට ගොස් ආසනයක වාඩි විය. බසයේ එන්ජිම නතර කළ රියැදුරා නැඟී සිටියේය. මැරයාගේ අසුන ළඟට ගොස් හිටගත්තේය. “ඇයි ටිකට් ගන්නෙ නැත්තේ?” ඔහු කෙලින්ම ප්‍රශ්න කෙළේය. “මට බස් පාස් එක තියෙනවා” අර මිනිහා කීය.

(ලෝ ප්‍රකට නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු සහ කවියෙකුද වන ඇමරිකානු ජාතික රිචඩ් රයිට්ගේ “ලොකු, කළු, සත්පුරුෂයා” නමැති කෙටිකතාවත් මීට සමාන ය. 1980 දශකය අවසානයේ එය සිංහලට පරිවර්තනය වී තිබේ).

මේ දෘෂ්ටාන්තයේ මගේ අවධානය යොමු කෙරෙන කාරණය වන්නේ, ‘බස් පාස්’ එක ය. මේ සඳහා ‘අවසරය’ යන වචනය අපි පාවිච්චි කරමු. මිනිස් ශිෂ්ටාචාරය තුළ මෙතෙක් අප අත්පත් කරගෙන ඇති කේවල, මහපරිමාණ යෝධ අවසරය වන්නේ, අප කවුරුත් අද හොඳින් දන්නා ප්‍රජාතන්ත්‍රවාදයයි. එහිදී, පාලකයාට මෙන්ම පාලිතයාටත් මහා අවසරයක් තිබේ. ඒ අවසරය තුළ, බලය සහ වගකීම යනුවෙන් දෙකක් තිබේ. එය විවිධ අය විවිධ ආකාරයෙන් පාවිච්චි කරති. විටෙක ඉහත කී යෝධ පුද්ගලයා කළා සේ අහිංසක ආකාරයකින් විය හැකිය. තවත් විටෙක, ඇඩොල්ෆ් හිට්ලර් සේ මහා විනාශයක් සඳහා විය හැකිය. කෙසේ වෙතත්, අර රියැදුරා වැනි ජනතාවක් රටක සිටීම, නිෂ්ඵල දෙයක් නොවෙනවා පමණක් නොව, එය අත්‍යවශ්‍ය දෙයක්ද වන්නේය. මුල් දවසේම, අර යෝධයාගේ කතාව ප්‍රශ්න කිරීමට රියැදුරාට ‘අවසර’ තිබුණි. එහෙත් ඔහු ඒ ‘අවසරය’ පාවිච්චි කෙළේ නැත. ඒ සඳහා ශක්තියක් අවශ්‍ය විය. මන්ද යත්, අර යෝධයාගේ ‘අවසරය’ ප්‍රකාශයට පත්වුණේ එක්තරා ශක්ති ප්‍රභවයකින් නිසා ඊට මුහුණදීමටත් එවැනිම ශක්ති ප්‍රභවයක් අවශ්‍ය කළ බැවිනි.

ලෝකයේ විශාලතම සහ දියුණුම ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රට ඇමරිකාව යැයි සැලකේ. ඉහත කී ආකාරයේ රෞද්‍ර යෝධයෙක් මීට අවුරුදු හතරකට කලින් ඇමරිකානු බසයට ගොඩ විය. ඔහුට ‘පාස්’ එකක් තිබුණි. ඒ ‘අවසරය’ පාවිච්චි කොට, රියැදුරා ඇතුළු බසයේ මගීන්ටත්, බසයටත් පමණක් නොව, පාරේ යනෙන අනෙක් සියලු දෙනාට සහ සියලු දෙයටත් අලාභහානි කිරීමට ඔහු පටන්ගත්තේය. අවසානයේ රියැදුරා ඇතුළු බසයේ මගීන් එකතු වී ඔහුගේ ‘පාස්’ එක උදුරා ගත්තේය. අවුරුදු හතරකට පසු 20වැනිදා ඔහු බසයෙන් බැස්සවීය.

සමාජ පාලනය සහ කළමනාකරණය සඳහා මනුෂ්‍යයා ඉතිහාසය පුරා ඇති කරගෙන තිබෙන ක්‍රම බොහෝ ය. රජ ක්‍රමය ඉන් එකකි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තවත් එකකි. කොමියුනිස්ට් ක්‍රමය තවත් එකකි. ඒකාධිපති ෆැසිස්ට් ක්‍රමය තවත් එකකි. මේ සෑම පාලන ක්‍රමයක් තුළදීම, එය වඩාත් දියුණු ක්‍රමය වශයෙන් ඒ කාලයේ සමාජ පිළිගැනීමට ලක්වීම සාමාන්‍ය සිරිතයි. එහෙත් විවිධ හේතු නිසා, එකී ක්‍රම වෙනස් වී තිබේ. අභාවයට ගොස් තිබේ. රජ ක්‍රමය අවසන් වී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පැමිණියා සේ ය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අවසන් වී කොමියුනිස්ට් ක්‍රමය පැමිණියා සේ ය. ඒ වෙනස, හැම විටකම සමාජ ප්‍රවර්ධනයක් හෝ සමාජ දියුණුවක් වන බවට අනිවාර්ය නියමයක් නැත. රජ ක්‍රමයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය වෙත වෙනස් වීම ඇත්තෙන්ම දියුණුවකි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය නසා ෆැසිස්ට්වාදය වෙත යාම හෝ නැවත රජ ක්‍රමය වෙත හෝ ඒකාධිපතිත්වය වෙත යාම, දියුණුවක් හෝ ප්‍රගමනයක් නොවේ.

රජ ක්‍රමය අවුරුදු දහස් ගණනක් තිබුණි. ප්‍රජාතන්ත්‍රවාදයේ වයස තවම අවුරුදු දෙතුන් සීයකි. කොමියුනිස්ට් ක්‍රමය අවුරුදු හැත්තෑවකට සීමා විය. ෆැසිස්ට් ක්‍රමය අවුරුදු හතඅටකට සීමා විය. අද වන විට ලෝකයම, අඩුවැඩි වශයෙන්, ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණ ඇත. මේ තත්වය ඇති වුණේ, 1990 දශකයේ ආරම්භයත් සමග ය. එනම්, ලෝකය පුරා කොමියුනිස්ට් ක්‍රමය බිඳවැටීමත්, ඒ ක්‍රමය යටතේ පැවති රටවල් සියල්ල ප්‍රජාතන්ත්‍රවාදය වැළඳගැනීමත් සමග ය.

ඒ කාලයේ, එනම් 1992 දී ෆ්‍රැන්සිස් ෆුකුයාමා නමැති ඇමරිකානු දේශපාලන විද්‍යාඥයා පොතක් ලීවේය. එහි නම “ඉතිහාසයේ අවසානය සහ අවසාන මිනිසා” යන්නයි. ඉතිහාසය අවසානයකට පත්ව ඇති බවට තර්ක කළ ඔහු, මිනිස් ශිෂ්ටාචාරය තුළ අත්පත් කරගෙන සිටින ප්‍රජාතන්ත්‍රවාදය නමැති පාලන ක්‍රමය ඒ ඉතිහාසයේ උච්චතම ස්ථානය නියෝජනය කරන බවත්, එය ආපසු හැරවීමේ හැකියාවක් මිනිසාට නොමැති බවත් කියා සිටියේය. එනම්, වර්තමාන මිනිසා මොන තරම් සෙව්වත්, ප්‍රජාතන්ත්‍රවාදයට වඩා දියුණු පාලන ක්‍රමයක් සොයාගැනීමට මිනිසාට නොහැකි වන බවයි. ඒ නිසා, ඔහු එය හැඳින්නුවේ ‘ඉතිහාසයේ අවසානය’ වශයෙනි. එහෙත් 2017 දී මෙවැනි දෙයක් කීමට ඔහුට සිදුවිය: ප්‍රජාතන්ත්‍රවාදය ආපසු හැරීමේ කිසි ඉඩක් ඇති බවක් මීට අවුරුදු 25 කට කලින් (1992) තමාට සිතාගත නොහැකි වූවත්, ජනාධිපති ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඇමරිකාවේ ආයතනික පද්ධතිය දුර්වල වන සැටි දකින අද, ප්‍රජාතන්ත්‍රවාදය පවා ආපසු හැරවිය හැකි බව තමාට දැන් පෙනෙන්නේ යැයි හෙතෙම කීවේය.

ඊයේ (20) මධ්‍යම රාත්‍රියෙන් ට්‍රම්ප්ගේ පාලන කාලය අවසන් විය. එය, මුළු ලෝකයේම ප්‍රජාතන්ත්‍රවාදය මරු කපොල්ලකින් ගැලවුණු මොහොතක් වශයෙන් සැලකිය හැකිය. යම් හෙයකින් ඔහු තවත් අවුරුදු හතරකට තේරී පත්වුණි නම්, ලෝකය පුරා ශීඝ්‍රයෙන් වැළඳිය හැකි එක් රෝගයක් තිබුණි. එනම්, විකාරික ජාතිකවාදයයි. තවද, ලෝකය පුරා ශීඝ්‍රයෙන් බෝ විය හැකි වසංගතයක් තිබුණි. එනම්, ප්‍රජාපීඩක අධිකාරිවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ වශයෙන් සැලකෙන ඇමරිකාව විසින්ම මේ කියන විකාරික ජාතිකවාදය සහ ප්‍රජාපීඩක අධිකාරිවාදය දීර්ඝ කාලයක් තිස්සේ අභ්‍යාස කෙරුණි නම්, ලංකාව වැනි රටක් කෙසේ හැසිරෙන්නට තිබුණිදැයි මඳක් සිතා බලන්න.

මෙවැනි අවදානම්කාරී තත්වයන්ට ප්‍රජාතන්ත්‍රවාදය විටින්විට මුහුණදෙන්නේ ඇයි?
සමාජයක නොදියුණුව නිසා, ස්වභාවයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත්විය හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් සමාජයක දියුණුව විසින්මත් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළිය හැකිය. පසුගිය වසර හතරක ඇමරිකානු ඉතිහාසය පෙන්නුම් කෙළේ එයයි. එහෙත් ඒ කාසියේම තවත් පැත්තක් තිබේ. එනම්, දියුණු රටක ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටුණු විට, එම සමාජයේ ඇති වෙනත් දියුණු ගතිකත්වයන් තුළින් එය යථා තත්වයට පත්කර ගැනීමටත් හැකියාව ලැබෙන බව ය.

ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයෙන් පරාජය විය. එහෙත් ඔහු පරාජය භාරගත්තේ නැත. මැතිවරණය දූෂිත වී යැයි කියමින්, මැතිවරණ ප්‍රතිඵලය මුළු ලෝකයාම පිළිගනිද්දී පවා ඔහු එය ප්‍රතික්ෂේප කෙළේය. අවසානයේදී ගිය සතිය වන විට, ඔහු විසින් උසිගන්වන ලද මැර කණ්ඩායම් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට කඩාවැදී මහා විනාශයක් කෙළේය. කිහිප දෙනෙක් එහිදී ජීවිතක්ෂයට පත්වූහ. හැට හැත්තෑවක් අත්අඩංගුවට පත්වූහ. ප්‍රජාතන්ත්‍රවාදය පාගමින් ඔහුට ගමන් කළ හැකිව තිබූ අවසාන දුර එය විය. ඔහුගේම උපජනාධිපතිවරයා පවා ඒ ප්‍රචණ්ඩකාරී ක්‍රියාව, ඇමරිකානු ඉතිහාසයේ කළු පැල්ලමක් වශයෙන් හැඳින්නුවේය. පොලීසිය වැනි රාජ්‍ය ආයතන ට්‍රම්ප්ගේ හිතුවක්කාරී චර්යාවට එරෙහිව නීතිය පැත්තෙන් පෙනී සිටියේය. ආණ්ඩුවට පිටින් ඇති ගූගල්, ට්විටර් සහ ෆේස්බුක් ආදි සමාජ මාධ්‍ය ජාල තමන්ගේ සන්නිවේදන වේදිකා රටේ ජනාධිපතිවරයාට වසා දැමූ අතර, ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන බොහොමයක් ජනාධිපතිවරයාගේ පක්ෂයට මුදලින් ආධාර කිරීම නතර කරන බව ප්‍රකාශයට පත්කෙළේය. එයින් පෙනීගියේ, වරක් ඡන්දයකින් පත්කර ගැනෙන පිස්සෙකු දිගටම පිස්සු කෙළියොත් ඔහු ඊළඟ ඡන්දයෙන් පරාජය කිරීමට තරම් ජනතාවක් එක පැත්තකින් සිටින බවත්, රටේ නායකයා නීතිය අතට අරගෙන සීමාව ඉක්මවා යන විට ඊට එරෙහිව නැඟී සිටීමට තරම් ශක්තිමත් ආයතන පද්ධතියක් තවත් පැත්තකින් තිබෙන බවත් ය.

මේ සාධක දෙකෙන් එකක් හෝ නැති වෙතොත් එය ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරකි.

මේ සාධක දෙකම දුර්වල වීමට පටන්ගෙන දැන් අවුරුදු පනහක්වත් ඇති. ඉතා දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, ලෝකය සහ දේවල් පිළිබඳව මිනිසාට එතෙක් තිබූ ‘මිම්මක්’ මේ කාලය තුළ අහිමිව ගියේය. ඒ මිම්ම, කළු සහ සුදු යැයි, තේරුම්ගැනීමේ පහසුව සඳහා අපි නම් කරමු. මෑතකාලීන චින්තන දියුණුව තුළ, මේ දෙක අතරේ අළු පැහැයකුත් ඇති බවක් මිනිසාට පෙනුණි. ඉතිං, ඒ අළු පැහැය පිළිබඳ ‘ඥානය’ වැඩි වෙද්දී, කළු සහ සුදු පාට යන වර්ණ දෙක මුළුමණින්ම වෙනස් විය. කළු වර්ණය ලා කළු වී, සුදු වර්ණය ලා සුදු විය. එනම්, සියල්ල ‘අළු’ විය. ඇත්ත වශයෙන්ම සිදුවුණේ, සත්‍යය සහ අසත්‍යය අතර තිබූ ඉර බොඳ වී යාමයි. යහපත සහ අයහපත අතර පැවති වෙනස නැති වී යාමයි. වචනවල ඇති සාමාන්‍ය අරුත් නැති වී යාමයි. මෙය, ‘පශ්චාත් නූතන’ යුගය වශයෙන් හැඳින්වෙයි. ඒ යුගයට පිටුදුන්, ‘පශ්චාත් නූතන චින්තනය’ කියා දෙයක් තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් යනු, අප දුටු ඒ චින්තනයේ ප්‍රතිමූර්තියකි.

මේ කාරණය අපේ නවතම අත්දැකීමකින් පැහැදිලි කළ හැකිය. පසුගිය කාලයේ කෝවිඩ් වසංගතයට බෙහෙතක් වශයෙන් ලංකාවෙන් සොයාගනු ලැබූ ‘පැණියක්’ තිබුණි. එය ලංකාවේ සෞඛ්‍ය ඇමතිනිය ප්‍රසිද්ධියේ පානය කොට අපට පෙන්නුවාය. කතානායකවරයා එය පානය කොට පෙන්නුවේය. තවත් මැති ඇමතිවරු ගණනාවක්ම ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිට ‘පැණිය’ පානය කළෝය. කොටින්ම, අපට එන්නතක් ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් නැති බව වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. මේ සියල්ල, අපට ඇස්පනාපිට පෙනුණි. දැන්, ‘පැණිය’ පාවිච්චි කළ බොහෝ දෙනා කෝවිඩ් රෝගීන් බවට පත්ව තිබේ. ඒ අතරේ එක් ඇමතිවරයෙක් හෝ දෙන්නෙක්ද සිටිත්. කතානායකවරයාත් නිරෝධායනයට ලක්කෙරුණු බව වාර්තා විය. වාසුදේව නානායක්කාරටත් කෝවිඩ් ය. කාලි මෑණියන්ට ආවේශ වන ‘පැණිය’ හැදූ මිනිහා, වෛද්‍යවරයෙකුට පහර දී පැය ගාණක් එම වෛද්‍යවරයා තමාගේ නිවසේ සිරඅඩස්සියේ තබාගෙන සිටි බව ඊයේ මාධ්‍ය වාර්තා කෙළේය.

මෙසේ තිබියදී ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා, ‘ධම්මික පැණිය’ ගැන ආණ්ඩුව කිසි විටෙකත් පෙනී සිටියේ නැති බව කීය. කලින් ඡේදයේ මා කී සිදුවීම් සියල්ල අසත්‍ය බව රඹුක්වැල්ලගේ එම ප්‍රකාශයෙන් ඔප්පු වෙයිද? නැත. ඔහු කීවේ ‘සත්‍යයකි’. ආණ්ඩුව යනුවෙන් ගැනෙන, ජනාධිපති, අගමැති සහ කැබිනට් වැනි ආයතන කිසිවකින් ඒ ගැන ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන නොතිබුණි. එසේ නම්, දැන් ‘සත්‍යයන්’ දෙකක් තිබේ. එකක්, කලින් ඡේදයේ කී සිදුවීම් සමුදායයි. දෙවැන්න, රඹුක්වැල්ල ඇමතිවරයාගේ ප්‍රකාශයයි. එකම කාරණය සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර ‘සත්‍යයන්’ දෙකක් තිබිය හැකිද? ඔව්, අර මා කලින් කී ‘පශ්චාත්-නූතන’ තත්වය තුළ, ඒ දෙකම එක්කෝ ‘සත්‍යයන්’ ය. එක්කෝ, ‘අසත්‍යයන්’ ය.

1960 ගණන්වල සිට පශ්චාත්-නූතන තත්වය ඇති වීමට කලින් පැවති සරල සත්‍යය අද වන විට අඩුවැඩි වශයෙන් ඝාතනය වෙමින් තිබේ. හරියටම කිවහොත්, ඝාතනය කරමින් තිබේ. තවදුරටත්, සත්‍යය කුමක්ද, අසත්‍යය කුමක්ද යන්න නිශ්චය කරගත නොහැකි තත්වයට ඔබ පත්වෙමින් සිටී. සෞඛ්‍ය ඇමතිනිය සහ කතානායකවරයා ‘පැණි’ බොන දර්ශනය සහ කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රකාශය අතරේ ඔබ අතරමං වෙයි. රටක මිනිසුන්ගෙන් බහුතරයක් එවැනි තත්වයට පත්කෙරුණු පසු, ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී, ඕනෑම පිස්සෙකුට හෝ ඒකාධිපතියෙකුට පහසුවෙන්ම බලයට පත්විය හැකිය.■